
රටක පාලන තන්ත්‍රයෙහි අතිශයින්ම වැදගත් වන කුලුනක් ලෙස රාජ්‍ය සේවාව හැඳින්විය හැකිය. රාජ්‍ය සේවය ස්වාධීනව පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙරට රාජ්‍ය සේවය පළාත් රාජ්‍ය සේවය අර්ධ රාජ්‍ය සේවය ගත් විට ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් රාජ්‍ය සේවකයෝ වෙති. රාජ්‍ය සේවාව විධිමත් වීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ විධිමත් කිරීමක් අත්‍යවශ්‍ය ය. රාජ්‍ය සේවය යාවත්කාලීන කළ යුතුය. තාක්ෂණික මෙවලම් සහ ඩිජිටල්කරණය තුළින් රාජ්‍ය සේවයට වඩා අගයක් එකතු කිරීමට නවීන ලෝකයට සරිලන කාර්ය සාධනය ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇත.
රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවාව විශාල කාලයක් මහජනයා වෙනුවෙන් පවත්වාගෙන යයි. කලකට පෙර රජයේ සේවයට පිරිස් බඳවා ගැනීම් සිදු කරනු ලැබූයේ කිසියම් පුරප්පාඩුවක් ඇති වූ විටයි. ඒ පුරප්පාඩුව සම්පුර්ණ කිරීමටය.එසේ නොමැති නම් යම් විෂයක් සම්බන්ධයෙන් පුරප්පාඩු ඇති වූ විට ඒ විෂයට අදාළ රැකියාවක් සකස් කෙරුණු අතර ඒ රැකියාව සඳහා සුදුසුකම් සපුරන ලද නිලධාරියා කවරෙක්ද යන්න සොයා බලා වඩාත් සුදුසුකම් සපුරා ඇති තැනැත්තවුන්ට එම තනතුරට අදාළව බඳවා ගැනීම් සිදු කෙරිණි. ඒ නිසා එදා රාජ්‍ය සේවය රටට බරක් නොවෙන තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකියාව තිබිණි. එනම් එදා නිශ්චිත තනතුරකට නිශ්චිත සුදුසු පුද්ගලයෙක් බඳවා ගැනීම් සිදු විය. නමුත් පසුකාලීනව විවිධ රජයන් විසින් ප්‍රතිපත්තිමය තීන්දු වශයෙන් රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම් සිදු විය. උදාහරණයක් ලෙස ගතහොත් සමෘද්ධි ව්‍යපෘතිය ආරම්භයේදී එක් පිරිසක් අධිකාරියට බඳවාගෙන ඉන් කොටසක් කෘෂිකර්ම පර්යේෂකයන් ලෙස රාජ්‍ය සේවයට අනුයුක්ත කරනු ලැබිණි. ඉන් අනතුරුව උපාධිධාරීන් බඳවා ගැනීමේදී එය රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කෙරිණි. දිළිඳුකම පිටුදැකීම් සඳහා ඒ ඒ රජයන් ක්‍රමෝපායන් බවට ඉන් අනතුරුව එය පත්විය. පසුකාලීනව උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුවූයේ පුරප්පාඩු සඳහා හෝ ඇති කරන ලද වෘත්තියකට පුරප්පාඩු ලෙස හෝ නොවෙයි.
උපාධිධාරින් බඳවා ගෙන දෙපාර්තමේන්තු හා ආයතනවලට අනුයුක්ත කරන ලදී. මේ ක්‍රමවේදය 1994 ආරම්භ වී 2019 දක්වා අඛණ්ඩව සිදු විය. මෙසේ නිශ්චිත රැකියාවක් හෝ නිශ්චිත කාර්ය නියමක් නොමැතිව පුරප්පාඩුවක් නැතිව බඳවා ගනු ලැබුවද; මෙසේ බඳවා ගත් රාජ්‍ය සේවකයන් පිරිසක් පුරප්පාඩු තනතුරු සඳහාද අනුයුක්ත කෙරිණි. එසේ නිශ්චිත කාර්යයන් නොමැති පිරිසක්ද ඒ අතර වෙයි. මේ බඳවා ගනු ලැබූ 145,000 සංඛ්‍යාවකින් සෑහෙන පිරිසක් නිශ්චිත රාජකාරියක් නොමැති පිරිසකි. රාජ්‍ය ප්‍රතිපත්තීන්වලින් බඳවා ගන්නා විට එම බඳවා ගැනීම් සිදුවූයේ පුරප්පාඩු පටිපාටියක් නොමැතිවයි.
