
“මේ මගේ පුතා. මෙයාගේ තාත්ත ඉන්නේ රට. මමත් හිටියෙ සෞදියෙ තමයි...“ කටුනායක ගුවන් තොටුපලේ දී හමු වු ‘සුජාතා‘ තොරතෝංචියක් නැතුව එසේ කියවන විට ‘සාගර‘ද ඊට පිළිතුරු බැන්දේ හිතවත්කමක් ඇති කර ගැනීමට කෙනෙකු හමු විම නිසා ඇති වු ප්‍රීතියෙනි. වසර එකොළහක් සෞදියේ සේවය කළ සාගර වරින්වර මෙරටට පැමිණීමට කටයුතු කළ අතර මෙවර පැමිණියේ වසරකට පසුවය.
දකුණු කළුතර, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු පසු වුයේ කලකින් නොදුටු තමන්ගේ දරු තිදෙනා දැකබලා ගැනීමේ ආශාවෙන්ය. ඒ ඔවුන් තමා නිවෙසට එනතුරු ඇඟිලි ගනිමින් මඟ බලා සිටින බව දන්නා නිසාය. තමන්ගේ රැකියාව සහ තමන් එරටදී සිදුකළ සේවය පිළිබඳ සාගර සමඟ බොහෝ දේ කතා කළ සුජාතා කෙසේ හෝ විනාඩි කිහිපයක් ඇතුළත සාගර සමඟ කුළුපග වුයේ යම් තරමක හිතවත්කමක්ද ගොඩනගා ගනිමිනි.
“අයියා දැන් යන්නෙ කොහාටද...“ ගමට යාමට කුලි රථයක් කතා කරගත් ‘සාගර‘ට ළංවී සුජාතා එසේ විමසුවේ පිළිසරණක් බලාපොරොත්තුවෙන් බව සාගරට වටහා ගැනීමට අපහසු නොවීය.
“නංගි... මං යන්නෙ නං කළුතරට...“ “අනේ එහෙනං මාවත් එක්ක යනවද ? මාත් යන්නෙ ඒ පැත්තට තමයි...“ ඇය ඔහු අසලට පැමිණ එසේ විමසා සිටියේ සාගර ගමට යන එම කුලි ත්‍රීරෝද රථයේ තමාටත් ඉඩක් හදා ගැනීම සඳහාය. කවුරුන් වුවත් දරුවෙකු සමඟ සිටින මවක නිසා සාගරද සුජාතාගේ ඉල්ලීමට පිටුපෑවේ නැත. ආගිය තොරතුරු එසේ කතා කරමින් ඔවුන් කළුතර නගරයටද සේන්දු වූයේ පැය කීපයක ගමනකින් පසුවය.
“පුතාට හොඳටම බඩගිනි ඇති. මං කඩේකට ගිහින් මොනවහරි අරන් එන්නං. අයියා චුට්ට්ක් මෙයාව බලා ගන්නවද?“
කළුතර ඔරලෝසු කණුව අසල ‘කලර් ලයිට්‘ දැල්වෙද්දී නතර කළ ත්‍රීරෝද රථයෙන් ඇය බැස ගියේ දරුවාට චොකලට් එකක් සහ සිසිල් බිම බෝතලයක් රැගෙන ඒමටය. තත්පර විනාඩි වි විනාඩි පැය වෙන තුරු බලා සිටියත් ඇය එන පාටක් පෙනෙන්නට නැත. සාගරගේ ඉහ මොල රත් වුයේ එවිටය. අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා ඔහු ළඟය. කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනිමට නොහැකිව සාගර දරුවාද රැගෙන නිවෙසට ගියේ විශාල බරක්ද හිස මත දරාගෙනය. සාගරගේ බිරිය සහ දරුවන් පුදුම වූයේ ආගන්තුක දරුවා දැකීමෙන් පසුවය. ඔවුන් විමසු ප්‍රශ්නවලට සාගර ළඟ පිළිතුරු නොවිය. රෑ එළිවෙන තුරු ඔහු සිටියේ නිදි නොමැතිවය. අහල පහල හැකර කටවල් වසා දමන්නේ කෙලෙස දැයි ඔහුට සිතා ගත නොහැක. කාගේ කවුදැයි කිසිදු තොරතුරක් නොදන්නා කාන්තාවකගෙන් ලැබුණ නොදරුවා ආපසු බාර දෙන්නේ කෙසේදැයි සාගර දසඅතේ කල්පනා කළේ කරගත් මෝඩකම ගැන පසුතැවෙමිනි. අනුකම්පාව භුමිකම්පාවක් වුයේ එලෙසිනි.
