අලියයි- ගොවියයි වැටයි -කුඹුරයි | සිළුමිණ

අලියයි- ගොවියයි වැටයි -කුඹුරයි

අප කතා කළ යුතුව ඇත්තේ අලි-මිනිස් ගැටුමක් ගැන නොව අලි-මිනිස් සහජීවනයක් පිළිබඳවය. සත්‍යය එයයි. වර්ෂ එක්දහස් නවසිය හතළිස් ගණන් වන තෙක්ම අලියෙක් මිනිසකු මැරූ බව හෝ මිනිසෙක් අලියකු මැරූ බව හෝ අසා ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් අද එය නිතිපතා ඇසෙන සාමාන්‍ය තොරතුරක් බවට පත්වී ඇත.

වාර්ෂිකව මෙරට උපදින්නේ අලි පැටවුන් 80ත් 90ත් අතර සංඛ්‍යාවකි. අවුරුද්දකදී ද අලින් 100ට වැඩි සංඛ්‍යාවක් ස්වාභාවිකවම මැරෙති. නැතිනම් මිනිසුන් විසින් මරා දමනු ලබති. අද මෙරට ඇති අලි ගහණය 4500ට නොවැඩිය. අලින්ගේ මරණ සංඛ්‍යාව අලි උපත් සංඛ්‍යාව අබිබවා ගොස් ඇති හෙයින් මේ අලි ගහණය අවුරුදු කීහිපයකදී තවත් අඩුවී යනු ඇත.

අනාදිමත් කාලයක සිටම අලියා අපේ සංස්කෘතියේ කොටස්කරුවෙකි. එය දනවන ලාංඡනයකි. මහනුවර දළදා පෙරහර නැරඹුවකුට පමණක් වුවද ඒ සංස්කෘතික සබැඳියාව වැටහී යනු ඇත. එබැවින් අලින් විනාශ මුඛයට යෑම වළකාලීම මිනිසාගේ පරම යුතුකම විය යුතුය. අලියාත් ගොවියාත් අතර ගැටුම අවම කළ යුතුය. එහෙත් අද අපට දක්නට ඇත්තේ මේ ගැටුම උත්සන්න වෙමින් පවතින බවකි.

අද අපි නිතර කතා-බස් කරනුයේ අලි-මිනිස් ගැටුමක් ගැනය. ආචාර්ය සරත් කොටගම මේ මෑතකදී සඳහන් කර ඇති අන්දමට ඇත්ත වශයෙන්ම අපි කතා කළ යුතුව ඇත්තේ අලි-මිනිස් ගැටුමක් ගැන නොව අලි-මිනිස් සහජීවනයක් පිළිබඳවය. සත්‍යය එයයි. වර්ෂ එක්දහස් නවසිය හතළිස් ගණන් වන තෙක්ම අලියෙක් මිනිසකු මැරූ බව හෝ මිනිසෙක් අලියකු මැරූ බව හෝ අසා ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් අද එය නිතිපතා ඇසෙන සාමාන්‍ය තොරතුරක් බවට පත්වී ඇත. මේ වෙනසට වැඩි වශයෙන්ම වග කිවයුත්තේ මිනිසාමය.

භෞතික පරිසරයටත් එහි ජීවීන්ටත් අවම හානි ඇතිවෙන අයුරින් ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගැනීමට භෞතික පරිසරයේ සම්පත් කළමනාකරුවන් (කාරිය කරවන නිලධාරීනුත්) සම්පත් පරිහරණය කරන්නවුණුත් (ගොවීනුත්) කලක් තිස්සේම අපොහොසත් වී මේ අනිසි විපාකය වී ඇත්තේ ස්වාභාවධර්මයට අනුහුරුව ජීවත්වෙන මිනිසුන් සහ සත්ත්වයින් අතර නිරතුරුවම පවතින හටනක් ඇවිලී යෑමය. සත්ත්ව පාරාදීස (habitats) වලට හානි කෙරෙන්නේ නම් සත්ත්වයින් ගෙන් ඔබට බරපතළ හිරිහැර-කරදර ඇතිවිය හැකිය.අලි පාරාදීසයකට (habitat) හානි පැමිණවීම මෙන්ම සමස්ත වියළි කලාපයේ මිනිසා විසින් භෞතික පරිසරයේ කර ඇති වෙනස්කම් රැසක්ම අද අප කතා කරන අලි-මිනිස් ගැටුමට හේතු පාදක වී තිබේ.

