සිංහල අවුරුදු සමය සොබාදහමේ පමණක් නොව කලාවේ ද සොඳුරුතම සමයෙකි. සිය කලා මාධ්‍ය කවරක් වුව ද එකී මාධ්‍යයේ විවිධ ඉසව් හි නෙක ලෙස සුරුකම් පාන කලාකරුවන් අපට හමු වෙන්නේ එබැවිනි. අප දන්නා පොදු රසික හදවත්හි ළැඟුම් ගත් කලාකරුවන් සේ ම ගමේ ගොඩේ තම හෘදය පූර්ණත්වය වෙනුවෙන් ම පමණක් කලාවේ නිරත වන කලාකරුවන් ද කල එළි බසින්නේ මෙකල්හි ය. තැනින් තැන ඇසෙන රබන් පද සේ ම තාලයට මිමිණෙන ගී පද ද ගැමි ජනතාවගේ ජීවන විලාසයේ ම කොටස් ය.
අවුරුදු කාලෙට අනිවාර්යයෙන් මතක් වෙන කලාකරුවෝ සේම කලා නිර්මාණ ද වෙති. අවුරුදු ඇරඹෙන බව මතක් කරමින් සිය සුගායනීය හඬින් හදවත පිරිමදින්නේ කොහෝ කොහෝ... ගීය ගායනා කරමින් මහාචාර්ය සනත් නන්දසිරි සුළවතාණෝ ය. එතුමා නික්ම ගිය ද ඒ හඬ සියලු කල්හි සිතෙහි දෝංකාර දෙන්නේ ය.
අවුරුද්දේ ගද්‍යමය සුන්දරත්වය අයිති නවකතා අතර ප්‍රමුඛත්වය ගන්නේ ගම්පෙරළිය යි. පංච දාන, ගේ අලේ කරන, චක්ගුඩු පනින අතීතය අපට සිහි කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් අප අතීත අවුරුදු සමයට රැගෙන යන්නේ පෙර සුන්දරත්වයේ අප කොටස්කරුවන් කරමිනි.
මේ අවුරුදු කාලේ... හිනා වෙයන් රාලේ කියමින් අපේ සිත් සතන් අවුරුදු සිරියෙන් ඔපවත් කරන නෙක කලාවන්හි සුරු කලාකරුවෙක් වෙයි. ඒ ගී ඛණ්ඩය කියූ පමණින් මතකයට නැඟෙන හේ ලයනල් රන්වල ය. අප දන්නා කියන ඉතිහාසයේ ලාංකේය ඉතිහාස කාල පරිච්ඡේදය ඇතුළත ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කරමින්, පර්යේෂණ කරමින් නවමු ආකාරයෙන් යළි ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල සූරීන් ය. දේශීය සංගීත භාණ්ඩත්, සොබාදහමේ රිද්මයත්, සංස්කෘතික බරත් එක්තැන් කර ජනශ්‍රැතියේ දවටා සංගීත ස්වරවල ආශ්චර්යය මතු කළ කලාකරුවා ඔහු ය.
ලයනල් රන්වලයන්ගේ ප්‍රසංග වේදිකාවල ප්‍රථමයෙන් ම ඇසෙන්නේ තුන්සරණේ ගීයයි. තිරය ඇරෙද්දී ප්‍රථම දර්ශනය සශ්‍රීකත්වය සංකේතවත් කරනා වී බිස්සයි. ගැමිකමත්, අපේකමත් සිය ජීවිතාදර්ශයෙන් ම ගත් අයෙක් වේ ද ඒ ලයනල් රන්වල ය.
පෙරදිග හෝ වේවා අපරදිග හෝ වේවා දියුණු සංගීත ක්‍රම බිහි වූයේ ජන ගී පදනම් කරගෙන බව ‘ද ස්ටෝරි ඔෆ් ඉන්දියන් මියුසික්’ නම් ග්‍රන්ථය රචනා කරමින් ඕ ගොස්වාමි නම් සංගීතඥයා පවසා තිබේ. සෑම සංගීත ආයතනයක ම ගැමි ගී අනිවාර්ය විෂයයක් වශයෙන් ඉගැන්විය යුතු බවත්, සංගීතඥයන් බිහි කිරීම සඳහා වන ආශ්‍රමවල, පීඨවල, ගුරු අභ්‍යාස විද්‍යාලවල ආදියේ ගැමි ගී කලාව හා ගායනය ඉගැන්විය යුතු බවත් 1955 පළ වූ යුනෙස්කෝ ප්‍රකාශන වාර්තාවේ සඳහන් කර තිබේ. එපමණක් නොවේ, පණ්ඩිත් රවි ශංකර් ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී පවසා ඇත්තේ නියම දේශීය සංගීතයක් බිහි කර ගැනීම සඳහා මෙරට ගැමි ගීය පදනම් කරගත හැකි බවයි.
