
පසුගිය අඟහරුවාදා එනම් 10වැනිදා කැනඩා ආණ්ඩුව වඩාත් නිශ්චිතව සඳහන් කරන්නේ නම් ඒ රටේ විදෙස් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වැසියන් සිවුදෙනකු ඉලක්ක කොටගෙන සම්බාධක පනවා ඇති බවට නිවේදනයක් නිකුත් කරන ලදී. මේ අනුව කැනඩාවේ යම් දේපොළක් වත්කමක් ඇති ද ඒවා තහනම් කිරීම සහ මේ සිවුදෙනාට කැනඩාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම යන කරුණු මේ සම්බාධක යටතේ වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සැරයන් සුනිල් රත්තනායක, ලුතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි යන සිවුදෙනා මේ අතර වෙයි. කැනඩා ආණ්ඩුව සඳහන් කරන ආකාරයට සම්බාධක පැනවීමේ හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ 1980 - 2019 කාලය තුළ මේ පුද්ගලයන් විසින් මෙරට දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලඝංනය කිරීමේ බරපතළ චෝදනාවයි.
ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නීතියට පිටින් ක්‍රියා ආදිය පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය සහතික කිරීම මෙහි අරමුණකි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී සතියක් ගත වීමටත් පෙර එනම්, ලෝකයේ බලවත් රටවල් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඒකරාශී වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රි ලංකාව යුද අපරාධ කළ බවට චෝදනාව පෙරදැරි කර ගනිමින් චෝදනා මාලාවක් ඉදිරියෙන් කරන ලදී.
ඒ 2015 ඔක්තෝබර් 30 වැනිදා යහපාලන ආණ්ඩුවේ සම අනුග්‍රහකත්වය ඇතිව මානව හිමිකම් කවුසිලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුවයි. එහි පැහැදිලිව සඳහන් වී තිබුණේ මෙරට යුද අපරාධ සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නඩු විමසා දඬුවම් ලබා දිය යුතු බවයි.
මේ ආකාරයට පුද්ගලයන් ඉලක්ක කොටගෙන සම්බාධක පැනවීම ලෝකයේ බලවත් රටවල් කලක සිට කරගෙන යන ක්රියාදාමයකි. උදාහරණයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ තවත් ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පනවා ඇත. එසේම ඉරානයේ ජනාධිපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට සහ දේශපාලඥයන්ට එරෙහිව සම්බාධක පනවා ඇත. අතීතයේ සිට බලවත් රටවල් තමන් සමඟ පස මිතුරු රාජ්‍ය නායකයන්ට සහ රටවලට විවිධ මට්ටමින් සම්බාධක පනවා ඇත. 1959 වසරේදී කියුබානු විප්ලවයේ සිට අද දක්වාම කියුබාවට එරෙහිව දැවැන්ත සම්බාධක සමුදායක් අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලදී. ඒ නිසා මෙය බලවත් රාජ්‍යයන් තමන්ට නොරුස්නා රාජ්‍යයන්ට එරෙහිව ගෙන යන ක්‍රියාදාමයක තවත් අවස්ථාවකි. එසේම කැනඩාව මෙරටට එරෙහි මේ ආකාරයේ ක්‍රියාදාමයක නිරත වීම දීර්ඝ කාලය සිට පැවැතිණි. එල්ටීටීඊය සමඟ යුද්ධය ආරම්භ වූ කාලයේදී විටින් විට සෙසු රටවල් සමඟ එකතු වී හෝ හුදෙකලාව මෙවැනි ක්‍රියාදාමයක නිතර විය. මෑත කාලීනව එනම් 2021 මැයි 05 වැනිදා කැනඩාවේ කොන්ටාරියෝ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව වැරදි සංහාරයක් සිදු වූ බවයි.
