රට රස්සාවකට ගියැයි කී වැලිමඩ යසවතීගේ සිරුර පාළු ළිඳේ | සිළුමිණ

රට රස්සාවකට ගියැයි කී වැලිමඩ යසවතීගේ සිරුර පාළු ළිඳේ

 

ඇතැමුන් ඇතැම් අවස්ථාවලදී දුරදිග නොබලා ගනු ලබන තීන්දු තීරණ තමන් පමණක් නොව සෙසු අයද අමාරුවේ වට්ටන අවස්ථා බහුලය. වැලිමඩදී පසුගියදා ඝාතනය කැරුණු යසවතී නමැති කාන්තාවගේ කතාවද එවැන්නකි. මේ ඝාතනය ගැන සැකපිට අත්අඩංගුවට ගැනෙන්නේ මුත්තුසාමි ඉලංගෝවන් නමැති පුද්ගලයෙකි. යසවතීට අකාලයේ මියපරලොව යාමට සිදුවන්නේත් ඉලංගෝවන්ට හිරගෙදර යකඩ කූරු ගණින්නට සිදුවන්නේත් මේ කතාවේ හැටියට මේ දෙදෙනාම දුරදිග නොබලා ගත් තීන්දු තීරණ නිසාය.

මේ ඝාතනය ගැන කතාව පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වැලිමඩ පොලිස් වසම බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයට අයත්ය. වැලිමඩ, කැප්පෙටිපොළ, පුරන්වෙල පදිංචිකාරියක වන ලියනආරච්චිගේ යසවතී 54 හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා මීට වසර 20කට පමණ පෙරදී ඇය අතහැර ගොස් ඇත්තේය. යසවතී මේ වන විට 27 හැවිරිදි සහ 25 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනා උස්මහත් කර තිබුණේ අපමණ වෙහෙස මහන්සියක් දරාය. වත්මනෙහි එම දියණියන් දෙදෙනාම විවාහකය. වැඩිමල් දියණිය කොළඹ පදිංචිව සිටින්නීය. බාල දියණිය විවාහ වී යසවතී සමඟ කැප්පෙටිපොළ නිවෙසේම වෙසෙන්නීය. යසවතී පසුගිය කාලයේ රැකියා සඳහා තෙවරක්ම එතෙර ගොස් තිබුණාය. අවසන් වරට ඇය රට රැකියාවකට ගොස් පැමිණ තිබුණේ මීට වසර දෙකකට පමණ පෙරදියි.

යසවතී මීට මාස දෙකහමාරකට පමණ පෙරදී පැවැති ආර්ථික ප්‍රශ්න නිසා රැකියාවකට යාමට තීන්දු කළාය. ඇයට රැකියාවක් ලැබුණේ වැලිමඩ නගර මධ්‍යයේ පිහිටි ‘ජනතා‘ හෝටලයේ සේවිකාවක ලෙසය.

ඇය රැකියාවට යාමට මාස හතරකට පමණ පෙර එම හෝටලයේම රැකියාවට පැමිණ සිටි මුත්තුසාමි ඉලංගෝවන් 34 හැවිරිදිය. තලවකැලේ පදිංචිකරුවකු වන ඉලංගෝවන් 19 හැවිරිදි පුතෙකුගේ සහ 15 හැවිරිදි දියණියකගේ පියාය. ඔහුගේ බිරිය තේ වත්තක රැකියාව කළාය. කලක් කොළඹ හෝටල් කීපයකසේවය කළ ඉලංගෝවන් ‘කොත්තු බාස්‘ කෙනෙකු ලෙස ජනතා හෝටලයේ රැකියාව කළේය. යසවතීගේ රාජකාරිය වූයේ එළවළු කපා දී ඉලංගෝවන්ට සහාය වීමයි.

දින කීපයක් මෙලෙස ගතවී යද්දී දෙදෙනාටම නොදැනී දෙදෙනා අතරේ පෙම් සබඳතාවක් ගොඩනැඟිණි. ඒ අතර දිනෙක යසවතී ඉලංගෝවන්ට යෝජනාවක් කළාය.

