චේන් කැඩූ මාලබේ පොලිස් හොරු | සිළුමිණ

චේන් කැඩූ මාලබේ පොලිස් හොරු

 

‘‘ළමයි දෙන්න මොකද දන්නෙ නෑ තාම පරක්කු" පාරට එබිකම් කරමින් වසන්ති එසේ පැවසුවේ අවුරුදු අට හා නමය වයස්වල පසුවෙන සිය දරුවන් දෙදෙනා අසල වෙළඳසැලට ගොස් බොහෝ වෙලාවක් ගතවී ඇති ඇතත් ඔවුන් නොපැමිණි නිසාය.

"මං පාරට ගිහිල්ල බලල එන්නං අක්කේ" යැයි කියූ වසන්තිගේ මල්ලි ලහිරු පාරට යන්නේ කුඩා දරු දෙදෙනාගේ ප්‍රමාදය ගැන සොයා බැලීම සඳහාය.

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලහිරුගේ වැඩිමල් සහෝදරිය පදිංචිව සිටින්නේ කොට්ටාව විද්‍යාල හන්දියේ ගල්පොත්ත පාරේය. ඔහු කොට්ටාවට එන්නේ සහෝදරියගේ දුකසැප විමසා බලා ගමට යාම සඳහා එදින සවස පහට පමණය.

වලස්මුල්ල, වීරකැටිය පාර, කොත්ගුලාන නිවෙසේ යකඩ වැඩපළක් පවත්වාගෙන යන ලහිරු තවමත් අවුරුදු විසි දෙකක් තරම් වයසැති ගැටවර වියේ පසුවෙන්නෙකි. ඔහුට තරමක ශ්‍රවණ ආබාධයක් තිබුණත් කතා කිරීමේ අපහසුතාවකින් පෙළෙන්නෙකු නොවේ. වසන්ති අක්කාට එසේ පැවසු ලහිරු නිවෙසේ සිට සුළු දුරක් ගොස් ගල්පොත්ත පාරේ නතර වී බලා සිටියේ අක්කාගේ දරුවන් දෙදෙනා ආපසු එන තුරුය. එවිට වේලාව රාත්‍රි 9. 45 ට පමණ වී තිබු බව ඔහුට මතකය. කහ පාට ත්‍රිරෝද රථයක් පැමිණ ඔහු අසල නතර කළේ අත තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයෙන් ඔහු ඇමතුමක් ලබා ගනිමින් සිටින අතරවාරයේය.

"උඹ ළඟ කුඩුද ගංජද තියෙන්නෙ?" ත්‍රිරෝද රථයේ සිටි පිරිසෙන් එකෙකු ඇසුවේ ලහිරුගේ කමිස කරෙන් අල්ලාගෙනය. ඔහු විමතියෙන් එදෙස බලා අඩියක් පස්සට ගැනීමට උත්සාහ කළත් මේ පිරිසගෙන් ගැලවීමට කිසිම මඟක් ඔහුට තිබුණේ නැත. "උඹ අර .. ගෙදරට ආව එකෙක් නේද ?"

ඔවුන් ඒ අවස්ථාවේදි ලහිරුගෙන් විමසන්නේ ඒ ප්‍රදේශයේ ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථානයක් පිළිබඳවය. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වන ලහිරු ඔවුන්ගෙන් ගැලවීමට උත්සාහ කළත් පළක් නොමැති තැන ඔහු කෑගැසීමට සැරසුණේ කාගෙන් හෝ පිහිටක් බලාපොරෙත්තුවෙනි.

"අපි පොලිසියෙන්" කෑගහන්න විතරක් ලෑස්තිවෙන්න එපා. “මෙහෙ දීපං උඹේ ෆෝන් එක" යැයි කියමින් ලහිරු අල්ලාගෙන ත්‍රීරෝද රථයට ඔබාගත් පිරිස වේගයෙන් ඉගිල ගියේ මාලඹේ දෙසටය. ත්‍රිරෝද රථයේ පිටුපස සිටි තිදෙනා ලහිරුට පහර දෙමින් ඔහුගේ දෑතට අත්විලංගු දැම්මේ කිසිම අනුකම්පාවකින් තොරවය. "මේ ගැන කට හොල්ලල තිබුණොත් තෝව මරනවා. හොඳට මතක තියා ගනිං ඒක"

ඉන්පසු ඔවුන් ලහිරුගේ කරබැඳි රන්මාලයද කඩාගෙන ලහිරුව ත්‍රිරෝද රථයෙන් බිමට තල්ලු කර දමා පලා යන්නේ පවනට බඳු වේගයෙනි.

