මිදුණු විශ්වයෙන් වෙනස් තැන් සොයන නිර්මාණකරණයේ සොඳුරු ලකුණ | සිළුමිණ

මිදුණු විශ්වයෙන් වෙනස් තැන් සොයන නිර්මාණකරණයේ සොඳුරු ලකුණ

රස්වතී (1979), අත් (1985), මෝරා (1987), ඔත්තුකාරයා (1992) , හංකිති දහතුන (2018) ආදි නිර්මාණ කරමින් වේදිකාවට බට හෙතෙම වෙද හාමිනේ, වෙස්මුහුණ, දඬුබස්නා මානය, අකාල සන්ධ්‍යා, රැජන, සතරදෙනෙක් සෙන්පතියෝ සහ නන්නත්තාර ආදී නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය (ෂෝප් ඔපෙරා) කලාවේ ඔහුටම අනන්‍ය වූ සලකුණක් තැබීමට සමත් විය. පසුව සිනමාවට ප්‍රවිෂ්ට වූ ඔහු අග්නි දාහය (2002), ගරිල්ලා මාකටින් (2005), සමනල සංධ්වනිය (2013) මහරජ ගැමුණු (2015), ඝරසර්ප (2018), සහ මේ වන විට විකාශනය වන කාගේත් අවධානය දිනාගත් ‘මිදුණු විශ්වය’ (2023) සිනමා පටය හරහා මෙරට සිනමාව වෙනස්ම මඟකට යොමු කළ සිනමා අධ්‍යක්ෂවරයා ලෙස ආදරය ලබන්නේය. 1991 දී ජපාන බුන්කා සම්මානය ඇතුළුව දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලද හේ වෙනකකු නොව ජයන්ත චන්ද්‍රසිරිය.

1959 ජුනි මස 22 වැනිදා බණ්ඩාරවෙල කැබිල්ලවෙල ග්‍රාමයේ දී මහගම් ආරච්චිගේ දයානන්ද සහ සෝමලතා කුමාරිහාමි දෙපළට දාව කුලුඳුල් දරුවා ලෙස හෙතෙම මෙලොව එළිය දුටුවේය. වේලාපත්කඩය බැලූ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ දරුවා ඉගෙන ගන්නා දෙයින් ජයගෙන පුන් සඳක් මෙන් බැබළෙන බව සැකහැර දැනගත්හ. එනිසා මේ දරුවාට මහගම් ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසිරි යැයි නම් තැබීය. ඒ වන විට ජයන්තගේ පියා වූ දයානන්ද රාජකාරිය කළේ මිල්ටරි පොලිසියෙහි සාජන්වරයකු ලෙසය. පසුව ඔහු කොළඹ වරායේ සේවයට බැඳීමත් සමඟ මේ කුඩා දරුවාද රැගෙන රාගම පදිංචියට පැමිණියේය. ඔහුට බාල සොහොයුරන් දෙදෙනකු හා සොහොයුරියන් දෙදෙනකු විය. 1965 වර්ෂයේ කො/උ/බප/කැල රාගම, හීන්කෙන්ද මහා විද්‍යාලයේ හෝඩිය පන්තියට ඇතුළත් වූ චන්ද්‍රසිරි එහි උසස් පෙළ දක්වා අකුරු කළේය. 

අනෙකුත් දරුවන් මෙන් කෙළි සෙල්ලමට වැඩි උනන්දුවක් නොදැක් වූ ජයන්ත පොතපත කියැවීමට නැඹුරු විය. මෙනිසා හෝඩිය පන්තියෙන් පසුව පළමුවැනි පන්තිය අබිබවා එක්වරම දෙවැනි පන්තියට ද ඉන්පසු තුන්වන පන්තිය අබිබවා හතරවන පන්තියට සමත් වන විට ඩබල් ප්‍රොමෝෂන් දෙකක් ලැබූ අතිදක්ෂ දරුවකු විය. ජයන්ත තුළ කියැවීමට තිබූ ආශාව කෙතෙක්ද යත් අතට අහුවෙන සෑම පොතක්ම මහත් ගිජුකමකින් කියැවීමට හේ පුරුදු වූයේය. මෙනිසා ඔහුගේ විෂය පරාසය පුළුල් වූයේය. ඕනෑම විෂයක් ගැන ඔහු තුළ මහත් දැනුමක් විය.

