බුරා බුරා නැඟුණු වෛරයේ තව­මත් නොනි­මුණු ගිනි | සිළුමිණ

බුරා බුරා නැඟුණු වෛරයේ තව­මත් නොනි­මුණු ගිනි

 

, භීෂණය රටම වෙළාගත් මාරයාගේ අඳුරු සෙවණැලි රට පුරා සැරිසැරූ මෙරට ඉතිහාසයේ බිහිසුණුම අවධියයි. කුමන මොහොතක කොහේදී කාගේ ජීවිතය බිලි ගනී දැයි සිතිය නොහැකි තරමට මිනිස් ජීවිතයේ වටිනාකම පල්ලම් බැස තිබූ අවධියයි. අසූව දශකයේ අග්ගිස්සේදී ඒ අවාසනාවන්ත ඉරණම රට පුරා මුල්බැස තිබිණ. ඊට බිලිවූ බොහෝ දෙනාගේ ජීවිත කතා බොහෝ අනුවේදනීය ඒවාය. අප කියන්නට යන මේ කතාව ද ඒ අතරින් එකක් පමණි.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ගල්කන්ද ගම්මානය ද එකී භීෂණයට ගොදුරු වී තිබිණ. ඊට එරෙහි වූවන්ට මරණයේ විලංගු ලෑමට භීෂණයේ අවි අත දැරූවන් කිසිසේත් පසුබට නොවීය. ආයුර්වේද වෛද්‍යවරයකු වූ එස්. වීරසිංහ ජවිපෙ ක්‍රියාකාරීන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටියේ ඔහු ඒ අනීතික ක්‍රමයට එරෙහි වීමේ වරදටය. පුතුන් තිදෙනකු සහ දියණියන් තිදෙනකුගේ පියකු වූ ඔහු වාසය කළේ විශාල පැරණි නිවෙසකය. ඒ පසෙකින් නව නිවෙසක් ඉදිවෙමින් තිබිණ. ජවිපෙ කැරලිකරුවන්ගේ තාඩන පීඩන තම තරුණ දරුවන් වෙත එල්ල වනු වළකාලන්නට වීරසේන සිය වැඩිමහල් පුතුනුවන් දෙදෙනා නුවරඑළියේ වාසය කළ සිය මලණුවන්ගේ නිවෙසට හැරලුවේ ටික දිනකට පෙරදීය. නිවෙසේ ඉතිරිව සිටියේ වීරසිංහ යුවළත් බාලම පුතු සහ දියණියන් තිදෙනාත්ය. අඳුර වැටුණු පසු කුප්පි ලාම්පුවක්වත් දල්වන්නට ජවිපෙ ක්‍රියාකාරීන්ගෙන් අවසරක් නොවූ බැවින් වීරසිංහගේ බිරිය සිය දරුවන්ට පාඩම් කරන්නට අවස්ථාව සලසා දුන්නේ ඉදිවෙමින් ති‍ෙබන නව නිවෙසේ තැනක ලාම්පුවක් දල්වා එය පැදුරකින් වටකොට ආලෝකය පිටතට යෑම වළක්වමිනි.

මාරයාගේ අඳුරු සෙවණැල්ල වෛද්‍ය වීරසිංහගේ නිවෙස වටා සැරිසරන්නට වූයේ එවැනි එක් දිනයකදීය. බාල දියණියන් දෙදෙනා අලුත් ගෙදර පාඩම් කරමින් සිටියදී වැඩිමහල් දියණියත්, වයස අවුරුදු 8ක් වූ බාලම පිරිමි දරුවාත් වීරසිංහ යුවළත් සිටියේ පරණ නිවෙසේ ඉදිරිපිටය. එක්වරම එහි කඩාවැදුණු ලේ පිපාසිත ඝාතකයෝ වෛද්‍ය වීරසිංහ ගෙමිදුලට ඇදගෙන ගොස් ඔහුට වෙඩි තබන්නට වූයේ බිරියත් දරුවනුත් මර බියෙන් කෑ ගසද්දීය.

