
වවන්නෝ දිනන්නන් බව බොහෝ දෙනකු අසා ඇති පැරණි කතාවකි. එහෙත් ඒ පැරණි කතාව අතීතයට වඩා වැදගත් වන්නේ අදට සහ හෙටට බව දැන් කවුරුත් දනිති. ආහාර අර්බුදයක් පිළිබඳ සතරවටින් නැඟෙන අනතුරු ඇඟවීම් අබියස, වවන්නට ඕනෑකම තිබුණත් බොහෝදෙනකු මැසිවිලි නඟන්නේ ඉඩකඩ නැති බව හෝ ඒ වෙනුවෙන් වැය කරන්නට කාලයක් නැතැයි කියමිනි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන නාගරිකයෝ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව එයයි. වවන්නට විශාල ඉඩකඩක් ඕනෑ යැයි කියන එකී සිතිවිල්ල පුස්සක් බවට පත්කරන අපූරු ව්‍යාපෘතියක් ගැනයි මේ සටහන.
´පර්චසයේ ගෙවත්ත´ ලෙස නම් කර ඇති එම ව්‍යාපෘතිය මඟින් පර්චසයේ භූමි ප්‍රමාණයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගාබිමක් බවට පත්කර ගත හැකිය. එම ව්‍යාපෘතිය බාර නිලධාරින් විසින් ඔබේ ගෙවත්තට පැමිණ වගා බිම සකස් කර පැළ සහ බීජ සිටුවා දී සති දෙකක කාලයක් අධීක්ෂණය කිරීමෙන් අනතුරුව ගෙවත්ත ඔබට බාරදෙන අතර ඉන්පසු අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම නොමිලේ ලබාදෙයි. ජනප්‍රිය එළවළු වර්ග 18ක්, කහ, ඉඟුරු, ගම්මිරිස් සමඟ පලා වර්ග කිහිපයක් ද මෙම ගෙවතු වගා ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, පැළ සහ බීජ, පොහොර, ප්‍රවාහන ගාස්තු සඳහා සහ ශ්‍රමය වෙනුවෙන් මුදලක් ගෙවිය යුතුය.
![]() |
![]() |
ගෙවත්තෙන් නෙළාගත් අස්වැන්න සමඟ |
මේ අපූරු වගා ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ මොහොමඩ් ෆර්ශාන් ය. වෘත්තියෙන් මෘදුකාංග විශේෂඥයකු ලෙස කටයුතු කළ ඔහු 2014දී එයට සමුදී එතැන් සිට මේ දක්වා සංකල්ප ගණනාවක් සමාජ මාධ්‍ය මඟින් සමාජගත කර ඇත. ග්‍රීන් වෝක්, මිදුල්, කොළ කැඳ මල්ලි, ඔන්ලයින් පැළ තවාන ඊට නිදසුන් කිහිපයකි. බෙන්ටෙන්ගේත් බාබිඩෝල්ලාගේත් ෆැන්ටසියක අතරමං වූ අපේ දරුවන් වෙනුවෙන් පළමු වරට ජාතික වීරවයකු වූ පුරන්අප්පුගේ රුව රැගත් පාසල් බෑගයක් නිර්මාණය කළේ මොහොමඩ් ය.
‘‘පර්චසයේ ගෙවත්ත සංකල්පය මම හඳුන්වා දුන්නේ ගොඩක් කාලෙකට කලින්. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන තමාට වවන්න ඉඩක්, විවේකයක් නැහැ කියන අය වෙනුවෙන් තමයි මෙය විශේෂයෙන් හඳුන්වා දුන්නේ.. පර්චසයේ ගෙවත්ත සංකල්ප නාමයක් විතරයි. පර්චසයක් වුණත් ඊට වැඩි ඉඩමක වුණත් වවන්න අපි අය කරන මුදල වැඩි වෙන්නෙ නැහැ. ¨
මෘදුකාංග විශේෂඥයකු වූ මොහොමඩ් ෆර්ශාන් ගොවියකු බවට පත්වූ කතාව ද අපි විමසුවෙමු.
