මෙවන් ස්වාභාවික විපත් යළි ඇති නොවීමට නම්... | සිළුමිණ

මෙවන් ස්වාභාවික විපත් යළි ඇති නොවීමට නම්...

 අපේ ර‍ෙට් ජනතාවට විපත් රැසක් ගෙන ආ ස්වාභාවික විපතක් අවසන් වී ඇතත් ඒ විපත නිසා අපි පාඩම් ඉගෙන ගැනීම අපට මතුවට සෙත සලසන්නක් බව අවධාරණය කළ යුතු ය‍.

මහවැස්ස ඒ විපතේ ආරම්භය බව ඇත්නම් නමුත් ඒ විපත තව දෙගුණ තෙගුණ ව‍ුණේ අපම රටේ හැමතැනම සිදු කරන පාරිසරික විනාශය නිසයි. වනාන්තර එළිකිරීම අවිධිමත් තේ හා කුරුඳු වගාව - අවිධිමත් ඉඩම් පරිහරණය කැලෑ ගිනි තැබිම ඉහළ ජලාධාර හා ජලාශ හා වැව් සංරක්ෂණය නොකිරීම පමණක් නොව පාරිසරික, ඉඩම්, වාරිමාර්ග සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක නොවීම මීට ප්‍රධාන හේතු බව අප කළ ගවේෂණයකදී පැහැදිලි විය.

1967 ට පසු දිවයිනේ දිස්ත්‍රික්ක 15 කට බලපෑ මහා ගංවතුර හා නායයෑම් පිළිබඳව අපට ලියන්නට සිදු ව ඇත්තේ ජගත් පරිසර දිනය ද අබිිමුව තබාගෙන ය.

දෛවයේ සරදමට මෙන් හෙටට යෙදී ඇති මෙවර පරිසර දිනයේ තේමාව ද වන්නේ සොබාදහම සමඟ ජීවත්වීමයි. මේ අනුව ම අපේ රටේ පසුගිය දිනවල ඇති වූ ස්වාභාවික විපත් බොහොමයට හේතුව සොබාදහම සමඟ හරියට ජීවත් නොවීමත් ආපදාවකට මුහුණදීමට අපේ සමහර රාජ්‍ය ආයතන නිසි කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමත් ය.

පසුගිය දිනවල බල පැවැත්වුණු ගංවතුර නාය යෑම් විපත් පිළිබඳව අපි මුලින් ම විමසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කාලගුණ අනාවැකි පිළිබඳව අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතාගෙනි.

“අපි වැස්ස පිළිබඳව කාලගුණ අනාවැකි පළකළා‍. නමුත් කිව්වාට වඩා වැස්ස වැටුණා. අපි වර්ෂාපතනය පිළිබඳව දත්ත ගණන් කරන්නේ පැය 24 කට සැරයක්. ඒ නිසා යම් ප්‍රදේශයකට මිලිමීටර් 150 ක් විතර වහින කොට ජනතාවට දන්වන්න ක්‍රමයක් නැහැ. ඒකට පරිගණක ගත ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන පිහිට විය යුතු යි. කොළඹ රත්නපුරය හා පොලොන්නරුව ඇතුළු ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවලදී වැස්ස ඇතුළු කාලගුණ දත්ත තොරතුරු අපි පැය තුනෙන් තුනට මනිනවා. ඒත් අනිකුත් තැන්වල මනින්නේ පැය 24 කට සැරයක් “අතුල මහතා පැවසීය.

අප රටේ කාලගුණ මැනීමේ මධ්‍යස්ථාන 23 ක් තිබේ. ඉන් වායුගෝලයේ උෂ්ණත්වය, පීඩනය, වර්ෂාපතනය, සුළං වේගය හමන දිසාව, සාපේක්ෂ ආර්ද්‍රතාව, මනිනු ලැබේ.

ඊට අමතරව වලාකුළු වර්ග හා තිබෙන උස ද ඝනකම ද මනින අතර ඒ සඳහා සෑම කාලගුණ මධ්‍යස්ථානයකම පැය 24 පුරාම වැඩ මුර ක්‍රමයට සේවකයෙක් රාජකාරි කටයුතුවල සේවයේ නිරතව සිටී.