“වෙඩි තිබ්බට මගෙ තාත්තා මැරුණේ නෑ. උල් පිහියකින් මගේ තාත්තට 14 පාරක් ඇන්නා. මගේ ඇස් ඉස්සරහදිම අම්මයි මායි අක්කලයි විලාප තිය තියා අඬද්දි ඒ මිනිස්සු මගේ තාත්තා මැරෙනකම්ම පිහියෙන් ඇන්නා¨

එදා අට හැවිරිදි දරුවකුව සිටිමින් සිය පියාගේ අවසන් මොහොත සිය දෑස්වලින් දුටු වෛද්‍ය වීරසිංහගේ බාල පුතු වීරසිංහ දේවගේ වීරසිංහ අදටත් ඒ සිදුවීම සිහිකරන්නේ ඉවසුම් නොදෙන වේදනාවකිනි.

“එදා අවුරුදු අටේදී මගේ තාත්තව මරනවා මගේ ඇස්දෙකෙන්ම දැක්කා. අද මගේ ලොකු පුතාටත් වයස අවුරුදු අටේදී ඒ වගේම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වුණා. මැයි 9 වැනිදා ඇතිවුණු සිද්ධිය නිසා අපිට තිබුණු හැමදේම ගින්නෙන් අළුවෙලා යනවා මගේ පුතාත් එයාගේ ඇස්දෙකින්ම දැක්කා. එදා මට දැනුණු කම්පාවම අද මගේ දරුවන්ටත් දැනෙනවා.”

1989 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ජවිපෙ ක්‍රියාකාරීන් විසින් ඝාතනය කළ වෛද්‍ය එස්.වීරසිංහගේ බාල පුත් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ඩබ්ලිව්.ඩී. වීරසිංහ මැයි 9 වැනිදා අඳුරු සඳුදාවේ මතක අවදි කළේ එලෙසිනි.

“එදා 9 වැනිදා මම අගමැතිතුමා බලන්න අරලියගහ මන්දිරයට ගියා. අගමැතිතුමාට මගේ හිතේ ලොකු ආදර ගෞරවයක් තියෙනවා. ඒකට හේතුව යුද්ධයෙන් වැඩිපුරම බැටකාපු අපේ ගම්වල මිනිස්සුන්ට සැනසීමක් දෙමින් ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ නායකයා එතුමා වීම නිසයි. ඉස්කෝලේ යන කාලේ මමයි මගේ අයියලා අක්කලයි ගොඩක් දවස්වලට රෑට හිටියේ කැලෑවේ, නැත්තම් කඳවුරක. අද රෑට නිදාගත්තම හෙට පණ පිටින් නැඟිටියිද කියන බයෙන් අපි ජිවත් වුණේ. එදා 9 වැනිදා හවස මට අම්පාර ගෝඨා ගමේ මල්ලි කෙනෙක් දුරකථන ඇමතුමක් දීලා කිව්වා, අද රෑට අයියගෙයි විමලවීර ඇමතිතුමාගෙයි ගෙවල්වලට ගහන්න හදනවා. පරිස්සමින් ඉන්න කියලා. මම එවෙලේම ගමේ පොලිසියේ ස්ථානාධිපතිතුමාට කෝල් කරලා ඒ බව කිව්වාම ඔහු කිව්වා බයවෙන්න එපා අපි ගෙදරට ආරක්ෂාව දෙනවා කියලා. ඒත් මගේ ගෙදරට ගහන්න පිරිසක් එන බව දැකලා එතැනට දුවගෙන ආව ගමේ මිනිස්සුන්ව ඒ ස්ථානාධිපතිතුමා එළවගෙන තිබුණා තමුසෙලා මෙතන සාමය කඩවෙන දේවල් ඇතිකරන්නෙපා, අපි මේක බලාගන්නම් කියලා. මගේ ගෙදර ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරින් දෙන්නට ස්ථානාධිපතිතුමා කියලා තුවක්කු දෙක පෙට්ටියට දාලා වහන්න කියලා. ප්‍රචණ්ඩකාරී පිරිස මුලින්ම ගේ වටේ තිබුණ වතුර ටැප් කඩලා තිබුණා. ඊටපස්සේ ගෙදර ලයිට් සහ පාරේ ෆ්ලෑෂර් ලයිට් නිවලා තියෙන්නෙත් පොලිස් ස්ථානාධිපති. ගේ ගිනි තියන්න ආව පිරිස ගෙදර තිබුණු බඩු ලොරිවලට පටවගෙන යනකම් පැය බාගයක් විතර බලාගෙන ඉඳලා, ගේ සම්පූර්ණයෙන්ම ගිනි තියලා යනකම් විනාඩි 45ක් විතර බලාගෙන හිටිය පොලිසිය මේ අපරාධය වළක්වා නොගත්තේ ඇයි කියන එක මට විශාල ප්‍රශ්නයක්.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහ කීවේ තවමත් පහ නොවූ සන්තාපයෙනි.

