සෝමලතාගේ ගෙලේ ඇඟිලි සලකුණු තුනක් | සිළුමිණ

සෝමලතාගේ ගෙලේ ඇඟිලි සලකුණු තුනක්

 

‘සෝමලතා' පාසල් සිසුවියකි. ඇය එකොළොස් හැවිරිදි වියේ පසුවුවාය. ඕ පස් දෙනෙකුගෙන් යුත් පවුලක මද්දුම දෝණියයි. සෝමලතාගේ පියා හේන් ගොවියෙකි. ඇය මව සහ පියාගේ හේන් ගොවිතැන්වලට උදව්වුවාය. මොවුන් පදිංචිව සිටියේ කුරුණෑගල දිසාවේ හද්දා පිටිසර ගම්මානයකය. මෙය වැව් කුඹුරු කඳු ශිකරවලින් යුත් දුෂ්කර ගම්මානයකි. සෝමලතා අකුරු කරන්නට ගියේ එම ගම්මානයේ පිහිටි පාසලටය.

එකොළොස් හැවිරිදි වියේ පසුවුවද වයසට වඩා ඕ පෙනුමෙන් යුක්ත වුවාය. මේ නිසා පාසලේදි ඇය සමඟ මිතුරු වීමට සිසුන් කිහිපදෙනෙකුම උත්සාහ දැරීය. පාසලේ සිට සෝමලතාගේ නිවසට ඇති මාර්ගය කදුහෙල්වැටිවලින් යුත් දුෂ්කර මාර්ගයකි. පාසල් නිමවී සෝමලතා යළි නිවසට යන තෙක්ම මෙම සිසුන් ඇගේ පසුපසින් ගමන් කරති. ඒ සෝමලතාගේ හිත දිනා ගැනීම සඳහාය. අවසානයේ සෝමලතාගේ හිත දිනා ගැනීමට එක් සිසුවෙකු සමත් වූයේය.

සෝමලතා කුඩා කාලයේ සිටම හැදි වැඩුණේ ආච්චි අම්මාගේ තුරුලේය. ඇගේ මවුපියන් පදිංචිව සිටි නිවසට නුදුරින් පිහිටි කඳුවැටියක් මත ආච්චි අම්මාගේ නිවස පිහිටා තිබිණි. සෝමලතාගේ ආච්චි අම්මා සමඟ ඇයගේ පුංචි අම්මා කෙනෙකුද එම නිවසේ පදිංචිව සිටියහ. සෝමලතාට කුඩා කාලයේ සිටම මව්පිය සෙනෙහස අහිමිවී ගොස් තිබිණි. ඇය ආච්චි අම්මාගේ නිවසේ සිට පාසල් ගියාය. සෝමලතා පාසල් සිසුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙන බව ආච්චි අම්මාටත් පුංචි අම්මාටත් ආරංචි වී තිබිණි.

"අනේ! සෝමලතෝ උඹ ළමිස්සියක් වුණු ගමන් උඹට මගුල් පිස්සුව හැදුනාද? ඔය සම්බන්ධය නතර කරපන්. තාම කටේ කිරි සුවඳවත් ගියේ නැහැ... බලාපල්ලා මේකිට හැදිච්චි පිස්සුව..." සෝමලතාගේ ආච්චි අම්මා එසේ පවසමින් ඇයට කීප අවස්ථාවකදිම තරවටු කළාය. ආච්චි අම්මාත් පුංචි අම්මාත් සෝමලතාට කෙතරම් තරවටු කළත් ඇය මෙම ප්‍රේම සම්බන්ධතාවය නතර කළේ නැත.

එක් දිනක උදෑසන ආච්චි අම්මා බෙහෙත් ගැනීම සඳහා ර‍ජයේ බෙහෙත් ශාලාවට ගියාය. සෝමලතාගේ පුංචි අම්මාද ආච්චි අම්මා සමඟ එහි ගියාය. එදින පාසල් නිවාඩු දිනයකි.මේ නිසා සෝමලතා පාසල් නොගිය අතර ඇය නිවසට වී සිටියාය. ආච්චි අම්මා බෙහෙත් රැගෙන පුංචි අම්මාත් සමඟ නිවසට පැමිණෙමින් සිටියහ. නිවසේ ඉදිරිපස දොර වසා දමා තිබිණි.

“සෝමලතා කොහේ ගිහින්ද?“ ආච්චි අම්මා එසේ ඇසුවාය.

“සෝමේ සෝමේ උඹ මක්කරනවද... ගේ ඇතුළට වෙලා... දොර ඇරපන්!“ ආච්චි අම්මා එසේ කෑගැසුවාය. එහෙත් සෝමලතාගෙන් කිසිම උත්තරයක් නැත.

