ආසන සංවිධායක සකුන්තලාට රහසේ ආදරය කරලාද? | සිළුමිණ

ආසන සංවිධායක සකුන්තලාට රහසේ ආදරය කරලාද?

 

 

අගෝස්තු මස පළමු වන දින කෑගල්ල නගරය හා අවට ගම්දනව් පුරාම පැතිර ගියේ හොඳ ආරංචියක් නම් නොවේ. ඉන් කියැවුණේ කෑගල්ල නගරයේදි කිසියම් ස්ථානයකදි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. මේ සිද්ධිය ගැන තොරතුරු ලැබුණු මොහොතේම එහි ගිය පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වන්නේ මෙවැනි කතාවකි.

අහංගම විදාන ආරච්චිලාගේ සතුන්තලා වීරසිංහ 38 වන වියේ පසුවූවාය. ඇය අවිවාහක කතකි. කෑගල්ලේ, හබුදුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. පවුලේ වැඩිමලා සකුත්තලා වූ අතර ඇයට බාල මල්ලී කෙනෙකු සහ නංගිලා දෙදනෙකු විය. කෑගල්ල කාර්මික විද්‍යලයට ඇතුළත් වූ සකුත්තලා ඉන් අනතුරුව කෑගල්ල නගර සභාවේ සභිකයකු වූ ලක්ෂ්මන් දිසානායක ළඟ සේවයට එන්නේ 2006 වර්ෂයේ දීය. ඇතැම් අවස්ථාවල මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස ද සකුන්තලා කටයුතු කළාය. ලක්ෂ්මන් දිසානායකගේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතුවල මූල්‍යය කටයුතු පිළිබඳවද රාජකාරි කෙළේ සකුත්තලා විසිනි.

මීට වසර කිහිපයකට පෙර අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ්මන් දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල නගර සභාවට තේරී පත්වූ අතර පසුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති දේශපාලන බල අරගලයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලක්ෂ්මන් දිසානායකට මන්ත්‍රී ධූරය අහිමි විය. එහෙත් පසුගිය කාලේ පැවැති ආණ්ඩුවට විරුද්ධව පැවැති ජන විරෝධතාවලදී කෑගල්ලේ පැවැති සෑම විරෝධතාවකදීම සමගි ජන බලවේගයට නායකත්වය දුන්නේ ලක්ෂ්මන් දිසානායකය. මේ සෑම කටයුත්තකදීම සකුත්තලා ලක්ෂ්මන් දිසානායක වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළාය.

ලක්ෂ්මන් දිසානායක මේ වන විට 62 වන වියේ පසුවෙයි. ඔහුගේ පවුල් ජීවිතයද අවුල් සහගතය. ව්‍යාපාර සහ දේශපාලන කටයුතුවලදී පවුලේ උදවියට වඩා සහයෝගයක් ලැබුණේ සකුත්තලාගෙනි. එම නිසා කාර්යාලයේ වැඩ සඳහා සකුන්තලා පදිංචිව සිටි කෑගල්ල, හබුදුගලට ගොස් ඇය කැඳවාගෙන ඒම පවා ලක්ෂ්මන් දිසානායක සිදු කරන්නේ කලක සිටය. ඇතැම් විට ලක්ෂ්මන්, සක්තුතලාට අමතනු ලැබුවේ 'දුව' යන ආදරණීය නාමයෙනි. එම නිසා ලක්ෂ්මන් දිසානායකගේ දේශපාලන කාර්යාලයට පැමිණෙන ඇතැම් හිතවතුන් සිතා සිටියේ සකුන්තලා ලක්ෂ්මන් දිසානායකගේ දියණියක් බව කියාය.

කාලය මෙසේ ගෙවී යද්දී මීට පෙර යෝජනා කරගත් පරිදි අගෝස්තු මස 27 වන දින ලක්ෂ්මන් දිසානායක, සකුන්තලා, සකුන්තලාගේ මව, මල්ලී, මල්ලීගේ බිරිය, මල්ලීගේ දරුවා සහ චූටි නමින් හඳුන්වනු ලබන පුද්ගලයකු සමඟ ලක්ෂ්මන්ට අයත් ජීප් රථයෙන් කතරගම ප්‍රදේශයට ගියෝය. මෙහිදී වාහනය පදවනු ලැබුවේ ද ලක්ෂ්මන් දිසානායක විසිනි. මේ යන අතරතුරේ සකුන්තලාට කිසිවෙකුගෙන් හදිසියේ දුරකථන ඇමතුමක් ලැබිණි. එහිදී ලක්ෂ්මන් එම දුරකථන ඇමතුම පිළිබඳව සැක සිතී එය ලැබුණේ කාගෙන්දැයි ඇගෙන් විමසන්නේය.