¨අපේ හැමදේම අළු ගොඩක් වුණා. ඉතිරි වුණේ බිරියයි දරුවෝ දෙන්නයි ඒ වෙලාවේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික විතරයි. ඔය ගිනි තියපු ගේ මගේ තාත්තා හදපු ගේ. ඒක අවුරුදු තිහකට වැඩිය පරණයි. ඒ ගෙට ඉස්සරහින් මම 2008දී කාමර දෙකයි, සාලෙයි, කුස්සියයි තියෙන ගෙයක් හදන්න අත්තිවාරම දැම්මා. එතකොට මම දේශපාලනයට ඇවිත් නැහැ. ඒ ගෙදර ස්ලැබ් එක දැම්මේ 2010දි. වහලේ ගැහුවේ 2014දි. පාර්ලිමේන්තුවට පත්වුණාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ලක්ෂ 100 ලෝන් එකෙන් මම ලක්ෂ 50ක් අරගෙන ගෙට දොරජනෙල් දාලා, තීන්ත ගාලා පදිංචිවෙලා ගතවුණේ මාස එකහමාරයි. ඒ ගෙට පිටිපස්සෙ ගේ කැඩිලා තමයි ඉතුරු කොටස හැදෙන්න තිබුණේ. තවම ඒක හදලා නැහැ. අවුරුදු 14ක් තිස්සේ මම හදපු ගේ තමයි ගිනි තියලා අළු ගොඩක් කළේ. 2010 මම පළමු වතාවට දමන ප්‍රාදේශීය සභාවට තරග කරලා වාර්තාගත ජයක් ලැබුවාම මම හිතුවා, තරුණයෙක් විදිහට මම මේ ක්‍රමය වෙනස් කරනවා කියලා. මගේ වාහනේට සභාවෙන් තෙල් ගත්තෙ නැහැ. මන්ත්‍රී වැටුප ගත්තෙ නැහැ. ඉඳගන්න මේසේ පුටුව පවා මම ගෙදරින් අරගෙන ගියේ. සභාවට ගියේ මගේ මෝටර් සයිකලයෙන්. මම යනකොට ජල, විදුලිය විසන්ධි කරලා තිබුණු ඒ ප්‍රාදේශීය සභාව අවුරුද්දක් ඇතුළත මම ඉහළට ගෙනාවා. ඒ වගේම 2007,2008 කාලයේ නිවාස ව්‍යාපෘතියක් හදන්න දීඝවාපිය පන්සලට අයිති අක්කර12,600ක ඉඩමක් හිටපු ඇමතිනි අෂ්රොප් ගන්න ගිය වෙලාවේ මම ඒකට විරුද්ධව උද්ඝෝෂණයක් කළා. බැරිම තැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. නඩුවට වියදම් කරන්න මම සල්ලි හොයාගත්තේ ඩී.එස්. සේනානායකයන් මගේ තාත්තට දීලා තිබුණු කුඹුරු අක්කර තුනෙක් එකක් ලක්ෂ 5කට උකස් කරලා. කොවිඩ් වසංගතය ආව කාලේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරන්න කියලා මගේ හිතමිතුරන්ගේන් ලැබුණු ලක්ෂ 15න් මම කොළඹ ගිහින් රෙදි ගෙනල්ලා ගමේ තරුණ තරුණියෝ 20ක් විතර දාලා මාස්ක් මහලා ඒවා හැම රෝහලකටම බෙදුවා.¨ ඒ ඔහුගේ මහජන සේවයෙන් බිඳක් පමණි. පාසල් වියේදී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඔහු දිස්ත්‍රික් කණ්ඩායම සඳහාත් පාසලේ ආරම්භක පන්දු යවන්නා ලෙසත් තැබූ වාර්තා අදටත් කිසිවකු විසින් බිඳහෙළා නැති බව ද කීවේය.