එමෙන්ම සංස්ථා, මණ්ඩල ගත් විට විශාල ලෙස මේ තත්ත්වයම පවතී. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල ගත් විට කාර්ය මණ්ඩලය එකිනෙකට සාපේක්ෂව විශාල ලෙස වැඩි වෙයි. රජයේ ප්‍රධාන ආයතන බොහෝමයක නිශ්චිත තනතුරට වඩා වැඩි ප්‍රමාණයක් සංස්ථා මණ්ඩල සඳහා බඳවා ගැනීම් සිදු විය. නිශ්චිත තනතුරටත් වඩා පහළ ශ්‍රේණිවල බඳවා ගැනීම් වැඩි අතර බොහෝවිට නුපුහුණු හා අර්ධ පුහුණු මට්ටමේ පිරිස් වෙයි. ඒ ආයතනවලට වැටුප් ගෙවීමට ඇතැම් අවස්ථාවලදී රජයයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම සිදුවෙයි. ලාබ ලබා ගැනීමට නොහැකි වූ විට එය රජයෙන් ගෙවීමට සිදුවීම අනිවාර්යෙන්ම රටට බරකි. මෙය ගැටලුවක් වන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් මේ පිරි වැය දරන්නට සිදුවීමයි. මේ ආයතන සියල්ල නඩත්තුවන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලිනි. මේ ආකාරයට අධික කාර්ය මණ්ඩල ඇතුළත් කිරීම නිසා පාඩු ලබන සහ පාඩුවෙමින් පවතින තත්ත්වයට මේ ආයතනයන් පත්වෙමින් පවතියි. මේ සේවා සපයන පිරිසට වඩා වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටීම නිසා මේ රාජ්‍ය සේවය රටට බරක් වෙයි.
රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යම් යම් ක්‍රමෝපායන් අනුගමනය කරන අවස්ථා දක්නට ලැබෙයි. රාජ්‍ය සංස්ථා මණ්ඩල බොහෝවිට වන්දි ලබාදී සේවකයන් ඉවත් කිරීම සිදුකරයි. ඉන්පසු කලෙක යළිත් පිරිස් බඳවා ගැනීම සිදු වෙයි. එලෙස වන්දි ගෙවා ඉවත් කිරීම එනම් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යැවීමෙන් අපේක්ෂිත අරමුණ ඉෂ්ට නොවෙයි.
රාජ්‍ය සේවය අකර්යක්ෂම බව සඳහන් කරනවාට වඩා සාපේක්ෂව විමර්ශනාත්මකව බැලිය යුතුයි. රාජ්‍ය සේවය අකර්යක්ෂම යන කරුණ පිළිගැනීමට සාධක නොමැති බව වැටහීමක් එවිට ලැබෙයි. නිශ්චිත නායකත්වයක් අරමුණක්, සහ මඟ පෙන්වීමක් රාජ්‍ය සේවයට තිබිය යුතුයි. මැතිවරණයකදී ඡන්ද ප්‍රතිඵල කඩිනමින් ලබාදීම රාජ්‍ය සේවකයන් කාර්යක්ෂම වන අතර ඕනෑම අර්බුදයක් තුළ රට ව්‍යසනයකට පත්වූ අවස්ථාවලදී ඉතාම කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව කටයුතු කිරීමට රාජ්‍ය සේවකයන්ට හැකියාව ඇත. විශේෂයෙන් අවශ්‍ය මානව සහ භෞතික සම්පත් තිබීම තුළ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකියි. එසේ නොමැතිවූ විට ඒ ප්‍රතිඵලය ලබා ගැනීමේ යම් ප්‍රමාද පවතී.