"අක්කේ... අක්කේ... අනේ අක්කේ ...“ යනුවෙන් ලහිරු මල්ලි විලාප දෙන හඬ ඇසී පාරට දුවගෙන පැමිණි වසන්ති අක්කා දකින්නේ ත්‍රිරෝද රථයක් වේගයෙන් යන අයුරුය. එහෙත් ලහිරු මල්ලි පෙනෙන්නට නොසිටියේය. ලහිරු මල්ලි, ළමයි සෙවීමට කඩයට ගොස් ඇතැයි සිතු වසන්ති අක්කා නිවෙසට පැමිණ ටික වේලාවක් සිට නැවත යන්නේ ලහිරු මල්ලි මෙන්ම දරු දෙදෙනාද ආපසු නොපැමිණීම නිසා දෙගිඩියාවෙනි.

මීටර් සියක පමණ දුරක් ඉදිරියට ගිය ඇගේ ඉදිරියට එන්නේ දරු දෙදෙනාය. එහෙත් ලහිරු මල්ලි නැත.

"කෝ ළමයිනේ මාමා?" ඇය දරුවන්ගෙන් එලෙස විමසූ විට ඔවුන් පවසන්නේ මාමා නොදුටු බවය. මල්ලිගේ කෑගැසීමත් ඔහු නොමැති වීමත් අතර යම්කිසි සම්බන්ධයක් ඇති බව අක්කාට වැටහෙන්නේ එවිටය. මේ ප්‍රදේශයට ආගන්තුකයෙකු වූ මල්ලිට යම්කිසි කරදරයක් සිදුවී ඇතැයි සිතූ වසන්ති අක්කා මල්ලී සොයමින් තවත් ඉදිරියට යන්නේ දරු දෙන්නාද අතින් අල්ලාගෙනය.

"මොකද මල්ලියේ වුණේ?" ඇය ඉදිරියට හඬමින් පැමිණෙන්නේ ලහිරු මල්ලිය.

"අනේ අක්කෙ පොලිස්කාරයො හතරදෙනෙක් මාව ත්‍රිවිල් එකේ දාගෙන අරන් ගිහින් මට ගහලා මාලේ කඩා ගත්තා. මට මාංචුත් දාල ෆෝන් එකත් උදුර ගත්තා. කාටවත් කියල තිබ්බොත් මරනවා කියලත් කිව්වා"

හොඳටම බය වී සිටි ලහිරු මල්ලි අක්කාට මේ සිද්ධිය විස්තර කරන්නේ ගොත ගසමිනි. පසුදින උදේ අක්කා, මල්ලී ද සමඟ කොට්ටාව පොලිසියට පැමිණ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි ඉදිරියේ පෙනී සිටින්නේ මේ 'අවනඩුව' පිළිබඳ දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමටය.

මේ කතාවට සාවධානව ඇහුම්කන් දුන් ස්ථානාධිපතිවරයා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක සුරංගලාල් තමා වෙත කැඳවා මෙහි විමර්ශන කටයුතු වහාම ආරම්භ කරන ලෙස පැවසුවේ උසස් නිලධාරින්වද දැනුවත් කරන අතරය.

උපපොලිස් පරීක්ෂක සුරංගලාල් මුලින්ම කරන්නේ සිද්ධිය වු මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමයි. එහිදි අනාවරණය වුණේ අදාළ ත්‍රිරෝද රථය මාලඹේ දෙසට ගමන් කර ඇති බවය. එමෙන්ම බුද්ධි නිලධාරියෙකු හඳුනාගෙන ඇත්තේ මෙම ත්‍රිරෝද රථයේ පැමිණි සිවුදෙනා මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරින් බවය.

ඔවුන් සිද්ධිය වු දින මේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවත්ය. කොට්ටාව පොලිසියට ඔවුන් එන්නේ මේ පිළිබඳ සිසිටිවි කැමරා දත්ත ඔස්සේ විමර්ශනය කර ඔවුන් හඳුනාගෙන ඇති බවට සැලවීමෙන් පසුවය. නිකංම්ම නොවේ කොල්ලකන ලද 'බඩු'ද අතැතිවය. ඒ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුය. ඉන් එක් කොස්තාපල්වරයෙකු පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කරන අයෙකි.

"මේ බඩු කොහොමද තමුන්ල අතට ආවේ?" සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වූවේ මේ අනුවය.

"අපි වැටලිමකට ආවා. ඒ වෙලාවෙ ඔය කියන හාදය පාර අයිනෙ ඉඳල අපිව දැක්කම ඇඹරෙන්න ගත්තා. සැක හිතිල සර්ච් කරන කොට පැනල දුවන්න හැදුවා. අල්ලගන්න පොර බදනකොට තමයි මාලෙ කැඩිල අතට ආවෙ. ෆෝන් එක බිම වැටිල තිබුණා. සැකකාරයා පැනල ගියා."

තරුණයාගේ රන්මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනය පොලිස් සැරයන්වරයා සතු වුයේ කෙසේදැයි යන පැනයට ඔවුන් පිළිතුරු බැන්දේ ඒ අයුරිනි.

"මේ බඩු අපි එහෙ ඉදිරිපත් කළා." සැකකරුවෙකු නොමැතිව ඔහුගේ දේපළ පිළිබඳ පමණක් පොලිස් පොතේ සටහන් තැබීමට කිසිම ක්‍රමවේදයක් නොමැති බැවින් විමර්ශන සිදු කරන උපපොලිස් පරික්ෂකවරයාගේ මුහුණට සිනාවක් නැඟිණි. මේ සිද්ධිය වී ඇත්තේ කොට්ටාව පොලිස් බල ප්‍රදේශය තුළය. එසේනම් ඒ පිළිබඳව කොට්ටාව පොලිසියට දැනුම් දි එම දේපළ බාර දිය යුත්තේද කොට්ටාව පොලිසිය වෙතය. නමුත් මෙහිදි එවැන්නක් සිදු වී නොමැත.

සිද්ධිය වන්නේ 20 දාය. පසුදින උදේ ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන සිදු කරන විට මෙම සිව්දෙනා කොට්ටාව පොලිසියට එන්නේ ඊට පසු දිනය. එසේනම් නීතිය දන්නා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින් කටයුතු කරන ආකාරය ගැන කොට්ටාව පොලිසියේ උපපොලිස් පරික්ෂකවරයාට ඇති වූයේ විශාල සැකයක් මෙන්ම කනගාටුවකි. මොවුන් ගමන් කළ ත්‍රිරෝද රථයද පැමිණි පිරිසේ කොස්තාපල්වරයෙකුට අයත් එකකි. එම නිලධාරියාගේ නිල ඇඳුම හා සපත්තු හමුවන්නේ එම ත්‍රිරෝද රථය පරීක්ෂා කරන විටය.

සිවුදෙනාම මෙම කොල්ලය සඳහා පැමිණ ඇත්තේ සිවිල් වැසියන් ලෙසටය. මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ ඒ අනුවය. ඒ පිළිබඳ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එස්. ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි රොහාන් පුෂ්පකුමාරගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් පැවැත්වෙන අතර අදාළ සැකකරුවන් වැඩ තහනමට ලක්කිරීමටද කටයුතු කර තිබේ. මෙහි ප්‍රධාන සැකකරු උහන, ගලහිටියාව පදිංචි 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වන අතර දෙවන සැකකරු වන්නේ පන්නිපිටිය, හිරිපිටිය පදිංචි 40 හැවිරිදි කොස්තාපල්වරයෙකි. මෙම කොල්ලය සඳහා පැමිණි ත්‍රිරෝද රථයේ හිමිකරු වන්නේ ඔහුය.

තෙවැන්නා වලල්ලාවිට, මාකලන්දුව පදිංචි කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මාලඹේ පොලිසියට සේවයට පැමිණ ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. සිවුවැනි සැකකරු පොලිස් විශේෂ කාර්යංශයට අනුයුක්තව මාලඹේ පොලිසියට අනුයුක්තව වසර තුනක පමණ කාලයක සිට සේවයට එක්වූ කොස්තාපල්වරයෙකි.

මෙම සැකකරුවන් සිවුදෙනා පසුගිය 23 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය විසින් කොට්ටාව පොලිසියට නියෝග කළාය.

Comments