ඒ අය සාමාන්‍යයෙන් උදේ 5.30 සිට පැය 3 ක වරක් දිනකට අටවරක් මේ දත්ත කාලගුණ විද්‍යා ප්‍රධාන කාර්යාලයට දැන්විය යුතුව ඇත. කෙසේ නමුත් ඒ දත්ත ඇසුරෙන් වැස්ස පිළිබඳ කාලගුණ අනාවැකිය නිකුත් කිරීමට තාක්ෂණික පහසුකම් ඇත්තේ පැය 24 කට වරක් පමණක් බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් ජයසේකර මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන අතර ඒ අනුව ඉදිරියේ රටේ කාලගුණ මධ්‍යස්ථානවලට ලැබෙන වැසි ප්‍රමාණය පැය තුනෙන් තුනට රටට හෙළි කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවයි. කෙසේ වුවත් ලෝකයේ බොහෝ රටවල ඒ තාක්ෂණය ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳව කාලගුණ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ අප සතුව ඒ තාක්ෂණය තවම නැති බවයි. ඒ සඳහා පරිගණක ගත ක්ෂණික තොරතුරු ලබාදීමේ තාක්ෂණය ඔවුන්ට අවශ්‍ය වේ.

කෙසේ වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරු කීප දෙනෙක්ම පැවසුවේ මීට ව‍ඩා හොඳට කාලගුණ දත්ත සැපයීමට හැකි පරිදි දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් වසර 10 ක් තිස්සේ විවිධ අවස්ථාවල ඇස්තමේන්තු මඟින් මුදල් ඉල්ලුවත් ලැබුණේ ඉන් සියයට 10 – 20 ක් පමණක් බවයි. මේ අනුව මේ කාලගුණ දත්ත ක්ෂණිකව නොදීමේ වගකීම අදාළ අමාත්‍යාංශය ද දැරිය යුතු ය.

‍ෙමරට ඇතුළත වායු ගෝලීය අවකාශය හා රට අවට අවකාශය ද සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි කාලගුණ දත්ත ලබාගෙන අප රටටත් අවට රටවලටත් ක්ෂණිකව ප්‍රාදේශීය කාලගුණ දත්ත ලබාදිය හැකි ඩොප්ලර් ‍ෙර්ඩාර් යන්ත්‍රයක් 2011 දී දෙණියායේ ගොන්ගල කන්දේ ස්ථාපිත කර තිබේ. රුපියල් දස ලක්ෂ 500 ක් ඇමෙරිකන් සමාගමකට ගෙවා සවිකළ බව කාලගුණ විද්‍යාඥයන් පවසන මේ සුවිශේෂී යන්ත්‍රය සව්කළ දිනයේ ම ක්‍රියා විරහිත වී ඇත. පසුව එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එය ප්‍රතිඵල රහිත විය.

දැනට වසර 6 ක් ගත වී ඇතත් ඒ යන්ත්‍රය ක්‍රියාත්මක බවට පත්කිරීමට හිටපු කාලගුණ අධ්‍යක්ෂවරු කටයුතු කර නොතිබීම ජාතික අපරාධයකි‍.

මෙම යන්ත්‍රය ගොන්ගල කන්දේ මීටර් 2500 ක් උසින් සවි කර ඇත්තේ රට ව‍ෙට්ට තොරතුරු ලබාගැනීම හා ලබාදීම පහසු වන පරිදි ය. නමුත් පසුගිය කාලයේ එම ‍රේඩාර් යන්ත්‍රයට අදාළ පරිගණක කොටස් ද සොරකම් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු තාක්ෂණික ශිල්පීහු පවසති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ හිටපු කාලගුණ අධ්‍යක්ෂවරයෙක් පැවසුවේ මේ රේඩාර් යන්ත්‍රය හරියට ක්‍රියාත්මක වුණා නම් පසුගිය 25 රාත්‍රියේ කුකුලේගඟ ප්‍රදේශයට මිමී. 500 ක වැස්සක් ලැබෙන බව වැස්ස ලැබීමට පැය 2 – 3 කට පෙර පැවසීමට හැකියාව තිබුණු බවයි.

එපමණක් නොව මේ යන්ත්‍රය මඟින් එක් එක් ප්‍රධාන නගරවල වැස්ස ඇතිවෙන වේලාව වැස්සේ තීව්‍රතාව හා වැස්ස තිබීමට හැකි කාලය මෙන් ම අකුණු ඇතිවීමට ඇති හැකියාව, අකුණු ඇතිවෙන ප්‍රදේශ හා එහි තීව්‍රතාව පිළිබඳ විස්තර පැහැදිලිව පැයකට පමණ පෙර ලබාගන්නට හැකියාව තිබුණු බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසයි.