නමුත් සමස්තයක් ලෙස ගත්විට රාජ්‍ය සේවයේ සපයන සේවාව තක්සේරු කළ විට පුද්ගලික අංශය සමඟ සාපේක්ෂව රාජ්‍ය අංශයේ බහුතර පිරිසකට සපයන සේවාව සම්බන්ධයෙන් නොසලකා හැරිමක් සිදුවී ඇත. රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට ජනතාවගේ ආකල්පමය යම් ගැටලුවක් නිර්මාණය වී ඇත. වඩා ආර්ථිකමය වශයෙන් දියුණු රටවල පවා මුදලට මේ සියල්ල තීරණය කෙරුණද නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර නොමිලේ ජනතාවට ලබාදෙන සේවාවක් ලෙස පවත්වා ගෙන යයි. එමඟින් ජනතාව ලැබූ ජයග්‍රහණ රැසකි. රාජ්‍ය යාන්ත්‍රණයේ මූලික අංගයන් වන සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රවාහනය වැනි සාධකයන් ඒ අතර ප්‍රමුඛ වෙයි. පොදු මහජනතාවට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය යන වරප්‍රසාද නොතිබුණේ නම් විශාල පිරිසකට මේ පහසුකම් ලබා ගැනීමේ අවකාශය නොලැබෙයි.
ජනතාව තුළ රාජ්‍ය යන සංකල්පය පිළිබඳව වැරදි ආකල්පයක් පවතී. ඉන් අදහස් කරන්නේ රාජ්‍ය සේවය අතිශයින්ම කාර්යක්ෂමයි යන කරුණ නොවෙයි.
සමහර රාජ්‍ය ආයතන ගත් විට එම පද්ධතියට ලබාදිය හැකි සේවා සැපැයීම් ඉක්මවා ඇත. ආගමන විගමන කාර්යාලය විශාල පිරිසක් මේ දිනවල සේවා අපේක්ෂාවෙන් පැමිණෙයි; අදාළ අංශවලට ලබාදිය හැකි ප්‍රමාණය ඉක්මවා සේවා අවශ්‍යතාවන් මතු වී ඇත. ඒ අදාළ නිලධාරීන් මානව සහ භෞතික සම්පත් ප්‍රමාණය අනුව සේවා සැපැයීම සිදු කළ යුතුයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ විදෙස් ගමන් බලපත්‍ර සඳහා විශාල ඉල්ලුමක් පවතී. පවතින ආර්ථික සමාජ අර්බුදය සමඟ ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවකයෝද පීඩා විඳිති.සියලු පාර්ශ්වයන් සඳහා අද මතුවී ඇති ගැටලු රාජ්‍ය සේවකයාටද මතුවී ඇත. භෞතික සම්පත් සහ මානව සම්පත්වල සීමාකාරී සාධක වෙයි. සමහර අංශවල සැපැයුම් ප්‍රමාණය වැඩිවුවහොත් ඇතැම් අවස්ථාවල මානව සම්පත්වල හිඟතාවන් හෝ භෞතික සම්පත් හිඟතාවන් මතුවන අවස්ථාවෙයි. රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ඉක්මවා සිටියද නිමැවුම්වල තාක්ෂණික අංශයේ සිමාවන් නිෂ්පාදනයේ සීමිත තැන් පවතී.
භෞතික සම්පත් හිඟතාවන් ඇති අවස්ථාවලදී යම් යම් සීමාවන් සිදුවිය හැකියි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් පැවැතියද පවතින අර්බුදකාරී වාතාවරණය නිසා අවශ්‍ය මෙවලම් ආනයනික සීමාවන් ද පවතී. ඩොලරයේ ඇති මිල වෙනස්වීම සහ ආනයනික සීමා නිසා ඒ ඩිජිටල්කරණ ව්‍යාපෘති අවසන් මට්ටමකට ගෙන ඒමට නොහැකි වී ඇත. මිනිසුන් අපෙක්ෂා කරන සේවාව ලබාදීමට කාර්යක්ෂමතාව පවතින වාතාරණයට සාපේක්ෂව යම් අපහසුතාවක් පවතී.
