රාජ්‍ය මන්ත්‍රණ සභා­වට ටින් එකක් රැගෙන ආ මන්ත්‍රී | සිළුමිණ

රාජ්‍ය මන්ත්‍රණ සභා­වට ටින් එකක් රැගෙන ආ මන්ත්‍රී

මැති සබයේ පැරණි කතා කිය­මින් සිටි අප පසු­ගි­යදා කථා­කළේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ හොරණ මන්ත්‍රී ඒ.පී. ජය­සූ­රිය හා ජා ඇල මන්ත්‍රී ඩී.පී. ජය­සූ­රිය මහතා අතර ඇති වූ අර­ග­ල­යයි. අද කථා කරන්නේ ද ජා ඇල මන්ත්‍රී­තුමා සම්බන්ධ සිද්ධි­යකි. ජය­සූ­රිය තම පුත්‍ර­ය­කුගේ වර­දක් පිට ඔහු සමඟ කිසිම සම්බ­න්ධ­යක් නොපැ­වැ­ත්වීය. මේ පුත්‍රයා හදි­සි­යේම මිය ගියේය. එහෙත් ඔහු තමා මුලදී සිටි මත­යේම සිටි නිසා පුත්‍ර­යාගේ මළ­ග­ම­ටද ගියේ නැත. එදා කථා­නා­යක වූයේ ඇල්බට් එෆ්. පීරිස්ය. කථා­නා­යක ලේකම් තුමා මේ මළ­ග­මට පසු­දින පාර්ලි­මේන්තු කැන්ටිමේ කෑම ගනි­මින් සිටි­යදී අල්ලපු මේසයේ සිටි ජය­සූ­රිය දුටු­වේය.   

“මන්ත්‍රී­තුමා මොකද පුතාගෙ මළ­ගෙ­දර නොසි­ටියෙ? අපි බැලුව නේ මන්ත්‍රී තුමා කොහේද කියලා” කථා­නා­යක ලේකම් ජය­සූ­රිය මහ­තා­ගෙන් ඇසීය. “පර බල්ලා තොට මොක­ටද ඒකෙ වගක්? තෝ ඔහොම ඇහැ­ව්වට තොගේ මහ එකා­වත් මගෙන් ඔය කථාව ඇහුවෙ නැහැනේ” කිය­මින් මන්ත්‍රී කථා­නා­යක ලේකම්ගේ මේස­යට පැන්නේය. කෑම පිඟාන පැත්තක දමා කථා­නා­යක ලේකම් පැන දිව්වේය.   

දිනක් මන්ත්‍රණ සභාවේ සිදුවූ විවා­ද­ය­කදී කථා­නා­ය­ක­ව­ර­යාට සුන්ද­ර­ලිං­ගම් පාල­නය කර­ගත නොහැකි විය. අන­වශ්‍ය කථාව දිගින් දිගට කර­ගන යාම නිසා එය නව­ත්වන ලෙස කථා­නා­ය­ක­ව­රයා කොතෙක් කියා සිටි­යත් සුන්ද­ර­ලිං­ගම් ඇසුවේ නැත. අව­සා­නයේ මන්ත්‍රණ සභා ගොඩ­නැ­ඟි­ල්ලෙන් මන්ත්‍රී­ව­රයා ඉවත් කරන ලෙස කථා­නා­ය­ක­ව­රයා පොලි­සි­යට නියෝග කළේය.   

පොලි­සිය පැමිණ සුන්ද­ර­ලිං­ගම් ඔස­වා­ගෙන ගියේය. අතර මඟදී පොලිස් නිල­ධා­රීන්ගේ නොසැ­ල­කි­ල්ලෙන් තමාගේ හිස සභා ගැබේ වූ පුටු­වල ගැටෙ­න්නට ඇතැයි සුන්ද­ර­ලිං­ගම්ට සිතුණි. ඔහු කෑ ගැසීය.   

“අයිසෙ, අයිසෙ, බලා­ගෙන ඔළුව හැප්පෙන්න පුළු­වන් මේ ඔළුව අනික් ඔළු වලට වඩා වටි­නව.”   

සුන්ද­ර­ලිං­ගම් මන්ත්‍රණ සභා­වෙන් එළි­යට ගෙන­ගොස් තාත්ප­යද පසු­කර පදි­ක­වේ­දි­කාවේ තබා පොලි­සිය ඉවත් විය.   