පසුගිය දිනක මේ පිළිබඳව අපි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ ඒ යන්ත්‍රය පිළිබඳ විමර්ශන කොට එය අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවයි. නමුත් ඇමැතිවරයා එසේ කියා වසරකටත් වැඩිය. වැඩේ කෙරී නැත. මේ අතර ඇමැතිවරයා බදාදා පැවසුවේ ජපානයෙන්වත් තවත් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් ගෙන්වන බවයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ හිටපු කාලගුණ අධ්‍යක්ෂ කේ‍.ආර්. අභයසිංහ මහතා පවසන්නේ මෙවන් විපතක් යළි නොවීමට නම් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය අනුව කාලගුණ අනාවැකි පැවසීමට හැකි අයුරින් පොහොසත් කළ යුතු බවයි‍. ඒ සමඟම රුපියල් කෝටි ගණනක් ගෙවා මෙරටට ගෙන්වා ඇති වසර 6 ක් අක්‍රීයව ඇති ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු නිෂ්පාදන සමාගමේ පූර්ණ සහාය ද ලබාගත යුතු බව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසයි.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කෘෂිකර්ම හා ජල කළමනාකරණ ජාතික උපදේශක ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසන්නේ අපේ ගංගා ද්‍රෝණි 103 මඟින් මුහුදට ගලා එන ඝන මීටර 56ක ජල ප්‍රමාණය සීමා කරන්න ක්‍රමයක් ඇති කළොත් ජලගැලීමේ ගංවතුර අවම වන බවයි. ඒකට කරන්න ඕන දේ තමයි ඒ ගංගා ද්‍රෝණිවල ඉහළ විශාල ජල ගබඩා ජලාශ ඉදිකිරීමයි‍. ඒක ලෝකයේ ලොකු ගංගාවල ඉහළ ප්‍රදේශයේ කරන සුවිශේෂී වැඩක්. ඒක වියළි කාලයටත් ජලය ලබාදෙන කටයුත්තක්.

සංඛ්‍යාත්මක ලෙස ගත්විට මහවැලි ග‍ඟෙන් වසරකම ඝන මීටර් මිලියන 11016 ක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගමන් කරනවා. කළු ග‍ඟේ ඒ ප්‍රමාණය ඝන මීටර් මිලියන 7502 ක්. කැලණි ග‍ඟෙන් ඝන මීටර් මිලියන 5490 ක් එලෙස වැඩක් නොගෙන මහ මුහුදට යනවා” ආචාර්ය ධර්මසේන පවසයි.

“අපේ රටට ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නැහැ. ඒ වගේ ම ජල මූලාශ්‍යය ඉහළ ජලාධාර සුරැකීමට ප්‍රතිපත්තියක් ‍නැහැ. පාංශු සංරක්ෂණ පනත තිබුණට එයත් ක්‍රියාත්මක නැහැ. මේ නිසා තමයි මේ ගංවතුර හා නායයෑම් වැඩි වන්නේ. ආචාර්ය පී. බී. ධර්මසේන පවසයි.

පසුගිය සති දෙක ඇතුළත මෙරටට බලපෑ බරපතළ ස්වාභාවික ව්‍යසනවලට ප්‍රධාන හේතුවක් වන්නේ අවිධිමත් ගොඩනැඟිලි ඉදිකිරීම් හා අවිධිමත් තේ වගාව. ඒවාට යොදන ‘රවුන්ඩ් අප්’ වැනි කෘමිනාශක බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හා පරිසරවේදී හේමන්ත විතානගේ මහතා පවසයි. “අද මේ රටේ තේ වවන්න අක්කරයකට ලක්ෂ 3 - 4ක් සහනාධාර දෙනවා. හැබැයි ඒ තේ ඉඩම්වල කිසිම වෙන ගහක් වවන්න බැහැ. ඉඩමේ පිහිටීම බෑවුම බව ඔප්පුවල ස්වභාවය පිළිබඳ කිසිම වග විභාගයකින් තොරව තේ වවන කෙනාට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආධාර දෙනවා. ඊට පස්සේ තේ වවනවා. වල්නාශක ලෙස ‘රවුන්ඩ් අප්’ යොදනවා. ඒකට පස් බුරුල් වෙලා වැස්ස ආ විට මුළු ඉඩම් ප්‍රදේශයම නාය යනවා. ඒකයි මේ කළුතර, අගලවත්ත, බුලත්සිංහල පැතිවල පමණක් නොව දකුණු පළාතෙත් සිදුවුණේ” හේමන්ත විතානගේ මහතා පැවැසීය.