ඔන්ලයින් සේවාව මඟින් තමන්ගේ කාර්යයන් ඉටු කර ගැනීමට ජනතාව අපේක්ෂා කරයි. ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ වේදිකාව රාජ්‍ය අංශයේ නිර්මාණය කිරීමට සහ සේවා පද්ධතිය සකස් කිරීමට යම් කාලසීමාවක් ගත වෙයි. ඉදිරියේදී ඩිජිටල්කරණයත් සමඟ රාජ්‍ය සේවාව මීට වඩා කර්යක්ෂම විය හැකියි. ඒ අනුව රජයේ සේවා සපයන ආයතනවලට පැමිණීම 50%කින් අඩු කළ හැකියි. රාජ්‍ය සේවය ස්වාධීන වීය යුතුයි; එසේ ස්වාධීන වීමට නම් ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් අමාත්‍යංශ ලේකම්වරයා දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ දිසාපතිවරයා පත් කරනු ලැබීම සිදුවෙයි. එසේ පත් කර නිශ්චිත කාර්ය පටිපාටියක් ලබා දිය යුතුයි. එය ඉෂ්ට කිරීමට අපොහොසත් වන තැන ඒ නිලධාරියා ඉවත් කිරීමට එම මණ්ඩලයට හැකියාව ඇත.
එම පත්කිරීම් සිදුවන්නේ දේශපාලන අධිකාරියක් නම් එම නිලධාරියාට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ වටපිටාව ඇහිරී යයි. දේශපාලන අධිකාරීයේ අවශ්‍යතාවලට අනුගත වීමක් කළ යුතු වෙයි. රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට නම් මහජනතාව විසින් ව්‍යවස්ථා සම්පාදකයන්ට යෝජනා කළ යුතු ප්‍රමුඛ යෝජනාව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් එම නිලධාරීන් පත් කළ යුතු බවයි. එසේම ඉවත් කිරීම සිදු කළ යුත්තේ විෂමචාරයක් හෝ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවක් හෝ සේවා සැපැයීමේ දුර්වලතාවක්, නායකත්වය දුර්වලතාවක් ඇති අවස්ථාවලදී පමණී. මේ ආකාරයට පත් කිරීම් ඉවත් කිරීම් විධිමත් වුවහොත් පමණක් රාජ්‍ය සේවාවව විධිමත් සහ ස්වාධීන වීම සිදුවෙයි.
එනම් රාජ්‍ය සේවාවේ වෙනසක් වන්නේ නම් බඳවා ගැනීමේ පටිපාටිය සිට එම වෙනස කළ යුතුයි; එය පාර්ලිමෙන්තු පනතකින් සම්මත කළ යුතුයි. මේ රටේ රජයට අදාළ අමාත්‍යංශ 30ක් වෙයි. ඒ අමාත්‍යංශ යටතේ ඇති ආයතනයන් නම් කර ඉන් අනතුරුව අදාළ පිරිස් බඳවා ගැනීමේ පටිපාටිය සහ නිලධාරීන් නිශ්චය කළ යුතුයි. එය නිත්‍යානුකූල කළ යුතුයි.
එසේ නොවන තාක්කල් රාජ්‍ය සේවාව යාවත්කාලීන කළ නොහැකියි. රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවත් රැකියා ලබා දෙන ලෙසත් ජනතාව විසින් දේශපාලන ව්‍යාපාරවලට බල කිරීම් සිදුකරන්නේ නම් අදාළ දේශපාලන අධිකාරිය විසින් අනවරතයෙන්ම ඒ සඳහා පෙලඹීමක් සිදුවෙයි. ජනතාව දේශපාලන පක්ෂයකට තෙරපීමක් ඇති කරන්නේ නම් නම් එම අදාළ දේශපාලන අධිකාරීය විසින් එතැනට පෙලඹිම සරල කරුණකි.