“ඉලංගෝවන් මල්ලි... අපි දෙන්නා මේ කඩෙන් අයින් වෙමු... දෙන්නත් එක්ක හවුලේ වෙන කඩයක් අරගෙන කරමු... අපි දෙන්නට මේ ලැබෙන සොච්චම් පඩිය වගේ නෙවෙයිනේ... ගාණක් හොයාගන්න පුළුවන්...“

එම යෝජනාවට ඉලංගෝවන් එකපයින් කැමැති වූයේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. මීට මාසයකට පමණ පෙරදී ඉලංගෝවන් ජනතා හෝටලයේ හිමිකරුවන්ටද නෙදන්වා ඉන් ඉවත් විය. හෝටලයේ තිබූ ඔහුට අයත් රෙදිපිළිද රැගෙන හැමෝටම හොර රහසේ හෝටලයෙන් පිටත්ව ගියේය. ඔහු එසේ හෝටලයෙන් පිටත්ව ගොස් නතර වූයේ යසවතීගේ කැප්පෙටිපොළ නිවෙසේය.

ඒ වන විට යසවතී නිවෙසේ වෙසෙන සිය දියණියටද ඉලංගෝවන් පිළිබඳ පවසා තිබිණි. “ඉලංගෝවන් දින කීපයක් නිවෙසේ නතර කරගෙන සිට කඩ කාමරයක් කුලියට ගෙන හැකි ඉක්මනින් හෝටලයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව යසවතී දියණියට කීවාය. ඒ සමඟම යසවතීත් ජනතා හෝටලයේ හිමිකරුවන්ට කිසිම දැනුම් දීමකින් තොරව හෝටලයේ සේවයට පැමිණීම නතර කළාය.

මේ දෙදෙනා කිසිම දැනුම් දීමකින් තොරව හෝටලයෙන් ඉවත්වීම එහි හිමිකරුවන්ට මහත් ගැටලුවක් විය. විශේෂයෙන් ‘කොත්තු බාස්‘ රැකියාව කළ ඉලංගෝවන්ගේ ඉවත් වීම හෝටලයේ ආදායම අඩුවීමට බලපෑවේය. ඉකුත් මස අවසන් දිනෙක හෝටල් හිමිකරු ඉලංගෝවන්ගේ බිරියට දුරකථන ඇමැතුමක් ගත්තේය.

“කෝ... ඉලංගෝවන් ඉන්නවද? මිනිහා හෝටලේ කාටවත්ම කියන්නෙත් නැතිව අයින් වෙලා ගිහින්නේ... ඒකා මාර මනුස්සයෙක්නේ...“ යැයි හෝටල් හිමිකරු එලෙස ඉලංගෝවන්ගේ බිරියට දෝෂාරෝපණය කෙළේය.

“අනේ මහත්තයෝ... ඉලංගෝවන් දවස් ගාණකින් ගෙදර ආවේ නෑනේ... මම හිතුවේ තාමත් හෝටලයේ වැඩ ඇති කියලා... මේක මාර වැඩක්නේ මහත්තයෝ... එතකොට මේ මිනිහට මොකද වුණේ?“ බිරිය පෙරළා ජනතා හෝටලයේ හිමිකරුගෙන් එලෙස විමසුවේය.

අනතුරුව බිරිය ජනතා හෝටලයේ අයකුගෙන් දිගින් දිගටම විමසන්නට වූයේ සැමියාට මොකද වුණේ යන්නය. එවිට ඔහු පවසා තිබුණේ ඔහු සමඟ හෝටලයේ සේවය කළ කාන්තාවද තමාට නොදන්වා රැකියාවෙන් ඉවත්වී ඇති බවත් ඇතැම් විටෙක ඉලංගෝවන් එකී කාන්තාවගේ නිවෙසේ නතර වී සිටිනවා විය හැකි බවයි.