ඉන්පසුව 2022 මැයි 18 වැනිදා කැනඩාවේ පාර්ලිමේන්තුව ඒකමතික යෝජනාවක් සම්මත කර ඇත; එනම් ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජනසංහාරයක් සිදු වී ඇති අතර, සෑම වසරකම මැයි 18 වැනි දින ජනසංහාර දිනය ලෙස නම් කිරීමටත් ඒ සඳහා සතියක් ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇත. මේ ආකාරයට කැනඩාව මානව හිමිකම් නාමයෙන් මෙරටට එරෙහිව මෙවැනි ක්‍රියාදාමයන්වල දිර්ඝකාලීනව නිරත විය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට අමතරව තවත් හමුදා නිලධාරීන් දෙදෙනකුට කැනඩාවට පිවිසීමට වීසා නිකුත් නොකිරීම ආදී බාධා පැමිණ වීම් සිදු කර ඇත.
මේ යෝජනාවෙන් කියැවෙන්නේ ලංකාවේ දෙමළ ජනයා වර්ග සංහාරයට ලක් කර ඇති බවත් ඒ අයගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත්ය. එසේ වූ විට එවැනි අපරාධවලට දඬුවම් කළ යුතු වනවා සේම නැවත ඇතිවීම වැළැක්වීම ද අවශ්‍ය වෙයි. මේ බරපතළ චෝදනාවලට ප්රතිචෝදනා කිහිපයක් නැඟිය හැකියි. මගේ මතය අනුව කැනඩාව දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා කරන්නේ සනාථ නොකරන ලද සාක්ෂි මතයි.
ලෝකයේ කිසිදු අධිකරණයක මේ පිළිබඳව චෝදනා සනාථ වී නැත; මේ චෝදනා නැවත නැවත කරන්නේ දෙමළ එල්ටීටීඊ බෙදුම්වාදයට හිතවත් සේම ආධාර අනුබල දෙන කණ්ඩායම් විසිනි. යස්මින් සූකා සහ දරුස්මාන් වාර්තාව, කැනඩාවේ පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් යන පාර්ශ්ව ඒ කිසිදු අවස්ථාවකදී විත්ති පාර්ශ්වයෙන් කරුණු විමසීම හෝ එයින් තොරතුරු ගෙන කරුණු විමසා නිගමනයකට පැමිණ නැත. අතීතයට අපි අවධානය යොමු කිරීමේදී දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසුව ජර්මනිය සහ ජපානය සම්බන්ධයෙන් කළ යුද අපරාධ විනිශ්චය කිරීමට අධිකරණ දෙකක් ස්ථාපනය කරන ලදී.
එයින් වඩාත් ප්‍රකට අධිකරණය හිට්ලර්ගේ හමුදාව කළ අපරාධ පිළිබඳව පරික්ෂා කළ අධිකරණයයි. එනම් නියුරම් බර්ක් නඩු විභාගයයි. මේ නඩු විභාගයේ දී විනිශ්චය මණ්ඩලය විසින් සාක්ෂි විමසීමෙන් අනතුරුව හිට්ලර්ගේ ආණ්ඩුවේ යුද අපරාධ කළ බවට තීන්දුව ලබා දීම සිදු විය. කැනඩාව ලෝකයේ පෙනී සිටින්නේ නීතියේ පාලනය, ප්රජාතන්ත්රවාදය සහ මානව අයිතිවාසිකම් ගරු කරන සහ ඒ වෙනුවෙන් සටන් කරන රාජ්‍යයක් ලෙසයි. එහෙත් කැනඩාව කියන දේ සහ කරන දේ අතර යම් පරස්පරයක් පවතින බව ඉතා පැහැදිලිය. කැනඩා විදෙස් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ලියැවිල්ලේ නීතියේ පාලනයක් ස්ථාපනය කිරීම පිළිබඳව සඳහන් වෙයි.