ජයන්ත පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී එම වසරේ ලෝක නාට්‍ය දිනය පැමිණියේය. පන්තිභාර ගුරුතුමිය දරුවන් අමතා ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් “නාට්‍යයක් ලිවිය හැක්කේ කාටදැයි” විමසා සිටියාය. එවක ජයන්ත නාට්‍යයක් ලියනු තබා නාට්‍යයක් දැක තිබුණේවත් නැත. ඒත් අනෙකුත් දරුවන් විපිලසර වෙද්දී ජයන්ත අත ඔසවා සන් කළේය. තමන් දුන් අභියෝගය බාරගත හැකි එක් දරුවකු හෝ පන්තියේ සිටීම ගැන ගුරුවරිය සතුටට පත් වූවාය. ඇය ජයන්තගේ ඉදිරිපත් වීම අගය කරමින් “හැබැයි මේ සිකුරාදා වෙනකොට පිටපත ලියල අරන් එන්න ඕනෙ” යැයි කීවාය. ඒ වන තෙක් කිසිදු නාට්‍යයක් නරඹා නොසිටි ජයන්ත නාට්‍යයක් ලියන්නේ කෙසේදැයි කල්පනාවේ නිමග්න විය. ඔහු සියලු කටයුතු නවතා ඒ වෙනුවෙන් තත්පර විය. සිකුරාදා වන විට ඔහු නාට්‍යයක් ලියා තිබුණි. එහි නම ‘පාර දිගේ’ විය. එය ලියැවුණේ කෙසේද යන්න ගැන අදත් ඔහු විමතියට පත්වේ. නාට්‍යය පුහුණු කිරීම ද ජයන්තටම පැවරුණ අතර ඔහු පළපුරුදු අධ්‍යක්ෂවරයකු මෙන් පිටපතෙහි සඳහන් සිද්ධි හා සංවාද ආධුනික වූ හා කවදාවත් වේදිකා නාට්‍යයක් නරඹා නොතිබූ පන්තියේ ළමුන් සමඟ වේදිකාව මත රඟ දැක්වීය. මෙම නාට්‍යයෙන් ඇරඹි ඔහුගේ පාසල් නිර්මාණ දිවිය “යුග දෙකක එක මිනිහෙක්” සහ “දයා දියෙන් තෙමුණු මුහුණු” යන නාට්‍ය ද්විත්වය හරහා කලඑළි බැස තිබුණි.

පසුව කුරුකුලාව ග්‍රාමයේ කලාකාමී තරුණයන් පිරිසකගේ එකතුවෙන් අරඹා තිබූ සමගි කලාකවය නම් සංවිධානයේ අනුග්‍රහයෙන් පොල්කොටන් වේදිකාව මත රංගගත කළ “ගිගුරුම” නම් නාට්‍යය ජයන්තගේ මුහුකුරා යාම මුලින්ම සටහන් කළ නිර්මාණකාරිය විය. ඉතාමත් ප්‍රශස්ත නිර්මාණයක් වූ එය ප්‍රසිද්ධ වේදිකාවට ද උචිත මට්ටමේ තිබූ නිර්මාණයකි. ඔය කාලයේ ජාතික තරුණ සේවා සභාව විසින් අභාවයට යන පාරම්පරික රූකඩ නාට්‍ය කලාව නඟා සිටුවීමේ චේතනාවෙන් සති අන්ත රූකඩ පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර, ඒ සඳහා සාමාජිකයන් කිහිපදෙනකු සහභාගි කරවන ලෙසට සමගි කලා කවයට ආරාධනාවක් ලැබෙන්නේය. ඊට උනන්දුවක් දැක්වූ ජයන්ත, සිය කලණ මිතුරා වූ නිමල් ෆ්‍රැන්සිස් සහ තවත් මිතුරන් කිහිප දෙනකු ද සමඟ ඒ සඳහා ඉදිරිපත් විය. එතැන් සිට සති අන්තයේ රාගමින් දුම්රියේ නැඟ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් බැස 154 ගල්කිස්ස බසයේ නැඟී සුදර්ශි ශාලාව වෙත යාමට ඔවුහු පුරුදුව සිටියහ.