මේ සියල්ල මෙසේ වුව ද ජන ගී කලාව කුඩම්මාගේ සැලකිල්ලට ලක්වෙන ක්ෂේත්‍රයක් බැව් සැවොම දනිති. එසේ දනිතත් ඒ ගැන නොදන්නා සේ සේ ම, නොදැනෙනා සේ ද සිටින විෂයයකි. අපට අනන්‍ය වූ පොදු දේශීය සංගීතයක් ගොඩනඟා ගැනීමේ ආධ්‍යාශයෙන් කටයුතු කළ, කරන අය ඇත්තේ කීයෙන් කී දෙනෙක් ද? ඒ අතරෙන් සිය ජීවන විලාසයෙන් සේම අධ්‍යයනික පසුබිමෙන් ද සාරවත් ව හා ශක්තිමත් ව එකී කාර්යයේ නියැළුණේ ලයනල් රන්වල යැයි කීම යුක්ති යුක්ත ය.
සංගීතය ගැන අවධානය යොමු කරද්දී මෙරට චින්තන ධාරා තුනක් පැහැදිලි ව හඳුනා ගත හැකි ය. එයින් වඩාත් ප්‍රචලිත ව ඇත්තේ උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදායයි. අනෙක් ධාරාව ජන කවි හා ජන ගී අයත් වන දේශීය ගායන සම්ප්‍රදාය පාදක කරගත් සංගීත රටාවයි. තෙවැන්න ගීතයේ වදන් ගැන කිසිදු විමැසීමක් නැති සංගීතය යනු ස්වරය ආත්මය කරගත්තක් ය යන මතය දරන්නන්ගේ ධාරාව ය.
මෙරට උත්තර භාරතීය රංගධාරි සංගීත සම්ප්‍රදායේ ශාස්ත්‍රීය පුරෝගාමියා ලෙස බොහෝ අය සලකන්නේ ඇම්. ජී. පෙරේරා ය. එය පාසල් පද්ධතියට එක් කරමින් පුරෝගාමී කලාවක් බවට ඔසවා තබන්නේ ලයනල් එදිරිසිංහ සංගීතඥයා ය. දේශීය සංගීතය පිළිබඳ ලකුණ තබන්නට මූලික වන්නේ ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්ත සංගීතඥයන් ය. වඩාත් වැදගත් කාර්යය එනම්, දේශීය සංගීතය ශාස්ත්‍රීය පර්යේෂණ මාර්ගයකට හරවමින් එය චින්තන ධාරාවක් බවට පත් කරන ලද්දේ ඩබ්ලිව්. බී. මකුලොළුව සංගීතඥයා ය. සංගීතය වචනයෙන් විනිර්මුක්ත වූ ස්වරය ආත්ම කොට ගත්තක් ය යන්න ගැන පෙනී සිටිමින් තනි කැරැල්ලක් ගැසූ සංගීතඥයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ය.
අප මේ වෙසෙස් අවධානය යොමු කරන ලයනල් රන්වල සංගීතඥයාගේ කාර්ය බාරය ගැන විමර්ශනය ඇරඹෙන්නේ අර දෙවැනි සංගීත ධාරාවේ චිරස්ථිතිය වෙනුවෙන් සිය දිවිය කැප කළ නිර්මාණකරුවන් අතළොස්සගේ ගණයට ය. ඩබ්ලිව්. බී. මකුලොළුව සංගීතඥයා ගිය මඟට නිස්සරණාධ්‍යාශයෙන් පිළිපන් සංගීතඥයෝ දෙදෙනෙක් වෙති. ඒ සී. ද. ඇස්. කුලතිලක හා ලයනල් රන්වල ය. සිය ජීවිත කාලය පුරා ම මෙකී චින්තන ධාරාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ලයනල් රන්වල නාමය අදත් ජන සංගීත ධාරාවේ මුල් පෙළේ කියැවෙන්නේ ඒ නිසා ය. තම භාෂාවේ හා සම්ප්‍රදායේ රැක ගත යුතු උරුම ගැන බෙහෙවින් සවිඥානික හේ සිය වේදිකාව පවා සකසන්නේ ඊට සරිලන පරිද්දෙනි. මා පෙර කී වී බිස්ස ඊට කදිම නිදසුනකි.
