
‘රාජු’ දෙදරු පියෙකි. දිනක් හදිසියේ රෝගාතුර වූ රාජු රෝහල්ගත කරනු ලැබීය. ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය. “අනේ දොස්තර මහත්තයෝ මගේ මහත්තයා පපුව අල්ලාගෙන කෑගැහුවා. ඉස්පිරිතාලෙට අරගෙන එනකොටත් එයා පපුව අල්ලාගෙන කෑ ගහමින් තමයි ආවේ“ යැයි රාජුගේ බිරිය හඬමින් කීවාය.
රාජුගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් පවත්වනු ලැබීය.
රාජුගේ සිරුර අභ්‍යන්තර පරීක්ෂාවේදි ඔහුගේ දෙපාවල විලුඹ ප්‍රදේශයේ තුවාල කිපයක් දක්නට ලැබිණි. ඒ පමණක් නොව රාජුගේ ගෙලෙහි ලණුවක දාරයක් වැනි දෙයක් සටහන්ව තිබිණි. මේ ගැන අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි නිරික්ෂණයට ලක්විය. රාජුගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරයාට සැකයක් ඇතිවිය. මේ මරණය ස්වාභාවික මරණයක් නොවන බවට අධිකරණ වෛද්‍යවරයාට අවබෝධ වීමට වැඩි වෙලාවක් ගත වුයේ නැත.
ඉක්බිති අධිකරණ වෛද්‍යවරයා රාජුගේ බිරියගෙන් ප්‍රශ්න කළේය.
“සර් මම ඇත්ත කියන්නම් අපි දෙන්නා අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මම කඩේට ගිහින් එන ටිකට මහත්තයා ගෙදර බාල්කයක එල්ලී හිටියා. පසුව එයාව වීල් එකක දමාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ආවා“ යැයි අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පාපොච්චාරණය කළාය.
“එහෙනම් කකුල් දෙකේ විළුඹ ප්‍රදේශය තුවාල වුණේ කොහොමදැ“යි අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර රාජුගේ බිරියගෙන් ප්‍රශ්න කළේය.
“මහත්තයා ත්‍රිවිල් එකෙන් එක්කගෙන එනකොට එයාගේ කකුල් දෙක කරත්තයක වැදිලා තුවාල වුණා“ යැයි රාජුගේ බිරිය කීවාය.
මේ කාන්තාව විසින් කරනු ලබන ප්‍රකාශ පරස්පර බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පොලීසිය සමග ගොස් ස්ථානිය පරික්ෂණයක් සිදු කළේය.
“මෙන්න මේ කාමරයේ බාල්කයේ තමයි මහත්තයා එල්ලිලා’ හිටියේ යැයි රාජුගේ බිරිය කීවාය. ඒ අසල පුටුවක්ද තිබිණි. ඉක්බිති අධිකරණ වෛද්‍යවරයා විසින් පරාලයේ සිට බිමට ඇති උස මැන්නේය. එමෙන්ම පුටුව මත සිට පරාලයට ඇති උස මැන්නේය. මෙන්න මේ සාරියෙන් තමයි මහත්තයා එල්ලිලා හිටියේ යැයි බිරිය කීවාය.
එහෙත් රාජුට බිම හිටගෙන හෝ පුටුවක් මත නැගි දෑත් ළංකොට ඉහළට එසවීමෙන් වුවද සාරිය පරාලයේ බැඳීමට නොහැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ නිමනය විය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර රාජුගේ ගෙලෙහි වු ‘දාරය’ අන්වික්ෂයක් යොදාගෙන පරික්ෂා කරනු ලැබිය. ඔහු ගෙල වැළලා ගැනීමට යොදාගත් බව කියන ‘සාරිය’ පරීක්ෂා කිරීමේදී සාරියේ හැඩය, උස සහ ගෙලෙහි ඇති දාරය අනුව මෙම සාරියෙන් රාජු ගෙල වැළලාගෙන නොමැති බව අධිකරණ වෛද්‍යවරයාගේ තීරණය විය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගත් තොරතුර අනුව රාජුගේ මරණය සිදු වී ඇත්තේ ගෙල සිර කිරීමෙන් බවත් එය මිනිමැරුමක් බව අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය. මියගිය පුද්ගලයාගේ පාදවල විළුඹවල වූ තුවාල සිදුවී ඇත්තේ ඔහු මියයාමට පෙර බවද පටකවේද පරීක්ෂාවේදි අනාවරණය විය.