අවසානයේ සෝමලතාගේ පුංච් අම්මා නිවස පිටුපස දොරට දමා තිබු පොල්අතු පැළල්ල ඉවත්කොට නිවසට ඇතුළු වූවාය. ගෙට ඇතුළු වූ විට සෝමලතාගේ පුංචි අම්මාගේ නෙත ගැටුණේ සෝමලතාගේ සිරුර කඹ පටයකින් වහලයේ එල්ලී තිබෙන අයුරුය. ඇයට මෙය අදහාගත නොහැකි විය. ඕ මොර දුන්නාය. සෝමලතා ගෙල වැළලාගෙන එල්ලී සිටින අයුරු දැකීමෙන් ආච්චි අම්මා සිහිසුන් වුවාය. සෝමලතාගේ මරණය පිළිබඳ ආරංචිය ගම පුරා පැතිරි ගොස් තිබිණි. මේ ආරංචියට ගම්මුන්ද සෝමලතාගේ ආච්චි අම්මාගේ නිවසට එක්රොක් වන්නට වූහ.

පොලිසියට මෙම සිද්ධිය දැනුම් දීමෙන් පසු මොහොතකින් පොලිස් නිලධාරින්ද එම නිවසට පැමිණියහ. අවුරුදු 11 ක දැරියක් මෙසේ ගෙල වැළලාගෙන දිවිහානි කරගැනීම අදහාගත හැකි කරුණක් නොවීය. පොලිස් නිලධාරින් විසින් සෝමලතා ගෙල වැළලාගෙන සිටින ආකාරය ඡායාරූප ගත කළහ.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ප්‍රමාද වීම නිසා සෝමලතාගේ සිරුර රෝහලට ගෙනවිත් තිබුණේ දිනක් ප්‍රමාද වීමෙනි. එහෙයින් මළසිරුර දැඩි ලෙස නරක් වන්නට පටන්ගෙන තිබිණි. ගෙල වැළලාගෙන මියගිය අයකුගේ මළසිරුරක් දැඩි ලෙස කුණු වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය කළ විට එම තැනැත්තා දිවිහානි කරගෙන තිබේද නැතහොත් වෙනත් කෙනෙකු විසින් ඝාතනය කර තිබේද යන්න සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර දැන සිටියේය. සිරුර දැඩි ලෙස නරක්වී තිබුණත් මළසිරුර එල්ලා තිබියද ගත් ඡායාරූප වෛද්‍ය පරීක්ෂණවලට පහසුවක් විය.

යම් තැනැත්තෙකු එල්ලි මියගොස් සිටින අවස්ථාවක මියගිය අයගේ ඥාතින් විසින් ලණුව හෝ කඹය හෝ වෙනත් ආධාරකයක් තිබේනම් එය කපා මළසිරුර බිමට බෑම සුදුසු නොවන බව අධිකරණ වෛද්‍යවරුන්ගේ මතයයි. යම් අයකු එල්ලී මියගොස් සිටියදී ඒ අයුරින්ම නොවෙනස්ව තිබියදි මළසිරුර පරීක්ෂා කිරීමෙන් පසු මරණයට හේතුව සොයා ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරුන්ට වැදගත් නිගමනවලට එළඹීමට පහසුවකි. එමෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන මළසිරුරද නෙවෙනස්ව වෛද්‍ය පරීක්ෂණ සඳහා එවිය යුතු වේ. ඇතැම් අවස්ථාවලදි විද්‍යාත්මක දැනුමක් නැති අයත් මළසිරුරේ ඇඳුම් ඉවත් කිරීමට හෝ ගෙල වැළලාගෙන සිටින කඹය හෝ ලණුව කපා ඉවත් කිරීමට උපදෙස් දෙති. සමහර අවස්ථාවල මහේස්ත්‍රාත්වරුන්ගේ උපදෙස් මත මළසිරුරේ ඇඳුම් ඉවත්කොට වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ අවස්ථාද වාර්තා වී තිබිණි. එහෙත් එසේ පොලිසියට උපදෙස් දීම සුදුසු නැති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර කීවේය.

