
දළදා සමිඳුන් වැඩ හිඳින මහනුවර නගරයේ වැව රවුමේ අම්පිටිය රතු බෝක්කුව ආසන්නයේ නිවසක හුදකලාව ජීවත් වූ දෙදරු මවක් ගෙල කපා ඝාතනය කෙරුණේ පසුගිය මස 14 වැනිදාය. ඊට මහනුවර පමණක් නොව රටේම අවධානය යොමු විය.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසේ උඩු මහළේ පදිංචිව සිටි පුද්ගලයා ඝාතකයාව දැක තිබිණි. ඔහු පොලීසියට පවසා තිබුණේ පිහියක් අතැතිව සිටි ඝාතකයා මෙය 'පවුලේ ප්‍රශ්නයක්' යැයි පවසමින් ඝාතනයෙන් අනතුරුව නිවසින් පිටව ගොස් ත්‍රිරෝද රථයකට නැඟ පළා ගිය බවය. ඝාතකයා පළාගිය ත්‍රිරෝද රථය හඳුනා ගැනීමෙන් පසු එහි රියදුරු කැඳවා පොලීසිය ප්‍රකාශයක් ලබාගත්තේය. ත්‍රිරෝද රථයට පුද්ගලයින් දෙදෙනෙක් නැඟ ගන්නෝරුව දක්වා ගොස් මුදල් දී බැස ගිය බව ඔහු පවසා තිබිණි. ඝාතකයා හඳුනා ගැනීම සඳහා පොලීසිය මේ සාක්කි දෙක ඔස්සේ පරීක්ෂණ කළත් එමගින් සාර්ථක ප්‍රතිපල අත්නොවීම නිසා සිද්ධිය පිළිබඳ විමර්ශනයට පොලිස් කණ්ඩායම් හතරක් යෙදවීමට මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.
ඝාතනයට ලක්වූ කාන්තාව කාමිණී රණසිංහය. ඇය විශ්‍රාමික රාජ්‍ය සේවිකාවක වන අතර මීට වසර 10 කට පමණ පෙර සිදුවූ සැමියාගේ මරණයෙන් පසු ඇය ජීවත්ව ඇත්තේ පුතු සහ දියණිය සමඟය. මීට වසර දෙකකට පමණ ඉහතදී පුතු සහ දියණිය රැකියා සඳහා ඩුබායි බලා පිටත්ව යාමත් සමඟ ඇය නිවසේ වාසය කර ඇත්තේ හුදකලාවය.
මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජී.එස් බණ්ඩාර මේ ඝාතනය සිදුවූ දින මූලික විමර්ශනවලින් පසු දින කිහිපයක් නිවාඩු ගෙන පැමිණීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාවගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂා කළේ එමගින් යම් වැදගත් හෝඩුවාවක් හමුවේ යැයි සිතාය. මාතර විකුණන්නට තිබෙන ඉඩමක ඡායාරූපයක් වට්ස්ඇප් ඔස්සේ මේ කාන්තාවට එවා තිබෙනු ඔහු දකින්නේ එහිදිය.
ඝාතනය සිදුකර පළායන අතරතුර ඝාතකයා ත්‍රිරෝද රථයේ රියදුරුට ‘මාතර යමු‘ යැයි පවසා තිබීම නිසා මෙම ඝාතනය සහ මාතර ප්‍රදේශය අතර සම්බන්ධයක් තිබිය හැකියැයි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කල්පනා කළේය. මාතර ලෙස මුලට යොදා කාන්තාවකගේ නමින් දුන්නු ගබඩා කර තිබූ අංකයක් අමතා කතා කළ අවස්ථාවේ ස්ථානාධිපතිවරයාට ඇය පවසා තිබුණේ මියගිය කාන්තාවගේ බෑණා දැනට විකුණන්නට දමා තිබෙන ඉඩමේ මුල් අයිතිකරු තමන් බවයි.
මේ ඉඩම සම්බන්ධයෙන් ආරවුල් මොනවත් තිබෙනවාද කියා විමසූ අවස්ථාවේ ඇය ස්ථානාධිපතිවරයාට පවසා තිබුණේ එවැනි කිසිවක් නොමැති බවයි. යළිත් දින දෙකකට පසු ස්ථානාධිපතිවරයා එම අංකයට ඇමතුමක් ගත්තේය. කාන්තාව "ඉන්නකෝ මම මගේ මහත්තයාට දෙන්නම්" කියා ඇය දුරකතනය ඇගේ සැමියාට දී තිබේ. "සර් ඔය ඉඩම ගත්ත 'පුතා' ඒක විකුණන්න කියලා මුලින් බාරදීලා තිබුණේ එයාගේ තාත්තට.පස්සේ මොනවාහරි හිත් අමනාපයක් නිසා ඒ පුතා ඉඩම විකුණන එක නැන්දම්මට බාරදීලා තියෙනවා. මේ නිසා පොඩි හිත් අමනාපයක් ඇතිවුණාද කියලා සැකයි යනුවෙන් ඔහු පැවසීමත් සමඟ ස්ථානාධිපතිවරයා ඝාතනයට මෙය මුල් වූයේද යන සැකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරන්නට පටන් ගත්තේය.
