අපේ දරුවන්ට අදට වඩා හෙට හොඳ දිනක් | සිළුමිණ

අපේ දරුවන්ට අදට වඩා හෙට හොඳ දිනක්

UNICEF Sri Lanka සංවිධානය මූලිකව මෙරටේ ළමා අයිතිවාසිකම්, ළමා හා තරුණ ප්‍රජාවගේ සුබසාධනය සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අරමුණින් ගොඩ නැගෙන ව්‍යාපාරික කවුන්සිලය පසුගියදා එළිදක්වනු ලැබීය. එය UNICEF සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන් හා තීරකයින් අතර උපාය මාර්ගික වශයෙන් ඇති කර ගනු ලැබූ හවුල්කාරීත්වයකි.

අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යාපාරික කවුන්සිලය ළමා අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අතර ඊට පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් දායක වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් UNICEF Sri Lanka සංවිධානයේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා මෙසේ පැවසීය. " ව්‍යාපාරික ප්‍රධානීන් සහ තීරකයින් වෙනුවෙන් වේදිකාවක් සකසා දෙමින් UNICEF Sri Lanka ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම මෙම කවුන්සිලය හරහා, ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ජීවිත වලට දිගු කාලීන බලපෑමක් ඇති කිරීමට පෞද්ගලික අංශයේ ශක්තිය දායක කර ගැනීමට අප අරමුණු කර ගෙන සිටිනවා."

UNICEF සංවිධානය පෞද්ගලික අංශය හා වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින්, ව්‍යාපාරික ප්‍රධානීන්, කර්මාන්ත සංගම් සහ ආයෝජකයින් ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමගින් එක්ව කටයුතු කරනු ලබයි. ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධන ඉලක්ක පවත්නා ව්‍යාපාර ආකෘති වලට ඒකාබද්ධ කිරීම හරහා ළමුන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් සිය උපරිම කැපවීම ඉටු කරමින් තිරසරත්වය අත් කරදීම UNICEF සංවිධානයේ අරමුණ වී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මෙසේ පැවසුවාය. ''දරුවන්ගේ ජීවිත නඟා සිටුවීමට සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම සහතික කිරීමට එක්ව වැඩ කිරීමේ වැදගත්කම අපි සාමූහිකව හඳුනා ගත යුතුයි. UNICEF ව්‍යාපාරික කවුන්සිලය හරහා සම අදහස් ඇති ව්‍යාපාරික ප්‍රධානීන් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා කදිම අවස්ථාවක් සලසා දෙනවා.''

මෙම ව්‍යාපාරික කවුන්සිලය සඳහා සාමාජිකයින් ලෙස Jetwing Travels (Pvt.) Ltd හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ, United Nations Global Compact (Network Sri Lanka) හි විධායක අධ්‍යක්ෂ රතික ද සිල්වා, Dilmah Ceylon Tea Company PLC හි ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් ප්‍රනාන්දු, Aitken Spence PLC හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ශ්‍රී ලංකාව) සභාපති ශනිල් ප්‍රනාන්දු, Asia Pacific Alliance for Disaster Management හි අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම්, Brandix Apparel Limited සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, Cargills (Ceylon) PLC හි උප සභාපති රංජිත් පේජ්, Softlogic Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ, Sampath Bank PLC හි කළමනාකරණ අධ්‍යක්ෂිකා අයෝධ්‍යා පෙරේරා, Hayleys Plantation Sector හි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි, Printcare PLC හි ප්‍රධාන විධායක නිලධාරී කේ.ආර්. රවීන්ද්‍රන්, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, Ceylon Biscuits Limited හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ ශාමලී වික්‍රමසිංහ, සහ Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Comments