‘‘වවන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. පුංචි කාලේ ආච්චි, සීයා වවන හැටි දැක්කා. මගේ කෘෂිකර්ම ගුරුවරු වුණේ ඒ දෙන්නා. පුංචි කාලේ අපි සහෝදර සහෝදරියො, යාළුවො එක්ක තරගෙට වවනවා. වැඩිහිටියෝ හොඳම ගෙවත්ත තෝරනවා. දන්න කාලේ ඉඳන් වවන්න මට ආසාවක් තිබුණා. ගෙදර අය කියනවා මම මෝල්ගහක් හිටෙව්වත් ඒකත් දලු දානවා කියලා. මමත් අත්ගුණේ ගැන විශ්වාස කරනවා. 2010 සිට මේ දක්වා කවදාවත් මගේ ගෙදරට කඩෙන් එළවළුවක් ගෙනත් නැහැ. මම මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ සෞඛ්‍ය සම්පන්න සමාජයක්, සමාජ ආකල්ප ප්‍රවර්ධනයක් සහ මානසික සුවය ඇති කිරීමේ අරමුණින්. අද හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින්. තමන්ගේ ගෙවත්තේ පැළ කරපු ගහක ඵලදාවක් දැකීමෙන් පවා හිතට පුදුමාකාර සුවයක් දැනෙනවා. ඒක වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් අදාළයි. තමන්ගේ ඉඩමේ ගෙදර කෑමට බීමට අවශ්‍ය සියලු දේ වවලා දෙන එකයි අපේ අරමුණ. ¨
සියයට සියයක් කාබනික මේ වගා ව්‍යාපෘතිය සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ආයතනයක් නොවන බව ද මොහොමඩ් කීවේය.
¨මේක ලාභ ලබන වැඩක් නෙවෙයි. කරන හැම ව්‍යාපෘතියකින්ම මට අවශ්‍ය වුණේ මේ සමාජයට යමක් දෙන්නයි. මා එක්ක මේ වගා ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්න දරුවො හැමෝම විශ්වවිද්‍යාල සිසුන්, උපාධිධාරීන් සහ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව හදාරන අය. බොහෝ අය කෘෂිකර්ම උපාධිධාරීන්. එක වගාබිමක අපේ දරුවො දෙන්නෙක්වත් වැඩ කරනවා. අපි දන්නවා කැම්පස් දරුවො ඉගෙන ගන්න මුදල් හොයාගන්නෙ අමාරුවෙන්. ඒ නිසා ඔවුන්ගේ වියදමට ඒ මුදල ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
මෙහි ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි ලෙස උපාධිධාරියකු වන නවීන් ප්‍රබුද්ධ කටයුතු කරනවා. මෙය ව්‍යාපාරයක් නෙවෙයි, සමාජ ව්‍යවසායකත්වයක් විදිහට හඳුන්වන්නේ ඒ නිසයි¨
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෙවතු ව්‍යාපෘති රාශියක් මේ වන විට මොහොමඩ් ඇතුළු කණ්ඩායම විසින් සිදුකර ඇත. ඒ අතර අගනුවර ප්‍රකට බාලිකා පාසල්, පෞද්ගලික ආයතන, විහාරස්ථාන සහ දේවස්ථාන ද වේ. ආහාර අර්බුදයක් ගැන බියෙන් පසුවන ජනතාවට මෙය අපූරු පූර්වාද්ශයකි.
