මගේ පෙර කරු­මෙ­කට තමයි මෙහෙම ගුටි කන්න සිද්ධ වුණේ පෙර පින­කට තමයි මගේ ජීවිතේ බේරුණේ | සිළුමිණ

මගේ පෙර කරු­මෙ­කට තමයි මෙහෙම ගුටි කන්න සිද්ධ වුණේ පෙර පින­කට තමයි මගේ ජීවිතේ බේරුණේ

 

කුත් මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 74 දෙනකුගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි සිදුවිය. හිටපු ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරයකු වූ කුමාර වෙල්ගම ට එදින මුහුණ දීමට සිදුවූයේ ද ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන ජීවිතය තුළ කිසිදා අත්නොවිඳි සිදුවීමකටය. මැයි 9 වැනිදා රට පුරා ඇතිවූ නොසන්සුන්තාව අතරතුර අවේගශීලීව ලෙස හැසිරුණු පිරිසක් විසින් හිටපු ඇමති කුමාර වෙල්ගමට අමානුෂික ලෙස ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ අධිවේගී මාර්ගයේ කොට්ටාව මාකුඹුර පිවිසුම් මාර්ගය අසලදීය. එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කණ්ඩායමකගේ දැඩි ප්‍රහාරයට ලක්වූ හිටපු ඇමතිවරයා හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලැබිණ.

 

“මැයි 9 වැනිදා මට ඒ පහරදීම සිදුකළ තරුණ පිරිසට මම අනුකම්පා කරනවා. මගේ හිතේ ඔවුන් ගැන වෛරයක් නැහැ. මේ ගැන මම පහුගිය ජුලි 27 වැනිදාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. එදත් මම කිව්වේ ඒ තරුණයන්ට සමාව දෙනවා, ඔවුන්ට මම අනුකම්පා කරනවා කියලයි. ඒකට හේතුව එදා ඔවුන්ගේ පහරදීම නිසා මම තවත් අවුරුදු 20ක් ජීවත් වෙන්න තිබුණනම් එයින් අවුරුදු 10කින් මගේ ජීවිතය කෙටි වුණා. නමුත් මට පහරදීම සිදු කළ තරුණයෝ අවුරුදු 18,19 වයස්වල පසුවුණු මගේ මුනුපුරෝ වගේ පිරිසක්. ඔවුන් තව අවුරුදු පනහක්වත් ජීවත් වෙයිනේ. මට පහරදීලා මගේ වාහනේට ගිනි තියලා විනාශ කරපු වරදට වැරදිකාරයෝ වුණොත් ඔවුන්ට අනාගතයක් නැතිවෙනවා. පොලිස් රිපෝට් එකක් ගන්න බැහැ, ආණ්ඩුවේ රැකියාවකට යන්න බැහැ, පිටරටකට යන්න බැහැ. ඒ නිසා මම කල්පනා කළා මගේ ජීවිතේ ඒ අවුරුදු 10ද වටින්නේ ඒ තරුණයන්ගේ අවුරුදු 50 ද වටින්නේ කියලා. ඒ හින්දා මම ඒ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලවත් ඉල්ලීමක් කළේ නැහැ.”

හිටපු ඇමති කුමාර වෙල්ගම පැවසුවේ ඔහුටම ආවේණික සැහැල්ලු ස්වරයෙනි. ලෝකය අනිත් පැත්තට පෙරළුණත් නොසැලෙන පෞරුෂයකින් යුතු ඔහු මැයි 9 වැනිදා මුහුණ දුන් අනපේක්ෂිත අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ආවර්ජනය කළේ මෙසේය.

“එදා මම පුරුදු විදිහට වැඩකට කොළඹ ගිහින් වෙනදා වගේ රෑ අටට විතර මතුගම ගෙදර එන්න පිටත් වුණා. එදා උදේ ඉඳන් රටේ කලබල තිබුණු බව දැනගෙන හිටියට මට ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතුවේ නැහැ. මොකද මම මුලින්ම ගෝඨාභය මහත්තයට විරුද්ධ වුණ පුද්ගලයා හින්දා මට හිරිහැරයක් කරයි කියලා මම හිතුවේ නැහැ. ඒත් මාකුඹුරෙදි පොලු, මුගුරු අතේ තියාගෙන හිටිය තුන්හාරසීයක් විතර පිරිසක් අපේ වාහනේ නැවැත්තුවා. වාහනේ හිටියේ මමයි මගේ රියැදුරු සමීරයි පෞද්ගලික ආරක්ෂක නිලධාරියා බොතේජුයි. මම හිටියේ ඉස්සරහ සීට් එකේ. කට්ටිය වාහනේ නවත්තලා වාහනේට දිගට හරහට පහර දෙන්න පටන්ගත්තා. මුලින්ම මගේ රියැදුරා එළියට ඇදලා අරන් ඔහුට ගහලා ඇදගෙන ගියා. මගේ පී.එස්.ඕ.මහත්තයා මාව බදාගෙන ඔවුන්ට ආයාචනා කළා මට ගහන්න එපා කියලා. ඒත් පිරිස ඔහුටත් පහර දීලා වාහනෙන් එළියට ඇදලා දැම්මා. මගේ පැත්තේ දොර වැහිලා ලොක් වෙලා තිබුණු නිසා ඔවුන්ට ඒක ඇරගන්න බැරිවුණා. නමුත් වීදුරු කඩලා පුළුවන් හැම විදිහකටම මට ගැහුවා. පොලු මුගුරුවලින්, බැට්න් පොලුවලින් ගැහුවා; ඇන්නා.

එහෙම ගහද්දි එතැන හිටපු වයස අවුරුදු 30,35ක වගේ තරුණයෝ දෙන්නෙක් කිව්වා, මෙයාට ගහන්න එපා මෙයා තමයි ගෝඨාභයට මුලින්ම විරුද්ධ වුණේ කියලා. ඒත් අවුරුදු 19, 20 වගේ වයස්වල හිටපු තරුණයෝ කිව්වා, ඒක අපිට වැඩක් නැහැ, මූත් 225න් එකෙක් කියලා මට නොනවත්වාම පහර දුන්නා. ගහන්න පුළුවන් හැම විදිහකින්ම ගැහුවා. මට හොඳටම රිදුණා, තුවාල වුණා. මේ විදිහේ අත්දැකීමකට මම මුහුණ දුන්නේ ජීවිතේ පළමු වතාවට.”

ඒ අමානුෂික පහරදීමෙන් නොනැවතුණු තරුණයෝ අවසන ඇමතිවරයාගේ වාහනයට ගිනි තබන්නට ද කටයුතු කර තිබිණ.

“මුලින් මම වෙනුවෙන් කතාකරපු තරුණයෝ දෙන්නා කෑගහලා කිව්වා කාර් එකට ගිනි තියනවා කියලා. මම කිව්වා ඔවුන්ට මාව එළියට ඇදලා ගන්න කියලා. නමුත් දොර ලොක් වෙලා නිසා ඒක කරන්නත් බැරිවුණා. අද මූව මරනවා කිය කියලා තරුණ පිරිස දිගින් දිගටම මට පහර දුන්නා.”

එතරම් අකාරුණික අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන්නද දෛවය තමාගේ ජීවිතය රැකදෙන්නට කාරුණික වූ බව හිටපු ඇමති කුමාර වෙල්ගමගේ විශ්වාසයයි.

“ඒ වෙලාවෙම එතැනට තවත් තරුණ ළමයෙක් ආවා. එයා මාව අඳුනගෙන ලිවර් එකක් දාලා දොර කඩලා මාව ඉක්මනට එළියට ඇදලා ගත්තා. ඒ එක්කම අර පිරිස මාව පදික වේදිකාවට ඇදගෙන ගියා. ඒ වෙද්දි මගේ ඇඟේ සරම තිබුණේ නැහැ. කමිසෙත් ඉරලා දාලා. යට ඇඳුම විතරයි ඉතිරිවෙලා තිබුණේ. ඒ එක්කම මම දැක්කා මගේ කාර් එක ගිනි ගන්නවා. තව විනාඩි 3ක් මම වාහනේ ඇතුළෙම පිච්චිලා මැරෙනවා. ඔවුන්ට ඕන කළේ මට ඒ දේ කරන්නයි. අර තරුණයා ඉක්මනින්ම මාව ත්‍රිරෝද රථයකින් රෝහලට ගෙනිච්ච නිසා මගේ ජීවිතේ බේරුණා. කාර් එක තනිකරම ඊයම් ගුලියක් විතරයි ඉතිරි වුණේ. වාහනේ වටිනාකම සාමාන්‍යෙයන් ලක්ෂ 175ක් විතර වෙනවා. වාහනය විනාශ වුණාට කමක් නැහැ, මගේ ජීවිතේ බේරුණානේ, මම හිතන්නේ මගේ පෙර කරුමෙකට තමයි මෙහෙම ගුටි කන්න සිද්ධ වුණේ. ඒ වගේම පෙර පිනකට තමයි මගේ ජීවිතේ බේරුණේ. මීට අවුරුද්දකට විතර කලින් මට කොවිඩ් හැදුණා. ඒකෙන් පස්සේ මට හතිය හැදුණා. එදා පහර දීම නිසා හතිය තවත් වැඩිවුණා. ඒ ඇරෙන්න මට දැන් ප්‍රශ්නයක් නැහැ. එදා මට ප්‍රතිකාර කළ හෝමාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ඉතාම හොඳින් මාව බලාගත්තා.”

හිටපු ඇමති කුමාර වෙල්ගම ගේ රිය ගිනි තබා විනාශ කර තිබූ අයුරු

මැයි 9 වැනිදා මෙවැනිම දේපළ ගිනිතැබීම් ඇතුළු ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මුහුණ දුන් ඇතැම් දේශපාලඥයන්ට ඒ සිදුවීම දේශපාලනයෙන් සමුගැනීමට තරම් කම්පිත අත්දැකීමක් බවට පත්ව ඇත. එහෙත් හිටපු ඇමති කුමාර වෙල්ගම ඒ පිළිබඳ දරන්නේ මෙවැනි අදහසකි.

“ඒ සිදුවීම නිසා මට දේශපාලනය ගැන කලකිරීමක් නැහැ. නමුත් හරි දේ කතාකරපු මටම මෙහෙම වුණ එක ගැන කනගාටුයි. 225ම හොරු කියන ඒ තරුණ ළමයින්ට මේ ගැන හරි අවබෝධයක් නැහැ. මට හැඟුණු විදිහට මට පහර දීපු තරුණයන්ගෙන් වැඩි පිරිසක් හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි. ඔවුන් මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. ඒ වගේම මේ සිදුවීම පිටුපස ත්‍රස්තවාදී බලවේගයක් තියෙනවා කියලා මට විශ්වාසයි. 1970දිත් මම ජවිපේ අරගලය දැක්කා. 88, 89 කාලෙත් අපි ඒ අරගලය දැක්කා. අපි ඒකට විරුද්ධව වැඩ කළා. මරණ තර්ජනවලට නම් මම ඒ කාලෙත් ඕනෙතරම් මුහුණ දීලා තියෙනවා. මේ සිදුවීම පිටුපස තිබුණෙත් ඒ වගේම හස්තයක් තමයි. ”

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කරන තරමට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළ ශක්තිමත් ව්‍යාපාරික පවුල් පසුබිමකින් දේශපාලනයට පැමිණි හිටපු ඇමති කුමාර වෙල්ගම පැවසුවේ මෙවැනි අදහසකි.

“පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම වැවිලිකරුවෙක් විදිහට මතුගම වතුයායක සේවයට බැඳුණා. එතකොට මට වයස අවුරුදු 18ක් විතර ඇති. විවේකයක් ලැබෙන වෙලාවට මම ගම පුරාම ඇවිදිනවා. ගමේ වැඩිපුරම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඒ හින්දම වෙන්නැති මාවත් නිකම්ම වගේ ඒ පක්ෂෙට ඇදිලා ගියා. නමුත් මගේ තාත්තා හොඳ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක,ජේ.ආර් ජයවර්ධන මහත්වරුන් ඇසුරු කළ කෙනෙක්.ඔය අතරෙදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවෙන්න මට අවස්ථාව ලැබුණා. එතුමිය 1982දී මාව අගලවත්ත ආසනයේ ශ්‍රිලනිප සංවිධායක විදිහට පත්කළා.මට මතකයි මම ශ්‍රිලනිපයේ අගලවත්ත ආසන සංවිධායක වෙද්දි මගේ තාත්තා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආපු රැස්වීමක වේදිකාවට නැග්ගා. බණ්ඩාරනායක මැතිනියගේ මඟපෙන්වීම නිසයි අපි නිවැරදි දේශපාලන ගමනක් ආවේ. මැතිනියට පින් සිද්ධ වෙන්න 1989 මහ මැතිවරණයේදී අත ලකුණින් තරග කරලා පාර්ලිමේන්තුවට පත්වුණ මම වසර 30කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරයෙක්, ඇමතිවරයෙක් සහ කැබිනට් ඇමතිවරයෙක් දක්වා ඉදිරියට ආව ගමන ගැන මම සතුටු වෙනවා. ”

ඔහු ඒ අතීතය ආවර්ජනය කරන්නේ අභිමානයෙනි.

“මගේ පියා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ වැඩිම ලොරි තිබුණේ මගේ තාත්තට. මමත් එක්ක අපේ පවුලේ දරුවෝ 10ක්. ගැහැනු දරුවෝ 5යි. පිරිමි දරුවෝ 5 දෙනයි. මටත් දරුවන් පස්දෙනෙක් ඉන්නවා. ගැහැනු දරුවන් තිදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙක්. මුලින් දේශපාලනයට එන්න මගේ අදහසක් තිබුණේ නැහැ. ඒ නිසයි මම වැවිලිකරුවෙක් විදිහට ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නමුත් අද මම දේශපාලඥයෙක් වීම ගැන සතුටු වෙනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු කිව්වට ඒක ඇත්තක් නෙවෙයි. හොරකම් කරන නිලධාරියෝ වගේම ආදායම් බදුවලට වෙට්ටු දාන ව්‍යාපාරිකයොත් ඉන්නවා.

මහජනතාවත් තමන්ට යමක් ලැබෙනවා නම් ඒ දේ ගන්නවා. එහෙම බලද්දි මුළු රටම හොරු. ජනතාවට අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා මම පිළිගන්නවා. ඒකට මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මේ දක්වා තිබුණු හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ. නිලධාරිනුත් වගකියන්න ඕනේ. ඒ වගේම දේශපාලනයට නුසුදුසු අය පත්කරලා එව්ව ජනතාවත් වග කියන්න ඕනේ. මීට පස්සෙවත් තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දි ජනතාව මීට වඩා අවබෝධයෙන් වගකීමෙන් එය ඉටුකළ යුතුයි. ”

රටේ ඉදිරි දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ද අදහසක් පළ කරන්නට හිටපු ඇමතිවරයා අමතක නොකළේය.

“රනිල් වික්‍රමසිංහ තමයි දැනට අපේ රටට ඔබින නායකයා. එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකරලා නැහැ. ප්‍රායෝගිකව හොඳ තීන්දු ගන්නවා. සියලුම පක්ෂවල සහයෝගය ලැබුණොත් මේ ගැටලුවලින් අපේ රටට ගොඩඑන්න පුළුවන්. දේශපාලනය ගැන හොඳ දැනුමක් තියෙන කෘතහස්ත දේශපාලඥයෙක් විදිහට මම ඒ සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. වටු කුරුල්ලෙකුට තනිවම දැලක් උස්සන්න බැහැ වගේ අපි හැමදෙනාම එකතුවුණොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්.

මේ වෙලාවේ තමන්ගේ බලය රැකගැනීම ගැන නොහිතා රට ගැන හිතලා අපි හැමදෙනාම එකතු විය යුතු බවයි මගේ අදහස.”

 

 

Comments