සුන්ද­ර­ලිං­ගම් මන්ත්‍රණ සභාවේ සිටි අමු­තුම පුද්ග­ල­යෙකි. ඔහු මුලදී කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස විශ්ව විද්‍යා­ලයේ සිටි­යේය. පසුව දිසා­පති කෙනෙකු විය. දිසා­ප­ති­ව­ර­යකු ලෙස සිටි­යදී තුවක්කු බල­පත්‍ර අත්සන් කර­න්නට යොමු­කොට තිබූ ලිපි­ගො­නුව දුටු ඔහු “මම දිසා­පති වුණේ තුවක්කු ලයි­සන් අත්සන් කර­න්නට නොවේ” යැයි කියා එම තන­තු­රින් ඉල්ලා අස්විය. වෙළෙඳ ඇමති ලෙස පත්වූ පසු මෙබ­ඳුම ප්‍රශ්න­යක් පිට දමා ඉන් ද ඉල්ලා අස්වී පසුව සාමාන්‍ය මන්ත්‍රී­ව­ර­යකු වූ කෙනෙකි. ඔහු තමා එකඟ නොවන ප්‍රති­ප­ත්ති­ය­කට විරු­ද්ධ­වීම වශ­යෙන් කිහිප වරක්ම මන්ත්‍රී පද­වි­යෙන් ඉල්ලා අස්වී නැව­තත් වවු­නියා අසුනේ මන්ත්‍රී­ව­රයා ලෙස පත්වූ පුද්ග­ල­යෙකි.   

නුව­ර­එ­ළිය ආස­න­යෙන් මන්ත්‍රණ සභා­වට පැමිණ සිටි අභය ගුණ­සේ­කර නම් වූ මන්ත්‍රී­ව­ර­යෙක් විය. මේ මන්ත්‍රී­ව­රයා මුලදී පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකි. එදා මන්ත්‍රී­ව­ර­යකු දුටු­විට පොලි­සියේ ඉහ­ළම නිල­ධා­රියා වුවද සැලි­යුට් කොට ආචාර කිරීම පුරු­ද්දකි. එක් දිනක් පොලි­ස්ප­ති­ව­රයා වූ සුදු ජාති­කයා මන්ත්‍රණ සභා දොර­ටුවේ විය. මන්ත්‍රී­ව­රයා සිය මෝටර් රථ­යෙන් මන්ත්‍රණ සභා දොර­ටුව අස­ලට පැමි­ණි­යේය. සුදු ජාතික පොලි­ස්පති මන්ත්‍රී තුමාගේ මෝටර් රථයේ ‍දොර ඇර ආචාර සමා­චාර පැවැ­ත්වීය.   

“මේ බලා ගනින්. මම ඉස්සර පොලිස් පරී­ක්ෂ­ක­යකු හැටි­යට සිටි කාලයේ උඹට සැලි­යුට් කර­නවා. කාලෙන් කාලෙට ඔහොම තමයි.” මහ හඬින් සිනා­සෙ­මින් කීය.   

අභ­ය­ගු­ණ­සේ­කර මන්ත්‍රී­ව­රයා එක්තරා අන්ද­මක නිර්භීත පුද්ග­ල­යෙකි. එවක නුව­ර­එ­ළියේ සිටි දිසා­ප­ති­ව­ර­යාද සුදු ජාති­ක­යෙකි. මේ සුදු ජාතික දිසා­ප­ති­ව­රයා මන්ත්‍රී­ව­රයා එත­රම් සැල­කිය යුතු පුද්ග­ල­යකු ලෙස සැල­කුවේ නැත.   

“මේ සුද්ට මම පාඩ­මක් උග­න්ව­නවා” යයි සිතූ මන්ත්‍රී­ව­රයා, දිසා­ප­ති­ව­රයා තම ආස­නයේ සංචා­රය කරන දින­කදී තම හිත­ව­තුන් ලවා පාරට ගස් කප්පවා දමා ඔහු යන මාර්ගය වසා දැමීය.   

දිසා­ප­ති­තු­මාට යාමට පාරක් නොවීය. ඔහු ආර­ච්චි­ලලා කැඳ­වීය. “මට යන්න පාර සුද්ද කර දීපල්ලා” යයි ඔහු ගෝර­නාඩු කළේය.   

“ඒක අපිට කරන්න බෑ. මන්ත්‍රී හාමු­දු­රු­වොත් කිව්ව නම් අපිට එයිට පිටින් යන්න විධි­යක් නැතැ”යි ආර­ච්චි­ලලා කිය­න්නට වූහ.   