‘‘ආහාර අර්බුදයකට පාර කපාගත්තේ අපි හැමෝම එකතුවෙලා. සමහර ගුරුවරු ඈලිමෑළි ගතියෙන් ඉන්න දරුවන්ගෙන් අහනවා කැඳයා වගේ මොකද? කැඳ බීලද ආවේ කියලා. ඒ වගේ ආකල්ප නිසා අපි කොළ කැඳ අතෑරියා. අද මිනිස්සුන්ට තියෙන සියලුම රෝගවලට හේතුව අපේ වැරදි ආහාර පුරුදු. ඒ නිසා අපි ආයෙත් අපේ පරණ ආහාර සංස්කෘතියට යා යුතුමයි. රටේ අම්මලාගෙන් බාගයක් මැදපෙරදිග යද්දි තරුණයෝ රැකියා හොයාගෙන යුරෝපයට ගියා. අපේ දරුවෝ ලෙඩ වුණා. කුඹුරු ටික පුරන් වුණා. කොළඹ ඇතුළු නාගරික සමාජයේ ජීවත් වන බොහෝ අය මුල් තැන දුන්නේ මිල අධික තණකොළ, විසිතුරු ශාක සහ ඉන්ටලොක් ගල් අල්ලලා ගෙවත්ත ලස්සන කරගන්නයි. නමුත් බඩගින්නට ඒ කිසිම දෙයක් කන්න බැහැ කියලා දැන් ඒ අයත් තේරුම් අරගෙන තියෙනවා. මේ වෙද්දි අපේ ව්‍යාපෘතිය යටතේ විශාල ගෙවතු සංඛ්‍යාවක් හදලා තිබෙනවා. ඉදිරි මාස දෙක අවසන් වනතුරුම අපිට ඇණවුම් ලැබී තිබෙනවා.¨
වගාව කෙරෙහි දැන් ජනතාව තුළ ඇති උනන්දුවේ තරම ඉන් වටහාගත හැකිය.
‘‘කවුරුහරි කතා කළොත් ගෙවත්ත වවලා දෙන්න එන්න කියලා, අම්පාර, යාපනය සහ ත්‍රිකුණාමලය හැර ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට අපි යනවා. නමුත් ඉන්ධන හිඟය සහ මිල ඉහළ යෑම නිසා ප්‍රවාහන ගාස්තුවලට විශාල මුදලක් දැරීමට සිදුවන නිසා ප්‍රවාහන ගාස්තුව ඔබ විසින් දැරිය යුතුයි.
මොහොමඩ් පැවසුවේ මේ වන විට ගෙවතු වගාව වෙනුවෙන් ඇණවුම් රැසක් ලැබෙන බවයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ මේ සඳහා ඇත්තේ අපූරු උනන්දුවකි.
‘‘සෝෂල් මීඩියා කියන්නේ බොහොම ප්‍රබල හොඳ ටූල් එකක්. ඒකෙන් අපිට ඉතා සාධනීය දේවල් කළ හැකියි. උදාහරණයක් විදිහට මගේ ´කොළකැඳ මල්ලි´ ව්‍යාපෘතිය තමයි මම දන්න විදිහට ලංකාවේ පටන්ගත්ත පළමු කොළ කැඳ ඩිලිවරි සේවය. ඒ නමින් මම වෙබ් සයිට් එකක්, ෆේස්බුක් පේජ් එකක් වගේම මොබයිල් ඇප්ලිකේෂන් එකක් පටන් ගත්තා. ඒ මඟින් අපේ නියෝජිත ජාලය හරහා ලැබෙන ඉල්ලුම අනුව කොළ කැඳ බෙදා හරිනවා. මත්ද්‍රව්‍ය ආදියට නැඹුරුවෙන තරුණයන් එයින් නිදහස් කරගන්න මේ වගේ අලුත් ව්‍යවසායකත්ව සංකල්ප දරුවන්ට හඳුන්වා දිය හැකියි. එහෙම වුණොත් අපිට තියෙන සමාජ, ආර්ථික ප්‍රශ්න විසඳගන්න පිටරට යන්න අවශ්‍ය නැහැ. මේ මහපොළව එක්ක හැප්පිලාම මේ අර්බුදවලින් ගොඩඑන්න පුළුවන්. මනුස්සකම එළියට එන්න ක්‍රමයක් ඕනේ. කලාව වගේම වගාවෙනුත් ඒ දේ කරන්න පුළුවන් ¨
මොහොමඩ් එසේ කීවේ වවන්නට දිරියක් මෙන්ම සිතන්නට අලුත් යමක් ද එකතු කරමිනි.