උතුරු පළාත් සභාව දෙදරයි! | සිළුමිණ

උතුරු පළාත් සභාව දෙදරයි!

දූෂණ චෝදනා එල්ල වූයේ යැයි කියන උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු ඉවත් කිරීමෙන් පසුව ඇති වූ තත්ත්වය උණුසුම් අතට හැරීමත් සමඟම උතුරු පළාත් සභාව දෙදරා යෑමේ අර්බුදයකට මුහුණ පා තිබේ.

ඉකුත්දා උතුරු පළාත් ඇමැතිවරුන් කිහිප දෙනකුට දූෂණ චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කටයුතු කළේ ය. කමිටු වාර්තාවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ අතර ඒ අනුව ඔවුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඉතිරි අමාත්‍යවරුන් දෙදෙනා ද මසකට නිවාඩු යැවිණි.

ප්‍රධාන අමාත්‍යවරයාගේ මේ තීන්දුවට විරෝධය පාමින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් උතුරේ ආණ්ඩුකාරවරයාට බාරදීමට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 38 දෙනාගෙන් 21 දෙනෙක් කටයුතු කළ අතර ඔවුන් කියා සිටියේ ප්‍රධාන අමාත්‍යවරයාට ද ඉල්ලා අස් වන ලෙස ය.

ඒ සමඟම ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභාවේ තම විශ්වාසය තහවුරු කරන මෙන් ආණ්ඩුකාරවරයා දැනුම්දුන් අතර පසුව පළාත් සභාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් මහ ඇමැතිවරයාට විශ්වාසය පළකරමින් ලිපියක් උතුරු ආණ්ඩුකාරවරයාට බාර දෙන ලදී.‍ මේ අතර ඉකුත් සිකුරාදා උතුරේ මහ ඇමැතිවරයාට සහය දක්වමින් හර්තාල් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කෙරිණි.‍

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර සිටි විග්නේශ්වරන් මහතා කියා සිටියේ මේ සිදුවීම පිටුපස දකුණේ පිරිසක් ද සිටින බවයි.

විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතාගෙන් අප කළ විමසී‍මකදී කියා සිටියේ තම පක්ෂය සමඟ කතා කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ය. තමන්ට බාරදී ඇති විශ්වාස භංගය සහ විශ්වාසය රැකගැනීමේ යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කු‍රේ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා අධ්‍යයනය කරමින් සිටින බවත් ඉන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයකට යොමු වන බවත් ය. 

Comments

පළාත් අමාත්‍යවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවූ විට ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම යුක්ති යුක්තයි. යහපත් ක්‍රියාවකි. නමුත් ගැටළුව වන්නේ එවැනි ක්‍රියාදාමයක් දියත්කිරීමට ප්‍රධාන අමාත්‍යවරයාට නෛතික හො ව්‍යවස්ථාමය බලයක් තිබේද යන්නය. දන්නා තරමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පළාත් සභා පනතේ එවැනි බලයක් ප්‍රධාන අමාත්‍යවරයාට පවරා නැහැ. නමුත් එවැනි කටයුත්තක් කල නොහැකි බවටත් කිසිදු ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ද නැහැ. මෙම ක්‍රියාදාමය නව ව්‍යවස්ථාමය අර්බුදයක් රටතුළ ඇතිකරාවි.

පිටු