රූකඩ නාට්‍ය පාඨමාලාව සුදර්ශිය පිටුපස වූ කොටු දැල් ගැසූ කුඩා ශාලාවක පැවති අතර, ඒ වේලාවටම ප්‍රධාන ශාලාවේ වේදිකා නාට්‍ය පාඨමාලාවක්ද පැවැත්වෙමින් තිබුණි. වේදිකාවට පෙම් බැඳි ජයන්ත යහළුවන් රූකඩ නාට්‍ය අධ්‍යයනයේ යෙදී සිටින අතරතුර හොරෙන් ප්‍රධාන ශාලාවට ඇතුළු වී කාටත් නොදැනෙන සේ පිටුපස ආසනයක වාඩිවී එහි පවත්වන දේශනවලට සවන් දීමට පුරුදුව සිටියේය. දේශකයා නියම කරන ප්‍රායෝගික අභ්‍යාසවල ද හේ නිරත විය. මේ නාට්‍ය පාඨමාලාවට සහභාගි වූවන් අතර සේනක පෙරේරා (යමුනා මාලිනී කිවිඳියගේ සැමියා) හා ශ්‍රියන්ත මෙන්ඩිස් ද විය. එතැන් සිට රාගමින් ගමන් අැරඹූ නඩයට මේ දෙදෙනා ද එකතු විය.

රූපණවේදය විද්‍යාවක් ලෙස උගන්වන විධික්‍රමයන් අතර රුසියානු නාට්‍යවේදී කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාවුස්කිගේ මෙතඩ් ඔෆ් ෆිසිකල් ඇක්ෂන්ස් (Method of Physical Actions) වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම රූපණවේදයේ නිර්මාතෘවරයා වන්නේ ද ස්ටැනිස්ලාවුස්කිය. රූපණයට විද්‍යාව එක්කළ මෙම නාට්‍යවේදියාගේ අදහස වූයේ රංගනය යනු ක්‍රමානුකූලව අභ්‍යාස කොට ඉගෙන ගත යුතු ක්‍රම විද්‍යාවක් බවයි. මෙම රංග විධික්‍රමය රුසියාවෙන් ඇමෙරිකාවටත් පසුව යුරෝපය පුරාත් ප්‍රචලිත වූ අතර මේ වන විට එය ලෝක ව්‍යාප්ත රංග විධික්‍රමයක් ලෙස ඔහුගේ ගෝල පරම්පරාව විසින් එය තවතවත් දියුණු කර ඉදිරියට ගෙනැවිත් තිබේ. මෙම ගෝල පරම්පරාවෙන් මෙතඩ් ඔෆ් ෆිසිකල් ඇක්ෂන් රූපණවේදය ඉගෙනීමට ජයන්තටද අවස්ථාවක් උදා වන්නේ මේ කාලයේදී ය. ඒ 1978 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණෙන නෝබට් ජේ. මයර් නම් ජර්මන් ජාතික මහාචාර්යවරයා යටතේය. මහාචාර්ය නෝබට් ජේ. මයර් විසින් පවත්වන නාට්‍ය පාඨමාලාවක් සඳහා වයස අවුරුදු 18ත් 20ත් අතර තරුණ තරුණියන් 25 දෙනකු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත් විණි. ඒ වන විට වයස අවු 19 වයසැති නවයොවුන් තරුණයකු වූ ජයන්ත හා ශ්‍රියන්ත ඒ සඳහා ඉදිරිපත් වූ අතර, ඔවුන් දෙදෙනා ඉන් සමත් විය. පාඨමාලාව සඳහා තෝරා ගැනුණු අය අතර කමල් අද්දරආරච්චි, චිත්‍රා කුමාරි කළුබෝවිල, ජනාධිපති නීතීඥ යූ.ආර්. ඩී සිල්වා සහ වර්තමානයේ ප්‍රමුඛ පෙළේ නාට්‍ය සංවිධායකයකු වන ජූඩ් ශ්‍රීමාල් ද විය. රූපණය පිළිබඳ මානසික අභ්‍යාසයන් ජයන්තත් අනෙකුත් ශීල්පීනුත් ඉගෙන ගන්නේ මහාචාර්ය නෝබට් ජේ. මයර් ගෙනි.

මෙම පාඨමාලාව හමාර වූ පසුව මේ පිරිස එකතු කර මහාචාර්ය මයර් විසින් “අනේ අබ්ලික්” නමින් නාට්‍යයක් නිර්මාණය කළ අතර ශ්‍රියන්ත, කමල්, සිල්වා හා චිත්‍රා ඊට රංගනයෙන් දායක ‍ෙවද්දී ජයන්ත යොමු වන්නේ අධ්‍යක්ෂණය වෙතය. ජයන්තගේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගමනේ කලඑළි මංගල්‍ය මෙය වේ. මෙම නාට්‍ය පාඨමාලාව සඳහා සම්බන්ධ වූවන් සියලු දෙනාට ජර්මන් සංස්කෘතික ආයතනය විසින් රුපියල් පහක ගෙවීමක් ද කළේය. එය එකල සැලකිය යුතු ගෙවීමක් වූ අතර දෙස් විදෙස් චිත්‍රපට නරඹමින් කොළඹ ලොකු හෝටල්වලට ගොස් ආහාර ගැනීම ඔවුන්ගේ විනෝදාංශය විය.

