සීසීටීවී කැමරාවෙන් හෙළිවුණු බේරුවල රන් හොරා | සිළුමිණ

සීසීටීවී කැමරාවෙන් හෙළිවුණු බේරුවල රන් හොරා

 

“අනේ සර් අම්මට ‘බයිපාස්‘ ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒකට සල්ලි ඕන හින්දමයි මං මේ දේ කළේ...“ බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර ඉදිරියේ මෙලෙස බැගෑපත් වූයේ රන් අබරණ සොරකමක ප්‍රධාන සැකකරුවෙකි. ඒ ඔහු විසින් සිදු කරන ලද සොරකමේ ඵල විපාක විදීමට සිදු වෙන බැවින් එය වළක්වා ගැනීම සඳහාය. මෙම සැකකරු පවසන්නේ ඇත්තක් වුවත් බොරුවක් වුවත් ඔහු සිදු කර ඇති වරද බරපතළය. එසේ නම් ඔහුට නීතියේ සරණක් බලාපොරොත්තු විය නොහැකිය.

ඒ සමහර පුද්ගලයින් වැරදි සිදු කර තමන් නිවැරදිකරුවන් බව තහවුරු කිරීමට ඕනෑතරම් මුසාබස් ගොතා පැවසීම මෝස්තරයක් බවට පත්ව තිබෙන බැවිනි. එසේ නැනත් හොඳින් සිටින මව රෝගියෙකු ලෙස හංවඩු ගැසීමට මේ පුද්ගලයා කටයුතු කළා විය හැකිය. කෙසේ වුවත් ඔහු සිදු කර ඇති වරදට ඔහුට දඩුවම් ලබා දීම කළ යුතුමය.

බේරුවල වැඩි පිරිසක් රන් අබරණ ව්‍යාපාරිකයන්ය. බේරුවල නගරයේ ගාලු පාරට මුහුණලා එකිනෙකට යාබදව රන් අබරණ අලෙවිසැල් දෙකක් පවත්වාගෙන ගියේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසිනි. හැන්දැවට මෙම ව්‍යාපාරික ස්ථාන වසා දමා නිවෙස්වලට යාම ඔවුන්ගේ සිරිතය. බේරුවල නගරයේ මුස්ලිම් ගම්මානයක් වන පැලස් පාක් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම කතාවේ ‘කතා නායකයා‘ විවාහකයෙකු වන අතර පස්දරු පියෙකි. ඔහු පෙදරේරුවෙකු ලෙස රැකියාව සිදුකර දරු පස් දෙනෙකුගේ කුස ගින්දර නිවීමට උත්සාහ කළේ දැඩි වෙහෙසක් දරමින්ය. මත්පැන් පානයට ගිජුකමක් දැක්වු ඔහුට උපයන මුදල ඒ සඳහාවත් ප්‍රමාණ වූයේ නැත.

පසුගිය දිනෙක මේ පුද්ගලයා බේරුවල නගරයට එන්නේ රාත්‍රි 11.30 ට පමණය. මුළු නගරයම නිදි සුව විඳින මොහොතකය. උදේ සිට කඩි ගුලක් ඇවිස්සුනු නගරය මේ වන විට කිසිවෙකු නොමැතිව පාළුවට ගොස් තිබුණත් ඔහුට එය අරුමයක් වුවේද නැත. ඒ මේ නගරය ඔහුට හොඳහැටි හුරු පුරුදු එකක් වන බැවිනි. වසා ඇති ස්වර්ණාභරණ වෙළඳසැල් වෙත උකුසු දෑස යොමු කළ ඔහු වටපිට විපරම් කර බැලුවේ පේන තෙක් මානයේ හෝ කිසිවෙකුත් සිටීදැයි කියාය. සැක හැර එය තහවුරු කරගත් ඔහු ඊළඟට ‘කුරුමානම්‘ ඇල්ලුවේ ඉතා බාරදූර කාර්යකටය. හිමිහිට එක් රන් වෙළඳසැලක වහලයට නැග ගත් ඔහු එහි ඇස්බැස්ටස් ෂීට් එකක් අයින් කර ඇතුළට බැසිමට උත්සාහ කළත් දැකීමට ලැබුණේ වහල දැලකින්ද ආවරණය කර තිබු බවය.

කෙසේ හෝ එය කඩා ගත්තත් තවත් බාධක තිබිණි. උත්සාහ කළොත් නොකළ හැකි දෙයක් නැත. ඔහු ඊළඟට රන් හලේ සිවිලිමද කඩාගෙන ඇතුළට පැන්නේ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුවය.

එහෙත් හිතු තරම් හිත සන්තෝෂ වූවේ නැත. ලාච්චු අවුස්සා රන් බඩු සෙවුවත් එහි තිබුණේ පවුම් දෙකහමාරක පමණ රන් කැබලි ප්‍රමාණයක්, රුපියල් විසිදාහක් පමණ වන සින්තටික් ගල් තොගයක් රිදී මුද්දක් සහ මැණික් ගලක් පමණි. මේ සියල්ලේම වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ විය හැකිය.

මෙතරම් අසීරු ගමනක් පැමිණ අත පිසදා ගැනීමට කැමති වන්නේ කවුද? ඔහු නැවත වහල උඩට නැග බිත්තියෙන් අනෙක් වෙළඳසැලට මාරු වීමට කටයුතු කළේ එහිවත් සැහීමකට පත්විය හැකි යමක් සොයා ගැනීමේ අටියෙනි.