ඊට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගංවතුර වැඩිවූ බව ද හේමන්ත විතානගේ මහතා අවධාරණය කරයි. මේ අධිවේගී මාර්ගය ඉදිකරලා තිබෙන්නේ වේල්ලක් ලෙස. වතුර ගලා බැසීමට බෝක්කු පාලම් පලළ හා ගැඹුර මදියි. මේ නිසා තමයි කළු ග‍ඟේ ජලය බසින විට බුලත්සිංහල, අඟුරුවාතොට යාල වගේ ප්‍රදේශ වැඩිපුර යට වුණේ. අපි මේක හදනකොට ඕක කිව්වා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මිනිස්සු පරිසරය විනාශ කිරීම තමයි ආපසු අපිට විපාක දීලා තිබෙන්නෙ” හේමන්ත විතානගේ මහතා පැවැසීය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ ප්‍රධානී හා එම අංශයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පවසන්නේ මෙවර සිදුවූ නායයෑම් රැසකට හේතුව බෑවුම් ප්‍රදේශවල අවිධිමත් තේ වගාව, කුරුඳු වගාව හා රබර් වගාව බවයි. බෑවුම්වල ඇති රබර් ගස් බැකෝවලින් ගලවලා පස්සේ වළවල් කපලා පැළ හිටුවනවා. ඒවාට වතුර පිරෙනවා. ඒ සමඟම බෑවුම්වල ගොඩනැඟිලි ඉදිකිරීම පොදුවේ අවිධිමත් ඉඩම් පරිහරණය මේ විපතට ප්‍රධාන හේතුවයි. මේ විපත්වලින් බේරීමටනම් පොළොවෙන් ප්‍රයෝජන ගැනීමත්, පොළොව හැරීමත් ඉතා පරික්ෂාවෙන් කළ යුතුයි. බණ්ඩාර මහතා පවසයි.

අපි කළුතර බුලත්සිංහල පාහියන්ගල, අගලවත්ත, පැල්මඩුල්ල, කිරිබත්ගල, මොරවක්තැන්න වැනි නාය ගිය ස්ථාන සියල්ලම වාගේ පරීක්ෂා කළා. ඒ ආශ්‍රිතව මිනිස්සු අවිධිමත් ලෙස පදිංචි වෙලා හිටියේ. අපි 2003 දී ඉවත් වෙන්න කියපු අයත් තාම ඒ තැන්වලම ඉන්නවා. සමහර අය මේ සැරේ අනතුරට පත්වෙලා. අපිට කරන්න දෙයක් නැහැ. ඇහැලියගොඩ අපි අයින් වෙන්න කියපු කන්දක එක පැත්තක අය ඉවත් වෙලා. කන්ද නාය ගිහින් අනිත් පැත්තෙ අය කීප දෙනෙක්ම මැරිලා. මම කියන්නෙ අයින් වෙන්න කියපු අය වහිනකොටවත් අයින් වෙන්න. බෑවුම්වල ගෙවල් හැදීම නවත්වන්න කියලයි.” බණ්ඩාර මහතා කීය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පේරාදෙණිය සරසවියේ සම්මානිත මහාචාර්ය හා භූ විද්‍යාව පිළිබඳ උපදේශක මහාචාර්ය කපිල දහනායක මහතා පැවසුවේ මෙවර වැඩිපුර නාය ගොස් ඇත්තේ පස් හා බොරලු වැඩිපුර ඇති කඳු බවයි. ඒවා සමහරක් වනාන්තර නැති කඳු බවත් සමහරක තේ හා රබර් වගා තිබු බවත් මහාචාර්යවරයා පවසයි. ඒ සමඟ නාය යෑම්වල පූර්ව ලක්ෂණ අනුව ඒ ස්ථානයෙන් ඉවත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. මි. මි. 100 ට වඩා වැස්ස ඇති විට හිටිඅඩියේ ගොඩනැඟිලි ඇතුළතින් හෝ අවට ස්ථානවලින් මඩ වතුර සහිත උල්පත් මතුවීම, බිම පැළීම, ගිලා බැසීම, ගස් ඇළවීම, තිබෙන ජල උල්පත්, ජල මාර්ග, හිටිඅඩියේ අතුරුදන් වීම ඒවාට මඩ එකතු වීම යම් යම් අවට ස්ථාන ගිලා බැසීම නායයෑමේ පූර්ව ලක්ෂණ වේ.