ඒ සමඟම ක්‍රියාත්මක වූ ඉලංගෝවන්ගේ බිරිය ඔහු සොයා වැලිමඩට පැමිණියාය. අනතුරුව ඇය යසවතීගේ නිවෙස සොයා එම නිවෙසට ගියාය. ඇය යසවතීගේ නිවෙසට යද්දී ඉලංගෝවන්ද එම නිවෙසේ සිටියේය. ඒ සමඟ යක්ෂාරූඪ වූ ඉලංගෝවන්ගේ බිරිය, ඔහුට දෙස්දෙවොල් තියමින් එතැනින් යන්නට ගියේ ඔහු සමග කෑ දීගයද අවසන් කරන බව කියමිනි. ඇය ඒ සමඟම ගියේ වැලිමඩ පොලිස් ස්ථානයටයි. ඇය පවුල් ආරවුලක් පිළිබඳ පොලිස් පොතේ පැමිණිල්ලක්ද සටහන් කළාය. එම පැමිණිල්ලෙන් ඇය කීවේ ඉලංගෝවන් සමඟ කෑ පවුල් ජීවිතය අවසන් කර තමන් දික්කසාද වන බවත් සැමියට නිවෙසට නොපැමිණෙන ලෙස දැනුම් දෙන ලෙසය.

ඒ අතරේ ඉලංගෝවන් - යසවතී දෙදෙන හෝටලයක් ආරම්භ කිරීමට සැලැසුම් සකස් කළහ. හෝටලය ආරම්භ කිරීමට සූදානම් වූයේ නුවරඑළිය පාරේ, නුගතලාවේ, සාප්පු කඩේ හන්දියේ පිහිටි ‘මීපගේ‘ හෝටලය නමැති ඒ වන විටද වසා දමා තිබූ හෝටලයත් දෙදෙනා එක්ව කුලියට ගනිමිනි. ඊට අත්තිකාරම් මුදල රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල සඳහා යසවතී ළඟ තිබූ රුපියල් ලක්ෂයක්ද ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ගෙවන බවට පොරොන්දුව සහ දිනකට කුලිය ලෙස රුපියල් 2500 ගාණේ ගෙවන බවට එකඟතාව මත දෙදෙනා මේ හෝටලය කුලියට ගෙන තිබිණි.

ඉලංගෝවන් සහ යසවතී එම හෝටලය විවෘත කරන්නේ පසුගිය 4 වැනිදා සුබ මෙහොතිනි. අනතුරුව හෝටලයට අවැසි කළමනා ගෙනඒමටද යසවතී තවත් රුපියල් ලක්ෂයක මුදලක් ණයට ගත්තාය. දෙදෙනා හෝටලය දින කීපයක් කරගෙන ගියත් ඔවුන් සිතූ තරම් ආදායමක් ඉන් නොලැබිණි. ඒ අතරේ නියමිත පරිදි ණය ගෙවා ගැනීමටද නොහැකි නිසා යසවතී සහ ඉලංගෝවන් අතර සුළු සුළු ආරවුල් හට ගැනිණි. ලැබෙන ආදායම මදි හෙයින් හෝටලය පැය 24 පුරා විවෘතව තැබිණි.

පසුගිය අගෝස්තු 20 වැනිදා හෝටලයෙන් නිවෙසට ගිය යසවතී නැවත 21 වැනිදා රාත්‍රී 7ට පමණ හෝටලයට පැමිණියාය. ඒ එන විට ඇය සීතල පෙරවීමට ඇඳ ඇතිරිල්ලක්ද (බෙඩ් ෂීට්) නිවෙසින් රැගෙන ආවාය.

ඒ වන විට කොළඹ පදිංචිව සිටින යසවතීගේ වැඩිමල් දියණියද වැලිමඩ නිවෙසට පැමිණ සිටියාය. පසුගිය අගෝස්තු 22 වැනිදා පෙරවරු 9.30ට පමණ ඇගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ගත් ඉලංගෝවන් ඇයට කතා කළාය.

