දුරකතන ඇමතුමෙන් කොටු වූ වැල්ලම්පිටියේ ‘මාරයෝ’ | සිළුමිණ

දුරකතන ඇමතුමෙන් කොටු වූ වැල්ලම්පිටියේ ‘මාරයෝ’

කිසියම් අපරාධයක් සිදු වූ අවස්ථාවක ඒ බව පොලිසියට සැලවීමත් සමඟ විමර්ශන ආරම්භ කරන්නේ ක්ෂණයෙනි. පොලිසිය එලෙස විමර්ශන සිදුකරන ඇතැම් අවස්ථාවලදී සැකකරුවන් පලා යන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඇස්වලටද ‘වැලි‘ ගසමිනි. ඇතැම් විමර්ශන නිලධාරීන්ගේ අලස බව මෙන්ම වෙනත් බලවේගද ඊට හේතු වන අවස්ථා නැතුවාම නොවේ.

කෙසේ හෝ කලක් තිස්සේ නොවිසඳි පවත්නා අපරාධ විසඳීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාස (සීසීඩී) නිලධාරීන් දක්වන්නේ මහත් උනන්දුවකි. මීට මාස හයකට පමණ පෙර එනම් ගිය වසරේ ජූලි 25 වැනිදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදු වූ මිනිස් ඝාතනයක සුලමුල අනාවරණය කරගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඇතුළු කණ්ඩායමට පසුගිය තුන්වැනිදා හැකි වූයේ එම නිලධාරීන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

ඉකුත් ජූලි 25 වැනිදා රාත්‍රී 8.10ට පමණ ජනාකීර්ණ වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධවලින් කපාකොටා එලෙස ඝාතනය කෙරුණේ පතිරණගේ ප්‍රකාශ් තිළිණ කුමාරය. ඝාතනය වන විට 34 හැවිරිදි වියේ පසු වූ ප්‍රකාශ් තිළිණ කුමාර දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ප්‍රකාශ්, නිතර මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නෙකු ලෙස ප්‍රකට නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්ගේ එකම සහෝදරයාය.

ඔරුගොඩවත්ත, මීතොටමුල්ල, කුරුනියාවත්තේ පදිංචිව සිටි ප්‍රකාශ් තිළිණ අමානෝ වැහි පීලි නිපැයුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සේවා ස්ථානයද පිහිටියේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේමය.

දෙපාර්ශ්වයක් අතර පැවැති ආරවුල්වලට මැදි වීම හේතුවෙන් ප්‍රකාශ්ටද නඩු කිහිපයක්ද තිබී ඇත. එම ගැටුම්වලදී පුද්ගලයන් කීප දෙනෙක්ම ප්‍රකාශ්ලාගේ පාර්ශ්වයෙන් පහර කෑම්වලටද ලක්ව සිටි බවක්ද පොලිසියට වාර්තා වී තිබිණි. එම ආරවුල් මුල් කරගෙන පැවැති නඩුවලට කලක් බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රකාශ්ට මාසයේ අවසන් ඉරු දින වැල්ලම්පිටිය පොලිසියේ පෙනී සිටින්නට ද සිදුවී තිබිණි. ඒ අධිකරණ නියෝග අනුවය.

වැල්ලම්පිටිය ජනාකීර්ණ පෙදෙසකි. විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් ගහන වැල්ලම්පිටියට පිවිසෙන ඔරුගොඩවත්ත ගුවන් පාලම ‘යට‘ ප්‍රදේශය ඒ අවට තරුණයන් කණ්ඩායම් වශයෙන් ගැවසෙන ප්‍රකට තැනකි. ඉකුත් වසරේ ජූලි 25 වැනිදා සවස් යාමය එළැඹියේය. ඒ වන විට ඔරුගොඩවත්ත ගුවන් පාලම අවට ප්‍රදේශයම ගණ අන්ධකාරයෙන් වෙළි තිබුණේ දෛනිකව සිදුවන විදුලිය විසන්ධිය හේතුවෙනි. එහෙත් ප්‍රකාශ් ඇතුළු මිතුරන්ට එම විදුලි විසන්ධිය සිය අල්ලාප-සල්ලාපයට කිසිම බාධාවක් ඇති කෙළේ නැත. වේලාව රාත්‍රී 8 ට පමණ විය. ප්‍රකාශ් පාලම යට බුදු පිළිමය අසල වාඩිවී දුරකතන ඇමැතුමක් ගනිමින් සිටියේය. ඒ වන විට එම ස්ථානයේ සිටි ඔහුගේ මිතුරෙක්ද පසු වූයේ දුරකතන ඇමැතුමකය. එක්වරම ගණ අඳුර කපාගෙන විදුලි වේගයෙන් ඇදී ආවේ සුදු පැහැති වැගන්ආර් වර්ගයේ මෝටර් රථයකි. එසේ පැමිණි වාහනය ක්ෂණයෙන් එම ස්ථානයේ නතර විය. එසැණින් එහි පිටුපස දොරවල්වලින් බසින්නෙ කළු පැහැති මුහුණු ආවරණ සහ කළු පැහැති ජැකට් පැලඳි දෙදෙනෙකුය. කඩු අතැතිව සිටි මේ දෙදෙනා බුදු පිළිමය අසල දුරකතන ඇමැතුමක සිටි ප්‍රකාශ්ට තියුණු ආයුධවලින් මරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ ප්‍රකාශ් මරළතෝනි දෙද්දීය.

