
පැවති සාම්ප්‍රදායික දේශපාලනය විසින් රටේ ප්‍රශ්නවලට ලබා දුන්නේ අවශ්‍ය විසඳුම් නොව ජනප්‍රියවාදී පැළැස්තරය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ රට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ ගොදුරක් බවට පත් වීමය. දිගුකාලීන විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම් යුගය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හරහා ප්‍රකාශයට පත් වූ අර්බූදය ජනතාව ප්‍රකෝප ගැන්වීය. එවකට සිටි ජනාධිපතිවරයාට රටේ පාලනය අත් හැර රටින් පිටව යන්නට සිදුවන තැනට ඒ කෝපය බලවත් විය.
ආර්ථිකය සම්බන්ධව සංවේදී ජාත්‍යන්තර සංවිධාන පවා ලංකාවේ අර්බුදය විග්‍රහ කර දැක්වූයේ යළි ගොඩ ඒමක් ගැන සිතීමටවත් නොහැකි බරපතළ තත්ත්වයක් ලෙසය. රටේ ජනතාවද සිතුවේ එහෙමය. එදා වේල ගැන මිස හෙටක් ගැන අදහසක් වැරදීමකින් වත් සිතුවේ නැත.
මේ අයුරින් ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑම හමුවේ, සමස්ත ජනතාව වෙනුවෙන් වගකීම ගැනීමට සම්ප්‍රදායික දේශපාලන නායකයන් කිසිවකුත් ඉදිරිපත් නොවූ බව නොරහසකි. එහිදී රට අර්බුදයෙන් ගලවා ගැනීමේ කටු ඔටුන්න පැලඳ ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ය. ඒ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය දැක්මක් මෙන්ම වැඩපිළිවෙළක් ඔහු සතු වූ නිසාය. ආර්ථිකය මුහුණ දීමට නියමිත බරපතළ අන්තරාව ගැන දින වකවානු සහිතව රනිල් වික්‍රමසිංහයන් පෙන්වා දුන්නේ ද මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක් ගැන ලංකාවේ කිසිවකුත් නොසිතූ කාලවකවානුවකය.
කෙසේ වුවත් ඔහුට පාලනය භාර ගැනීමට සිදු වූයේ අර්බුදය උච්ඡතම අවස්ථාවට පත් වූ විටය. ඒ නිසාම ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් දීමට සිදු වූයේ තිත්ත බෙහෙත්ය. දරුණු ආර්ථික අර්බූදවල ස්වභාවය එසේය. කෙටියෙන්ම කියන්නේ නම් පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා ගැනීමට සිදු වන තීන්දු තීරණ හේතුවෙන් දැඩි විවේචනයට ලක් වීම වැළැක්විය නොහැක්කකි. නමුත් තව දුරටත් කල් දැමීමටද නොහැකිය.
කිසිම දේශපාලකයකු කිරීමට අකමැති දේ කිරීමෙන් ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා බවට පත් වීමට නොහැකි බව තමන් බව දැන සිටි බව ජනාධිපතිවරයා පවසන්නේ එබැවිනි. ජනප්‍රිය නොවුණත් රට වෙනුවෙන් එම සියලු තීරණ ගත යුතු බව ඔහු මේ වන විට ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ පෙනේ.
මෙහිදී සමාජයේ දැඩි කතාබහට ලක්වූයේ රජයේ නව බදු ප්‍රතිපත්තියයි. විශේෂයෙන් විපක්ෂය සුපුරුදු ආකාරයට එය දේශපාලන සටන් පාඨයක් කර ගත්තේය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වත්මන් බදු ප්‍රතිපත්තිය හඳුන්වන්නේ සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් ලෙසයි. මේ වන විට මාධ්‍ය මඟින් පවා නිරන්තරයෙන්ම සමාජ ගත කරන්නේ විවිධ වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ විසින් මෙම බදු ප්‍රතිපත්තියට එරෙහිව ගෙන යන විරෝධතා පමණි.