ඔවුන්ගේ න්‍යාය අනුව අනෙක් පාර්ශ්වයේ මතය සාක්ෂාත් කිරීම නොව, නීතියේ පාලනය යනු ඔවුන්ට අභිමතය අනුව ක්‍රියා කිරීමයි. සත්‍ය කරුණු සම්බන්ධයෙන් කතා කිරීමේදී ලංකාවේ කුමක්ද සිදු වූයේ ද මේ සන්නද්ධ කණ්ඩායමක් වන එල්ටීටීඊය විසින් රටේ භූමියෙන් කොටසක් අවි බලයෙන් වෙන් කරගෙන තමන්ගේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ කෙරිණි. එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් දිනාගැනීමට ගෙන ගිය සටනේදී මහා පරිමාණ වශයෙන් ත්‍රස්තවාදය භාවිත කරන ලදී. සියලු ජන කොටස් වලට අයත් පිරිස ඉවක් බවක් නැතිව ඝාතනයක කරන ලදී. මේ නිසාම අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වරක් එල්ටීටීඊය හැඳින්වූයේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසයි. එය මෙහිදී කැනඩාව සැලකීමට ලක් නොකරන ලදී.
කැනඩාවේ අමෙරිකාවේ හෝ වෙනත් රටවල මෙවැනි තත්ත්ව උද්ගත වුවහොත් එය මර්දනය කිරීම පොදු කාරණයකි. 1860 ගණන්වලදී අමෙරිකානු ප්‍රාන්ත 13ක් අමෙරිකානු සංගමයෙන් වෙන් වී යෑමට උත්සාහ කළ අවස්ථාවේදී, එවක ජනාධිපතිවරයාව සිටි සුප්‍රකට නායකයෙක් වූ ඒබ්‍රහම් ලින්කන් විසින් ඒ වෙනුවෙන් සටන් කළ අතර ලක්ෂ ගණනක් ජනයා ඝාතනයට ලක්විය.
කැනඩා නිවේදනයේ සඳහන් වන ආකාරයට අනාගත ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සාමකාමි දේශයක් ගොඩනැඟීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙය පිළිගත නොහැකි කරුණක් වන්නේ යුද සමයේදී දෙමළ ජන සංහාරක් සිදු වූවා යැයි කියන කරුණ කෙතරම් සහසික විලිලැජ්ජාවක් නැති විහිළුවක් ද යන්න ඉතා පැහැදිලි කරුණකි. යුද්ධයේ උච්චතම අවස්ථාවලදී දෙමළ ජනයා කොළඹ නගරයේ නිරුපද්‍රිතව ජීවත් විය.
මෙවැනි බලවත් රටවල් අපේ රටේ දෙමළ ජනතාවට එරෙහිව බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසන්නේ වෙනත් අරමුණු පෙරදැරිවය. මේ දෙමළ ජනසංහාරයක් සිදු වූ බව නීතියේ පාලනය බිඳ වැටුණු බව කියන කැනඩාව කුමනාකරයේ රාජ්‍යයක් ද යන්න පැහැදිලි කළ යුතුයි. කැනඩාව පිහිටා ඇත්තේ අමෙරිකානු මහද්වීපයේ උතුරු ප්රදේශයේදීයි. මේ කොටසේ ඇති ප්‍රධාන රාජ්‍යය කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව හා ලතින් අමරිකාවයි. මේ මුළු මහද්වීපයම 15 සියවසේ දී සිට බටහිර ජාතීන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලබයි. විශේෂයෙන් ම 1491 වසරේදී අමෙරිකානුවන් සහ බ්රසිල ජාතිකයන් දේශාටකයන් ලෙස හඳුන්වන ක්‍රිස්ටෝපර් කොලොම්බස් අමෙරිකාව හඳුනා ගැනීමෙන් අනතුරුව එංගලන්තය සහ වෙනත් රටවලින් ගිය එම සුදු සමක් ඇති ජනයා ඇමෙරිකානු මහද්වීපයේ විසූ ස්වදේශික ජනතාව ඝාතනය කර, විනාශ කර, වර්ග සංහාර කර ඔවුන්ගේ ජනපද පිහිටුවීම සිදු විය. මේ ජන සංහාරය වැඩියෙන්ම සිදු වූයේ එක්සත් ජනපදයේ සහ කැනඩාවේය.