¨දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් අර ඉඩම් සිද්ධියෙන් පස්සේ ජනතාව මාව නායකයෙක් විදිහට පිළිගත්තා. ජනතාව වෙනුවෙන් දෙයක් කළ යුතුයි කියන හැඟීම තමයි මාව ඉදිරියට ගෙනාවේ. මේක පහසු ගමනක් වුණේ නැහැ. තාත්තාගෙන් මරණයෙන් පස්සේ අපි ගොඩක් අසරණ වුණා. අම්මා ගොඩක් දුක්විඳලා අනුන්ගේ ගෙවල්වල වැඩකාරකම් කරලා, කුලී වැඩ කරලා තමයි අපි හයදෙනාට වේලක් හැර වේලක් හරි කන්න දුන්නේ. සාමාන්‍යපෙළ දක්වා මම ඉගෙන ගත්තේ දමන ගල්කන්ද ගමේ ඉස්කෝලෙ. සාමාන්‍ය පෙළ සමත් වෙලා විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන්න මම අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියා. ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර් 58ක් දුරයි. බස් එකේ යන්න සීසන් එක ගන්නවත් සල්ලි නැහැ. මම සෙල්ලම් කරපු ක්‍රීඩා සමාජයෙන් තමයි ඒකත් අරගෙන දුන්නේ. ඒ අතරේ මගේ පොඩි අක්කා විශ්වවිද්‍යාලයට තේරුණත් එයා ඒකට නොගිහින් පොලිසියට බැඳුණේ ගෙදර තිබුණු ආර්ථික ප්‍රශ්න නිසයි. ඒ දවස්වල ආරක්ෂක අංශයේ අයට දුම්වැටි බණ්ඩලයක් දෙනවා. අක්කට ලැබුණු ඒ සිගරට් බණ්ඩලේ මම රුපියල් 390කට කඩේට විකුණලා ඒ සල්ලිවලින් තමයි මගේ ඉගෙනීමට ඕන දේවල් ගත්තේ. උසස්පෙළ විභාගෙන් මට සාමාර්ථ තුනක් තිබුණත් දෙවැනි පාර විභගේ ලියන්න ටියුෂන් පන්තියකට යන්නවත් මට ආර්ථික හයියක් තිබුණේ නැහැ. ඒ නිසා රැකියාවකට ගියා. මුලින්ම කළේ සිකියුරිටි රස්සාවක්. කොන්ක්‍රීට් අනන්නත් ගිහින් තියෙනවා. රජයේ රැකියා කිහිපෙකුත් කළා. පස්සේ සරත් වීරසේකර ඇමතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරෙට සම්බන්ධ වෙලා මෙත්තා සමාජය එක්ක පොදු වැඩ රාශියක් කළා. හැමවෙලාවෙම මිනිස්සුන්ට යහපතක් කරන්න හදපු මට මෙහෙම දෙයක් කළේ ඇයි කියන කලකිරීම අද මට දැනෙනවා¨

මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් නිවෙස ගිනි තබද්දී එහි සිටියේ ඔහුගේ බිරිය එස්.ඒ. සවිත්‍රා ප්‍රියදර්ශනීත් තිසුන් සහ සචේතන සිඟිති පුතුන් දෙදෙනාත් පමණි.

´එදා හවස ප්‍රහාරය ගැන ආරංචිය ලැබුුණු ගමන්ම මම අම්මව අපේ ගෙදර ඉඳන් මීටර් 130ක් විතර දුරින් තියෙන අයියලාගේ ගෙදරට පිටත් කළා. ඒත් මේ තරම් දරුණු දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ. නිවෙස ගිනි තියන්න ආව කණ්ඩායම කෑගහමින් පෙළාපාළියකින් ගේ දිහාට එනවා දකිද්දි මගේ බිරිය දරුවෝ දෙන්නත් අරන් ගේ පිටිපස්සෙන් කැලෑවට ගිහින්. ගේ ගිනිතැබීමෙන් අපිට හැමදේම නැතිවුණා. වටිනා ලියකියවිලි වගේම තාත්තගේ එක පින්තූරයක්වත් ඉතුරු වුණේ නැහැ. ඒ හැමදේම තිබුණේ අපේ ගෙදර. ඒ වගේම මම ගොඩක් ආසාවන් එකතු කරපු පොත් 1400ක් විතර තිබුණා. ඒවායේ අළුවත් ඉතිරි වෙලා නැහැ. මමයි බිරියයි දරුවෝ දෙන්නයි දැන් ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාසයක. අම්මා ගම දාලා එන්න කැමති වුණේ නැති නිසා අම්මව අයියගේ ගෙදර නැවැත්තුවා. ඉන්න හිටින්න තැනක් නැතිවුණා වගේම මගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැනත් හිතලා අකමැත්තෙන් වුණත් මට තාවකාලිකව ගමෙන් පිටවෙන්න සිද්ධ වුණා. මට ගොඩක් හාමුදුරුවරු, මිත්‍රයෝ කතා කරනවා පොඩි ගෙයක් හදලා දෙන්නම්, ගමේ එන්න කියලා. ගේ හදන්න ගත්ත පාර්ලිමේන්තු ලෝන් එකට තව ලක්ෂ 38ක් ගෙවන්න තියෙනවා. මගේ බිරිය කියනවා ඔයාගේ ජීවිතේ අනතුරේ දාගෙන තවත් දේශපාලනය කරලා වැඩක් නැහැ, අපි මේ රටින් යමු කියලා. තවම මම එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒත් ලොකු කලකිරීමකින් මම ජීවත් වෙන්නෙ ¨