1939 නොවැම්බර් මස 27 වැනි දා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම ප්‍රදේශයේදී උපත ලබන ලයනල් රන්වලගේ පියා වන්නේ රොමියෙල් රන්වල ය. මව එව්ස්තිනා කල්දේරා ය. සුප්‍රකට නාඩගම් ශිල්පියකු වූ හෙන්රි කල්දේරා ලයනල්ගේ මාමා ය. ප්‍රකට නළුවකු වූ විනී ලයනල්ගේ ලොකු අයියා ය. කලාවේ හා සංගීතයේ ඇල්ම ඇති වෙන්නට ඒ කලාකරුවන්ගේ බලපෑම කුඩා ලයනල්ට හේතු වන්නට ඇත. කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙන් අකුරු උගැන්මට යන ලයනල් කුඩා අවදියේ සිට ම ගායනයට හපනකු විය. අනතුරු ව වැලිවත්තේ කුමාර විදුහලෙන් හා කොළඹ ලුම්බිණි විදුහලෙන් හේ පාසල් අධ්‍යාපනය ලැබුවේය. ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ව හදාරා ලංකාවට එන ලයනල් රන්වලට 1959 වසරේදී සංගීත ගුරුවරයකු ලෙස පන්නිපිටිය ඇරැව්වල මහා විද්‍යාලයට පත්වීමක් ලැබෙයි. අනතුරුව පන්නිපිටිය ධර්මපාල විදුහල, කිරි ඇල්ල මධ්‍ය විදුහල, කොළඹ රාජකීය විදුහල හා කොළඹ ආනන්ද විදුහල යන පාසල්හි හේ කීර්තිමත් ගුරුවරයෙක් ලෙස සිය සලකුණ තැබුවේ ය. පන්නිපිටිය ධර්මපාල විදුහලේ ප්‍රථම තූර්ය වාදක කණ්ඩායම බිහි කිරීමට මුල් පියවර ගත්තේ ද රන්වල ගුරුවරයා ය. මකුලොළුව සංගීතඥයා ගත් මඟ යමින් සුවහසක් දරුවන්ට දේශීය සංගීතයේ ආශ්චර්යය පහදන්නටත්, ඒ මාර්ගය පිරිපහදු කර දෙන්නටත් හේ ඉටු කළ සේවය අපරිමිත ය.
සිය ගුරු මකුලොළුව සූරීන් කියූ පරදි ම හේ අප ගැමි ගී නාද මාලා ඇසුරේ හෙළ ගී මඟ පිහිටා තිබෙන බව තරයේ විශ්වාස කළේ ය. ඔහු ඒ පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණ කළේ ය. දුර බැහැර දුෂ්කර පළාත්වලට ගොස් එහි ගැමි ජනයා අතර තිබූ විවිධ ජන ගී එකතු කර පටිගත කරගත්තේ ය. ඒ පිළිබඳ සිය දැනුම පුවත්පත් හා සඟරා අතරෙන් තව ජනතාව අතරට ගියේ ය. ඒ අතර චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල රඟපෑමෙහි ද නිරත ව සිටියේ ය. 1966 දී අන්තර් පාඨශාලා නාට්‍ය තරගයට ඔහු ඉදිරිපත් කළ නොගිය ගමන වේදිකා නාට්‍යයත්, 1967 දී ඉදිරිපත් කළ එක ගෙඩියයි පළ ගත්තේ වේදිකා නාට්‍යයත් සම්මාන දිනා ගත්තේ ය. 1969 දී ඔහු නිෂ්පාදනය කළ කාලගෝල ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් නාට්‍යයකි. ළමා නාට්‍යය කලාවට ද අවතීර්ණ වූ හේ 1977 දී බීරි අලි සහ වැඩිය කඩන නරක ළමයි නාට්‍ය ද්විත්වය නිපැයුවේ ය. ඒ අතර 1976 වසරේදී පන්ජාපයේ පැවැති ගැමි රඟමඬලට එකතු වී පුහුණුව ද ලබා ගත්තේ ය. එමෙන්ම ප්‍රංශයේ සහ ජර්මනියේ පැවැති ළමා වැඩමුළුවලට ද, බංග්ලාදේශයේ පැවැති පෙරදිග ජන ගී සංදර්ශනයට ද එක්වීමට ඔහුට අවස්ථාව ලැබුණේ ය.