විශ්වවිද්‍යාල හෝ පෞද්ගලික උපාධි අධ්‍යයන ආයතනයන් විසින් අපේ රටේ නිෂ්පාදනය වන උපාධිධාරියාගේ මානසිකත්වය සකස් කරන්නේ ඔවුන් බිහිකරන්නේ රජයේ රැකියා ලබාදීමට බවයි. රජයේ රැකියාවක් සඳහා අයිතියක් එම උපාධිධාරීන්ට ඇති බවත් ඔවුන් සඳහන් කරයි. මේ තෙරපුම ඇතිවන්නේ ඒ අනුවයි. රජයේ රැකියා උපාධිධාරීන්ට හෝ අනෙකුත් පිරිස්වලට යම්කිසි සීමිත ප්‍රමාණයකට හිමි වෙයි. පහළොස් ලක්ෂයක් පමණ රාජ්‍ය සේවකයන් දැනටමත් රාජ්‍ය සේවයේ වෙයි. ඒ සීමිත ප්‍රමාණයට හිමිවන්නේද නිශ්චිත කාලයකදී විශ්‍රාම යන අය පමණයි. විශ්‍රාම යන අයට සාපේක්ෂව රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ හැකියාව ලැබෙයි. අනෙක් පිරිස් පෞද්ගලික අංශයට පුද්ගලික ව්‍යවසායන්ට, විදෙස් රැකියාවන්ට පෞද්ගලික අංශයට හුරුවිය යුතුයි. මේ බඳවා ගැනීම් නිසා සිදු වූයේ පෞද්ගලික අංශයේ සේවය කළ අය රාජ්‍ය සේවාවට බැඳීමයි. රජයේ රැකියා ලබාදීමට ආණ්ඩුවක් බැඳී නොසිටින බවට උසස් අධ්‍යපන ආයතනවලදී දැනුම්වත් කළ යුතුයි. රාජ්‍යකින් අසීමිත අවශ්‍යතාවන් ප්‍රමාණයක් ජනතාව අපේක්ෂා කරයි. එනම් උපතේ සිට පාසල විශ්වවිද්‍යාල රැකියාව සහ විශ්‍රාම වැටුපක් දක්වා සහ වෙනත් අවශ්‍යතා සඳහා සහනාධාර ලබාගැනීමේ යාන්ත්‍රණයක් යන සකල සියලු දේ රජය කළ යුතු යැයි ජනතාව තුළ මානසික ආකල්පයක් ගොඩනැඟී ඇත.
රජයේ රෝහල, පාසල සහ පොදු ප්‍රවාහන සේවය ගත්විට භෞතික සම්පත් ලබා ගැනීමෙන් කාර්යක්ෂමතාවය වැඩි කිරීම කළ හැකිය. ආයතනික මට්ටමින් ජනතා මුණ ගැසී සේවා ලබාගැනීමේදී ඇතිවන මතගැටුම් නොසන්සුන්තාවයන් ප්‍රමාදයන් මඟහරවා ගැනීමට අනිවාර්ය ඩිජිටල්කරණයකට අපි යා යුතුයි.
රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය සහ ආරක්ෂක සේවා යන අංශයන් සියල්ල ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. රට ගොඩනගා ගැනීමට රජය, රාජ්‍ය නිලධාරීන්, වෘත්තිය සංවිධාන සහ මහජනතාව අනිවාර්යෙන් මේ තත්ත්වය වටහා ගත යුතුය. මහජනතාව මේ වනවිට අසීමිත කැපවීම් සිදු කර ඇත. මේ තෙපාර්ශ්වයන් මේ තාක් නඩත්තු කළ මහජනතාව අසරණ වී සිටින මේ අභියෝගාත්මක අවස්ථාවේදී රට නැවත ගොඩනඟා ගැනීමට දායකත්වය සැපැයීම කළ යුතුයි. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිලධාරීන් ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරීය යන සියලු පාර්ශ්වයන්ට රට ගොඩනැඟීමේ ජාතික වගකීමක් මේ අවස්ථාවේ පැවැරී ඇත.
රාජ්‍ය සේවයේ සිටින ඇතැම් පිරිස්වලට විදෙස් රැකියා අවස්ථා සදහා යොමුවිය හැකිය. එසේ ම ඒ අය මෙරටට යම් විදෙස් ප්‍රේරණයන් රටට ලබාදීමට පියවර ගත යුතුයි. එසේම පෞද්ගලික ව්‍යවසායන් සහ ව්‍යාපාර ආරම්භ කිරීම අවශ්‍යයි. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය භුක්ති විඳින වරප්‍රසාද, ව්‍යුහාත්මකව සහ ආකාල්පමය වශයෙන් ප්‍රතිව්‍යුගත කිරීමකට සූදානම් විය යුතුයි.
එමෙන්ම සමස්ත රාජ්‍ය සේවකයන් මේ අසීරු අභියෝගාත්මක අවස්ථාවේදී යම් කැපවීමක් කළ යුතු ය.