ඊටත් වඩා ඔහු වඩාත් දුක්වන්නේ දරුවන්ගේ හෙට දවස ගැනය. පියා දේශපාලනයේ නිරත වූ වරදට ඒ අහිංසකයන්ට ලැබුණු දඬුවම බොහෝ බරපතළය. මාදිවෙල මන්ත්‍රී නිවාසයට වී අද ඒ පුංචි පැටවුන් දෙදෙනා ද සුසුම්ලමින් කල් ගෙවති.

¨මගේ අම්මා වගේම දරුවො දෙන්නත් ගෙදර ගිනි තියපු හැටි ඔවුන්ගේ ඇස්වලින්ම දැක්කා. මගේ ලොකු පුතා 3 වසරේ ඉගෙන ගන්නේ. චූටි පුතා පළමු වසරේ. ඒ දෙන්නම ලොකු කම්පනයකින් ඉන්නේ. ලොකු පුතා මට කියනවා අනේ තාත්තේ ගේ ගිනි තියපු ඒ අංකල්ලට කියන්න ඉස්කෝලෙ යන්න මට පොත් ටික ගෙනත් දෙන්න කියලා. ඒ සිද්ධියෙන් පස්සේ මගේ අම්මගේ මානසික තත්ත්වයත් වෙනස් වුණා. අම්මා දැන් කතාකරන්නේ ඒ සිද්ධිය ගැනම විතරයි. හිටපු ගමන් තනියම කියවනවා,පුතේ ගෙදර ගිහින් ලයිට් දාලා එන්න කියනවා.

හැමදේම නැතිවුණ එක කොහොමහරි දරාගත්තත් තාත්තා මැරුණු දවසේ ඉඳන් අපි වෙනුවෙන් අප්‍රමාණ දුක් වින්ද මගේ අම්මටයි මේ කිසිම දෙයක් නොදන්න අහිංසක දරුවන්ගේ හිත්වලටයි ඇතිවුණ වේදනාවයි මට දරාගන්නම අමාරු. මගේ ගේ ගිනි තිබ්බ අයට මම ‍ෙවෙර කරන්නේ නැහැ. ඔවුන්ට දඬුවම් කරලා සිරගත කරලා ඒ තරුණ ජීවිත විනාශ වෙනවට මම කැමති නැහැ. මම ඉල්ලන්නේ ඔවුන් පුනරුත්තාපනය කරන්න කියලා. ඒ වගේම මම රටේ තරුණ තරුණියන්ගේ ඉල්ලනවා, තමන්ගේ ජීවිත අනතුරට පත්කරගෙන මේ වගේ විනාශකාරි දේවල්වලට පෙලඹෙන්න එපා. මේ වගේ දේවල්වලට ඔබව උසිගන්වන නායකයන් ඊට පස්සේ වෙන දේවල්වලට බෙල්ල තියෙන්න නැහැ. මැතිවරණයකින් දිනලා ජනවරමක් ගන්න බැරි දේශපාලඥයෝ ඔවුන්ගේ ඒ ජඩ ඉතිහාසය නැවත ලියවීමක් මේ කළේ. ඒ දේවල්වලට අහුවෙලා මේ රට තවත් විනාශ කරන්න එපා කියලා මම තරුණ තරුණියන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා¨

 

 

Comments