තලංගම පොලිසියේදී යකා නැටූ ආච්චි | සිළුමිණ

තලංගම පොලිසියේදී යකා නැටූ ආච්චි

 

හැඩකාර දඟකාර හුරුබුහුටි තරුණියක වන සමාධි පාසල් ගමන නතර කළේ උසස් අධ්‍යාපනය ලැබීමට එතරම් කැමැත්තක් නොමැති නිසාය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුගේ ආදරණීය නැගණිය වූ ඇය විසි හැවිරිදි වියේ පසු වුයේ මවගේත් පියාගේත් නොමඳ ආදරයද ලබා ගනිමිනි. සමාධිගේ ආච්චි අම්මා සිටියේද ඔවුන් සමඟය. මෙම දියණිය කුඩා කල සිටම හදාවඩා ගැනීමේ වැඩි වගකීම දැරුවේ ඇය විසිනි. ඒ මවට වඩා දරුවන් ළංවෙන්නේ ආච්චි අම්මලාට වීම නිසා විය හැකිය.

බොහෝ තරුණ තරුණියන් මෙන්ම සමාධිටද යෞවනයේ ප්‍රේමයේ රස පහස විඳීමට උවමනාව ඇති වුයේ මේ අතරය. ඇය තරුණයකු සමඟ ඇසුරක් පටන්ගත්තේ කාටත් හොර රහසේ වුවත් එහි ඇති කිසිම වරදක් නොමැත. එහෙත් කාලයත් සමඟ මෙම සම්බන්ධය සමාධිගේ පවුලේ අයට රහසක් කරගැනීමට අසීරු වූයේ ඇගේ දුරකථන සංවාද අක්කලාගේ දෙසවන්වලින් වසන් කිරීමට නොහැකි වූ නිසාය. කෙසේ වුවත් විසිහතර හැවිරිදි වියේ පසු වූ මේ තරුණයාට ඇගේ පවුලේ අය දැක්වූයේ දැඩි අකමැත්තකි. මේ නිසා ඔවුන් සොයා දුන් තරුණයකුට කැමැති වන ලෙස සමාධිට බල කරන්නට වූයේ නිරන්තරයෙනි.

“මම උඹට ආයි කියන්නේ නෑ... ඔය සම්බන්දේ නතර කරල දාපං...“ සමාධිගේ පියා මෙන්ම මවද එකහෙළා මෙම තරුණයාට විරුද්ධත්වය ප්‍රකාශ කළේ ඇයට බැණ වදිමින් හිරිහැර කරන අතරය.

“මොන වධයක්ද මංදා මට කනක් ඇහිල ඉන්න දෙන්නෙම නැද්ද?“ ඇය හඬමින් මවගෙන් විමසා සිටියේ ඔවුන් ගෙනා යෝජනාවට දැඩි සේ අකමැත්ත ප්‍රකාශ කරමිනි.

“උඹ මේකට කැමති වෙන්නම ඕනැ... නැත්තං බලාගන්න පුළුවන් උඹට සිද්ධ වෙන දේ...”

පවුලේ සියලු දෙනා එක පැත්තක් වී සමාධිගේ ආදර කතාවට 'තහංචි' පනවමින් සිදු කරන අරගලය හමුවේ සමාධි අසරණ වූ වාර අනන්තය. ඇය අවසානයේ දැඩි තීරණයකට එළඹියේ සියලු අඩන්තේට්ටම් ඉවසා බැරිම තැනය.

“වෙන කෙනෙක් බඳින්න කියල මට ගෙදරින් බල කරනවා. මේ අපායෙන් මාව බේර ගන්න...“ ඇය පෙම්වතාගෙන් එසේ ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තමාට විසඳුමක් ලබා දෙන ලෙස කියමිනි.

පසුගිය දා හතළිස් දෙහැවිරිදි සමාධිගේ මව තලංගම පොලිසියට පැමිණියේ පැමිණිල්ලක් සිදු කිරීමටය. ඒ තම දියණිය පෙර දින රාත්‍රි පිරිමි ළමයකු සමඟ නිවෙසින් පලා ගොස් ඇති බව පොලිසියට පැමිණිලි කිරීම සඳහාය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මේ පිළිබඳ සාවධානව ඇහුම්කන් දි ඇයට අවවාද කළේ වයස සම්පූර්ණ වූ දියණිය එවැනි තීරණයක් ගැනීමේ කිසිම වරදක් නොමැති බවය. කෙසේ වුවත් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බර්ටි වීරසිංහ හමුවට මේ මව යැවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. මෙම පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වයටම දැනුම් දෙන්නේ පසුගිය 24 දා සවස තුනට තලංගම පොලිසියට පැමිණෙන ලෙසටය.