'මාතර මාමා' යනුවෙන් දුරකතනයේ සේව් කර තිබූ තවත් දුරකතන අංකයක් පිළිබඳ ස්ථානාධිපතිවරයාට සැකයක් ඇතිවූයේ ඊට පසුය. මහනුවර පොලීසියෙන් බව පවසා එම අංකයට ඔහු කතා කර තිබේ. මහනුවර දී ඝාතනයට ලක්වූ කමනී රණසිංහ අඳුරනවාදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ ‘ඔව් වලස්මුල්ලේ අපේ ගේ ඉස්සරහා එයාගේ බෑණාගේ ඉඩමක් විකුණන්න තිබෙනවා... ඒ නිසා අපි කීප වතාවක් කතාකර තිබෙනවා‘ යනුවෙනි.
ඒ ඉඩම සම්බන්ධව ප්‍රශ්න තිබේදැයි විමසූ අවස්ථාවේ මාතර මාමා පවසා ඇත්තේ ‘එවැනි ප්‍රශ්න තිබෙන බවක් තමන් නොදන්නා බව‘යි.මියගිය කාන්තාවගේ දියණියගේ මාමණ්ඩිය පිළිබඳ සුළු සැකයක් මතු වුවත් එය පිටතට නොපෙන්වා අවමංගල්‍යය කටයුතුවලට සහභාගි නොවූ පවුලේ අය කවුදැයි ස්ථානාධිපතිවරයා ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියගෙන් සහ ඇගේ සැමියාගෙන් විමසුවේය. ‘මහත්තයාගේ තාත්තා මරණෙට ආවේ නැහැ‘ යනුවෙන් දියණිය පැවසුවාය.
ස්ථානාධිපතිවරයාගේ සැකය තවත් තහවුරු වුවත් ඔහු සැබෑ ඝාතකයාද යන්න තහවුරු කර ගැනීමට එම කරුණු කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ‘මරණය සිද්ධ වුණාට පස්සේ තාත්තා දැක්කද?‘ යනුවෙන් තවත් ප්‍රශ්නයක් ස්ථානාධිපතිවරයා යොමු කළේය. දියණිය පිළිතුරු දුන්නේ ‘එදා ඉඳන් දැක්කේ නෑ‘ යනුවෙනි. නැවතත් 'මාතර මාමාට' දුරකතන ඇමතුමක් ලබාගත් ස්ථානාධිපතිවරයා ඉඩම මිලදී ගත් පුතාගේ තාත්තා අන්තිම වතාවට මාතර ආවේ කවදාදැයි විමසුවේය. ‘පහුගිය 16 වැනිදා වගේ තමයි ආවේ‘ යනුවෙන් ඔහු පැවසුවේය. එය එසේ නම් ඒ ඝාතනයට දින දෙකකට පසුය. ‘ඇඳගෙන ආවේ කුමක්ද?‘ කියා විමසූ අවස්ථාවේ ‘අත්දිග කමිසයක්‘ යනුවෙන් මාතර මාමා පිළිතුරු දුන්නේය.
ත්‍රිරෝද රථයෙන් පළායන අවස්ථාවේ ඝාතකයාගේ අතේ තුවාලයක් තිබෙනු දුටු බව එහි රියදුරු පවසා තිබිණි. එසේ නම් මොහු අත්දිග කමිසයක් ඇඳ පැමිණියේ තුවාලය වසා ගැනීමටද යන සැකය ස්ථානාධිපතිවරයාට මතුවිය. ඔහු දෙවරක් නොසිතා ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියට කතාකර මාමණ්ඩියගේ ඡායාරූපයක් ‘වට්ස්ඇප්‘ ඔස්සේ ගෙන්වා ගත්තේය.
ඝාතනය සිදුව විනාඩි කිහිපයකදී එම ස්ථානයට පැමිණි ඉහළ මහලේ පදිංචි පුද්ගලයාගේ දුරකතනයට වට්ස්ඇප් ඔස්සේ අදාළ ඡායාරූපය යොමුකර ඔහු හඳුනනවාදැයි විමසූ අවස්ථාවේ ‘සර් මෙයා තමයි එදා පිහියක් අතේ තියාගෙන හිටියේ‘ යනුවෙන් පවසා තිබේ. අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.එස් බණ්ඩාර පොලිස් පරීක්ෂකවරුන් වන තුෂාර, රූබි, උප පොලිස් පරීක්ෂකවරුන් වන චානක, තිලකරත්න, කොස්තාපල් (85517) දිසානායක යන අය සමඟ වෑන් රථයකින් කඩවත ගෝනහේනට ගියහ.
සැකකරු පදිංචිව සිටින නිවසට 27 දින අලුයම 3.00 ට පමණ ගියත් ඔහු එහි නොසිටියේය. ඒ අසල නිවසක ඔහු සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය අදාළ නිවසට යන විට පළායෑමට උත්සහ කළ සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කාමණී රණසිංහ ඝාතනයට යොදාගත් පිහියද ඔහුගේ නිවස ආසන්නයේ ළඳු කැලෑවක තිබී පොලීසිය සොයාගෙන තිබේ. ඝාතනය සඳහා ප්‍රධාන සැකකරුට උදව් කළ කඩවත අනෙක් පුද්ගලයාද කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියිට හැකිවිය.