පසුව ජයන්ත විසින් මේ අය එකතු කර 1979 දී “සරස්වතී” නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. මෙය ඔහුගේ පළමු ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය විය. මේ සඳහා වියදම් කිරීමට අර්ථපතියකු නොවුණු අතර ඒ සඳහා බරපැන දැරුවේ කමල් අද්දරආරච්චිගේ මව්තුමිය විසිනි. මෙම නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පියා වූයේ දයාරත්න රටගෙදරය. සංගීතය සැපයූවේ ඔස්ටින් මුණසිංහය. එහි ප්‍රධාන චරිතය වූ සරස්වතීගේ චරිතයට රැජිනි සෙල්වනායගම් හා සමදරා ආරියවංශ එක් වූ අතර, බර්ට්‍රම් නිහාල් හා අජිත් ජිනදාස ද ඊට එක් විය. ජූඩ් ශ්‍රීමාල් වත්මන් භූමිකාවට පණ පෙවීම ආරම්භ කරන්නේ ද මේ නාට්‍යයෙනි. නමුත් නාට්‍ය රටපුරා ගෙන යාම පිළිබඳ ව්‍යාකරණය ඔහු එකල දැන නොසිටියේය.

අනත­ුරුව ජයන්ත සිය භූමිකාව තවතවත් ඔප්නංවා ගැනීමට මෙරට බිහිවූ දක්ෂ රූපණවේදියකු වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා සොයා ගියේය. ඔහුගේ අතිදක්ෂ ගෝලයා වූ වර්තමානයේ මෙරට සිටින තාත්වික රංගනයේ ප්‍රතිමූර්තියක් බඳු රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජයන්තට මුණගැසෙන්නේ මෙහිදීය. ආචාර්ය සාලමන් ෆොන්සේකා ඇසුරේ වැඩෙන ජයන්ත සිය දෙවන නාට්‍ය ‘අත්’ 1985 දී වේදිකාවට රැගෙන එන්නේ මේ කාලයේදීය. අනතුරුව 1987 දී ජයන්ත ‘මෝරා’ නාට්‍ය වේදිකාවට රැගෙන එන අතර, එය 1988 රාජ්‍ය නාට්‍ය උ‍ෙලළේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇතුළුව ප්‍රධාන සම්මාන සියල්ලටම හිමිකම් කියන්නේය. මෙම නාට්‍යයෙන් පසුව ජයන්ත මෙරට කලා ක්ෂේත්‍රයේ විද්වතුන් වන සුගතපාල ද සිල්වා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය තිස්ස අබේසේකර, ධම්ම ජාගොඩ, බෙනඩික් දොඩම්පේගම, සයිනමන් නවගත්තේගම ආදී බොහෝදෙනකුගේ ඇගයීමට පාත්‍ර විය. මෙහිදී ආචාර්ය තිස්ස අබේසේකර ප්‍රකාශ කර සිටියේ මේ තරුණයා පිටරටවල සංචාරය නොකර මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීම ගැන තමන් පුදුමයට පත්වන බවයි”.