රාජුගේ මරණය මිනීමරුමක් බවට තීන්දු වීමත් සමඟ ඔහුගේ බිරිය පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඉක්බිත රාජුගේ ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.
රාජු විවාහ වූයේ ප්‍රේම සම්බන්ධතාවයකිනි. ඔහුගේ බිරිය ජයලක්ෂමිය. ඇය හැඩකාර යුවතියකි. මේ යුවළ සිඟිති දියණියකගේ මව්පියන්ය. එම සිඟිත්තිය සාරියකින් සැදු තොටිල්ලක දමා එම සාරි පොටේ යම්කිසි ආධාරකයක් රඳවා දරුවා නැළවිමට ලක්ෂමි පුරුදුව සිටියාය.
රාජු රැකියාව වශයෙන් පළතුරු වෙළඳාමේ නිරත විය. මෝදර ප්‍රදේශයේ පෙට්ටි කඩයක් දමාගෙන ඔහු පළතුරු වෙළඳාම් කළේය. මේ අතර රාජුට අලුත් මිතුරකු හඳුනා ගැනීමට හැකිවිය. අපි එම මිතුරාට ‘තංගවේලු’ යැයි කියමු. ටික දිනකින් මේ දෙදෙනා ගජ මිතුරන් බවට පත් වුහ. ‘තංගවේලු’ රාජුගේ නිවසට යන්නට එන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වුයේ ‘තංගවේලු’ සහ රාජුගේ බිරිය අතර අනියම් සම්බන්ධතාවක් ඇතිවීමයි. එහෙත් මේ කිසිවක් රාජු දැන සිටියේ නැත.
එක් දිනක පල්ලියේ තිබු උත්සවයක් නිසා රාජුගේ පළතුරු සියල්ල ටික වේලාවක් ඇතුළත අලෙවි කරගැනීමට හැකිවිය. ඔහු නිවසට පැමිණෙන විට නිවසේ දොර වසා තිබුණි.
රාජු නිවසේ දොර විවෘත කොට නිවසට ඇතුළු විය. නිවස ඇතුළේ සිදුවුණු දේවල් දැකීමෙන් රාජු දැඩි ලෙස කෝපයට පත් විය. තංගවේලු රාජුගේ බිරිය සිප වැළඳ ගනිමින් සිටියේ උන්මත්තකයෙකු ලෙසය.
“රාජු තංගවේලුට ගහන්න ගියා. දරුවා නළවන්න සාරි පොටකින් තොටිල්ලක් හදලා තිබුණා. ඒ සාරිපොට අරගෙන තංගවේලු රාජුගේ බෙල්ලට දැම්මා. මම ඒ සාරිපෝටේ එල්ලි පහතට ඇද්දා.“ රාජුගේ බිරිය පොලිසිය ඉදිරියේ එසේ පාපොච්චාරණයක් කළාය.
“එයා දඟලනකොට එයාගේ කකුල් පුටුවේ වැදිලා දෙපතුල් තුවාල වුණා.“ ඇය කීවාය.
රජුගේ බිරියගේ ප්‍රකාශය මත ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරින් තංගවේලු අත්අඩංගුවට ගන්නේ රාජුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිටය.
(රාජු, ජයලක්ෂ්මි, තංගවේලු යන නම් මනංකල්පිතය)
ගාල්ල කරාපිටිය
ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුරගේ අත්දැකිම ඇසුරෙනි.