කාලගුණ විද්‍යාඥයන් හා එතෙර මෙතෙර පර්යේෂණ ආයතන නිරිතදිග මෝසම් කාලයේදී වැඩි වැස්සක් ඇති වීමට ඉඩ ඇති බවට මැයි මස මුලදී අනාවැකි පළ කර තිබිණි. නමුත් එයට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටපුරා ජනතාව දැනුම්වත් කිරීමක් කළේ නැතැයි මිහිතල මිතුරෝ පරිසර පදනමේ සභාපති ප්‍රියදර්ශන සමන් කුමාර මහතා චෝදනා කරයි.

නායයෑම් පිළිබඳ පූර්ව ලක්ෂණ පිළිබඳවත් නායයෑම් ගැන අනතුරු අඟවා ඇති ප්‍රදේශවල ජනතාවටවත් කියා දුන්නේ නැත. පාසල්වල ගම්වල ආපදා කළමනාකරණ වැඩමුළු පැවැත්වූයේ නැත. ඔවුන් කළ එකම වැඩේ සුනාමි පිළිබඳව අනතුරු ඇඟවීම් පෙරහුරු පැවැත්වීම පමණි.

මෙවර ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් පුද්ගලයන්ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලැබුණේ මොනවා ද? ප්‍රාදේශීය ලේකම්වරු ලබා දුන්නේ මොනවා ද? කවුරුවත් මේවා පිළිබඳ නොදනී. ඇත්තෙන්ම මේ රටේ ත්‍රිවිධ හමුදාවත් මාධ්‍ය ආයතන ටිකත් නැත්නම් ඒ අවතැන්වූ ගංවතුරට අසුවූ ගංවතුරට කොටු වූ ජනතාව හාමතේය. ගංවතුරෙන් නායයෑම්වලින් බේරුණු ජනතාවට සිදුවන්නේ බඩගින්නේ මැරෙන්නටය. මෙහිදී ගුවන් හමුදාව කළ කාර්යභාරය අතිවිශාලය. පැසසුම් කටයුතුය. මේ විපතේදී රාජ්‍ය නිලධාරීන්ගේ සියලු නිවාඩු අවලංගු කළ බව කීවත් බුලත්සිංහල පාලින්දනුවර අගලවත්ත වැනි ප්‍රදේශවල සමහර ග්‍රාම නිලධාරී, නිලධාරිනියන් ගෙයින් එළියටවත් බැස නැත.

මේ අතර රජය දැනට ක්‍රියාත්මක කරන ගංවතුරට අසුවූ අයට පමණක් ආධාර දීමේ ක්‍රමය වැරදිය. ගංවතුරට හසුවූ අයට වඩා කොටුවූ අය වැඩිය. ඒ අයට කිසිම කෑමක් බීමක් නැත. තිබු කෑම බීම ගංවතුරට බයේ තම ගෙවල්වලට ආ අයට දී අවසන්ය. නමුත් කොටුවූ අයට තවම ආධාර නැත. මේ කටයුත්තේදී ඇඟ බේරාගන්නා නිලධාරීහු ද සිටිති. කිසිම ආධාරයක් නොලැබුණු අවතැන් වූවන් ද තවම ඇත. මේ පිළිබඳව කටයුතු කිරීමට ජනාධිපතිතුමා අගමැතිතුමා කොතරම් උපදෙස් දුන්නත් සමහර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත්තේ ඉතා අලසවය. අද අපේ රටේ මහවැලි මහ ජලාශ ඇතුළු සියලු ජලාශවල සියයට 20 - 60 අතර ධාරිතාවක රොන්මඩ තිබෙනවා. රටේ වැව්වලින් සියයට 90ක් ගොඩ වෙලා. පාරම්පරික ගමේ වැව් දකින්න නැහැ. ඉතින් අප කළ යුත්තේ මේ ජලාශවල රොන්මඩ හා වැව්වල මඩ ඉවත් කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.” මේ අදහස් පළ කළේ ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී. පී. මුණවීර මහතායි.

“මේ පසුගිය විපතට ප්‍රධාන හේතුව අධික වැස්ස හා පරිසර විනාශයයි. අපි පරිසරයට විපතක් කළොත් අපට පරිසරය ඒකට අහිතකර ලෙස ප්‍රතිචාර දක්වනවා.” යැයි මුණවීර මහතා පැවැසීය.

Comments