![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/08/20/11-2.jpg?itok=BCZkkM_x)
කෘතිය- බිම වැටුණු සඳ පහන
කර්තෘ- කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
කර්තෘ ප්රකාශනයකි
මිල- රුපියල් 500/=
පිටු ගණන- 100
1980 දශකයේ පාසල් සිසුවකුව සිටියදී පුවත්පත්වලට කවි නිර්මාණ යොමුකරමින් සහජ කාව්‍ය කුසලතාව ඔපමට්ටම් කරගත් කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා සිය පළමු කාව්‍ය කෘතිය ‘විංශතිය’පළ කරන්නේ 1986 වසරේදීය. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්වන්නේ පළමු කෘතිය පළවී වසර තිස් හතරකට පමණ පසුවය. 2020දී ‘අකල් මේඝ මැද’ නමින් ඒ කෘතිය එළි දකින්නේ කොරෝනා කාලයේ ලියූ කවි එකතුවක් ලෙසිනි.
‘බිම වැටුණු සඳ පහන’ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා විසින් රචිත තෙවැනි කාව්‍ය සංග්‍රහයයි. අද්‍යතන සමාජ, දේශපාලනික අනුභූතීන් මෙන්ම පුද්ගලානුභූතීන් ද ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගැනීමට නිබඳවම උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇත. කාව්‍ය රචනයට අමතරව ගී පද රචනයේදී සමත්කම් පෙන්වන කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා සිය ප්‍රථම ගේය පද සංග්‍රහය එළි දක්වන්නේ ‘නුඹ මාලතී’ නම් කෘතියෙනි. ඊට ගීත 18ක් අඩංගු වූ අතර, එය 2020 වසරේදී සංයුක්ත තැටියක් ලෙසින් ද නිකුත් විය.
නිදහස් අදහස් ප්රකාශනය සඳහා කවිය භාවිත කරන කාශෂ්‍ය සත්‍යප්‍රිය ද සිල්වා සමාජයේ සිදුවන යම් යම් සිද්ධීන් ඇසීමෙන්, දැකීමෙන් සංවේදී වන, කම්පනයට සහ සහකම්පනයට පත්වන සිය හදවත නිවා ගන්නේ කවිය තුළිනි. ඉන් නොනැවතී තමා අත්විඳින මනෝ භාවයන් සහෘද හදවතට දැනෙන ලෙස ආමන්ත්‍රණය කරන්නට ද හේ සමත්කම් දක්වයි. ඒ නිසාම කවි 71කින් සමන්විත මේ කාව්‍ය සංග්‍රහය තුළ ඇත්තේ අතීතයේ සිට පැවත එන මේ ජන සමාජයේත්, සංස්කෘතියේත් සංකල්ප, විශ්වාස, මතවාද, සිරිත්විරිත්වලින් වත්මන් පරපුර මුහුණ දෙන්නාවූ විවිධ සමාජ, සංස්කෘතික අභියෝගයන් හේතුවෙන් උත්පාදනය වූ සහ උත්පාදනය වෙමින් පවතින දෑය. ඒ නිසාම මේ කවි කියවන රසිකයකුට එය තමාගේම අත්දැකීමක් ලෙස හැඟීම අරුමයක් නොවේ.
මෙම කාව්‍ය සංග්‍රහය පුදකරමින් සිය ප්‍රිය බිරිය ප්‍රදීපා වෙනුවෙන් ලියූ සරල, ආදරණීය කවියකින්ම කාශ්‍යප සත්‍යප්‍රිය සිය කවි සිත විවර කරයි.
“අසීමිත වූ ඔබේ ආදරයට
දුප්පත්ම මේ කවි මිස
අසෙනිය කුසුම් නැත මට...”
එසේ කීවද එවැනි දුප්පත්කමක් ඔහුගේ කවි තුළ නම් දැකිය නොහැකිය. විවිධ වස්තු බීජ ඔස්සේ සිය කාව්‍යමය ප්‍රතිභාව පෙන්වන අරුත්බර, සුන්දර කවි රැසකින් මේ කාව්‍ය සංග්‍රහය පොහොසත්ය.
පරසතු මදාරා මල් පිපෙන දෙව්ලොව
ඇත දෙව් බඹුන් නෙක අප නොදත් සැප විඳ
වෙත් නම් දුවක් පියකු ගෙ හදට තුරුලුව
සක්විති සැපත් කුමට ද සියක් වසරක
පියා සහ දියණිය අතර ඇති අපූරු බන්ධනය දුවක මහිම නම් කාව්‍ය පන්තිය තුළින් ඔහු එසේ සඳහන් කරයි.
දුවක ලැබුණෝතින්
පෙරහැර කොරන්නයි
දන්සල් පළ කරන්නයි
පින් නම් කොරන්නයි
රජකු වී හිස කිරුළු ලන්නයි
දුවක ලත් පියකුගේ හදවතේ අභිමානය එසේ කවියට නඟන ඔහු සොබාදහමේ අපූර්වත්වය තුළින් ජීවිතයේ යථාර්ථය නිරූපණය කරන අපූරු කවක් ලෙස කුරුලු ජෝඩුව කවි පන්තිය හැඳින්විය හැකිය.
උදේ තේ එක අතින් අරගෙන
බැල්කනියෙ දොර ඇරලා බැලුවම
ඔය දෙන්න ගෙ ඇඳ තමයි රැඳුණේ
කබත් නොකැඩුව මගේ ඇස්වල
එයා හිටියේ ඔයැයි පපුවට
කෙස් අවුල් වුණු හිස තියාගෙන
ඔයාගේ ඇස් දෙස බලාගෙන...
ප්‍රේමයෙන් සැනසුණු හදවතකට වියෝගය තරම් දුක් දෙන තැනක් තව නැත. ජීවිතය බෙදාගත් සහකරු හෝ සහකාරිය තමාට පෙර දෙව්ලොව ගිය විට ඒ වේදනාව කෙතරම් දරුණු විය හැකිද? ඔබ, දෙව්ලොව කවි පන්තියෙන් කවියා පවසන්නේ ඒ යථාර්ථයයි.
තෙරක් නොමැති කතරක තනිව යනු බැරි
ගියත් අතහැර මට හිත හදාගනු බැරි
අදත් වෙසක් සඳ නුබ නැඟෙන දවසකී
ඇවිත් යන්න එනවද මගේ හිමියනී
සහෘද හදවතට දැනෙන නිර්මාණ රාශියකින් සමන්විත මේ කාව්‍ය සංග්‍රහය රසවිඳින පාඨකයාට එය තමාගේ අත්දැකීමක් ලෙස හැඟෙන්නට තරම් සජීවීය;පිරිපුන්ය. අවසාන වශයෙන් කවියා මෙසේ කියන්නේ කවිය නම් මෘදු භාෂණයේ අගය නොදත් හදවත්වලට ද ආමන්ත්‍රණය කරමිනි.
“කුමට මේ කවි දැයක් පිබිදී
අලුත් රිවි රැස් නොම හැලේ නම්
කුමට මේ කවි රැයේ පිළුණුව
කසළ බඳුනෙක අතැර යේ නම්...?”