“අම්මා ගෙදර ආවා පාන්දර 4ට විතර... මම කඩේට බඩු ගේන්න රුපියල් 5000කුත් දුන්නා... ඒත් අම්මා තාම ආවේ නෑනේ...“

ගත් කටටම දියණිය කීවේ මව නිවෙසට නොපැමිණි බවයි. “යසවතී ආයිත් රට යන්න ඕන කියලත් කිව්වා... ඒකට කුරුණෑගල ඒජන්සියකට යන්න ඕනත් කිව්වා... එහෙනම් එහේ ගියාද දන්නේ නෑ...“ කියූ ඉලංගෝවන් කිසියම් ඉඟියක් පාමින් නිහඬ විය. ඒ අතර දියණිය මවගේ ජංගම දුරකථනයට දිගින් දිගටම අමතන්නට වූවාය. ඇය හෝටලයටද පැමිණ අවට විපරම් කර බැලුවාය. මවගේ අතුරුදන් වීම පිළිබඳව 22 වැනිදා සවස් යාමයේ යසවතීගේ වැඩිමල් දියණිය චලනී වැලිමඩ පොලිසියට පැමිණිල්ලක් කළාය.

එම පැමිණිල්ලට ක්‍රියාත්මක වූ වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. ඩබ්ලිව්. හේරත් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද ඒ ගැන දැනුවත් කළේය. අනතුරුව ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවමින් යසවතී ගැන සොයා බැලුවේය. ඒ අනුව 23 වැනිදා පෙරවරුවේ ඉලංගෝවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිණි.

“කඩෙත් ලාභයක් නැති නිසා යසවතී රට ගිහින් සල්ලි ටිකක් එවන්නම් කියන කතාවකුත් කිය කියා හිටියේ සර්... ඒකට කුරුණෑගල ඒජන්සියකට යන කතාවකුත් කිව්වා...“ යැයි ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ කීවේය.

පොලිසිය යසවතීගේ දියණියගෙන්ද ප්‍රකාශයක් ගත්තේය. ඇය එහිදී පොලිසියට අනාවරණය කළේ මව ඇඳ ඇතිරිල්ලක්ද රැගෙන නිවෙසෙන් අවසන් වරට පැමිණි බවයි. “සර්... අම්මා මීට ඉස්සෙල්ලා තුන්පාරක් රට ගිහින් තියෙනවා... ඒ හැම පාරම රට ගියේ වැලිමඩ ඒජන්සියකින්... අම්මා කවදාවත් කුරුණෑගල ඒජන්සියකින් රට ගිහින් නෑ... එහෙම කතාවක් අපට කවමදාකවත් කියලත් නෑ...“ යැයි ඇය පොලිස් නිලධාරින්ට පැවැසුවාය.

එම ප්‍රකාශයත් සමඟ ඉලංගෝවන්ගේ ප්‍රකාශය පිළිබඳ පොලිසියට සැකයක් ඇතිවිය. සාමාන්‍යයෙන් විදෙස් රැකියා යැයි කී සැණින් කුරුණෑගල ප්‍රසිද්ධ වීම නිසා ඉලංගෝවන් පවසන්නේ කටට ආ දෙයක් බව පොලිස් නිලධාරින්ගේ සැකය විය. තවද ඇඳ ඇතිරිල්ල ගැන සොයා බලද්දී එයද හෝටලයේ නොවීය. එය පොලිසියට දැඩි සැකයට භාජනය විය.

“යසවතී සාමාන්‍යයෙන් ගමනක් ගියත් බෙඩ් ෂීට් එක අරන් යන්නෙ නැති බව හෙළිවුණා... ඒ නිසා අපිට මේ පුද්ගලයා ගැන සැකයක් ඇතිවුණා...“ ඒ වැලිමඩ පොලිස් ස්ථානාධිපති විමර්ශන සිදුකළ ආකාරය පිළිබඳ හෙළිකළ ආකාරයයි. ඒ අතරේ හෝටලයට යාබද ගොඩනැඟිල්ලේ හිමිකරුගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය.

