සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය- බිම වැටුණු සඳ පහන 
කර්තෘ- කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා 
කර්තෘ ප්‍රකා­ශ­න­යකි 
මිල- රුපි­යල් 500/= 
පිටු ගණන- 100

1980 දශ­කයේ පාසල් සිසු­ව­කුව සිටි­යදී පුව­ත්ප­ත්ව­ලට කවි නිර්මාණ යොමු­ක­ර­මින් සහජ කාව්‍ය කුස­ල­තාව ඔප­ම­ට්ටම් කර­ගත් කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා සිය පළමු කාව්‍ය කෘතිය ‘විංශ­තිය’පළ කරන්නේ 1986 වස­රේ­දීය. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍ර­හය ප්‍රකා­ශ­යට පත්වන්නේ පළමු කෘතිය පළවී වසර තිස් හත­ර­කට පමණ පසු­වය. 2020දී ‘අකල් මේඝ මැද’ නමින් ඒ කෘතිය එළි දකින්නේ කොරෝනා කාලයේ ලියූ කවි එක­තු­වක් ලෙසිනි.

‘බිම වැටුණු සඳ පහන’ කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා විසින් රචිත තෙවැනි කාව්‍ය සංග්‍ර­හ­යයි. අද්‍ය­තන සමාජ, දේශ­පා­ල­නික අනු­භූ­තීන් මෙන්ම පුද්ග­ලා­නු­භූ­තීන් ද ඔහු සිය නිර්මාණ සඳහා පාදක කර­ගැ­නී­මට නිබ­ඳ­වම උත්සාහ දරන බවක් පෙනෙ­න්නට ඇත. කාව්‍ය රච­න­යට අම­ත­රව ගී පද රච­න­යේදී සම­ත්කම් පෙන්වන කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා සිය ප්‍රථම ගේය පද සංග්‍ර­හය එළි දක්වන්නේ ‘නුඹ මාලතී’ නම් කෘති­යෙනි. ඊට ගීත 18ක් අඩංගු වූ අතර, එය 2020 වස­රේදී සංයුක්ත තැටි­යක් ලෙසින් ද නිකුත් විය.

නිද­හස් අද­හස් ප්‍රකා­ශ­නය සඳහා කවිය භාවිත කරන කාශෂ්‍ය සත්‍ය­ප්‍රිය ද සිල්වා සමා­ජයේ සිදු­වන යම් යම් සිද්ධීන් ඇසී­මෙන්, දැකී­මෙන් සංවේදී වන, කම්ප­න­යට සහ සහ­ක­ම්ප­න­යට පත්වන සිය හද­වත නිවා ගන්නේ කවිය තුළිනි. ඉන් නොනැ­වතී තමා අත්වි­ඳින මනෝ භාව­යන් සහෘද හද­ව­තට දැනෙන ලෙස ආම­න්ත්‍ර­ණය කර­න්නට ද හේ සම­ත්කම් දක්වයි. ඒ නිසාම කවි 71කින් සම­න්විත මේ කාව්‍ය සංග්‍ර­හය තුළ ඇත්තේ අතී­තයේ සිට පැවත එන මේ ජන සමා­ජ­යේත්, සංස්කෘ­ති­යේත් සංකල්ප, විශ්වාස, මත­වාද, සිරි­ත්වි­රි­ත්ව­ලින් වත්මන් පර­පුර මුහුණ දෙන්නාවූ විවිධ සමාජ, සංස්කෘ­තික අභි­යෝ­ග­යන් හේතු­වෙන් උත්පා­ද­නය වූ සහ උත්පා­ද­නය වෙමින් පව­තින දෑය. ඒ නිසාම මේ කවි කිය­වන රසි­ක­ය­කුට එය තමා­ගේම අත්දැ­කී­මක් ලෙස හැඟීම අරු­ම­යක් නොවේ.

මෙම කාව්‍ය සංග්‍ර­හය පුද­ක­ර­මින් සිය ප්‍රිය බිරිය ප්‍රදීපා වෙනු­වෙන් ලියූ සරල, ආද­ර­ණීය කවි­ය­කින්ම කාශ්‍යප සත්‍ය­ප්‍රිය සිය කවි සිත විවර කරයි.