වම් කකුලට වැදුණු කඩු පහර කාගෙන ප්‍රකාශ් මීටර් කිහිපයක දුරක් දිව ගොස් බිම ඇද වැටිණි. සාහසිකයන් ඔහුට එළව එළවා පහර දී තිබුණේ සිත්පිත් නැත්තන් විලසිනි. ඒ අතරේ ප්‍රකාශ්ගේ මිතුරා කෑගසද්දී ප්‍රකාශ්ට පහර දුන් දෙදෙනා තමන් පැමිණි රථයටම ගොඩ වී වැල්ලම්පිටිය දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කර තිබුණේ විදුලි වේගයෙනි.

ප්‍රකාශ්ගේ හිසට, වම් පාදයට කඩු පහරවලින් බරපතළ තුවාල සිදු වී තිබුණු අතර ඔහුගේ මුළු සිරුර පුරාම පාහේ කැපුම් තුවාල තිබිණි. බරපතළ තුවාල ලබා සිටි ප්‍රකාශ් ඔහුගේ මිතුරන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මෙලොව හැර ගොස් තිබුණේ අවාසනාවන්ත ලෙසය. ප්‍රකාශ්ගේ ඝාතනය සැලවීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විරාජ් ඇතුළු කණ්ඩායම ආරම්භ කළේ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේද උපදෙස් මතය.

දින කීපයකට පසු වැල්ලම්පිටිය පොලිසිය කළ විමර්ශන අනුව ප්‍රකාශ්ගේ ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි. අනතුරුව එම සැකකරුවන් දෙදෙනා මාස කීපයකට පසු ඇප මත මුදා හැරිණි. එහෙත් ප්‍රකාශ් තිළිණගේ ඝාතනයේ සුලමුල කිසිවක් අනාවරණය නොවුණේ සැකකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සැරිසරන්නටද ඉඩ ප්‍රස්ථාව විවර වෙමිනි.

මේ අතර මෙකී ඝාතනයේ විමර්ශන වැල්ලම්පිටිය පොලිසියට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයටද (සීසීඩී) භාර කෙරුණේ මෙවැනි විමර්ශනවලදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් පෙන්වා තිබෙන දක්ෂතා නිසාය. ඒ අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගොඩගේගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් විමර්ශන ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඇතුළු කණ්ඩායමට එම විමර්ශන භාර කෙරුණේ පසුගිය මාසයේදීය. ඒ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඒකක 6 ස්ථානාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසුවය.

පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක නොවිසඳුණු අපරාධයක් සේ යට යමින් තිබූ එම ඝාතන සිද්ධිය ගැන මුල සිටම සොයා බැලීය. වැල්ලම්පිටිය පොලිසිය මඟින් මේ අපරාධයට ඒ වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැනද දැඩි අවධානයක් යොමු කෙරිණි. වැල්ලම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ ‘මාධව‘ නමැත්තෙක් සහ වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන පුද්ගලයෙකි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ වාහනයක්ද සමඟිනි.

වැල්ලම්පිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාධව ඝාතනය වූ ප්‍රකාශ තිළිණගේ ඥාතියෙකි. මාධව විවාහ වී සිටියේ ප්‍රකාශ්ගේ සහෝදරයා ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සහෝදරියක සමඟිනි. ඒ අනුව ඩෑන් සහ මාධව දෙමස්සිනෝ වූහ. වැල්ලම්පිටියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි මාධව ගැන සීසීඩී විමර්ශන නිලධාරීන් දැඩි අවධානයක් යොමු කළේය. එහිදී බුද්ධි නිලධාරින්ගෙන්ද හෙළි වූයේ ඩෑන් සහ මාධව අතර යම් විරසකයක්ද තිබෙන බවටයි. ඒ පවුලේ විරසකයකි. එහෙත් විමර්ශන නිලධාරීන් උභතෝකෝටිකයකට මුහුණ දුන්නේ ඩෑන් සමඟ පවත්නා ‘සාමාන්‍ය‘ ගැටුමකට ප්‍රකාශ් අමානුෂික ලෙස කපාකොටා ඝාතනය කරන්නට තරම් මාධවට ඇති වුවමනාව කුමක්ද යන්න ගැනයි. මාධව පිළිබඳ සැකය එලෙසම පවතිද්දී විමර්ශන නිලධාරීන් ඒ දිනවල පැවැති ‘අරගලයේ‘ යම් හේතුවක් නිසා ප්‍රකාශ් ඝාතනය කරන්නට ඇතැයි යන ඇතිවූ සැකය නිසා ඒ ගැනද සොයා බලන්නට විය.

මේ අතර විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ්ගේ ඝාතනය ගැන තවත් කතාවක්ද සැල විය. ඒ ප්‍රකාශ් මත්කුඩු කිලෝවක් ජාවාරම්කරුවකුගෙන් ණයට ගෙන ඊට ‘පොල්ල‘ තැබීම නිසා සිදු වූවක් බවට වූ කටකතාව ගැනය.

ප්‍රකාශ් ඝාතනය ගැන විමර්ශනවල තත්ත්වය එවැනි වටපිටාවක පැවැතියද විමර්ශන දිගින් දිගටම සිදු වෙමින් පැවැතිණි. ඒ අතර විමර්ශන නිලධාරින් මාධව භාවිත කළ ජංගම දුරකතනයේ ඇමැතුම් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තේ ප්‍රකාශ්ගේ ඝාතනය පිළිබඳ කිසියම් හෝ හෝඩුවාවක් ඒ මඟින් හෝ ලබා ගැනීමේ හැකියාවක් ඇද්ද යන්න සැකයෙනි. එහිදී ගිය වසරේ ජුලි 25 වැනිදා ප්‍රකාශ් ඝාතනය වූ රාත්‍රී 8.10 අතර කාලයේ පැය භාගයක් වැනි කාලයක් ඇතුළත එක් අංකයකින් මාධවට දුරකතන ඇමැතුම් පහ-හයක් ලැබි තිබිණි. එම අංකය ගැන සොයද්දී ඒ මාධවගේ පියාගේ දුරකතන අංකයයි. එම අංකයෙන් ඊට පෙර මාධවට ලැබුණු දුරකතන ඇමැතුම් ගැනද සොයා බැලීය. එහිදී අනාවරණය වූයේ ලැබී ඇත්තේ දිනකට එක් ඇමැතුමක් හෝ දින දෙකකට එකක් වැනි ප්‍රමාණයක් බවයි. එහෙත් ප්‍රකාශ් ඝාතනය කළ මොහොතේ පැය භාගයක් වැනි කාලයකදී ඇමතුම් පහ-හයකි. එසේම එදින මාධවට සිය පියාගේ දුරකතනයෙන් ඇමතුම් 18ක්ද ලැබී තිබුණේ අසාමාන්‍ය තත්ත්වයක් එදින තුළ පෙන්නුම් කරමිනි.

ඒ තත්ත්වය විමර්ශන නිලධාරීන්ට මහත් සැකයක් ගෙන දෙන්නක් විය. සීසීඩී නිලධාරීන් ඒ ඔස්සේ මාධවගෙන් නැවත ප්‍රශ්න කළේය. එසේම මාධවගේ පියා 50 හැවිරිදි බන්දුල බියල් හෙවත් බන්දුගේ ඉතිහාසය ගැනද විමර්ශන නිලධාරීන් සොයා බැලීය. ඔහු මීට පෙර මීතොටමුල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශවලදී මිනිස් ඝාතන තුනක් සිදු කළ අයෙකි. 1996 වසරේදී ප්‍රථම ඝාතනය සිදු කර තිබිණි. ඊට අමතරව 2002 වසරේදී සහ 2013 වසරේදීද ඝාතන සිදු කර තිබිණි. එම මිනිස් ඝාතන තුන සඳහාම ඔහුට මේ වන විටත් නඩු පවතී. එසේම එම ත්‍රිත්ව ඝාතන ගැන වැඩිදුරටත් සොයා බලද්දී පොලිස් නිලධාරීන්ට අනාවරණය වූයේ බන්දු එම ත්‍රිත්ව ඝාතන සිදුකර තිබුණේ කඩුවලින් කපා-කොටා අමානුෂික ලෙසිනි. මීතොටමුල්ලේ පදිංචිකරුවෙක් වන වන බන්දු එම ඝාතනවලින් පසුව 2013 වසරේදී පමණ පදිංචිය වෙනස් කරමින් කඩවත, වෑබඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබිණි. එහෙත් ඔහු වැඩිපුර ගැවසෙන්නේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේමය.

ප්‍රකාශ් ඝාතනය කර තිබුණේත් අමානුෂික ලෙස කඩුවලින් කපා-කොටා දමමිනි. එයද පොලිසියේ සැකයට හේතු වූයේ බන්දු ඊට පෙර සිදු කළ ඝාතන තුනත් කපාකොටා සිදු කිරීම නිසාවෙනි. අනතුරුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ්ගේ ඝාතනය පිළිබඳ මාධවගේ පියා බන්දුගෙන්ද ප්‍රශ්න කෙළේය. ඒ අතරේ ප්‍රකාශ් ඝාතනය වූ දින මාධව විසින් දුරකතන ඇමැතුම් ගත් සියලු දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා වෙන වෙනම ප්‍රශ්න කරන ලදී. එසේම මාධවගේ දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවේදී ගොතටුවේ තරුණයෙක් ගැනත් හෙළි විය. ඔහු හමුවීමට මාධව ගොස් තිබුණේ ඉන්ධන ලබා ගැනීමටය. වෙන වෙනම ප්‍රශ්න කළ අය අතර එම ගොතටුවේ තරුණයාද විය.

“සර්... මාධවලා කිව්වා... එයාලා ඇවිත් පෙට්‍රල් ගත්ත බවක් කාටවත්ම කියන්න එපා කියලා...“ ගොතටුවේ තරුණයාගේ එම ප්‍රකාශයද විමර්ශන නිලධාරීන්ගේ මහත් සැකයට භාජනය වූයේ පෙට්‍රල් ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ලබා ගැනීම සේ සඟවා තබාගත යුතු ආකාරයේ අපරාධයක් නොවන නිසාය.

“ඒ කතාවත් එක්ක අපට ලොකු සැකයක් මතු වුණා... පෙට්‍රල් ගත්තු කතාවේ මොකක්හරි ඇති කියලා... ඒ කතාවයි දුරකතන ඇමැතුම් ගැනයි පැය ගාණක් කට්ටියගෙන් වෙන වෙනම ප්‍රශ්න කරද්දී ඒ අය ‘හිර‘ වුණා...“ යැයි විමර්ශනයට එක් වූ නිලධාරියෙක් පැවැසීය.

අනතුරුව පොලිසියෙන් ගැලවීමක් නොමැති වග තේරුම් යෑමත් සමඟ මාධවගේ පියා ‘බන්දු‘ පාපෝච්චාරණය කෙළේ ප්‍රකාශ් ඝාතනය තමන් ඇතුළු කණ්ඩායම කළ බවත් එය තමන්ට තවත් එක් නඩුවක් පමණක් බව පිළිගනිමිනි.

ඒ අනුව පසුගිය තුන් වැනිදා බන්දු සමඟ ප්‍රකාශ් ඝාතනයට පැමිණි ඔහුගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනා වන 25 හැවිරිදි දුලාන් මධුෂංක හෙවත් දුලා, 21 හැවිරිදි සමිත මධුෂංක සමඟ වැල්ලම්පිටියේම තරුණයෙක් වන 25 හැවිරිදි කසුන් තාරක නමැත්තාද අත්අඩංගුවට ගත්තේ ඝාතනයට පැමිණි CAX 1397 දරන සුදු පැහැති වැගන්ආර් රථය සහ ඝාතනයට යොදාගත් කඩු දෙකද සමඟිනි.

ඔවුන් සිවුදෙනා අත්අඩංගුවට ගත්තද මාධව සීසීඩී නිලධාරීන් විසින් අත්අඩංගුවට නොගත්තේ ඔහු මෙකී ඝාතනය සම්බන්ධයෙන් ඒ වන විටත් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි හෙයිනි. පොලිස් පරීක්ෂක ජයතිලක ඇතුළු කණ්ඩායමේ සූක්ෂ්ම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ් ඝාතනයට අත්අඩංගුවට පත් සැකකරුවන් සිවුදෙනාගේ පාපෝච්චාරණ අනුව හෙළි වන්නේ මෙවැන්නකි.

බන්දුගේ පුතු මාධව සිය මස්සිනා වූ ඩෑන් සමඟ පවුලේ විරසකයකින් පසු විය. එසේම මාධව 2021 වසරේදී මත්කුඩු ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමඟ පොලිසියට කොටු වූයේත් ගිය වසරේ ජුලි මස මුල් දිනවල සමාජ මාධ්‍යයන්හි ‘කොලොන්නාවටම කුඩු බෙදන්නේ මාධව සහ ඔහුගේ කණ්ඩායම‘ යැයි සඳහන් සමාජ මාධ්‍ය ‘පෝස්ට්ටුවක්‘ අප්ලෝඩ් කළේත් ඩෑන් ඇතුළු පිරිස යැයි සැකයෙන් මාධව දැඩි අවුලෙන් පසුවන්නට විය.

මාධව ළඟින්ම ඇසුරු කළේ ඔහුගේ බාප්පාගේ පුතුන් දෙදෙනා වන දුලාන්, සමිත සහ කසුන්ය. කසුන් ඉතා හොඳින් අධ්‍යාපනය ලත් 25 හැවිරිදි වියේ පසු වූ වැල්ලම්පිටියේම පදිංචි තරුණයෙකි. ඔහු රට රටවලටද ගොස් මෙරට ප්‍රමුඛ පෙළේ ෆිනෑන්ස් සමාගමක රුපියල් ලක්ෂ හතරක පමණ වැටුපක් ලබනා කළමනාකාර තනතුරක් දරන්නෙකි. ඩෑන් සමඟ අවුලෙන් පසුවූ පිරිස ගිය වසරේ ජූලි මාසයේ දිනක් කතිකාවක නිරත විය.

“මචං... අපි ඩෑන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන...“ එකෙක් කීවේය. එසැණින් තවෙකෙක් කීවේ,

“එහෙනම් අපි ප්‍රකාශ්ගේ කකුල් දෙක කඩලා දාමු...“ සියලු දෙනා ඊට එකපයින් එකඟ වූයේ ප්‍රකාශ් සමඟද පිරිසට කිසියම් ගනුදෙනුවක් තිබූ නිසාවෙන් වන්නට ඇතැයි පොලිසිය සැක කරති.

ඒ අනුව පිරිස ප්‍රකාශ්ට වැඩක් දීමට ‘සෙට්‘ වූයේ ඉකුත් වසරේ ජුලි 24 වැනිදාය. ඒ අනුව මුලින්ම ඒ සඳහා අවශ්‍ය මෝටර් රථයක් 24 වැනිදා සිට දින තුනකට කුලී පදනම මත ලබාගත්තේ කසුන් මාර්ගයෙන් අයිඩීඑච් ප්‍රදේශයෙනි. ඒ කසුන් සිය සමාගමට මෝටර් රථ කුලී පදනම මත ඇණවුම් කරන ස්ථානයකිනි. ඒ දිනවල පැවැති ඉන්ධන හිඟය නිසා එම රථයට අවශ්‍ය ඉන්ධන ලබාගත්තේ ගොතටුවේ සිටින මිතුරෙකුගෙනි. එම මිතුරාට කතාකොට ලීටර් 5 ඉන්ධන කෑන් දෙකක් රැගෙන ආවේය. එදින මාධව සිය මිතුරන් තිදෙනා වන දුලා, සමිත, කසුන් සහ සිය පියා බන්දු සමඟ එක්ව ප්‍රකාශ්ට ‘වැඩක්‘ දීමට සියල්ල සූදානම් කෙරුණේ දුරකතන ඔස්සේ ඇමැතුම් රැසක් ලබා ගනිමිනි.

දිනය ඉකුත් වසරේ ජුලි 25 වැනිදාය. ප්‍රකාශ් සුපුරුදු පරිදි සෑම දිනෙකම පාහේ සවස් යාමයේ වැල්ලම්පිටිය ගුවන් පාලම යට බුදු මැදුර අසලට මිතුරන් කීප දෙනෙකු සමඟ එක් විය. ඔහු එදින එම ස්ථානයට රැස් වෙද්දී දෛනික විදුලි කප්පාදුවද සිදුවී තිබිණි. මාධව ඔහුගේ යතුරුපැදියේ නංවා එදින සවස් යාමයේ කසුන් සහ සමිත වැල්ලම්පිටිය ගුවන් පාලම අසලට යැව්වේ ප්‍රකාශ් සිටිනවාද සොයා බැලීමටය. ගණ අඳුර හෙයින් ඔවුන් දෙදෙනාට එක්වර ප්‍රකාශ් එම ස්ථානයේ සිටිනවාද යන්න හඳුනාගත නොහැකි හෙයින් දෙදෙනා වට කීපයක් එම ස්ථානයේ සැරිසැරුවේ ප්‍රකාශ් නිශ්චිත ලෙසටම සිටින වග තහවුරු කරගැනීමටයි.

“මාධව... ‘ප්‍රකාශයා‘ ඉන්නවා... ඌ හරියටම ඉන්නෙ බුදු පිළිමේ ඉස්සරහා බිම වාඩිවෙලා...“ එම තොරතුරත් සමඟ වැගන්ආර් රථයේ රියැදුරු අසුනට මාධව ගොඩවෙද්දී පිටුපස අසුනේ දකුණු පසට බන්දු නඟිද්දී දුලාන් වම් දෙසින් රථයට ගොඩ විය. දෙදෙනා අතම කඩු දෙකක් විය.

වැගන්ආර් රථය එදින රාත්‍රී 8.10 වෙද්දී ප්‍රකාශ් සිටි ස්ථානයට පැමිණියේය. රථයේ දකුණු පැත්තෙන් කඩුවක් අතැතිව මුලින්ම බැස්සේ බන්දුය. ඔහු පළමු කඩු පහර ප්‍රකාශ්ට එල්ල කරද්දී රථයේ පිටුපස වම් පැත්තෙන් කඩුවක් අතැතිව බැසගත් දුලාද ප්‍රකාශ්ට කොටන්නට වූයේ හිත්පිත් නැත්තන් විලසිනි. අනතුරුව දෙදෙනා ප්‍රකාශ්ට එළව එළවා කොටන්නට වූයේය. ප්‍රකාශ්ට මරාන්තික ප්‍රහාරය එල්ල කළ සැණින් පිරිස ගියේ මීතොටමුල්ලටය. එහිදී දුලාන් ඔහුගේ කඩුව රැගෙන වැගන්ආර් රථයෙන් බැස ගියේය. බන්දු වැගන්ආර් රථයෙන් කඩුවද රැගෙන කඩවත නිවෙසට ගියේය. මාධව, සමිත සහ කසුන් ගිය ඔහුගේ යතුරුපැදියෙන් කඩවත ගියේය.

පිරිස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඝාතනයට පැමිණි වැගන්ආර් රථය අයිඩීඑච් ප්‍රදේශයේ තිබියදීත් පහර දීමට යොදා ගත් කඩු දෙක බන්දුගේ සහ දුලාගේ නිවෙස්හි තිබියදීත් සොයා ගැනිණි.

ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරී කණ්ඩායමේ සූක්ෂ්ම විමර්ශනයෙන් ප්‍රකාශ් තිළිණ කුමාරගේ ඝාතනයේ සුලමුල මාස හයකට පමණ පසු හෙළි වූයේ එලෙසය.

විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක, උපපොලිස් පරීක්ෂකවරුන් වන අසංක කුමාර, මධුශංක, සැරයන්වරුන් වන 14156 ජයන්ත, 11863 අජිත්, 61115 පෙරේරා, කොස්තාපල්වරුන් වන 83973 දිලංක, 91402 විජේසිරි, 100124 රන්දික, 100135 ප්‍රභාත්, 100173 බණ්ඩාර, 100344 කුමාර සහ 104482 චමිල් යන නිලධාරිහු සිදු කළහ.

 

Comments