නමුත් සැබැවින්ම රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙන බොහෝ වෘත්තිකයන් ගේ අදහස මීට වෙනස්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ හිඟන්නාගේ තුවාලය මෙන් මෙම අර්බුදය සදාකාලිකව පවත්වා ගෙන යාමට නොවෙයි. යම් කාල සීමාවක් තුළ, යම් කැපවීමක් කරමින් මෙම තත්ත්වයෙන් රට ගොඩ ගත යුතු බවට දැඩි අවශ්‍යතාවයක් ඇති මේ පිරිස් සිටින්නේ මහ මඟ සටන් පාඨ කියමින් නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් අතර පසුගියදා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී මේ බව තව දුරටත් තහවුරු විය. මෙම අවස්ථාවට එක් වූ බොහෝ වෘත්තිකයන් ගේ එකම අවශ්‍යතාව වූයේ හැකි ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ වෙනුවෙන් සක්‍රියව තම දායකත්වය ලබා දීමට ඔවුන් සූදානම් බව එහිදී අවධාරණය කර සිටියේය. ඒ අන් කිසිවක් නිසා නොව ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඇති දැඩි විශ්වාසය නිසාය.
රජය පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය යනු විපක්ෂයේ බාල දේශපාලනය විසින් මතු කර දක්වන තරම් කළු යකකු නොවන බව එම අවස්ථාවට එක් වූ මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සහ පළාත් ව්‍යවසාය මණ්ඩලයේ සභාපති යසස් චන්ද්‍රසේකර ගේ අදහසයි.
පාඩු ලබන ආයතන නඩත්තු නොකරන ලෙසත් එම ආයතන හැකි ඉක්මණින් පෞද්ගලීකරණය කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ඔහු අවධාරණය කළේ ඔවුන් ගෙවන බදු රට සංවර්ධනය කිරීමට යොදා ගන්නා ලෙසයි.
එසේම 2019 ලබා දුන් බදු සහන කිසිවක් ව්‍යාපාරික ප්‍රජාව ඉල්ලා සිටි ඒවා නොවන අතර එම තත්ත්වය තුළ රටට බිලියන හත්සීයක් පමණ අහිමි වන විට අවසානයේ සියලු ව්‍යාපාර කඩා වැටෙන බව දැන සිටි බවත් ඔහු සඳහන් කළේය .
“ රට ආර්ථික වශයෙන් ගමන් කළ යුතු මාර්ගයේ ගමන් කරනවා කියන විශ්වාසය අපට තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ලෙස අපි විශාල ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් ඉන්නේ. හැබැයි ජනාධිපතිතුමා පැවසූ පරිදි ඉස්සර අනුගමනය කළ උපාය මාර්ගවල අප දැන් නැහැ. වත්මන් ජනාධිපතිතුමා 2016 දී එවකට අගමැතිවරයා ලෙස වැට් පිළිබඳ බදු ප්‍රතිපත්තිය මහනුවරට පැමිණ පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අවස්ථාවේදී මාත් අගමැතිවරයා වෙත ඇවිත් කිව්වා අගමැතිතුමනි අපි ලබන බදාදා සියලු දේ වසා දමනවා කියා. එවිට ඔබතුමා මගෙන් ඇහුවා බදාදා වහලා බ්‍රහස්පතින්දාට විවෘත කරනවද කියලා. එදා අප තේරුම් ගත්තා ඒ උපාය මාර්ගය ව්‍යාපාරිකයෝ වන අපට හරියන්නේ නැති බව. අපට හැමදාම කඩ වහලා කරන්න පුළුවන් දෙයක් නැති බව අප එදා තේරුම් ගත්තා.
ඒ නිසා අරගලය වෙනස් මඟකට අරගෙන යනවා කියලා අපට තේරුම් ගියා. ඉන්පසු ඔබතුමා ගෙන යන වැඩ පිළිවෙළත් සමඟ අප දුටුවා රටේ ආර්ථිකය ඉහළ යනවා. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි වෙන බව අප දුටුවා. නමුත් 2019 දී අප ව්‍යාපාරිකයන් ලෙස වැට් එක අඩු කරන්න කියා ඉල්ලුවේ නැහැ. බදු සීමාව වැඩි කර රාජ්‍ය ආදායම අඩු කරගන්න අප කියා නැහැ. ජාතිය ගොඩනැඟීමේ බද්ද සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියා අප කියා නැහැ. ලක්ෂ 12 ක බදු ආදායම් ගෙවපු අයට ලක්ෂ 30 දක්වා බදු ආදායම් ඉහළ ගෙනියන්න කියා අප කියා නැහැ.
