වගා සංග්‍රාමයට කුඹුරට ම බැස්ස පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයා | සිළුමිණ

වගා සංග්‍රාමයට කුඹුරට ම බැස්ස පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයා

පෘතුගීසින් පරාජයට පත්කළ ඓතිහාසික දන්තුරේ සටන දියත් වූ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සියඹලාගොඩ ග්‍රාමයේ වදඅත්ත කෙත්යාය අස්වැද්දීමට වෙනදාට වඩා ගොවියෝ මෙවර එක්ව සිටිති. 

වසර ගණනාවක් පුරන්ව පැවැති කුඹුරු අස්වද්දන්නට බොහෝ දෙනෙකු පියවර ගෙන තිබුණේ ළඟ එතැයි කියන අහාර හිඟයට මුහුණ දීමේ අටියෙනි. මෙම කෙත්යායේ කුඹුරු කරන ගොවීන් හා එක්ව කරට කර වෙහෙස වෙමින් කුඹුරක් අස්වද්දන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්යවරයකු කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව ඔහු සොයා අපි සියඹලාගොඩට ගියෙමු. ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු ඔස්සේ පහසුවෙන් අදාළ කෙත්යාය සොයා ගත් නමුත් උදැල්ලක් අතැතිව සිටි මහාචාර්යවරයා එක්වරම හඳුනා ගැනීමට ඔහුගේ මඩ තැවරුණු ඇඳුම බාධාවක් විය. ඒ වනවිටත් කුඹුරු යාය යස අපූරුවට පීදෙමින් තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇදුරකු ලෙස දශක තුනක පමණ කාලයක් සේවය කළත් ඔහුගේ දෑතට කුඩා සන්ධියේ පටන් ලැබුණු උදැල්ලේ හුරුව මේ දක්වාම ඉන් ගිලීහි ගොස් නොමැති බව මොහොතකින් පසක් වූයේ මහචාර්යතුමා කුඹුරේ වැඩ කරන අපූරුව දුටු විටය.

‘මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සෑහේ යැයි වරක් රොබට් නොක්ස් පැවසුවා. කෙතක් වපුරා අස්වැන්න ගෙන දරුපවුලක් රැකීමට තරම් කළමනාකරණයක් ඇති ගොවියාට රටක් පාලනය කිරීමට අවශ්‍ය සියලු සුදුසුකම් තිබෙන බව එහි සරල අර්ථය ලෙස ගත හැකියි. ගොවිකමට කියන්නේ මොන තරම් උතුම් වෘත්තියක්ද කියන කාරණය මේකෙන් පේනවා‘ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහචාර්ය විජේතුංග රණසිංහ උදැල්ලට බරදී නියර මත වාඩි වූයේ එසේ පවසමිනි. මම විශ්‍රාම ගිහින් දැන් අවුරුදු හයක් විතර වෙනවා. මගේ නෝනාගේ පවුලේ ගොඩක් අය ගොවිතැන් කරනවා. මගේ තාත්තත් හොඳ ගොවියෙක්. බදුල්ල කැන්දගොල්ල තමයි මගේ උපන් ගම. උදැල්ලේ මිට තරම්වත් උස නැති කාලේ ඉඳන් තාත්තා එක්ක ගොවිතැන් කළා. බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා ආර්. ඒ. ඩී රණසිංහ මාගේ පියා සමඟ කූඹුරු ගොවිතැන් කටයුතුවලට සම්බන්ධ වුණා. වපසරියෙන් කුඩා වූ හෙල් වැටි සහිත කූඹුරක් අපිට තිබුණේ. ඒකේ කුඩා ලියැදි කිහිපයක් යල මහ දෙකට වැඩ කරන්න අප්පච්චි පැවරුවා. නියර බැඳලා ලියද්ද මට්ටම් කර ගන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න තමයි අප්පචිචි එහෙම කළේ. මගේ කුඹුර පර්චස් 56 ක් විතර තියෙනවා. එයින් පර්චස් 3 ක් විතර ගොඩ බෝගවලට වෙන් කළා. ඒ කොටසේ ගෙදරට අවශ්‍යය එළවළු වර්ග කීපයක් වගා කරලා තියෙනවා. පුතයි මායි තමයි ගොඩක් වෙලාවට කුඹුරේ වැඩ කරන්නේ. නෝනගේ පවුලේ අයට කෘෂි උපකරණ තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ගැටලු මතු වෙනවා බොහොම අඩුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1972 දී ඇතුළු වී දේශපාලන විද්‍යා ගෞරව උපාධිය හැදෑරූ රණසිංහ දෙවන පෙළ පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය නිමකර සහය කථිකාචාර්යවරයෙකු ලෙස 1984 දී ගුරු භූමිකාව අරම්භ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට 1984 දී පත් වීමක් ලබමිනි. දේශපාලන විද්‍යා අංශයේ කථිකාචාර්ය ධූරයක් ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා 1987 දී එක්වන රණසිංහ එවකට අංශාධිපති වූ මහාචාර්ය විශ්වා වර්ණපාලයන්ගේ අධීක්ෂණය යටතේ 1981 වර්ෂයේදී ශාස්ත්‍රපති උපාධියත් 1986 දී බණ්ඩාරනායක අන්තර් ජාතික අධ්‍යයන අංශයෙන් අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ගත්තේය.