ඔහුගේ ලිවිසැරියේ වඩාත් ප්‍රශස්ථ කාර්යයක් සේ බොහෝ විචාරකයන් හඳුන්වන්නේ ඔහුගේ ප්‍රථම කැසට් පටය වෙන අහසේ ඉන්නවලු නිකුත් කිරීම ය. එහිදී වඩා වැදගත් වන්නේ එහි සිය දායකත්වය සේම තවත් කලාකරුවන් පිරිසකගේ දායකත්වය ඊට නොමසුරුව යෙදීම ය. සනත් නන්දසිරි, ටී. එම්. ජයරත්න, බන්දුල විජේවීර සහ සමන් ද සිල්වා වැනි ගායන ශිලපීන්ගේ හඬවල්ද ඒ සඳහා ඔහු උපයෝගී කර ගත්තේ ය. තුන්සරණේ ගී, යාග ගී, කෝලම් ගී, දෝලාකරුවන්ගේ ගී, කවි කොළ ගායනා, බලි තොවිල් ශාන්ති කර්ම ගී, රබන් ගායනා ආදියෙහි එන නාද රටා ඒවායේ අන්තර්ගත ය.
සීමිත ස්වරවල රැඳි ජන ගී නාද මාලාවල මූලික ස්වරූපය තිබෙන්නට හැර, ඔහු ඒවාට නව මාන එක්කරමින් ඊට ගැළපෙන නව තාල රටා මුසු කළේ ය. අපට ආවේණික බෙර හඬේ අපේ අනන්‍යතාව ගැබ් වන බව හේ තරයේ විශ්වාස කළේ ය. එබැවින් සෑම ගීයකට ම ඊට උචිත අයුරෙන් උඩරට පහතරට බෙර හා රබන්, උඩැක්කි ආදිය හේ යොදා ගත්තේ ය. ජන ගීවල මූලික තනුවට හානි කිරීම හෙළා දුටු ඔහු ජන ගී විකෘති කිරීම වැළැක්වීම වෙනුවෙන් ඉදිරි පෙළ සිටගත්තේ ය. නාද මාලා අනවශ්‍ය හානියකට ලක් නොකර වැඩි දියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය. අපේ සංගීතය රැක ගැනීමට හා වැඩිදියුණු කිරීමට පාර කැපෙන්නේ එලෙසින් පමණක් බව ඔහුගේ අදහස විය. සිය නිර්මාණ ඔස්සේ හේ එය ප්‍රායෝගික ව ඔප්පු කර පෙන්නුවේ ය.
ලයනල් රන්වල දේශීය සංගීතය කරෙහි මෙතරම් ආසක්ත කරන්නට බලපෑම් කළ ඩබ්ලිව්. බී. මකුලොළුව දැක ගැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ ලුම්බිණි විදුහලේදී ය. ඔහුගේ වචන තරුණ ලයනල්ගේ ජීවන මාර්ගය ම වෙනස් කිරීමේ ලා බලපෑම් කළේ ය. ඒවා සිය හදවතට පළමුව වැද අනතුරුව ඔහුගේ බුද්ධිය ආමන්ත්‍රණය කළේ ය.
‘ශ්‍රී ලංකාව දැන් නිදහස් රටක් සේ හැඳින්වෙනවා. රටක් නිදහස් වූ විට ඒ රටට ජාතියට උරුම වූ දේ යළි මතුකර ගැනීම අත්‍යවශ්‍යයි. පරගැති බවෙන් මිදීමටයි එසේ කළ යුතු වන්නේ. අපි සංගීත අංශයෙන් අපේ දේ මතු කර ගනිමු. අපි අපේ ජන උරුමය සොයා යමු.’