පසුදින ඔහු දරුවා රැගෙන දකුණු කළුතර පොලිසියට පැමිණියේ ඥාති කාන්තාවක්ද සමඟින්ය. ගුවන් තොටුපලේදි හමු වු මේ නන්නාඳුනන කාන්තාව තමාට දරුවෙකු බාරදී අතුරුදන්ව ගිය ආකාරය සාගර පොලීසියට පවසා සිටියේ සියල්ලන් විමතියෙන් බලා සිටියදිය. දරුවාට කිසිවක් කතා කිරීමට නොහැකි නිසා මේ පුද්ගලයා කියන්නේ ඇත්තක්මදැයි ඉඟියකින් හෝ දැනගැනීමට නොහැකි වූයෙන් පොලිසිය පත්වුයේද දැඩි අපහසුතාවකටය.
කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.කේ. කපිල ප්‍රේමදාස මේ පිළිබඳ දැනුම්වත් කළ කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරික්ෂක එච්. කේ. සුනෙත් ශාන්ත කුමාර ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා එම්. දිස්නා ප්‍රියන්තිට මේ පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු බාර කළේ උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මතය. පොලිසිය මුලින්ම කළේ අධිකරණ නියෝගයක් ලබාගෙන අවුරුදු දෙකක් වයසැති දරු පැටියා පාණදුර ප්‍රජාපතී ළමා නිවාසයට බාර දීමය. ඒ මව හෝ පියා අහිමි ඔහුට නිසි රැකවරණයක් ඇවැසි නිසාය. මෙහි විමර්ශන කටයුතු බාරදූරය. මෙම කාන්තාව පිළිබඳ කිසිම නිශ්චිත තොරතුරක් පැමිණිලිකරු දැන සිටියේ නැත. ඔහු සිතා සිටියේ ඇය කළුතර ප්‍රදේශයේ කෙනෙකු කියාය. මැදපෙරදිග සිට මෙම සිද්ධිය වූ දිනයේ ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවෙසට පැමිණ ඇති බවට පුද්ගලික ඔත්තුකරුවෙකු මගින් දිස්නා ප්‍රියන්තිට දැන ගැනිමට ලැබෙන්නේ මේ උභතෝකෝටිකය පිළිබඳ දිර්ඝ විමර්ශනයක නියැළි සිටින අතරතුරය. ඒ පසුදින රාත්‍රියේය.
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත ඒ ගැන දැනුම්වත් කළ ඇය කොස්තාපල්වරියන් වන 7870 සදමාලි, 10277 ජයමිණි, කොස්තාපල්වරුන් වන 97603 මධූෂාන්, 101698 ජයසිංහ සමඟ කොස්තාපල් රියදුරු 98994 මධුෂාන් සමඟ එවෙලේම ගියේ ගාල්ලටය. කළුතර සිට කිලෝමීටර් 75ක් පමණ දුර ගෙවා ඉතා දුෂ්කර මාර්ගයක කටුපොල් වගාවෙන් වැසීගිය අතුරු මාර්ග ඔස්සේ මෙම කණ්ඩායම මඟ තොරතුරු විමසමින් ගාල්ලේ, උඩුගම, නාකියාදෙනියේ අදාළ නිවෙස වෙත ළඟා වූයේ අලුයම් කාලයේදීය.