කැනඩාව යනු ධනවත් රටකි. ඔවුන් තමන්ගේ ම ශක්තිමත් ආයතන පද්ධතියක් ගොඩනඟා ගෙන ඇත. ඒ ශක්තිමත් ආර්ථීකය ගොඩනඟා ගෙන ඇත්තේ කොල්ලකා ගත් භූමියෙනි. සුදු ජාතිකයන් අෙමරිකාවට යාමෙන් පසු ජනපද පිහිටුවීමේ ක්රියාදාමයේ දී වෙනත් රාජ්‍ය තමන් අතට ගැනීමේදි දැවැන්ත ජනසංහාරයක් සිදු කර ඇත. මෙක්සිකෝවේ ස්වදේශික ජනයා 90%ක් පමණ විනාශ කරන ලදී.
ඒ අමානුෂික සහසික ඝාතනයන් පිළිබඳ සමාව හෝ අයැද නොසිට සෛවරී ස්වාධීන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව විසින් තමන්ගේ රාජ්‍ය දෙකඩ වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් පිළිගත් මිලිටරි ක්‍රියාමාර්ග අනුගමනය කර රට බෙදීම වළක්වා ගැනීම පිළිබඳව චෝදනා එල්ල කරන ලදී. මෙය ඔවුන්ගේ වංචනික භාවයේ ඇති මුඳුන් පැත්තයි. කැනඩාව, අමෙරිකා සමඟ එකතු වී ඇෆ්ගිස්ථානය පහර දීම සිදු විය. ඉරාකය ආක්‍රමණය කර යටත් කිරීම සහ ලිබියාව සොහොන් බිමක් බවට පත්කරලීය. එසේම 2021 වසරේදී ඉන්දිය නේවාසික පාසල්වල භූමියේ තිබී සලකුණු නොකළ සොහොන් බිම් 751 සොයා ගනු ලැබිණි. එහි පහරදීම් වලින්, නිරාහාරව, දුෂණය කිරීමෙන් මිය ගිය දරුවන් විය. ඊට පෙර වසරේ කැනඩාවේ තවත් ප්‍රාන්තයක එවැනි දරුවන් 215කගේ ඇටසැකිලි සොයාගෙන ඇත. 1866 -1900 කාලය තුළ ස්වදේශික ළමයි 6000ක් ඝාතනයට ලක් වී ඇති බව පෙනෙයි. මේ සම්බන්ධයෙන් 2021 වසරේදී විවාදයට ලක්විය. අපේ රටේ සංස්කෘතික සමාජය බලවත් රටවලට වඳින පුදන සමාජයකි. අපේ රටේ මාධ්‍යවල මෙවැනි කරුණු ඉතාමත් අඩුවෙන් ප්‍රචාරය වීම සිදු වෙයි. මේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ, ස්වදේශික ජනයා ඝාතනය කළ, ස්වදේශික ජනයාට අසාධාරණ ලෙස සලකන රාජ්‍යයක් විසිනි. සලකුණු නොකළ සොහොන් බිම් හමු වූ අවස්ථාවේදි එයට වගකිව යුත්තේ පාසල් පාලනය කළ වතිකානුවන් බව ඔවුන් පැවසුවද වතිකානුව පාසල් පාලනය කළ ද ඒ පාසල් තිබුණේ කැනඩාවේ බවට තර්කයක් මතු වෙයි. ඒ නිසා ඒ මරණවල වගකීම කැනඩාවේ ආණ්ඩුවට භාරගත යුතුය.
කැනඩාව යනු නේටෝවේ සමාජිකයෙකි. එය ලෝකයේ බලවත් රටවල යුද සන්ධානයයි. 1991 - 1949 දී නේටෝව ආරම්භ කරනුයේ සෝවියට් දේශයෙන් එන කොමියුනිස්ට් තර්ජනය පරාජය කිරීමටයි. කොමියුනිස්ට් තර්ජන පහවයෑමෙන් අනතුරුව නේටෝව තවදුරටත් පැවතිම කිසිදු සාධාරණීකරණය කිරීමට හේතුවක් නොතිබුණි. මේ මානව ඉතිහාසයේ විශාලතම දරුණුතම ඝාතනයන් ඉන් අනතුරුව සිදු කරන ලද්දේ නෙටෝ සංවිධානය විසිනි. නේටෝව මානව ඉතිහාසයේ ලක්ෂ දස ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කරන ලදී.