“සර්... 22 වැනිදා රෑ නවයට විතර මං යාපනේ බස් එකට මල් වගයක් පටවන්න ආවා... පටවලා ගෙදර යන්න එනකොට ඉලංගෝවන් කඩේ ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියා... ඒ වෙලාවේ පාර අද්දර දිග කොටන් ලොරි දෙකකුත් නතර කරලා ඒ අය නිදාගෙන හිටියේ... ඒ වෙලාවේ මම ඉලංගෝවන්ට කිව්වා, ‘අයියේ දැන් කොහොමද වාහන එහෙම රෑට නතර කරනවද... කෑම ටිකක් එහෙම උයලා දැම්මනම් හොඳයිනේ...‘ කියලා. පස්සේ ඉලංගෝවන් කිව්වා, ‘ඔව් ඒක තමයි... ඒත් මේ උයන්න හිටිය ගෑනු කෙනා උදේ පාන්දර ගියා... මම බඩු ගේන්න සල්ලි වගයකුත් දුන්නා... ගෙදර ගිහිල්ලාත් නෑ... තාම කඩේට ආවෙත් නෑනේ... ඒක නිසා මට තනියම කරන්නත් අමාරුයි... ඒත් මම කොහොමහරි රෑ දවල් දෙකේම කඹේ ඇරලා තියලා ගේම ගහගන්න ඕන... මම හිතන් ඉන්නේ මගේ පුතා ඉන්නවා මිනිහා හරි ගෙන්නගන්නයි... ඒත් ඉන්න තැනක් නෑනේ... අර පිටිපස්සේ තියෙන පාළු ගේ කුලියට ගන්න බැරිද? කියලා මගෙන් ඇහුවා... මං කිව්වා, ‘ඒකනම් දැන් අවුරුදු ගාණක් වහලා... අයිති අය ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ... ගේනම් ගන්න පුළුවන්... හැබැයි ලයිට් වතුර කපලා තියෙන්නේ. වතුරනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ පිටිපස්සේ පරණ ළිඳක්නම් තියෙනවා. ඒක සුද්ද කරලා ගත්තම පාවිච්චි කරන්න පුළුවන්...“ කියලා යැයි ඔහු පොලිසියට කීවේය.

එම ප්‍රකාශයෙන් ඉලංගෝවන් පිළිබඳ සැකයට භාජනය වන බොහෝ දේ හෙළිවූ බව වැලිමඩ පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය. ඒ අතරේ 23 වැනිදා පෙරවරුව වෙද්දී ඉලංගෝවන් විසින් ඒ අවටින් හෝටලයේ වැඩට ගෝලයෙක්ද සොයාගෙන තිබිණි.

ඉලංගෝවන්ගේ සැකකටයුතු හැසිරීම ඔස්සේ පොලිසියේ සැකයට භාජනය වූයේ යසවතී නැවත එම හෝටලයේ කටයුතු සඳහා නැවත සම්බන්ධ නොවන බවට ඉලංගෝවන් සක්සුදක් සේ දන්නා බවටයි. අවට සීසීටීවී කැමරාද පරීක්ෂා කරමින් විමර්ශන සිදුකළ පොලිසිය හෝටලය අසල වාහන සේදුම් ආයතනයක පිහිටි සීසීටීවී කැමරා පරීක්ෂා කළත් ඉලංගෝවන් පවසන වේලාවට යසවතී හෝ කිසිවෙක් හෝටලයෙන් පිටව යන ආකාරයක් දිස් නොවීය.

එවැනි සැක සංකා මත පොලිස් නිලධාරින් 24 වැනිදා දහවලේ ඉලංගෝවන් කුලියට ගැනීමට විමසූ පාළුවට ගිය නිවෙස ඇතුළු වත්තපිටිය පරීක්ෂා කරමින් එහි තිබූ පාළු ළිඳ දැඩි පරීක්ෂාවකට ලක් කළෝය.