ඉතා කුඩා නිවෙසක් වූ එහි සිටි හතළිස් හතර හැවිරිදි ගෙහිමි කතගෙන් පොලිස් නිලධාරින් තොරතුරු විමසීමට කටයුතු කළේ ඇය අන්දමන්දව සිටියදීය. අවුරුදු 17, 15, 12 වයස්වල පසු වෙන පිරිමි දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඇය මැදපෙරදිග සිට පැමිණ ඇත්තේ ඊට පෙර දින බව එහිදි තහවුරු කර ගැනීමට හැකි වු අතර ඒ තොරතුරු සියල්ල නිවැරදි බව තහවුරු වුයේ ගමන් බලපත්‍රය සහ අදාළ ලියකියවිලි පරික්ෂා කිරීමෙන්ය. දරුවන් සිටියේ බොහෝ කලකට පසුව මව නිවෙසට පැමිණීමේ ප්‍රීතියෙනි මේ කාන්තාව සුජාතා බවට හෙළිවන්නේ එහිදීය.
සුජාතාගේ සැමියා සිටියේ ලෙඩ ඇඳේය. රෝහල්ගතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඔහු නිවෙසට පැමිණ තිබුණේ ඊට දින දෙකකට පමණ පෙරය. පවුලේ පැවති අඟහිඟකම් හේතුවෙන් ඇය විදේශගත වී ඇත්තේ වසර තුනකට පමණ පෙරය.
ඒ ඩුබායි රාජ්‍යයටය. ඊට පෙර ඇය ක්වේට් රටේ සේවය කර පැමිණ තිබු බවද අනාවරණය කරගැනීමට හැකි විය. හරිහමන් නිවෙසක් නැතිව දුෂ්කර ජීවිතයක් ගත කළ සුජාතා තමාගේ සැමියාගේ මව්වරු දෙදෙනාද නිවෙසේ නතර කර ඔවුන්ට දරුවන්ගේ වගකීම පවරා ‘ඉසුරු සොයා‘ රට ගිය ගමන පිළිබඳ පොලිස් නිලධාරිණියන් සමඟ පැවසුවේ කඳුළු සලමිනි.
“මං ඇත්තම කියන්නම් මිස්. මං හිටපු ගෙදර මිනිහගෙන් මට හුඟක් කරදර තිබුණා. ඒ මිනිහගෙන් තමයි මට ඔය ළමය ලැබුණේ. ඒකට මට ළමයත් එක්ක මාස 11 ක් ඒ රටේ හිරේ ලඟින්න සිද්ධ වුණා. ඒ මිනිහත් හිරේ ගියා. මං හිරෙන් නිදහස් වුණේ එදා. පොලිසියෙන්ම තමයි මාවයි ළමයවයි එයාපෝර්ට් එකට ගෙනත් ප්ලේන් එකට දැම්මෙත්. ඒ එනකොට තමයි ඔය කියන අයියව මට මුණගැහුණෙ. අපි කතා කරල ටිකක් හිතවත් වුණා. ළමයා ගැන අහලා හදාගන්නම් කියල ඉල්ලුව හින්දයි මම එයාට දරුවව බාර දුන්නෙ...“
ඇගේ කතාව නිමා වුයේ ඒ අයුරිනි. නාඳුනන පුද්ගලයෙකු ඉල්ලු පලියට තමන්ගේ ලෙයින් මසින් හැදුන දරුවෙකු හිතක් පපුවක් නොමැති එකියක මෙන් බාර දීමට හැකි නම් ඇය අම්මා කෙනෙකු විය හැකි දැයි ප්‍රශ්නයකි. කෙසේ වුවත් ඇගේ නිවැරදි භාවය තහවුරු කිරීමට මෙය ඇය විසින් ගොතන ලද කතාවක් විය හැකි වුවත් පොලිසිය කටයුතු කරන්නේ තව දුරටත් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථ රියදුරු සොයා මෙම කතාවේ ඇත්තනැත්ත සුල මුල පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටය. ඒ මෙම සිද්ධියට කිසිම සම්බන්ධයක් නොමැති සත්‍ය දන්නා අතරමැදියෙකු වන්නේ එම රියදුරු වන නිසාය.
(සුජාතා හා සාගර යනු ව්‍යාජ නම්ය)
ඡායාරූප - බණ්ඩාරගම බිමල් ජයසිංහ