1995-1998 දක්වා බෙල්ජියමේ ඇන්ටිවර්ප් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා නැවතත් පේරාදෙණිය සරසවියේ සේවයට පැමිණියේය. දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කලක් කටයුතු කළ ඒ මහතා 2016 දී විශ්වවිද්‍යාල ආචාර්ය දිවියට සමුදුන්නේය.

මනසට විවේකයක් අවශ්‍යය වී තිබුණා. කූඹුරු ගොවිතැන ඒ සඳහා වැදගත් කියලා මම හිතුවා. ඒත් මටම කියලා මහනුවර කූඹුරක් තිබුණේ නැහැ. 

මගේ බිරිය කුසුමි රණසිංහගේ පවුලේ සියලු දෙනාම කුඹුරු ඉඩම් හිමියන්. ඒ අය විවේකයක් ඇති සෑම විටකම ගොවිතැන් කටයුතුවලට යොමු වුණා. මෑතකදී ඇතිවුණු ආර්ථික අර්බුදයත් එක්ක සහල් මිල දෙතුන් ගූණයකින් ඉහළ යද් දී ප්‍රධාන ආහාරය වූ බත් පත සපයා ගැනීම අභියෝගයකට ලක්වන බවක් පෙනෙන්න තිබුණා. බත් කන්න ඕන නම් කුඹුරකට බහින්නම වෙනවා කියලා දැනුණ නිසා මම පර්චස් හැටක කුඹුරු කෑල්ලක් අරන් වැඩ කරන්න පටන් ගත්තා.මේ කුඹුර අවුරුදු පහළොවක් විතර වැඩ නොකර පුරන් වෙලා තිබුණේ.

ගෙදර ඉන්නේ මායි බිරිඳයි පොඩි පුතයි. ලොකු පුතා ඉංජිනේරුවෙක් විදිහට බෙල්ජියමේ සේවය කරනවා. පොඩි පුතා ජාලකරණ ඉංජිනේරුවරයෙක්. බිරිඳගේ නංගී අපිට හාල් ගෙනත් දෙනවා.

එයාලට වී මෝලක් තියෙනවා. ඒ නිසා අර්බුදය පටන් ගත්ත දවසේ ඉඳලම අපි කඩෙන් හාල් ගෙනාවේ නැහැ. මේ විදිහට නිකන් බත් කකා ඉන්න තිබුණා. රටේ තිබෙන අර්බුදයක් එක්ක ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි කුඹුරට බහින්න කල්පනා කළේ. මහාචාර්වරයා පවසයි.

ඡායාරූප-රුවන් මීගම්මන

Comments