ජයන්තගේ දක්ෂකම දකින නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ 1990 වසරේ දී ඔහුට නෝර්වේ සහ ස්වීඩන් දෙරටේ නාට්‍යකරණය හා රංගවේදය පිළිබඳ හැදෑරීමට ප්‍රථම ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කරන්නේය. අනතරුව සංස්කෘතික දෙපාර්තමේන්තුව මැදිහත් වී එම වසරේම ජයන්තට හා ශ්‍රියන්තට විද්‍යාත්මක රංගන කලාව ඉගෙනීම සඳහා නැ‍ෙඟනහිර ජර්මනිය බලා යාමට ශිෂ්‍යත්වයක් පිරිනමන්නේය. නැ‍ෙඟනහිර ජර්මනියේදී ඔවුන්ගේ ආචාර්යවරයා වන්නේ ආචාර්ය ක්ලවුස් ෆිඩ්ලර් ය. ඔහු යටතේ රූපණවේදය විධිමත්ව හදාරන මේ දෙපළ පෙරළා මවු රටට පැමිණෙන්නේය. ඉන් අනතුරුව 1991 වසරේදී ඇමරිකානු රජය විසින් මෙරට තානාපති කාර්යාලය හරහා ඔහු පිළිබඳ අධ්‍යයනය කර ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කරන්නේය. අනතුරුව ලංකාවට පැමිණෙන ජයන්ත වෙදහාමිනේ ටෙලිනාට්‍ය නිර්මාණය කරන අතර, 1992 වසරේදී ‘ඔත්තුකාරයා’ වේදිකාවට රැගෙන එන්නේ මේ සියලු අධ්‍යයනයන් හරහා උකහා ගත් දැනුම උපයෝගී කරගෙනය.

අනතුරුව 1998 දී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් පෞද්ගලික ශිෂ්‍යත්වයක් පිරිනමමින් නෝ කබුකි නාට්‍ය පිළිබඳව හැදෑරීමට ජයන්තව ජපානය බලා පිටත් කර හරින්නේය. ඔහුගේ අදහස වූයේ ජයන්ත වැනි අයකුට ලබාදෙන මෙවැනි ශිෂ්‍යත්ව රටට කරන ආයෝජනයක් බවයි.

ජයන්තගේ වේදිකා නාට්‍ය චාරිකාව තුළ හදබිමට ගමනක්, හංකිති දහතුන (2018) ආදී නාට්‍ය පෙන්වාදිය හැකි අතර, ටෙලි නිර්මාණ ලෙස මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගත් 1990 දී විකාශය වූ “වෙදහාමිනේ”, අතීන්ද්‍රිය ලෝකය හා පියවි ලෝකය අතර දෝලනය වන යුවතියක පිළිබඳව වූ කතා පුවතක් රැගත් 1992 විකාශණය වූ “වෙස් මුහුණ”, වැළලී ගිය ඉපැරණි සටන් ක්‍රමයක් වූ අංගම්පොර පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයකින් පසු 1995 වසරේ නිර්මාණය කළ “දඬුබස්නාමානය” අදටත් ජන මනසේ රැඳී තිබෙන මෙරට ටෙලිනාට්‍ය වංශකතාවේ සන්ධිස්ථානයක් බඳු නිර්මාණයකි. මින් අනතුරුව ගහක් ගලක් පඳුරක් ගානේ පාරම්පරික අංගම්පොර ශූරයන් අංගම්පොර සටන් කලාව උගන්වන පන්ති හා විවිධ සටන් ක්‍රම බිහි වූ අතර, එකල ඔහුගේ පර්යේෂණය සඳහා අංගම්පොර ශිල්පියකු හෝ පරපුරක් සොයාගැනීම කළුනික සෙවීම බඳු ක්‍රියාවක් විය. කොටින්ම දැන් ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි විසින් අනියමින් බිහි කළ අංගම්පොර පරපුරක්ය. ඒ නාට්‍යයේ බලපෑම කෙතෙක්ද යන්න එයම සාක්ෂියකි. අනතුරුව ජයන්ත විසින් 1997 දී නිර්මාණය කළ “අකාල සන්ධ්‍යා නොහොත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා” භාවනා ක්‍රමයක් මඟින් කාලය හරහා ගමන් කරනා සටන් ශිල්පියෙකු පිළිබඳව පුවතක් රැගත් නිර්මාණයක් වූ අතර, ඉන් සුදලිය සහ මරුවල්ලිය යන පරම්පරා දෙකේ අවසානය පිළිබඳ ඉඟියක් ද සමාජගත කිරීමට නිර්මාණ ශිල්පියා විසින් කටයුතු කර තිබුණේ මේ හතු පිපෙන්නාක් මෙන් ඉබේ පහළ වුණු අංගම්පොර ගුරුකුලවලට කිසියම් අනතුරු සංඥාවක් ද කරමිනි. 2000 වසරේ විකාශය වූ “රැජන” ටෙලි නිර්මාණය ද එතෙක් බිහි නොවූ නවමු සංකල්පයක් ඔස්සේ නිර්මාණය වූවකි. රැජනක් සොයා පෘථිවියට පැමිණෙන පිටසක්වළ ජීවීන් කණ්ඩායමක් පිළිබඳ ව කතා පුවතකි. 2009 වසරේ විකාශය වූ “සතරදෙනෙක් සෙන්පතියෝ” සංසාරගතව පෙරුම්පුරා එන සුව කිරීමේ බලයක් සහිත ආත්ම සතරක් පිළිබඳ කතා ප්‍රවෘත්තියකි. 2022 වසරේ විකාශය වූ “නන්නත්තාර” ප්‍රබල මත්ද්‍රව්‍ය මාෆියාවක් පිළිබඳව කතා පුවතක් රැගත් ක්‍රියාදාම ගණයේ ටෙලි සිතුවමකි.