සකුන්තලා පවසන්නේ එය තම පෙම්වතාගෙන් ලැබුණු බවය. ලක්ෂ්මන් එවිට සකුන්තලාගෙන් පෙම්වතා ගැන තොරතුරු විමසුවේය. ඔහු ග්‍රාම නිලධාරීවරයෙකු බව සකුත්තලා පැවසුවාය. මේ වනවිට සකුත්තලා විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත් ලක්ෂ්මන් ඒ පිළිබඳව දැනගනු ලබන්නේ එම ගමන යන අවස්ථාවේ දීය. සැප්තැම්බර් මස 1 වන දින නිවසේ සිට උදෑසන කලුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙන ලක්ෂ්මන් එහිදී පෙර දින එනම් 31 වන දින සකුන්තලා සතුන්ට ආහාර සඳහා මාළු නැති බව පැවසු නිසා මාළු රැගෙනවිත් ශීතකරණයේ තබා පෙරවරු 7.15 ට පමණ සකුතතලා රැගෙන ඒමට ජීප් රථය රැගෙන හබුදුගල ප්‍රදේශයට ගියේය. සකුන්තලා රැගෙන නැවත පෙරවරු 7.50 ට පමණ ලක්ෂ්මන් පක්ෂ කාර්යාලයට පැමිණෙන අතර සකුන්තලා පක්ෂ කාර්යාලයේ ඉහළ මාලයේ තිබුණු කාමරයට ගමන් කළේ වෙනදා මෙනි. ලක්ෂ්මන්ද සුපුරුදු පරිදි පුවත්පතක් බලමින් පහළ පිහිටි පක්ෂ කාර්යාලයට වී සිටියේය.

වෙනදා මෙන් නොව ඉහළ මහලයේ කාමරයට ගිය සකුන්තලා පහළට ඒමට ප්‍රමාද නිසා ලක්ෂ්මන් හදිසියේ එම කාමරයට දෙසට ගමන් කළේය. ඒ සමඟම ලක්ෂ්මන්ට දැකගැනීමට හැකි වූයේ කාමරය තුළ තිබූ ඇඳ මත සකුන්තලා වැටී සිටින ආකාරයයි. ඇගේ දකුණු අත අසල රිවෝල්වරයක් ඔහුට දැකගන්නට ලැබුණේ ඉන් පසුවය.

සිද්ධිය අදහා ගැනීමට නොහැකි වූ ලක්ෂ්මන් කඩිනමින් මෙම සිද්ධිය සකුන්තලාගේ නිවසේ අයට පැවැසීම සඳහා කෑගල්ල උසාවි සංකීර්ණයට පහළින් ඇති මාර්ගයේ ජීප් රථයෙන් ගමන් කෙළේය.

ඒ ගමන අතර සකුන්තලාගේ සහෝරයකු වන නිශාන් වීරසිංහ දරුවා මෝටර් රථයෙන් පෙර පාසලට රැගෙන එමින් සිටියේය. සියඹලාපිටිය මාර්ගයේ හබුදුගලට හැරෙන හංදියේදී මේ පිළිබඳව ලක්ෂ්මන් විසින් නිශාන්ට පැවැසීය.

පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් අනතුරු කෑගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර පොලිස් කණ්ඩායමක් සමඟ එම ස්ථානයට පැමිණෙන්නේ ඒ මොහොතේය. පසුව එම කණ්ඩායම විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ පුද්ගලයන් රැසකගේ ප්‍රකාශ ද සටහන් කරගනිමිනි. ඇඟිලි සලකුණ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරින්ද එහි පැමිණෙන්නේ ඒ සමඟමය.

සිද්ධිය පිළිබඳව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කැරිණි. කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තරංග නායකරත්න පෙරවරු 10.15 ට පමණ එම ස්ථානයට පැමිණියේය. එදින දහවල් 12.10 ට පමණ කෑගල්ල මහසේත්‍රාත් වාසනා නවරත්නද ස්ථානීය පරික්ෂණය සඳහා පැමිණියාය. ඉන් අනතුරුව ඇය නියෝග කෙළේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටය. අවට වෙළෙඳසල්වල සීසීටීවී දර්ශන විමර්ශනය කිරීම ඉන් අනතුරුව සිදුකැරිණි. එම දර්ශනවලින් තහවුරු වී ඇත්තේ එම කාමරයට පිටස්තර කිසිවෙකු පැමිණ නොමැති බවය. එම දර්ශනවල දී විමර්ශන කණ්ඩායම්වලට දැකගැනීමට හැකි වී තිබෙන්නේ ලක්ෂ්මන් දිසානායන කලබලයෙන් කටයුතු කරන ආකාරයකි. ඒ අනුව ලක්ෂ්මන් දිසානායක එදින පෙරවරු 11.10 ට පමණ පොලිසිය විසින් සැකපිට අත්තඩංගුවට ගැනිණි. ඔහු කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ඉන් අනතුරුවය.

සකුන්තලාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තරංග නායකරත්න විසින් සිදු කරන ලදි. එහිදී අනාවරණය වී තිබෙන්නේ වෙඩි වැදීමෙන් ඇගේ වම් පෙණහැල්ලට රුධිරය වහනය වීම නිසා මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව සැකකාර ලක්ෂ්මන් දිසානායක සැප්තැම්බර් මස 2 වන දින කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්. ජී. ආර්. කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි (1) ප්‍රදීප් වීරසේකර, කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කුලතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර, ප්‍රධාන පොලිස් පරික්ෂක එදිරිසිංහ, පොලිස් පරික්ෂක දිසානායක, පොලිස් පරික්ෂක කරුණාතිලක, උප පොලිස් පරික්ෂකවරු වන ප්‍රියලාල්, අනුර කුමාර සහ මහින්ද, සැරයන්වරු වන (18060) නිශ්ශංක සහ (37518) කුමාර,පොලිස් කොස්තාපල්වරු වන (72367) ධනුෂ්ක හා (29116) කපුකොටුව යන නිලධාරිහු විමර්ශන සිදු කරති.

 

 

Comments