ජනාධිපතිතුමනි අපට තිබුණේ සාධනීය ඉල්ලීම් ප්‍රමාණයක් පමණයි. ඒ තත්ත්වය තුළ අප හොඳින් දැනගෙන හිටියා රටට බිලියන හත්සීයක් පමණ අහිමි වන විට අවසානයේ ව්‍යාපාරික අප සියලු දෙනාම බිමට කඩා වැටෙන බව. අප පිළිගන්නවා ජනාධිපතිතුමනි ඒ බදු ආදායමෙන් ජාතික ආදායම 15% ක් වත් තිබිය යුතු බව. ජනාධිපතිතුමා යෝජනා කළ සාධනීය යෝජනාවක් තමයි අවුරුදු 18 ට වැඩි සියලු දෙනාටම බදු ෆයිල් එකක් විවෘත කළ යුතු බව. එය ඉතාමත් හොඳ යෝජනාවක් ජනාධිපතිතුමනි. ලක්ෂ දහසයක් තිබුණු බදු ෆයිල් ලක්ෂ හතරට බැහැලා නම්, රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් වශයෙන් සංවර්ධනය වෙන්න නම් බදු ෆයිල් ලක්ෂ හතළිහක් වත් තිබිය යුතුයි. අප එය පිළිගන්නවා. එහෙම නොවුණොත් මේ බදු ෆයිල් තියෙන සුළුතරයට රටේ සම්පූර්ණ බදු බර අදින්න සිදු වී තිබෙනවා.
ජනාධිපතිතුමනි අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට බදු ෆයිල් විවෘත කළොත් මම ඔබතුමාට යෝජනාවක් කරනවා ඒ බදු ගෙවූ සියලු දෙනාටම වසර අවසානයේදී වැට් බිලක් ඉල්ල ගන්න කියලා. එම බිල සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න කියන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රශ්න දෙක තුනක් තිබෙනවා. කුඩා ව්‍යාපාරිකයන් ගේ වැට් සීමාව තියෙන්නේ ලක්ෂ 67යි. ලක්ෂ 67ට වඩා අඩුවෙන් සිටින අයට වැට් ලියාපදිංචියක් නැහැ. අප වැට් ලියාපදිංචි වෙලා තියෙන්නේ. අපට සිදු වෙනවා ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට.
එවිට අපට ඩීල් වැට් එකකට යන්න වෙනවා . එහෙමත් නැත්තම් ඔවුන්ගෙන් සියයට 15 බඩු මිල අඩු කරලා ඉල්ලන්න වෙනවා. හැබැයි අපට ඩීල් වැට් එක 2020 සංශෝධනයත් එක්ක දෙන්නෙ නැහැ. ඒ නිසා අපට අර කුඩා ව්‍යාපාරිකයන් ගෙන් භාණ්ඩ ගැනීම අහිමි වෙලා තියෙනවා. එම ජනාධිපතිතුමා ගෙන් මම ඉල්ලා සිටිනවා ඩීල් වැට් එක ගැනීමේ අවස්ථාව උදා කර දෙන ලෙස. ජනාධිපතිතුමාගෙන් තව දෙයක් අප ඉල්ලා සිටිනවා. මේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්න එපා. එම ආයතන පුළුවන් තරම් ඉක්මනින් පෞද්ගලීකරණය කරන්න. අපේ බදුවලින් රට සංවර්ධනය කරන කාර්යය කරන්න කියා අප ඉල්ලා සිටිනවා” මේ අතර බදු ක්‍රමය යනු අලුත් දෙයක් නොවන බව පෙන්වා දෙන මහනුවර නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික නීතිඥ මනීස සෙනෙවිරත්න අවධාරණය කළේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් එම දියුණුව ලබා ඇත්තේ බදු ක්‍රම මත බවයි. සමාජ කතිකාවක් මඟින් බදු ක්‍රමය පිළිබඳ ජනතාව දැනුම්වත් කර ඒ පිළිබඳව සමාජගත කර ඇති වැරදි මත තුරන් කළ යුතු බව ඔහු පෙන්වා දෙන්නේය. එමඟින් ආර්ථික අර්බූදය ජය ගැනීමේ මෙහෙයුමට රටේ බහුතරයක් සහභාගි කර ගත හැකි බව නීතිඥ සෙනෙවිරත්නගේ අදහසයි.
“ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රාජකාරිය නිසියාකාරව ඉටු කරන බව අපට පෙනෙනවා. අද මේ පිළිබඳව මෙතැනදී අදහස් දැක්වූ අයුරින්ම මහබැංකු නිලධාරීන්ටත් මේ පිළිබඳ අවබෝධ වීම සඳහා වැඩසටහනක් සිදු කරන්න. මහබැංකුවේ නිලධාරීන් හරහා සමාජ මාධ්‍යවලින් ජනතාව දැනුම්වත් කිරීමක් ද සිදු කරන්න. දියුණු රටවල මෙවැනි බදු ක්‍රමයක් තියෙනවා. විදේශිකයන් නිවාඩුවකට ලංකාවට එද්දී කියනවා ශ්‍රී ලංකාවේ බදු නැහැ කියලා. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ එවැනි බදු ක්‍රම මතයි. එංගලන්තයේ සිටින මගේ ඥාතියකුගේ පරණ බෙන්ස් මෝටර් රථයෙන් ලන්ඩනයට යද්දි පවුම් 12 ක බද්දක් අය කරනවලු ඉන්ධන පිරිමහන්නෙ නෑ කියලා. එම නිසා මගෙ ඥාතියා අවුරුදු තුනක් පරණ කාර් එක විකුණා දැමූවා.
මේ බදු ක්‍රමය පිළිබඳව කතිකාවක් ඇති කර ගන්න පුළුවන් නම් වඩා හොඳයි. නැවතත් වැරදි මිනිහෙක් ජනාධිපති කරලා දුක් විඳින්න අපට බැහැ. විශේෂයෙන්ම ජවිපෙ කියනවා විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වන බව. කලින් හොරකම් කරපු සල්ලි බෑග් මෙහෙට ගේනවා කියනවා. අප නීතිඥවරුන් වශයෙන් දන්නවා කරාබු කුට්ටමක් නැති වුණාම නඩුවක් දාන්නවත් නොහැකි බව. කරාබු කුට්ටමක් නැති වූ පසු නඩුවක් දාලා නැවත හොයා ගන්න බැහැ”
මෙරට මුහුණ දී ඇති ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නේ විදේශ රටවල් හා සංවිධානවලින් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විදේශ රටවල් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇති සබඳතා මත කඩිනම් විසඳුම් ලබා ගත හැකි බවත් මහනුවර වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති විශ්වාසය පළ කළේය.
“පරිණතම දේශපාලන නායකයෙක් ලෙස මේ රට මුහුණ දී ඇති තත්ත්වයට විසඳුම් ලබා දිය හැකි එකම පුද්ගලයා හැටියට අප ඔබතුමා දකිනවා. අපේ සමාජ ස්ථරයේ ඒ පිළිබඳ හොඳ පිළිගැනීමකුත් තිබෙනවා. නමුත් මෑතක සිට යම් යම් දේශපාලන කල්ලි කණ්ඩායම් විවිධ බොරු මත මුදා හරිමින් සිටිනවා. ඇත්තටම මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් තිබෙන්නේ විදේශ රටවල සහ සංවිධාන වලින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විදේශ රටවල තිබෙන ඔබතුමාගේ සම්බන්ධකම් මත මේ ප්‍රශ්න වලට විසඳුම් කඩිනමින් ලබා ගන්න පුළුවන්.
ඒ පණිවිඩය සමාජගත කිරීමේ පොඩි දුර්වල කමක් තමයි තිබෙන්නේ. අද මේ රැස්වීමේ ඔබතුමාගේ කතාවෙන් බොහෝ දෙනෙක් දැන ගත්ත රටේ ඇත්තම තත්ත්වේ මොකක්ද යන වග. ඒ ආකාරයට පොඩි පොඩි රැස්වීම් පවත්වා හෝ මේ පිළිබඳව ජනතාව අතරට ගෙන යා යුතුයි. ඔබතුමා කිවූ පරිදි වෙනත් කෙනෙක්ට විසඳුමක් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. එවැනි සම්මන්ත්‍රණ ඇති කරනවා නම් අපටත් ඒවාට ඇවිත් සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඔබතුමා ගෙන යන වැඩපිළිවෙළට මහනුවර වෙළෙඳ ප්‍රජාව වශයෙන් අප කෘතඥ පූර්වක ස්තූතිය පළ කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාර ගත්තේ කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවූ අවස්ථාවක බව යළි යළිත් සිහිපත් කළ මනාය. එම අවස්ථාවේ ඔහුට තිබූ එකම ඉලක්කය වූයේ ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන රටේ ආර්ථිකය ගොඩ නැඟීමය. මේ වසර අවසානය වන විට රටේ ජනතාවට යම් සහනයක් දීමත් ලබන වසර ආරම්භයේ සිට ආර්ථික සංවර්ධනයේ ආරම්භය ඇති කිරීමත්ය. රටේ ආර්ථිකය සවිමත් කරන වෘත්තිකයන් බහුතරයක් විශ්වාසය තබා ඇත්තේ එම වැඩපිළිවෙළ කෙරෙහිය.