සියල්ලෝම මවිතයට පත් කරමින් යසවතී නිවෙසින් රැගෙන ආ ඇඳ ඇතිරිල්ලෙන් ඔතා ඇයගේ මළසිරුර ළිඳෙහි පාවෙමින් තිබියදී පොලිසියට හමු වූයේ එතෙක් අතුරුදන්ව සිටි යසවතීගේ ඉරණම් ගමන අවාසනාවන්ත ලෙස නිම වී ඇති ආකාරයක් දිස් කරමිනි.

ඒ සමඟම ඒ වන විට කිහිප වරක්ම පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන සිටි ඉලංගෝවන්ගෙන් නැවත ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ යසවතීගේ මරණය පිළිබඳ ඇතිවූ සැකය නිසාය. අනතුරුව ඉලංගෝවන්ට තේරුම් යන්නේ තමාට පොලිසියෙන් ගැලවීමක් නොමැති වගටය. ඔහු ඒ සමඟම පොලිසියට දීර්ඝ පාපෝච්චාරණයක්ද කෙළේය.

“සර් මං තමයි පසුගිය 22 වැනිදා පාන්දර 4ට විතර හෝටලයේදී යසවතී මැරුවේ... මට ගෙදර ප්‍රශ්න... කඩේ ආදායම් නැති එකයි එක්ක මගේ ඔළුව අවුල් වෙලයි තිබුණේ...“ ඉලංගෝවන් එලෙස පොලිසියට කීවේය.

ඒ අනුව ඔහු යසවතී ඝාතනය කිරීමට හේතුපාදක වූ කතාව ඇතුළු ඇය ඝාතනය කරමින් පසුව කළ කී දෑ අකුරක් නෑර පොලිසියට පාපෝච්චාරය කළේය.

ඉලංගෝවන් සිය පවුලේ අයගෙන්ද වෙන්ව යසවතී සමඟ දින කීපයක් හෝටලය කරගෙන ගියේය. මේ අතර ඉලංගෝවන්ගේ 19 හැවිරිදි පුත්‍රයා සිය මව සමඟ අමනාපයෙන් නිවෙසින් පැන ගොස් ඇති බව ඔහුට සැලවිණි. ඉලංගෝවන්ගේ 15 හැවිරිදි දියණියද නිතර ඔහුට දුරකථන ඇමැතුම් ගත්තාය. එහෙත් ඔහු ඊට පිළිතුරු නුදුන්නේය. ඉකුත් අගෝස්තු 21 වැනිදා රාත්‍රියේද දියණිය පියාට දුරකථන ඇමැතුම් හතඅටක්ම ගෙන තිබිණි.

22 වැනිදා අලුයම 4ට පමණ ඉලංගෝවන් සහ යසවතී හෝටලය අස්පස් කරමින් සිටියහ. ඒ මොහොතේ ඉලංගෝවන් යසවතීව ඇමැතුවේය.

“මට මගේ දුව බලන්නේ නැතිව ඉන්න බෑ... මට දුව බලන්න යන්න ඕනේ...“ ඊට යසවතී දැක්වූයේ දැඩි විරෝධයකි.

“උඹ මාසයක් මාත් එක්ක ඉඳලා... දැන් ආයිත් ගෑනි ගාවට යන්නද හදන්නේ“ ඇය ඉලංගෝවන්ගෙන් තදින් ඇසුවාය. මේ සිද්ධිය නිසා දෙදෙනා අතර මහ පාන්දර ගැටුමකට මුල පිරිණි. එහිදී ඉලංගෝවන්ද අසභ්‍ය වචන කියමින් යසවතීට බැන වැදුණාය. ඒ සමඟ ඇය අසල තිබූ කොස්ස ගෙන ඉලංගෝවන්ට පහර දෙන්නට වූවාය.

යසවතීගේ කොසු පහරින් මරාවේශ වූ ඉලංගෝවන්, යසවතීට පහර දෙමින් ඇය බිම දමා කෙස්වැටියෙන් අල්ලා හිස සිමෙන්ති පොළොවේ ගසන්නට වූයේ සිත්-පිත් නැත්තෙකු විලසිනි.