මෙම ඝාතනය සඳහා මුල්වී ඇත්තේ ප්‍රධාන සැකකරුගේ බාල පුතාට අයත් වලස්මුල්ලේ පිහිටි ඉඩමකි. ඝාතනය වූ කාන්තාවගේ දියණියගේ සැමියා මෙම ඉඩම සහ කඩ කාමර දෙක මිලට ගෙන ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතය. ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ බිරියගේ පාර්ශවයේ මැදිහත්වීම මතය. ඔවුන් වලස්මුල්ලේ පදිංචිකරුවන්ය. විදේශගතව සිටින බැවින් ඇටෝනි බලපත්‍රයක් මගින් ඉඩම විකිණීමේ බලය බාල පුතා පවරා තිබුණේ පියාටය. ඒ අතර වැඩිමල් පුතාගේ බිරියට අදාළ නිවසේ පදිංචි වීම සඳහා පියා අවස්ථාව ලබාදී තිබුණේ වැඩිමල් පුතාද විදේශ රටක රැකියාව කරන බැවිනි. පියාගේ ඇතැම් ක්‍රියාකලාපයන් අනුමත නොකළ බාල පුතු පියාට පවරා තිබූ ඇටෝනි බලය යළි පවරාගෙන එය බිරියගේ මවට ලබාදී තිබුණේ ඉඩම විකිණීමේ වගකීම ඇයට පවරමිනි. විවාහ වූ පසු තමන්ට වඩා බිරියගේ මව විශ්වාස කිරීම පිළිබඳව මෙම පියා පසුව ඇත්තේ දැඩි වෛරයකිනි...එය පිටතට පැමිණියේ ඔහු මිනීමරුවෙකු බවට පත් කරමිනි...
ඝාතනය සිදුකළ 14 දින පෙරවරුවේ බස් රථයකින් මහනුවරට ප්‍රධාන සැකකරු පැමිණ තිබෙන්නේ මිතුරෙකුද සමඟය. මහනුවර ඔරලෝසු කණුව අසල සිට දළදා මාලිගාව අබියසින් උල්පැන්ගේ හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ වැව රවුමේ කෙළවරට ගොස් තිබෙන මොවුන් පස්වරු 2.00 ට පමණ නිවසට ඇතුළු වී තිබේ. ප්‍රධාන සැකකරු නිවසට යද්දී අනෙක් පුද්ගලයා පිටතට වී ඔත්තු බලමින් සිට ඇත.
තම පුතාගේ නැන්දණියගේ ගෙල කපා ඝාතනය කරන්නට යද්දී ඇයද ජීවිතය බේරා ගැනීම සඳහා මොහුට පිහි පහරක් එල්ල කර තිබේ. ඉන් ප්‍රධාන සැකකරුගේ එක් අතක කැපුම් තුවාලයක් ඇතිව තිබෙන අතර අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ එයට කඩවත ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් මැහුම් හතක් යොදා තිබෙන බවයි.
ඝාතනය සිදු කිරීමෙන් පසු ලේ තැවරුණු කමිසය ගලවා බෑගයේ තිබූ වෙනත් කමිසයක් ඇඳ ත්‍රිරෝද රථයෙන් ගන්නෝරුවට ගිය සැකකරුවන් ඉන් බැස පේරාදෙණියෙන් බස් රථයකට නැග කඩුගන්නාවට ගොස් තිබේ.
එතැන් සිට දුම්රියෙන් කැලණිය දක්වා ගිය මොවුන් කෙළින්ම ගොස් තිබෙන්නේ කඩවත ගෝනහේනේ නිවසටය. එහිදී ලේ තැවරුණු කමිසය පුළුස්සා දැමූ සැකකරු එදින රැය පහන් කර ඇත්තේ නිවසේය. රාත්‍රි රූපවාහිනි ප්රවෘත්ති විකාශනයේදී මහනුවර කෝටිපති කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙන බව ප්‍රකාශ වීමත් සමඟ බිරිය ‘අර දුවගේ අම්මා නේද මරලා තියෙන්නේ‘ යැයි විමසා තිබේ. ‘තමුසෙද මැරුවේ‘ යැයි ඇය විමසූ පැනයට සැකකරු ලබා දී තිබුණේ ‘ඔව්‘ යන පිළිතුරය. පසුදින සැකකරු මාතර බලා ගොස් තිබේ. මවගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු දියණිය ඇගේ සැමියා සමඟ දින දෙකක් නතර වී තිබෙන්නේද සැකකරු පදිංචිව සිටි නිවසේය.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 62 හැවිරිදි අබේසිංහ ආරච්චිලාගේ කෝලිත හා ඔහුගේ සහයට පැමිණි 57 හැවිරිදි සෙනරත් චන්ද්‍රකුමාර දෙදෙනා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ ද අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාගත කෙරිණි.