සුද්දා මන්ත්‍රී තුමා හමුවී “අභය ගුණ­සේ­කර මහ­ත්මයා මට යන්න පාර සුද්ධ කර දෙන­වාදැ” ඇසීය.   

ඉක්ම­නට මේ දිසා­පති තුමාට යන්න පාර සුද්ධ කරලා දීප­ල්ලා­යයි හිත­ව­තුන් කැඳවූ මන්ත්‍රී­ව­රයා කෑ ගැසීය. පැය භාග­යක් යන්නට පෙර අතර මඟ සියලු බාධක ඉවත් විය.   

කථා­නා­යක ලෙස ඇල්බට් ඇෆ්. පීරිස් එක් දිනක් මන්ත්‍රණ සභා­වෙහි විශාල කල­බ­ල­යක් විය. ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී­වරු අතර වූ විවා­දය නිසා මන්ත්‍රණ සභා ශාලාව එකම ගාල ගෝට්ටි­යක් විය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු කථා කර­න්නට නැගි­ටින විට, විරුද්ධ පක්ෂයේ දෙතුන් දෙනෙකු නැගිට බාධා කරති. එය කථා­නා­ය­ක­ව­ර­යාට පාල­නය කර ගත නොහැකි විය. අර­ග­ලය නතර කර­න්නට බැරිවූ තැන කථා­නා­ය­ක­ව­රයා කළේ, සෙංකෝ­ලය එතැ­නම තිබෙ­න්නට හැර සභා ශාලා­වෙන් පිටව යාමය.   

මේ වන­විට සභාවේ කථා කර­මින් සිටියේ, සෝම­වීර චන්ද්‍ර­සි­රිය. විරුද්ධ පක්ෂයේ සිටි එ‍ඩ්මන්ඩ් සම­ර­ක්කොඩි කථා­නා­යක අසුනේ හිඳ ගත්තේය. සෝම­වීර චන්ද්‍ර­සිරි නව කථා­නා­ය­ක­ව­ර­යාට සුභ පතා දීර්ඝ කථා­වක් පැවැ­ත්වීය. “මේක පොදු­ජ­නයා ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක්. පොදු­ජ­නයා වෙනු­වෙන් කැපවී කට­යුතු කරන අපේ පක්ෂයේ කෙනෙක් නව කථා­නා­ය­ක­ව­රයා වීම අප කාටත් සතු­ටක්” යයි ඔහු කියා­ගෙන ගියේය. සභාව දෙස බැලූ සෝම­වීර දුටුවේ විරුද්ධ විපක්ෂ මන්ත්‍රීන් හැර ආණ්ඩු පක්ෂයේ කිසි­වකු සභාව තුළ නොසිටි අන්දම ය.   

මේ විහිළු රැස්වීම පැවැ­තියේ සුළු වේලා­වකි. එදා මෙය නැරඹූ ගැල­රියේ සිටි පිරිස පුදු­මා­කාර විනෝ­ද­යක් ලැබූහ. වර­ප්‍ර­සාද කැඩීමේ චෝද­නා­වක් එල්ල වුවද සම­ර­ක්කොඩි නිවැ­ර­දි­කරු විය. සභාව නිත්‍යා­නු­කූ­ලව කල් නොතබා කථා­නා­ය­ක­ව­රයා පිටව ගිය නිසා සභාව පවත්වා ගැනීම මන්ත්‍රී­ව­රුන් සතු යුතු­ක­මක් බව තීර­ණය විය.   

රොබට් ගුණ­ව­ර්ධන හැම­දාම පාහේ මන්ත්‍රණ සභාවේ ගෝරි­ය­කට පැට­ලෙයි. තමන්ට නොගැ­ළ­පෙන යමක් කාගෙන් හෝ කිය­වු­නොත් ඊට විරුද්ධ වෙමින් කෑ මුර ගැසීම ඔහුගේ සිරි­තයි.   