එසේ පහර දීමෙන් නොනැවතුණු ඉලංගෝවන් ඇගේ ගෙලද පාගා දැමීය. ඒ සමඟම ඇගේ හිසෙන් ලේ ගලන්නට වීමත් සමඟ ඔහු හෝටලයේ මේසයකට දමා තිබූ රෙද්දක් ගෙන ඇගේ හිසේ ගැට ගැසීය. ඊට උඩින් ෂොපින් උරයක්ද දැම්මේය. ඉලංගෝවන්ට පසුව ඒත්තු ගොස් තිබුණේ යසවතී මියගොස් ඇති බවයි.

අනතුරුව යසවතී නිවෙසින් ගෙන ආ ඇඳඇතිරිල්ල ගත් ඉලංගෝවන්, ඇගේ සිරුර එම රෙද්දෙන් ඔතා හෝටලයේ යට තට්ටුවේ තිබූ බේකරියකට පාවිච්චි කළ විශාල අවන් එක තුළට ගෙන ගොස් දැමුවේය. සිරුර අවන් එකට දා පැමිණි ඉලංගෝවන්, යසවතීගේ ජංගම දුරකථනයත්, අත්බෑගයත් අවන් එක තුළට දමා සුපුරුදු ලෙස හෝටලය කරගෙන ගියේය.

“සර්... ඊට පස්සේ තමයි මං බොරුවක් කියලා යසවතීගේ දුවට කෝල් කළේ... එදා හවස එයා පොලිසි ගියා...“ යසවතී ඝාතනයෙන් පසු ඇගේ සිරුර 22 වැනිදා රාත්‍රිය දක්වා තිබී ඇත්තේ හෝටලයේ අවන් එක තුළයි. ඉලංගෝවන්ට යාබද පාළු නිවෙස සහ ළිඳ පිළිබඳව අසල්වැසියාගෙන් සැලවීමත් සමඟ ඔහු 23 වැනිදා අලුයම එකට පමණ එම ළිඳ බැලීමට ගියේය. අනතුරුව ඔහු ඇඳ ඇතිරිල්ලෙන් ඔතන ලද යසවතීගේ මළසිරුර එදින අලුයම 4ට පමණ රැගෙන ගොස් සිරුර හමුවූ ළිඳට දැම්මේය. ඔහුට කිසිවකුට නොපෙනෙන ආකාරයෙන් මළසිරුර රැගෙන යාමට මහඟු රුකුලක් වී ඇත්තේ මාර්ගය අද්දර නතර කර තිබූ විශාල කොටන් ලොරි දෙකයි. සිරුර ළිඳට දමා පැමිණි ඉලංගෝවන් යසවතීගේ අත්බෑගය සහ ජංගම දුරකථනය හෝටලය ඉදිරිපිට කොන්ක්‍රිට් කාණුවට දමා ගිනි තැබුවේය. පිලිස්සි ඉතිරි වූ ජංගම දුරකථනයේ සහ අත්බෑගයේ කොටස් අසල බෝක්කුවක් යටට විසිකර තිබියදී ඉලංගෝවන්ගේ ප්‍රකාශ මත පොලිසිය සොයා ගැනිණි.

අනියම් ඇසුරක් නිසා මනුෂ්‍ය ජීවිතයක් අකාලයේ විනාශ වූයේ එසේය.

බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහගේ උපදෙස් මත බණ්ඩාරවෙල දිස්ත්‍රික් 2 බාර පොලිස් අධිකාරි ඩී.එච්.බී. කලණසිරිගේ අධීක්ෂණයෙන් වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත්ගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කුමාර ඇතුළු සැරයන් 18168 නන්දසේන, කොස්තාපල්වරුන් වන 79751 අසංක, 69182 නිශ්ශංක සහ 99783 අසාද් යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

 

 

පසුබිම් වාර්තා සහ ඡායාරූප - 

කේ. ආර්. ආර්. රාජමන්ත්‍රී - වැලිමඩ සමූහ

Comments