ලයනල් රන්වල නම් දේශීය සංගීතයක, ජන සංගීතයක නියමුවා බිහි වීමේ පදනම සැකසූ වදන් එසේ ය.
ලයනල් රන්වල ඇතුළු ඇතැම් කලාකරුවෝ අප ස්මරණය කරන්නේ අවුරුදු සමයේදී ය. සමහර කලාකරුවන් අපට සේ ම ගුවන් විදුලි, රූපවාහිනී නාළිකාවලට මතක් වෙන්නේ වෙසක් සමයේ ය. මේ නිර්මාණකරුවන් සිය ජීවිත කාලය පුරා වෙහෙසුණු ඇතැම් නිර්මාණ ගැන බොහෝ දෙනාට මතක ද නැත. ඒ මාර්ගයේ යැපුම් මාර්ග සකසා ගත්තවුන්නටවත් ඒවා ගැන නිච්චියක් නැත. එහෙත් යම් චින්තන ධාරාවක් හෝ සම්ප්‍රදායක් ඇති කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අප්‍රමාණ කැපවීමක් අවැසි ය. ඒ කැපවීම වෙනුවෙන්වත් කළ යුතු ගෞරවය ගැන අප දැනුම්වත් විය යුතු ය. ලයනල් රන්වල නාමශේෂභාවෝපගත වූ දා කිසිවකුට ඔහු මඟ හැරුණේ නැත. එහෙත් ජීවිත කාලය ගෙවද්දී ඔහු මතක් වූ අය නම් අල්ප වෙන්නට ඇත.
ලයනල් රන්වල සිය ගුරු භූමිකාවේ අගය නිසි පරිදි වටහා ගත්තෙක් වෙයි. සංගීතය හා බැඳුණු ඊට ආවේණික නර්තනය ගැන උනන්දුවක් ඇති තරුණ තරුණියන්ට හේ නොමිලේ ඉගැන්වූවේ ය. ඔවුනතරින් තෝරා ගත් දක්ෂ හා නිර්මාණශීලි සිසු සිසුවියන්ට ඔහු අවස්ථා සම්පාදනය කිරීමට ද මූලික විය. යුද්ධෙටත් ඇවිත් ජන ගී ප්‍රසංගය හා රට වටා යන්නට ඔවුනට මඟ පෑදෙන්නේ ඒ අනුව ය.
මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ ගත්කරුවා දේශීයත්වය ගැන කියූ අපූරු දෙයක් මා මතකයට නැඟේ.
ඒ ‘තමාගේකම ගැන හැඟීමක් ඇතිකරගත් සිංහල ගැමියෝ තමාගේකම නැති කරගත් දෙබරාදු මිනිස්සුන්ව හඳුන්වන්නේ නමක් ගමක් නැති වුන් ලෙස ය. ලෝක සංස්කෘතිය ගැන කතා කරන්නා ගැනෙන්නේ ද මේ නමක් ගමක් නැති දෙබරාදුවාගේ ගණයට ය.’
අද බොහෝ අය ගැනෙන්නේ ඒ දෙබරාදුවන්ගේ ගණයට ය. එහෙත් අපේ කම, අපේ උරුමය සොයා යන්නන් ද ඉඳහිට හමු වේ. මේ අල්ප වූ අය සිය ජීවිත කාලය ම ඒ වෙනුවෙන් කැප කළෝ වෙති. ඈත ගම්දනව්හි ඇවිදිමින්, පැසුණු මිනිසුන් හා කතා කරමින්, ජන ගී හා ජන උරුම සොයා ගිය ලයනල් රන්වල වැටෙන්නේ ඒ අල්ප වූ උරුමය සොයා යන්නන්ගේ ගණයට ය. ඔහු ගිය මඟ ශක්තිමත් කරන්නට පුතු සහන් හා චිරන්ත ද පෙරමුණ ගෙන සිටිති. රන්වල බළකාය ගමෙන් ගමට යන්නේ ඒ වෙනුවෙනි.