එක් දව­සක් කථා­නා­ය­ක­ව­රයා රොබට් එළි­යට දැමීය. කථා­නා­ය­ක­ව­රයා මේ අව­ස්ථාවේ හොඳ­ටම කල­බල විය. මේ නිසා රොබට්ට මන්ත්‍රණ සභාව තහ­නම් කිරීම, දින ගණ­නක් හෝ සති ගණ­නක් යයි කීමට අම­තක විය. පොලිස් නිල­ධා­රීන්ගේ කර­පි­ටින් එළි­යට ගිය රොබට් තමාට මන්ත්‍රණ සභාව තහ­නම් කළේ දින කාල­වේ­ලා­වක් නියම නොකර බව දැන ගත්තේය. එළියේ මොහො­තක් සිටි ඔහු භාෂා පරි­ව­ර්ථ­කගේ දොර හැර­ගෙන නැවත මන්ත්‍රණ සභා­වට පැමිණ අසුන් ගත්තේය. රොබට් ගුණ­ව­ර්ධන මන්ත්‍රණ සභා­වෙන් එළි­යට දැම්මේ කිසිම සඳ­හ­නක් නොකර බව දැන­ගත් කථා­නා­ය­ක­ව­රයා රොබට්ගේ පැමි­ණීම දුටු­වත් කර කියා­ගත හැකි කිසි­වක් නොවූ­යෙන් නිහඬ විය.   

මන්ත්‍රණ සභා රැස්වීම් පැවැ­ත්වෙන හැම මොහො­ත­කම සෙංකෝ­ලය ද එහි වෙයි.   

සභාව කල්ද­මන විට­කදී හැර මන්ත්‍රණ සභාවේ ඇති සෙංකෝ­ලය සම­හර දින­වල දිවා ආහාර වේලා­වට මන්ත්‍රණ සභාව කල් තැබූ විට මුරට කවු­රුන් හෝ තබා යාම සිරි­තය. එක දිනක් දිවා ආහාර වේලේ මන්ත්‍රණ සභාවේ තිබූ සෙංකෝ­ලය සවස මන්ත්‍රණ සභා රැස්වීම අර­ඹන විට එහි නොවීය. කවු‍දෝ සෙංකෝ­ලය හොරෙන් ගෙන­ගොස් ඇත. මෙය ඇත්තේ වේත්‍ර­ධා­රියා භාර­යේය. වේත්‍ර­ධාරී තැන හොඳ­ටම කල­බ­ලවී සිටී. වග­කීම පැව­රෙන්නේ තමා පිට නිසා මේ සිද්ධි­යෙන් ඔහු හොඳ­ටම තැති­ගෙන සිටි­යේය. යම් විධි­ය­කින් සෙංකෝ­ලය නැති­වූ­වොත් සභා වාරය පැවැ­ත්වී­මට නොහැ­කිවේ. මෙය මුළු රටම කල­ඹන සිද්ධි­යක් වන බව ඔහුට විශ්වා­සය. කල­බ­ලවී සිය සහා­ය­ක­යන් සමඟ මුළු සභා ශාලා­වම පීරා බැලූ ඔහුට මන්ත්‍රණ සභාවේ පිටු­පස පුටු­වක් යට සෙංකෝ­ලය තබා තිබෙනු සොයා ගත හැකි විය. තව මොහො­තක් පමා­වූවා නම් මන්ත්‍රණ සභා ශාලා­වෙන් සෙංකෝ­ලය පිටමං කරනු ඇත.   

එ‍සේ වූවා නම් පාර්ලි­මේන්තු ඉති­හා­සයේ මෙය අමු­තුම සිද්ධි­යක් වනු ඇත.   

එදා මන්ත්‍රණ සභාව තුළ වාර්තා­වක් තබා දිග කථා­වක් කර­න්නට මන්ත්‍රී­ව­ර­යකු කල්පනා කළේය. මේ වාර්තා­ගත කථාව යම් විධි­ය­කින් එක දිගට නොකර අතර වාරයේ කැඩු­ණොත් තම වාර්තා­වට එය බාධා­වක් වෙතැයි ඔහු සිතු­වේය. නිතර නිතර මුත්‍රා කර­න්නට කැසි­කි­ළි­යට දුව­න්නට පුරු­දුව සිටි මේ මන්ත්‍රී­ව­රයා යම් විධි­ය­කින් තම වාර්තා­වට මේ මුත්‍රා කර­න්නට යාම නිසා බාධා­වක් වෙතැයි සිතා ටින් එකක් රැගෙන ආවේය. එදා මන්ත්‍රණ සභා­වට අසුන් පනවා තිබූ ආකා­රය අනුව යටින් ටින් එකක් තබා­ගෙන මුත්‍රා කළත් කිසි­ව­කුට නොපෙනේ. කෙසේ වුවත් මන්ත්‍රී­ව­රයා පැය ගණ­නක් දිග කථා­වක් පව­ත්ව­මින් වාර්තා­වක් තැබීය.   

 

Comments