“අසී­මිත වූ ඔබේ ආද­ර­යට
දුප්පත්ම මේ කවි මිස
අසෙ­නිය කුසුම් නැත මට...”

එසේ කීවද එවැනි දුප්ප­ත්ක­මක් ඔහුගේ කවි තුළ නම් දැකිය නොහැ­කිය. විවිධ වස්තු බීජ ඔස්සේ සිය කාව්‍ය­මය ප්‍රති­භාව පෙන්වන අරු­ත්බර, සුන්දර කවි රැස­කින් මේ කාව්‍ය සංග්‍ර­හය පොහො­සත්ය.

පර­සතු මදාරා මල් පිපෙන දෙව්ලොව
ඇත දෙව් බඹුන් නෙක අප නොදත් සැප විඳ
වෙත් නම් දුවක් පියකු ගෙ හදට තුරු­ලු­ව‍
­ස­ක්විති සැපත් කුමට ද සියක් වස­රක

පියා සහ දිය­ණිය අතර ඇති අපූරු බන්ධ­නය දුවක මහිම නම් කාව්‍ය පන්තිය තුළින් ඔහු එසේ සඳ­හන් කරයි.

දුවක ලැබු­ණෝ­තින්
පෙර­හැර කොර­න්නයි
දන්සල් පළ කර­න්නයි
පින් නම් කොර­න්නයි
රජකු වී හිස කිරුළු ලන්නයි

දුවක ලත් පිය­කුගේ හද­වතේ අභි­මා­නය එසේ කවි­යට නඟන ඔහු සොබා­ද­හමේ අපූ­ර්ව­ත්වය තුළින් ජීවි­තයේ යථා­ර්ථය නිරූ­ප­ණය කරන අපූරු කවක් ලෙස කුරුලු ජෝඩුව කවි පන්තිය හැඳි­න්විය හැකිය.

උදේ තේ එක අතින් අර­ගෙන
බැල්ක­නියෙ දොර ඇරලා බැලු­වම
ඔය දෙන්න ගෙ ඇඳ තමයි රැඳුණේ
කබත් නොකැ­ඩුව මගේ ඇස්වල
එයා හිටියේ ඔයැයි පපු­වට
කෙස් අවුල් වුණු හිස තියා­ගෙන
ඔයාගේ ඇස් දෙස බලා­ගෙන...

ප්‍රේම­යෙන් සැන­සුණු හද­ව­ත­කට වියෝ­ගය තරම් දුක් දෙන තැනක් තව නැත. ජීවි­තය බෙදා­ගත් සහ­කරු හෝ සහ­කා­රිය තමාට පෙර දෙව්ලොව ගිය විට ඒ වේද­නාව කෙත­රම් දරුණු විය හැකිද? ඔබ, දෙව්ලොව කවි පන්ති­යෙන් කවියා පව­සන්නේ ඒ යථා­ර්ථ­යයි.

තෙරක් නොමැති කත­රක තනිව යනු බැරි
ගියත් අත­හැර මට හිත හදා­ගනු බැරි
අදත් වෙසක් සඳ නුබ නැඟෙන දව­සකී
ඇවිත් යන්න එන­වද මගේ හිමි­යනී

සහෘද හද­ව­තට දැනෙන නිර්මාණ රාශි­ය­කින් සම­න්විත මේ කාව්‍ය සංග්‍ර­හය රස­වි­ඳින පාඨ­ක­යාට එය තමාගේ අත්දැ­කී­මක් ලෙස හැඟෙ­න්නට තරම් සජී­වීය;පිරි­පුන්ය. අව­සාන වශ­යෙන් කවියා මෙසේ කියන්නේ කවිය නම් මෘදු භාෂ­ණයේ අගය නොදත් හද­ව­ත්ව­ලට ද ආම­න්ත්‍ර­ණය කර­මිනි.

“කුමට මේ කවි දැයක් පිබිදී
අලුත් රිවි රැස් නොම හැලේ නම්
කුමට මේ කවි රැයේ පිළු­ණුව
කසළ බඳු­නෙක අතැර යේ නම්...?”

Comments