1991 දි ඉරාකයකට 1995දී බොස්නියාවට පහර දීම, 1998 දී යුගොස්ලාවියාව බිඳ දැමීම, සර්බියාවට එකදිගට දින 98 ගුවනින් පහරදීම, 2001 ඇෆ්ගනිස්ථානයට ආක්‍රමණය, 2003 ඉරාකය ආක්‍රමණය කිරීම ඉරාකය ආක්‍රමණය කිරීමෙන් දසලක්ෂ ගණනින් සාමාන්‍ය ජනතාව ඝාතනය විය. ලිබියාව, සිරියාව, යේමනය පහර දීම සිදු විය. මේ සඳහා හවුල් වන රාජ්‍යය කැනඩාවයි. මේ දෘෂ්‍යමාන සත්‍ය තමන්ගේ බලය නිසා යටපත් කිරීමේ අරමුණ කුමක් ද? මෙහි අරමුණ ඔවුන්ට අවශ්‍ය පරිදි ලෝකය පාලනය කිරීමේ ව්‍යාපෘතියයි. ලෝකය පාලනය කරන්නේ අධිපති ධනවත් සහ බලවත් රටවල් විසිනි.
අන්තර් ජාතික කරුණු සම්බන්ධ විචාරකයෙක් වන සාමිර් අමීන් වරක් ප්‍රකාශ කළේ මෙය ත්‍රිමූර්තියේ බවයි. එනම් වත්මන් ලෝකය පාලනය කරන්නේ අමෙරිකාව, කැනඩාව, යුරෝපා සංගමය සහ ජපානය යි. මේ බලවත් රාජ්‍යයන් ප්රජාතන්ත්රවාදි සළු පිළි ඇඳගෙන මුළු ලෝකයම තමන්ගේ ග්‍රහණය යටතේ තබා ගැනීමට උත්සාහ කරයි. ඒ රාජ්‍ය යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් ඒ රාජ්‍ය පහරදී ආණ්ඩුව පෙරළිම සිදු කරයි. තමන්ගේ අණසක යටතේ ඇති රාජ්‍ය සතු සම්පත් කොල්ල කෑමෙන් තමන් ඉහළ ආර්ථික මට්ටමක් භුක්ති විඳීමේ අරමුණ ඔවුන් සතු වෙයි. අපිට ඇති ලොකුම අභියෝගය මේ ආධිපත්‍යවාදි ලෝක රටාවයි. ඒ ලෝක නායකයන් යහපත් ආදර්ශ පාඨ ඉදිරියට දමමින් ලෝකය පාලනය කිරීමට ගෙන යන කුරිරු ක්රියාදාමයයි. මේ ක්‍රියාදාමය හමුවේ අපේ රටවල් කළ යුත්තේ තේරුම් ගැනීම සහ තමන් ශක්තිමත් ආර්ථීකයක් ගොඩනැඟීමයි. ඒ ආර්ථිකයේ අවසන් විය යුත්තේ ඵලය සාධාරණ ලෙස බෙදී යන සමාජ ක්‍රමයක් සකස් කිරීමයි. ඒ රටවල ජීවත් වන ජන කොටස් අතර තිබෙන ප්‍රශ්න සාධාරණ ලෙස හා සාමකාමී ලෙස සමථයකට පත් කර ගැනීම අනිවාර්ය වෙයි. අද අපි මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය පවා මේ ලෝක රටාව ප්‍රධාන හේතුවකි. මේ කරුණු තේරුම් නොගතහොත් අධිරාජ්‍යවාදයට සහ එහි ග්‍රහණයට නතු වීම සිදු වෙයි. ස්වාධීන සෛවරී අභිමානවත් ජනතාවක් ලෙස ජීවත් වීමට නම් ඒ අභියෝගය අපි ජය ගත යුතුයි.