තරුණ යුවළ පොලිසියට එන්නේ දහවල් 1 .30 ට පමණය. ඒ ඔවුනට විරුද්ධව පැමිණිල්ලක් තිබේදැයි විමසමිනි. හවස තුන වන තුරු එළියේ වාඩිවි සිටන ලෙස ඔවුන්ට පැවසූ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයා සිටියේ ඉදිරි රාජකාරි කටයුතු සිදු කරමිනි. කාලය ක්‍රමයෙන් ගතවෙමින් තිබුණේ කාටත් නොදැනීමය.

සමාධිගේ මව සහ පියාත් ඥාති මාමා කෙනකුත් පොලිසියට ආවේ මේ අතරය.

ඊළඟ හෝරාවේ චිත්‍රපටයක ජවනිකාවක් පොලිසිය තුළ දිග හැරෙන්ට වූයේ විවිධ පැමිණිලි සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස තුෂ්ණීම්භුතව බලා සිටියදිය.

එකවර තරුණ යුවළ වාඩිවී සිටි ස්ථානයට කඩාවැදුණු සමාධිගේ පියා තරුණයාට පහර දීමට පටන්ගත්තේ තම දියණිය පැහැර ගැනීමේ වරද තරුණයා පිට පටවමිනි.

“මේක පොලිසිය... ගෙදර නෙමෙයි...“

එදින රාජකාරි කළ උපසේවා පොලිස් නිලධාරියකු වන කොස්තාපල් 37344 බණ්ඩාර සමාධිගේ පියා ඉවතට ඇද දැමූ අතර මාමා පහර දෙන්නට වූයේ තරුණයාට බැණවදිමිනි. එවර මාමාගෙන් තරුණයා ගලවා ගැනීමට ඉදිරියට පැන්නේ පොලිස් කොස්තාපල් 94027 උෂාන්තය. ඔහු සිටියේ තරුණයාත් මාමාත් අතරය. තරුණයාට පහර දීමට ඊළඟ අවස්ථාව ලැබුණේ සමාධිගේ සහෝදරියන් දෙදෙනාටය. කොණ්ඩය කොටට කැපූ එක් සහෝදරියකගේ පෙනුම පිරිමි ළමයකුගේ පෙනුම හා සමානය.

“මම නේද තෝව පොඩි කාලෙ ඉඳල හදා ගත්තේ. අපේ මූණෙ දැලි ගාල හොඳයි නේද කරපු වැඩේ...” හිමින් සීරුවේ අත් බෑගයේ සඟවාගෙන සිටි පිහියක් අතට ගත් හැට පනිමින් සිටි ආච්චි අම්මා තරුණයා වෙත පැන්නේ යක්ෂ වරම අතට ගත් විලාසයෙනි. උෂාන්තට සිදු වූයේ එක් අතකින් මෙම කාන්තාව අල්ලා අනික් අතින් ඇගෙන් පිහිය උදුරා ගැනීමටය. උෂාන්ත මෙන්ම කොස්තාපල් බණ්ඩාරද තුවාල ලැබුවේ ආච්චි අම්මාගෙන් තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට සිදු කළ සටනේදිය.

හැටතුන් හැවිරිදි මෙම කාන්තාව පිහියද සමඟ අත්අඩංගුවට පත් වෙන්නේ ඒ අයුරිනි. එමෙන්ම පියා මව සහෝදරියන් දෙදෙනා සහ ඥාති මාමාටද සිදු වූයේ තමන් සිදු කළ වරදට දඬුවම් විඳීමටය.

තරුණයා සහ තරුණිය පැමිණ සිටියේ විවාහ සහතිකය ද අතැතිවය. නිසි කල වයස සම්පූර්ණ වූ මෙම යුවළ නීත්‍යානුකූලව විවාහ කටයුතු සිදුකර ඇති බැවින් පොලිසියෙන් පිටව ගියේ තම පවුලේ පිරිස අයුතු ජන රාශියක සාමාජිකයින් වී කලහකාරි ලෙස හැසිරීම සහ පොලිසිය තුළ සාපරාධී බලහත්කාරකමක් සිදු කිරීමේ වරදට පොලිස් කූඩුවේ සුසුම් හෙළන අතරවාරයේය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එස්. ජයමහ, පොලිස් අධිකාරි මාලන් පෙරේරාගේ අධික්ෂණය සහ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බර්ටි වීරසිංහ, සැරයන්වරුන් වන 27265 සමරනායක, 32842 සෙනෙවිරත්න, කොස්තාපල්වරුන් වන 94027 උෂාන්ත, කාන්තා පොලිස් කොස්තාපල් 12384 කෞෂල්‍ය යන නිලධාරීහූ මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

(සමාධි යනු ව්‍යාජ නමකි)

 

Comments