ඔබ ඔබේ නිවෙසට විද්යුත් උපකරණ මිල දී ගන්නේ මෙහෙමද? | සිළුමිණ

ඔබ ඔබේ නිවෙසට විද්යුත් උපකරණ මිල දී ගන්නේ මෙහෙමද?

 අප සමාජයේ ඇතැම් අය විදුලි උපකරණ මිල දී ගන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබෙන නිසයි. සේල් ක්‍රමයට මිල අඩුවට ලැබෙන නිසා මිල දී ගන්නට පෙලඹෙන අයත් සිටිති. ඒ විධියට විදුලි උපකරණ ගන්නට තීරණය කිරීම නුවණට හුරු නැත. එයින් සිදු වන්නේ අපේ මුදල් නිකරුණේ වැය වීමක් පමණි.

විදුලි උපකරණයක් මිල දී ගන්නට යෑමේදී අප පළමුව සලකා බැලිය යුතු වන්නේ අපේ අවශ්‍යතාවයි. ඒ අවශ්‍යතාවයට ගැළපෙන භාණ්ඩයේ ප්‍රමාණය සහ ආයු කාලය වෙනුවෙන් දැරිය යුතු පිරිවැය ඊළඟට විමසා බැලීම වටී. භාණ්ඩයේ ආයු කාලය වෙනුවෙන් දරන පිරිවැය ගණනය කරගන්නට ඔබට පුළුවන. ඒ සඳහා වැදගත් වන සූත්‍රය පහත දැක්වේ.

භාණ්ඩයේ ආයු කාලය වෙනුවෙන් දරන පිරිවැය = භාණ්ඩයේ මිල + බලශක්ති වියදම + නඩත්තුව

ආයු කාලය වෙනුවෙන් දරන පිරිවැය උදාහරණයක් ඇසුරෙන් ගණනය කරමු.

වොට් 100ක සූත්‍රිකා පහනක් දිනකට පැය 2 බැගින් මාසයක් දල්වනවායැයි කියා සිතන්න.

මෙම බල්බයට දිනකට වැය වන විදුලිය ඒකක

ප්‍රමාණය = වොට් 100 x පැය 2

1000

මේ ගණනයේ පිළිතුර ලෙස අපට ලැබෙන්නේ එක්කෝ කිලෝ වොට් පැය 0.2ය. එහෙමත් නැත්නම් වොට් පැය 200කි. ඒ අනුව මාසයක් සඳහා වැය වන විදුලිය ඒකකක සංඛ්‍යාව කෙතෙක්දැයි කියා අපට ගණන කර ගත හැකිය. එහි පිළිතුර හැටියට ලැබෙන්නේ එක්කෝ කිලෝ වොට් පැය 6ය; නැත්නම් වොට් පැය 6000ය. එහි අරුත එකී බල්බය පාවිච්චි කළහොත් මාසයකට කිලෝවොට් පැය 6ක් වැයවේය යන්නයි. මාසයකට විදුලි ඒකක 6ක් යනු විශාල විදුලිය ප්‍රමාණයකි. සූත්‍රිකා විදුලි පහනක සාමාන්‍ය මිල රුපියල් 75/ ක් පමණ වේ.

සූත්‍රිකා පහන වෙනුවට එම ආලෝකයම ලබාදෙන වොට් 13ක එල්.ඊ.ඩී. පහනක් භාවිතයට ගත්තායැයි කියා සිතන්න.

දිනකට පැය 2 බැගින් භාවිත කළ විට මසකට

ඒකක ගණන = 13x2x30

1000

එම ගණනය කිරීමෙන් ලැබෙන පිළිතුර එක්කෝ කිලෝ වොට් පය 0.78 යන්නයි; නැත්නම් වොට් පැය 780 යන්නයි.

ඒ අනුව සූත්‍රිකා විදුලි පහන නිසා කොපමණ විදුලිය ඒකක සංඛ්‍යාවක් මසකට වැඩිපුර භාවිත කරන්නේද යන්න අපට ගණනය කර ගන්නට පුළුවන. එය 6 – 0.78 = 5.22 වශයෙන් දක්වන්නට පුළුවන. එල්.ඊ.ඩී. පහනක් මිලදී ගන්නට වැඩි මුදලක් වැය වුවත් නඩත්තු වියදම අඩු නිසා අවසානයේදී එය වාසියක් වේ. එනිසා භාණ්ඩයේ මිල අඩු වුණාට එය නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වන්නේ නම් එය අවාසියකි.

මෙය අපි තවත් උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. පැය 40,000ක කාලයක් ආලෝකය ලබාගැනීමට ඔබට අවශ්‍යය වූවායැයි කියා සිතන්න. ඒ සඳහා LED විදුලි පහනක් භාවිත කරන්නේ නම් එක් විදුලි පහනක් භාවිත කිරීම සෑහේ. ඒ එහි ආයු කාලය පැය 40,000ක් පමණ වන නිසයි. නමුත් CFL විදුලි පහන් භාවිත කරන්නට තීරණය කළහොත් ඔබට එවැනි පහන් පහක් භාවිතයට ගන්නට සිදුවේ. ඒ CFL විදුලි පහනක ආයු කාලය පැය 8000ක් පමණ වන බැවිනි. සූත්‍රිකා විදුලි පහන් භාවිතයට ගන්නේ නම් එවැනි පහන් 20ක් පමණ මිල දී ගන්නට සිදු වනු ඇත. ඊට හේතුව එවැනි පහනක ආයු කාලය පැය 2000ක් වීමයි.

පහත සඳහන් ගණනය කිරීම වෙත අවධානය යොමු කරන්න.

මේ අනුව මිල පමණක් සැලකීමේදී සූත්‍රිකා පහන් ලාභදායි බව පෙනේ. නමුත් ආයු කාලය වෙනුවෙන් දරන මුළු පිරිවැය සැලකීමේදී සුසංහිත ප්‍රතිදීප්ත විදුලි පහන් (CFL) සාපේක්ෂව ලාභදායීය. LED විදුලි පහන් ඊටත් වඩා ලාභදායි බව අමතක නොකළ යුතුව ඇත.

විදුලි උපකරණයක් මිල දී ගැනීමේදී ද එහි ආයු කාලය වෙනුවෙන් දරන පිරිවැය ගණනය කර, අවශ්‍යතාව සහ ඊට ගැළපෙන ධාරිතාව සහිත කාර්යක්ෂම විදුලි උපකරණය තෝරාගන්න. එය ඔබේ විදුලි බිල අඩු කරගන්නට හේතුවක් වේ.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලශක්ති කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ ජේ.එම්. අතුල මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ

මංජුලා විජයරත්න

Comments