එමෙන්ම ජයන්ත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකි. ඔහුගේ ජනමාධ්‍ය දිවිය ආරම්භ වන්නේ 80 දශකයේ මුල කාලයේදීය. ‘සිත්තර’ පුවත්පතේ රෆික්ඩීන් ඇඳි ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ ‘පාටකස්’ කතාව ලියමින් සිටි පී. ඒ ලීලාරත්න එය අවසන් කර ‘චිත්‍රමිත්‍ර’ පුවත්පතට සම්බන්ධ වීමත් සමඟ මේ ජනප්‍රිය චිත්‍ර කතාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට කැමිලස් පෙරේරාට අවශ්‍ය වූයෙන් ඔහු ඒ සඳහා තෝරාගත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. පාටකස් කුරුසයේ එල්ලා මරාදමා තිබූ බැවින් නැවතත් පාටකස්ට පණ දීම තේරුමක් නැති බව වටහාගත් ජයන්ත ඒ බව කැමිලස්ට පවසා ‘ස්කාගස්’ නමින් එය ප්‍රතිනිර්මාණය කළේය. අනතුරුව මල්ටි ෆැක්ස් ආයතනය විකල්ප පුවත්පතක් ලෙස ‘ඉරිදා’ පුවත්පත ආරම්භ කළ අතර, එහි කර්තෘ මණ්ඩලයටම සිටියේ තිදෙනෙකි. ඒ ප්‍රධාන කර්තෘ කිත්සිරි නිමල් ශාන්ත, අනුර සොලමන් සහ ජයන්ත චන්ද්‍රසිරිය. මෙම පුවත්පත බොහෝදෙනා අතර ජනප්‍රිය වූ අතර, එවක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන පිළිබඳ එහි පළ වූ විවේචනාත්මක ලිපියක් නිසා පත්තරය අතරමඟ නැවතිණි. අනතුරුව 1982 විජය නිවුස් පේපර් ආයතනයට සම්බන්ධ වන ජයන්ත නවලිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස කටයුතු කළේය. එහි ඔහු කළ ශාස්ත්‍රීය සිනමා අතිරේකය පාඨක ප්‍රජාව බෙහෙවින් ආකර්ෂණය කළේය. පසුව දිවයින නියෝජ්‍ය විශේෂාංග කර්තෘවරයාවන ජයන්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කර නියෝජ්‍ය කර්තෘවරයා බවට පත්වන හේ පසුව එහි කර්තෘවරයා බවට ද පත් විය. ඔහුගේ පත්‍ර කලා දිවියට වසර 36කි.

එසේම ජයන්ත දක්ෂ ගී පද රචකයෙකි. වෙදහාමිනේ නාට්‍යයේ එන ප්‍රදීපා ධර්මදාස ගයන “දූවිල්ලෙන් සැදුණු ලියේ” ඝරසර්ප සිනමාපටයේ බාචි සුසාන් සහ සමිතා එරන්දතී ගයන “හැමදෙයක් පෙනී”, දුමාල් වර්ණකුලසූරිය ගයන“රජෙක් රාජ ගමනේ”, මහරජ ගැමුණු සිනමාපටයේ නදීක ගුරුගේ සංගීතවත් කර ගයන “පියඹා යන්නේ සීතල අරගෙන” , සමනල සංධ්වනිය සිනමාපටයේ දර්ශන රුවන් දිසානායක සංගීතවත් කර රූමි ගයන “ ගඟන සරන්නට කියා” සහ මිදුණු විශ්වය සිනමාපටයේ නවරත්න ගමගේ සංගීතවත් කළ ලෙස්ලි තෝමස් ගයන “දෛවය නොවේ සරදම් කළේ”, කුෂානි සඳරේඛා ගයන “මුළු සාගරයම වාගේ” ගීත ඒ අතර ජනාදරයට පත් වූ ගීතය.


ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments