
බොහෝ කලකට පෙර ධර්මද්වීපය ලෙස හැඳින්වු මෙරට තුළ අද වන විට දිනෙන් දින සිදුවන විවිධ අපරාධවල නම් කිසිදු අඩුවක් නොමැතිය. එම අපරාධ අතරේ සිදුවන අසම්මත කාම අපරාධ දිනෙන් දින ඉහළ යමින් තිබේ. එලෙස සිදුවන කාම අපරාධ රැල්ලේ බිහිසුණුම සහ සංවේදීම සිදුවීම් වන්නේ බාල වයස්කාර දැරියන්ට සිදුවන ලිංගික අතවරයන්ය. බාලවියේ දැරියන් රැකිය යුතුයැයි සම්මත පිරිස විසින්ම මෙම දැරියන් අකාලයේ මිලින කර දැමීමට තරම් මිනිසුන් තුළ සාරධර්ම පිරීහී ගොස් තිබීම දැඩි සංවේගයට කරුණකි.
12 හැවිරිදි දැරියක රවටා ලිංගික අතවරයට ලක් කළ පුද්ගලයෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් දුන් දැඩි දඬුවමක් පිළිබඳ පුවතක් ඉකුත් දින හම්බන්තොට මහාධිකරණයෙන් වාර්තා වීය.
ඇය 'ඉරේෂා' ය. ඕ අධ්‍යාපනය ලැබුවේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පාසලක හත්වන වසරේය. 12 හැවිරිදි වියේ පසු වු ඇය මව පියා සහ සහෝදර සහෝදරියන් 05 දෙනෙකු සමඟ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේම පදිංචිව සිටියාය. දූ දරුවන්ගේ අනාගත සුබසිහින දැකීමේ නොනිමි ආශාව නිසාම ඉරේෂාගේ මාපියන්ද පාසල් ගමනට අමතරව ඉරේෂා උපකාරක පන්ති කිහිපයකටද සහභාගී කරවීමට පියවර ගෙන තිබිණි. උපකාරක පංති යන අතරවාරයේ ඇතැම් දිනවලදී ඉරේෂා සිය වැඩිමහලු සොහොයුරියගේ යෙහෙළිකගේ නිවසකටද යාමට ඒමට පුරුදුව සිටියාය. එලෙස යෙහෙළියගේ නිවසට ආගිය අතරේ දිනක් ඉරේෂාට එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වු 'රුවන් කුමාර' දැනහැඳින ගැනීමට හැකි වූයේ අහම්බෙන් මෙනි. 29 හැවිරිදි වියේ පසු වු රුවන් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ රක්ෂණ කාර්යාලයක සේවයේ නිරත වූ අයෙකි. දෙදෙනා අතර දැනහැඳින ගැනීමක් ඇති වූ නමුත් ඉරේෂාට කොයිම වෙලාවකවත් මෙය 'පෙම්පලහිලව්වක්' බවට පෙරළා ගන්නට වුවමනාවක් නොවිණි. නමුත් රුවන් ගෙවුණු හැම තප්පරයකදිම මාන බලමින් සිටියේ සිය කාමාශාව මෙම දැරියගෙන් පූර්ණය කර ගැනීමටය. ඒ අනුව රුවන් මේ සඳහා සැලසුමක් සකස් කරන්නේ සූක්ෂ්මවය.
දිනය 2010 මාර්තු 01 දිනය.
“මට ඔයාව ටිකක් හම්බවෙන්න ඕනේ“ යැයි රුවන් දුරකතන ඇමතුමක් දී ඉරේෂාට පැවසීය.
“මොකටද ඒ“ යැයි ඉරේෂා ඇසූ ප්‍රශ්නයට පෙරළා පිළිතුරු දුන් රුවන් පැවසුවේ
“මට ඔයාව හමුවෙලා විසඳගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා“ යනුවෙනි.
අදාළ දුරකථන ඇමතුමට අනුව රුවන්ගේ ඉල්ලීමට ඉරේෂා අඟුණුකොළපැලැස්සේ සිට ඇඹිලිපිටියේ බස් රථයක නැගී ඇඹිලිපිටිය නගරයට ගියාය. ඒ යන විට රුවන් යතුරුපැදියකින් ඇඹිලිපිටිය නගරයේ බස් නැවතුමට පැමිණ සිටියේය. බසයෙන් බැසගත් ඉරේෂා අසලට පැමිණි රුවන් ඉරේෂාට පැවසුවේ
“මෙතන මේවා කතා කරන්න බෑ. වෙන තැනකට යමු“ කියාය.
රුවන්ගේ වචනය විශ්වාස කළ ඉරේෂා රුවන් සමඟ යතුරුපැදියෙන් රුවන් කියන තැනට ගියාය. ඒ වන විටත් රුවන් තමන් යන්නේ කොහේද? කරන්නේ මොනවද යන්න සියල්ල තීරණය කර තිබිණි. මේ කිසිවක් පිළිබඳ මනා වැටහීමක් නොවු 12 හැවිරිදි ඉරේෂා රැගෙන රුවන් ගියේ උස්සන්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකටය. එලෙස ඉරේෂා රැගෙන හෝටලයට ගිය රුවන් ඉරේෂාට කියන්න තියෙනවා කියූ පණිවිඩය කීම පසෙක දමා සිය කාමාශාවන් ඉටුකරගත්තේ ඇගේ අකමැත්ත මතය.
රුවන් අයියාගේ ප්‍රශ්න ටික කතාබහ කර විසඳා ගැනීමට ඊට උපකාර වීමට පැමිණි ඉරේෂාට සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමටය. සිය කාමාශාවන් ඉටුකරගත් රුවන් බෙහෙත් පෙති දෙකක්ද ඉරේෂා අතට දී ගෙදර ගොස් එය බොන ලෙසද පැවැසුවේය. සුන් වූ බලාපොරොත්තු ඇතිව නිවසට ගිය ඉරේෂා මේ බවක් කිසිවෙකුටත් නොපවසා රුවන් අයියා දුන් පෙති දෙකද බී නිදාගත්තාය. අහවරක් නොවූ කාමාශාව නිසාම දින කිහිපයකට පසු යළිත් රුවන් ඉරේෂාට දුරකථන ඇමතුමක් ගෙන
“ඔයාගේ බඩු වගයක් එදා අමතක වෙලා ගිහින් තියෙනවා. මගේ ඔෆිස් එක්ට ඇවිත් අරගෙන යන්න“ යැයි පැවසීය.
එදිනද රුවන්ව විශ්වාස කළ ඉරේෂා අඟුණුකොළපැලැස්ස නගරයේ පිහිටි රුවන්ගේ රක්ෂණ කාර්යාලයට ගියේය. එදින එහි වෙනත් සේවකයෙකුද නොවීය. තමන්ගේ අමතක වෙලා ගිය බව කියූ බඩු ටික රැගෙන ඒමට රුවන්ගේ කාර්යාලයට ගිය ඉරේෂාට එදිනද එහිදී අත්විඳීමට සිදුවුයේ පෙර දින හෝටලයේදී සිදු වු ආකාරයේම අවාසනාවන්ත සිදුවීමටමය. සියල්ල අවසානයේ “අදින් පසු ඔයා එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ“ කියා එතනින් ඉරේෂා පිටත්ව ආයේ දැඩි කම්පනයකින් යුතුවය. ඉරේෂාට අත්විඳීමට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඉරේෂාගේ මවටද දැනගැනීමට ලැබුණේ මේ අතරවාරයේය.
වහා ක්‍රියාත්මක වූ ඉරේෂාගේ මව ඉරේෂාද සමඟින් ගියේ අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයටය. එහිදි ඉරේෂා තමන්ට අත්විඳීමට සිදුවූ සියලු විස්තර පොලිස් පොතේ අකුරක් නෑර සටහන් කරන්නට කටයුතු කළාය. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ අඟුණුකොළපැලැස්ස පොලිසිය සැකකාර රක්ෂණ නියෝජිතයා වූ රුවන් කුමාර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙළේය.
එහිදි සැකකරුට එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ 2017.06.27 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි. නඩු විභාගය ආරම්භයේදිම චූදිත තමන් නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් චූදිතට එරෙහිව නඟා තිබු අධි චෝදනා හතරට අදාළව නඩුව විභාගයට ගැනිණි. එහිදි වසර 12කට පෙර චූදිත විසින් සිදුකළ අපරාධය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපතිවරයා වෙනුවෙන් 2022.08.10 වන දින විවෘත අධිකරණයේ පෙනී සිටි පූර්වගාමී රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා සමත් විය.
ඒ අනුව චූදිතට දඬුවම් නියම කිරීම සඳහා නඩුව 2022.08.24 දින දක්වා කල් තැබුණු අතර චූදිත එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ නියම කෙරිණි.
අදාළ චෝදනාව සඳහා වැරදිකරු වූ චූදිතට දඬුවම් නියම කිරීම සඳහා නඩුව 24 දින විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම අධිකරණයේදී කරුණු දක්වමින් මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට අගතියට පත් දැරිය අවුරුදු 12ක අයකු බවත්, චූදිත 29 හැවිරිදි වියේ පසුවූ අයෙකු බවත්, මෙවැනි කුඩා වයසේ දැරියන් බලාගත යුතු වයසේ පසුවන පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවත්ය. ඒ අනුව මෙවැනි වැරදිවලදී චූදිතයකුට ලබා දෙන දඬුවම දෙස සමාජයද දැඩි ලෙස අවධානයෙන් බලා සිටින බවත්, එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඬුවමක් චූදිතට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
විත්තිකරු වෙනුවෙන්ද පෙනී සිටි නීතිඥවරයා දඬුවම් අඩුකර ගැනීම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙළේය. ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ චූදිතට 1 හා 3 චෝදනාවන් සඳහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර අදාළ චෝදනා දෙක සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරිණි. දඩ නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඬුවමක්ද නියම කෙරිණි. එමෙන්ම 02 හා 04 චෝදනාවන් සඳහා වසර 14 බැගින් වසර 28ක සිර දඬුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සඳහාද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරිණි. දඩ නොගෙවයිනම් වසර 01 බැගින් වසර දෙකක සිර දඬුවමක්ද නියම කෙරිණි.
මීට අමතරව අගතියට පත් දැරිය සඳහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කළ අතර චූදිත එම වන්දි මුදල නොගෙවයිනම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා සහ රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම පැමිණිල්ල මෙහෙයවන ලදි.
(ඉරේෂා සහ රුවන් කුමාර යන නම් මනඃකල්පිතය)