
පාතාල කල්ලි නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිවාදීන් ඝාතනය සඳහා වෙඩික්කරුවන් ළඟ තබාගෙන සිටින බව රහසක් නොවේ. තමන්ගේ හාම්පුතා දෙන ඕනෑම අභියෝගයක් ඉලක්කයක් ජය ගැනීම සඳහා මේ වෙඩික්කරුවන් සැදී පැහැදී සිටින්නේ ඒ සඳහා විශාල මිල මුදල් කන්දරාවක් ද හාම්පුතාගෙන් තමාට ලැබෙන නිසාය.
මේ හේතුව නිසා හරියටම ඉලක්කයට වෙඩි තැබිය හැකි අති දක්ෂ වෙඩික්කරුවන්ට පාතාල නායකයන් සහ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඇත්තේ ලොකුම ඉල්ලුමකි.
විදේශගතව සිටින පාතාල නායකයන් රැසක් ද මෙරට සිටින සිය වෙඩික්කරුවන් ලවා තමන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කරන්නේ හොඳට සැලැසුම් කිරීමෙන් අනතුරුවය.
එසේ පාතාල නායකයන් ළඟ සිටින වෙඩික්කරුවන් පසුගිය කාලයේ සිදුකරන ලද මිනිස් ඝාතන රැසකි. එසේම එවැනි මිනිස් ඝාතන සිදුකරන ලද වෙඩික්කරුවන් රැසක් ද ආරක්ෂක අංශවල වෙඩි පහරින් මේ වන විට මිය පරලොව ගොස් සිටීම ද සුවිශේෂිය.
ආරක්ෂක අංශවල සුවිශේෂි පුහුණුව ලැබූ එසේම පසුව එම ආරක්ෂක අංශවලින් පලා එන ලද සහ ඉවත්වූ පුද්ගලයින් පසු කලෙක පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වෙඩික්කරුවන් බවට පත්වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබීම ද විශේෂය.
ඩුබායිහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කූප්‍රකට පුද්ගලයකු වන වැලිගම මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ද එවැනි වෙඩික්කරුවන් සෑහෙන පිරිසක් සමඟ වැඩ කරන පුද්ගලයෙකි.
දැනට ඩුබායි පොලිස් සහ ආගමන විගමන නිලධරයන්ගේ අත්අඩංගුවේ පසුවන හරක්කටා පසුගිය කාලසීමාවේදී සිය කුලී වෙඩික්කරුවන් ලවා මෙරටදී සිදුකරන ලද මිනිස් ඝාතන සංඛ්‍යාව 26කි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය, ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවල නිලධාරින් මේ පාතාලයන්ගේ මෙරට සිටින කුලී හේවායන් ගැන විසිහතර පැයේම සිටින්නේ විමසිල්ලෙනි. ඒ තොරතුරක් ලද මොහොතක ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
ඩුබාහිහි අත්අඩංගුවේ පසුවන හරක්කටාගේ ඝාතන සිදුකරන ප්‍රබල වෙඩික්කරුවකු ගැන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් තොරතුරු අනාවරණය කර ගන්නේ පසුගියදාය.
'කදිරා' නමින් හඳුන්වන මේ වෙඩික්කාරයා වැලිගම මිදිගම සිට කොළඹට පැමිණ සිටින බවට විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සොයා ගන්නේ සිදුකරන ලද බුද්ධි තොරතුරු විශ්ලේෂණයකදීය. කදිරා එසේ කොළඹට පැමිණ සිටින්නේ සුළුපටු කාරණයකට නොවන බව දන්නා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ඔහු සිටින තැනකින් කොටුකර ගැනීම පිණිස විමර්ශන ආරම්භ කරන්නේ සීරු මාරුවටය.
කොළඹට පැමිණි 'කදිරා' ඒ වන විට බොරලැස්ගමුව මාලිනී බුලත්සිංහල මාවතේ බෝඩිමක නවාතැන් ගෙන සිටි අතර පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් අදාළ බෝඩිමට ගොස් 'කදිරා' අල්ලා ගන්නේ ඔය අතරය. 'කදිරා' එස් ටී එෆ් බළකාය විසින් අල්ලා ගන්නා ලද බව ඩුබායිහි සිටින හරක්කටා ඒ වන විටත් දැන සිටියේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකාය කදිරාගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරුවලට අනුව 'කදිරා' බොරලැස්ගමුවට පැමිණ ඇත්තේ මීට මාස එකහමාරකට පමණ කලිනි. ඒ ඩුබායිහී වෙසෙන හරක්කටාගේ දැනුම්දීමට අනුවය. බොරලැස්ගමුවේ බෝඩිමක නැවතුන කදිරා ඒ සඳහා මාසයකට රුපියල් හයදහසක් ගෙවා තිබිණි. ඔහු අදාළ බෝඩිම් කාමරය රුපියල් දහඅටදහසක අත්තිකාරම් මුදල් ගෙවා තුන්මසක් සඳහා වෙන්කර ගෙන තිබිණි.
තමන්ගේ හාම්පුතා වන හරක්කටාගෙන් තමන්ට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලැබෙනතුරු ඔහු කර ඇත්තේ හරක්කටාට අයත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමයි.
හරක්කටාගේ නියෝගවලට අවනත වී ඔහු කියන ස්ථානවලට මෝටර් බයිසිකලයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම කදිරාට පැවැරී තිබුණු කාර්ය බවද හෙළිවී තිබේ.
හරක්කටා ඩුබායි හි පොලිස් සහ ආගමන විගමන නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වන තෙක්ම කදිරා සමඟ ඉමෝ තාක්ෂණය ඔස්සේ කතා කර ඇති බවට ද විමර්ශන වලින් හෙළි විය.ෙ
හරක්කටා අත්අඩංගුවට පත්වීමට පෙරදින ද ඔහුගේ දැනුම්දීමට අනුව කදිරා සිය මෝටර් බයිසිකලයෙන් මත්කුඩු තොගයක් රත්මලානට ප්‍රවාහනය කර තිබිණි. තමන් එසේ ගෙනගිය මත්ද්‍රව්‍යවල ප්‍රමාණය හෝ වටිනාකම කදිරා දැන සිටියේ නැත. කදිරාගේ රාජකාරිය වී තිබුණේ හරක්කටාගේ දැනුම්දීමට අනුව හෙරොයින් තොග කිසියම් ස්ථානයකට මෝටර් බයිසිකලයකින් හෝ වෙනත් වාහනයකින් ප්‍රවාහනය කිරීමයි.
සැකකරු සතුව තිබුණු හෙරොයින් ග්‍රෑම් 17ක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබීම ද සුවිශේෂීය.
හරක්කටාගේ උපදෙස්වලට අනුව දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවූ මිනිස් ඝාතනවලට කදිරා සම්බන්ධ දැයි සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
වැඩිදුර විමර්ශන සඳහා කදිරා මාතර විශේෂ පොලිස් ඒකකයට බාරදී තිබේ.
හරක්කටාගේ තවත් ප්‍රබල වෙඩික්කරුවකු වූ 'ජනාවාස හිච්චි මල්ලි' ද ආරක්ෂක අංශවලට කොටුවුණේ පසුගියදාය. හිච්චි මල්ලි පසුගියදා අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලකදී වෙඩි තබා සිදු කළ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බවට විමර්ශනවලදී හෙළිවිය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කරුණාරත්න, සහකාර පොලස් අධිකාරි සාගර කුලසේකර යන නිලධාරින්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකක II හි පොලිස් පරීක්ෂක කුමාර වන්නිආරච්චි ඇතුළු කණ්ඩාමක් විමර්ශන සිදුකරති.