එහි තිබු එල්ලන සිවිලිමද කඩාගෙන පහළට ගිය ඔහු දඩිබිඩි ගා එහි ලාච්චු අවුස්සන්නට වූයේ පමා වීම පසුතැවිල්ලට මුල වන බැවිනි. ඇස් අදහා ගැනීමටත් නොහැකි ලෙස එහි රන් බඩු විශාල ප්‍රමාණයක් තිබුණේ ඒවායේ දිස්නයෙන් වෙළඳසැලම ආලෝකවත් කරමිනි. හැකි ඉක්මනින් සියල්ල පොදි ගසා ගත් ඔහු දඩිබිඩි ගා ආපසු එළියට ආවේ කිසිවෙකුටත් ඇස නොගැසෙන ආකාරයෙනි.

නිවෙසට ගොස් මෙම බඩු පොදියෙන් ටිකක් වතුර බැස යන බටය තුළ සැඟවූවේ පසුව ඒවා පරීක්ෂා කර බැලීමටය. සොරා ගත් සියලුම බඩු එක තැන නොතියා නිවෙසේ තැන තැන සැඟවු ඔහු ඥාතින්ගේ නිවෙස්වලද ඒවා ටික ටික සැඟවීමට කටයුතු කළේ වැඩි ආරක්ෂාව සඳහාය.

පසුදින බේරුවල පොලිසියට පැමිණි වෙළදසැල් හිමිකරුවන් දෙදෙනා මේ සොරකම ගැන පැමිණිලි කෙළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර හමුවේය.

ඔවුන්ගේ කතාවට සාවධානව ඇහුම්කන් දුන් ස්ථානාධිපතිවරයා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් තම නිල කාමරය වෙත කැඳවූවේ මෙහි විමර්ශන කටයුතකු සිදු කළ යුතු ආකාරය ගැන පැහැදිලි කීරීමටය. සොරකම සිදුවී තවම ගතවී ඇත්තේ පැය කීපයක් පමණි. වහාම ක්‍රියාත්මක වුවහොත් සැකකරු අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා වටහාගෙන තිබිණි.

කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දරද මේ ගැන දැනුවත් කිරීමට කටයුතු කළ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මේ ගැන විමර්ශන ආරම්භ කරන ලෙස උපපරීක්ෂක කසුන්ට පැවසුවේ තත්පරයක් හෝ ප්‍රමාද වීම නුසුදුසු බැවිනි.

සැරයන් 51130 ජයසිංහ, 84179 කුමාර සහ 83875 දිසානායක යන කොස්තාපල්වරුන් දෙදෙනාත් එකතු කරගත් උපපොලිස් පරීක්ෂක කසුන් මුලින්ම කළේ අදාළ ස්ථානයේ සිසිටිවි කැමරා පරීක්ෂා කිරීමය. මෙම පුද්ගලයා සොරකම සිදුකරන අයුරු එම කැමරාවේ අපුරුවට සටහන් වී තිබුණ බව සැකකරු දැන සිටියේ නැත. මෙම දර්ශනවල සිටින පුද්ගලයා කවුද යන්න පොලිස් නිලධාරින් තහවුරු කර ගන්නේ සිදු කළ දීර්ඝ විමර්ශනයෙන් අනතුරුවය. මේ සොරකම සිදු කළ සැකකරු ‘පැලස් පාක්‘ ප්‍රදේශයේ පදිංචි තිස් හතර හැවිරිදි පස්දරු පියෙකු බව හඳුනා ගැනීමට එතරම් අපහසු වූයේ නැත. මාලිගාහේන ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් පසුවය. ඒ රන් සොරකම සිදු කර පැය විසිහතරක් ගෙවී යාමටත් පෙරාතුවමය.

සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී වතුර බටය තුළ මෙන්ම තැන තැන සඟවා තිබු රන් බඩු සියල්ලම සොයා ගැනිමට හැකි විය. තව දිනක් හෝ දෙකක් ගත වූවානම් මේ පුද්ගලයා ඒවා විකිණීමෙන් පසුව උණු කිරීම නිසා ලබා ගත හැකි වන්නේ රන් ගුලිය.

මෙහිදී දෙවන වෙළඳසැලේ තිබී කාත්තා මුදු 12ක්, පෙන්ඩන් 135 ක්, ගල් අල්ලන ලද කාන්තා මුදු 21ක්, ගල් අල්ලන ලද කාන්තා මුදු 164 ක් කරාබු ජෝඩු 203 ක්, බේබි මුදු 108 ක්, රිදි මුදු 05 ක් සොයා ගැනීමට හැකි වී තිබිණ. මෙම ගල් අල්ලන ලද මුදුවල ගල්වල ප්‍රමාණය අනුව ඒවා වෙන් කර තිබු අතර සියලුම රන් බඩු පවුම් තිස් දෙකක් පමණ වන අතර වටිනාකම ලක්ෂ විසි අටක් පමණ වන බව අණාවරනය වි තිබේ.

වෙළඳසැල් හිමිකරුවන් කැඳවා ඔවුන් ඉදිරියේදි මෙම භාණ්ඩ මුද්‍රා තබා නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.

 

 

Comments