ගෙල වැළලාගෙන මියගිය අයකුගේ ගෙලෙහි ඇති බන්ධකය ඉවත් කිරීම සහ මළසිරුරේ ඇති ඇඳුම් ඉවත් කිරීමට උපදෙස් දීමේ වගකීම පැවරි ඇත්තේ අධිකරණ වෛද්‍යවරුන්ට පමණි. මෙවැනි අවස්ථාවල මරණය සිදුවී ඇත්තේ දිවිහානිකර ගැනීමකින්ද නැතහොත් සාපරාධී ක්‍රියාවකින්ද නැතිනම් මනුෂ්‍ය ඝාතනයකින්ද යන වග තීරණය කිරීමට මළසිරුරේ බාහිර පරීක්ෂාව ඉතා වැදගත් වන්නේය.

සෝමලතාගේ මළසිරුර කුණු වී තිබු නිසා ඇගේ සිරුර බාහිරව පරීක්ෂා කළද කිසිම සලකුණක් සොයා ගැනීමට අධිකරණ වෛද්‍යවරයාට නොහැකි වුයේය. අධිකරණ වෛද්‍යවරයා විසින් සෝමලතාගේ සිරුර අභ්‍යන්තරව පරීක්ෂාවට ලක් කළේය. පළමුවෙන්ම සෝමලතාගේ මොළය ඉවත් කෙරිණි. ඒ සමඟ ගෙලෙහි තිබු රුධිරයද ඉවත් කෙරිණි. සෝමලතාගේ ගෙලෙහි අභ්‍යන්තරය අධිකරණ වෛද්‍යවරයාගේ තියුණු පරීක්ෂාවට ලක්විය. ගෙලෙහි ඇඟිලි තුඩුවලින් සලකුණු වි තිබු තුවාල කැළල් තුනක් කෙරෙහි අධිකරණ වෛද්‍යවරයාගේ අවධානයට ලක්විය. මෙය දිවි හනිකර ගැනීමක් නොව ගෙල සිරකොට මරා දැමීමක් බව අධිකරණ වෛද්‍යවරයාට තේරුම් ගැනීමට ඇඟිලි තුඩුවලින් සලකුණු වී තිබු තුවාල කැලල් තුන ප්‍රමාණවත් විය.

සෝමලතා ගෙල සිරකොට මරා දමා ඇති බව අධිකරණ වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබිණි. මෙවැනි අබිරහස් ඝාතනවලදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වන විද්‍යාත්මක කරුණු මෙන්ම සිද්ධිමය කරුණුද අපරාධයක සුලමුල අනාවරණය කරගැනීමට දැඩි පිටිවහලක් වන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුරගේ අදහසයි.

ඒ අනුව සෝමලතාගේ මරණය මිනිමැරුමක් බවට අධිකරණ වෙද්‍යවරයා විසින් නිගමනය කළේය. පොලිසිය විසින් මෙකි අබිරහස් ඝාතනයේ සුලමුල සොයා පරීක්ෂණ ආරම්භ කෙරිණි. ඒ අනුව සෝමලතාගේ ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

මේ ලිපිය ආරම්භයේ දී පාසල් සිසුන් කිහිපදෙනෙකු සෝමලතාගේ සිත් දිනා ගැනීමට වෑයම් කළ බව සඳහන් කළෙමි. එමෙන්ම සෝමලතාගේ මාමා කෙනෙකුද ඇගේ හිත දිනා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියේය. ඔහු කීප අවස්ථාවකදීම මේ ගැන සෝමලතාට කීවත් ඇය ඒ සඳහා කැමති වූයේ නැත. මේ නිසා මොහු මෙම දැරිය සමඟ වෛර බැඳ ගත්තේය. සෝමලතා පාසලේ සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව දැනගැනීමත් සමඟ සෝමලතා කෙරෙහි මොහුගේ වෛරය දෙගුණ තෙගුණ වන්නට විය.

ඒ අනුව ඇය මෙලොවින් තුරන් කිරීමට ඔහු තීරණය කළේය. නිවසේ පහළ තිබු ළිඳ ළඟට ගිය මොහු බාල්දියට දමා තිබු කඹයද රැගෙන සෝමලතා සිටි නිවසට ඇතුළු විය. ඒ වනවිට සෝමලතා පොතක් කියවමින් සිටියාය. එකවරම ඔහු සෝමලතාගේ ගෙල ඇඟිලි තුඩුවලින් සිර කළේය. සෝමලතාට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොලැබිණි. සෝමලතා ඝාතනය කිරීමෙන් පසු කඹය ඇයගේ ගෙල වටා දමා එල්ලා තැබුවේය. මෙම දැරියගේ මරණයත් සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් සිටි මාමා පොලිස් අත්ඩංගුවට පත්විය. ඔහු සියල්ල පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කෙළේ අනතුරුවය.

 

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුරගේ අත්දැකිම ඇසුරෙනි

Comments