වියළි කලාපයේ ජනගහණය පරම්පරාවෙන් පරම්පරාවට වැඩිවී යෑම නිසා පාරම්පරික ගොවීනට වගාකිරීම සඳහා වඩවඩාත් ගොවිබිම් අවශ්‍යවී ඇත. වියළි කලාපයේ ජනගහණය වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ තෙත් කලාපයේ ජනගහණය අඩුකිරීමට මෙන්ම වියළි කලාපයේ ආහාර වගාකිරීමට අවශ්‍ය වූ නිසා, එක් දහස් නවසිය තිස්ගණන්වල සිටම එක් දහස් නවසිය හැත්තෑගණන් වන තෙක්ම වරින්වර ගොවිජනපද බිහි කර එක යායටම අඛණ්ඩව ගොවිබිම් දියුණු කිරීම නිසාය. ඊට පෙරාතුව පටන්ම ගම් පුළුල් කිරීම යටතේ කලින් වැව් ගම්වල පැවති ''ගංගොඩවල්'' වෙනුවට ඒ ගම්වල ''තිස්බඹ'' වලත් පාරවල් සහ අඩි පාරවල් (මංතලව්) දිගේත් තරමක් විශාල ගෙවතු සහිතව ගැමි ජනාවාස ප්‍රසාරණය කිරීමක්ද සිදුවී තිබේ. ඊට අමතරව වර්ෂ 1970 සිටම පැන නැඟුණු ආහාර හිඟය නිසා ගොඩබිම්වල අතිරේක භෝග වගාකිරීමට ඉඩදීමත් සමඟම අවසරලත් ගොවීන් මෙන්ම' ගොවි මුදලාලිලා' විසින් අසීමිත අයුරින් එකදිගටම කැළෑ හෙළි-පෙහෙළි කොට හේන් ගොවිතැන ව්‍යාප්ත කරනලදි. මේ අතර ගම්වල ඉඩම් හිඟ හෝ ඉඩම් නැති ගොවීන් ද වාරි පහසුකම් එතරම්ම නැති ගමේ ''මහවෙල'' අවට'අක්කරවෙල්'වලට යාබද ගොඩතර ප්‍රදේශවලද බොහෝවිට අසාර්ථකව කුඹුරු අස්වැද්දීමට යෑමේදී ද හිස් කැළෑබද ඉඩම් නැතිවී ගොස් ඇත.

මේ සියලු මැදිහත් වීම් නිසා එල්ලංගානුගත වැව් ආශ්‍රිතව ඉඩම් පරිහරණ අවුලෙන් අවුලටම ගිය අතර අලින්ගේ සුපුරුදු ගමන් මාර්ගද ඇහිරී යෑමේ එක් අවසාන ප්‍රතිඵලයක් වූයේ අලි-මිනිස් ගැටුමක් නිර්මාණයවීමයි. අලින් ගේ පමණක් නොව තවත් බොහෝ වනසතුන් ගේ පාරාදීස (habitats) විනාශ විණි. එවන් හේතූන් නිසා වියළි කලාපයේ භූ-රූපඅනුව, ශත වර්ෂාධික කාලයක් තිස්සේ තීව්‍රව හැඩගස්සවා පවත්වාගෙන එනු ලැබූ භූමි පරිහරණ රටාවද අවුලෙන් අවුලට පත්ව ඇත. මෙහි දක්වා ඇති රූපරාමුවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇති වැව් ගමක ඉඩම් පරිහරණ රටාවේ වැව, මහවෙල, අක්කරවෙල්, මෙන්ම ඒවා දෙපස දක්වා ඇති'පිටිය' වශයෙන් හැඳින් වූ තණබිම් මෙන්ම ඉන් ඔබ්බෙහි වූ උස්බෑවුම් සහිත මිටි කඳුවල වූ කළෑවෙත්. ඒ සියල්ලෙහි හැඩතල ප්‍රමාණ මෙන්ම මායිම්වල ස්වරූප, වැව්වල එක්රැස් කොට තබාගත හැකි වතුර ප්‍රමාණ මෙන්ම භූ-රූපිත වෙනස්කම් අනුව වෙනස් විය හැකිය. එහෙත් ඒ අවයව වැව්-ගමක ඉඩම් පරිහරණයේ නැතැයි කීමට කිසිවකුට තර්ක කළ නොහැක්කේ ඒවා විධිමත් පර්යේෂණ විසින් 1974 වැනි ඈත කාලයකදී හඳුනාගෙන ඇති හෙයිනි.

මෙහි ඇති සංක්ෂිප්ත සටහනෙන් දැක්වෙන්නේ එල්ලංගා දෙකක උඩාවතේ සිට යටා වත වෙතදි වෙන වැව්-වෙල්-වැව්පද්ධතියේ පැතිකඩක් පමණි. එහි ඕනෑම ගම්වැව් දෙකක් අතර එනම් එකම එල්ලංගාවේ වැව්ගම් දෙකක් අතරත් එල්ලංගාවක වැව්ගමක් තවත් එල්ලංගාවකින් වෙන් කෙරෙන උස්බිමක් හෝ මිටි කඳු රෑනක් හෝ අතරින් කැළෑ පවත්වාගෙන යෑම දුටු බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එවැනි ගම්වලට කැළෑ ගම් (jungle villages) යැයි පවසා ඇත්තේ ද ඒ නිසාමය.

අලින් විසින් එල්ලංගා හරහා ගමන් කිරීමේදී ඔවුන් ගේ ගමන් මඟ වශයෙන් යොදාගෙන ඇත්තේ ගම්වැවක අක්කර වෙල්වලට යටාවතේ පැවති කුඩා මිටි පඳුරු සහිත තණ පිට්ටනියත් ඊට පහළින්ම වන වැවේ දියගිලුමේ ඇති ජලජ පැළෑටි සහ තණකොළ (බෙරුව) ඇති තරම් කා දමා ඒ වැවෙන් ම වතුර බී එක්කෝ (කඩ ඉරිවලින් පෙන්වාදී ඇති පරිදි) එකම එල්ලංගාවක උඩාවතේ සිට යටාවතට හෝ යටාවතේ සිට උඩාවතට හෝ එසේත් නැති නම් එල්ලංගාවක සිට තවත් එල්ලංගාවකට හරස් අතට මාරුවීම් කළේ මේ පඳුරු සහිත තණ පිට්ටනි සහ කැළෑ පටි හරහාය.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් 

Comments