අරාබි වසන්තයේ ප්‍රතිඵලය බටහිර මුල්‍ය ලිබරල්වාදයේ ජයග්‍රහණයක් | සිළුමිණ

අරාබි වසන්තයේ ප්‍රතිඵලය බටහිර මුල්‍ය ලිබරල්වාදයේ ජයග්‍රහණයක්

බටහිරෙන් මතුවන බලවේගවලට ඔරොත්තු දීමට අවශ්‍ය කරන සමාජ ප්‍රතිශක්තියක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි

ලෝක දේශපාලන ව්‍යවහාරයට අරාබි වසන්තය එකතු වීම සිදුවූයේ 2010 දෙසැම්බර්යේදීය. ටියුනිසියාවේ පලතුරු වෙළෙන්දෙක් කුඩා නගරයක පලතුරු වෙළෙඳාම් කිරීමේදී පොලිස් නිලධාරියෙක් විසින් අවසර බලපත්‍රයක් නොමැති වීමෙන් වෙළෙන්දාගේ වෙළෙඳාම රාජසන්ත කිරීම නිසා ඔහු සියදිවි නසා ගනියි. ඒ සිදුවීම පාදක කර ගනිමින් ජනතාව සංවිධානගත විය. එරටෙහි තවත් සමාජ ප්‍රශ්න මතුවීමත් සමඟ යම්කිසි ව්‍යාපාරයක් ලෙස මෙය දියත් විය. එය රටේ අභ්‍යන්තරික ආණ්ඩු, රාජ්‍ය වැනි පාර්ශ්වයන්ට විරුද්ධව පැතිර යන ලදී. ප්‍රංශ ඇමෙරිකානු සහ යුරෝපීය වැනි රටවල අනුග්‍රහය සමඟ එය ටියුනිසියාවට පමණක් සීමා නොවී ඊජිප්ත්තුව දක්වාම පැතිර යන ලදී. ඉන් අනතුරුව ලිබියාව සිරියාව එමෙන්ම ජෝර්දානය ඕමානය, සෞදි අරාබිය දක්වා රැල්ලක් ලෙස පැතිර යයි. 2010 වසරේ අවසානයේ සිට 2011 වසර දක්වා මෙය ප්‍රබල සිදුවීමක් බවට පත් විය.

ඉන් අනතුරුව බටහිර ඇතුළු සියලු මාධ්‍ය මේ සිදුවීම් අරාබි වසන්තය ලෙස හැඳින්වීම ආරම්භ කරන ලදී. මුල්වරට ඇමෙරිකානු දේශපාලන සඟරාවක් වන ෆොරින් පොලිසි සඟරාවේ මාධ්‍යවේදියකු වන මාර්ක් ලින්ච් විසින් 2011 වසරේ මේ ව්‍යාපාරය ආරාබි වසන්තය නමින් ලෝක දේශපාලන ව්‍යවහාරයට එකතු කරන ලදී.

මෙය ඇතිවීමේ අරමුණු කුමක්ද සලකා බැලීමේදී; පොදුවේ සැලකූවිට 2008- 2009 වසර වල ලෝක ගෝලීය මුල්‍ය ධනවාදයේ අර්බුදයක් බිඳවැටීමක් සිදුවිය. එය ඇමරිකාවෙන් ආරම්භ වී ලෝකය පුරා ව්‍යාප්ත විය. මෙහිදී මුල්‍ය ධනවාදය පසුබෑමකට, බිඳවැටීමකට ලක්විය. ඒ සමඟ ඊට පෙර 1900 මුලභාගයේදී ලෝක සමාජවාදී රටවල් සහ සෝවියට් සංගමය බිඳ වැටීමත් සමඟ ඉන් ධනේෂ්වර ලිබරල් ධනවාදය ලෝකය පුරා ව්‍යාප්ත විය. ඒ අර්බුදය ආරම්භ වීම නිසා ධනවාදයට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට නම් යම්කිසි ආකාරයකට මේ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය වෙයි. ධනවාදයෙන් නවීකරණයකට යෑමට අවශ්‍ය වෙයි.

මෑතකාලීනව ගෝලීය මුල්‍ය ධනවාදයේ ව්‍යාප්තියට ප්‍රධාන බාධා තුනක් මතුවී තිබිණි. එහි ප්‍රමුඛ කාරණාව නම් ලෝක සමාජවාදී රටවල් පද්ධතිය හා ලෝක සමාජවාදී රාජ්‍ය පද්ධතියයි. 20 වැනි ශතවර්ෂය අවසන් වනතෙක් දශකයක කාලයක් ගෝලීය මුල්‍ය ධනවාදය ශක්තිමත් වීමත් සමඟ වර්ධනය විය. ඉන් පසුව එය 2008- 2009 නැවත ඇරඹිණි.

පාලනය තන්ත්‍ර වෙනස් කිරීමට අරාබි වසන්තය අලුත් උපාය මාර්ගයක් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ සහ ගෝලීය භූ දේශපාලනික අවකාශයට ඉවහල් කරගත හැකිවිය. එම සමහර රටවල තිබූ ඇතැම් ප්‍රශ්න විරැකියාව, පාලනයේ විශේෂතා, දීර්ඝ රාජ්‍ය පාලන ක්‍රමවේදය වැනි නිශේධනීය කාරණා, තරුණ අසහනයන් වැනි සමාජ ප්‍රශ්න පදනම් කර ගනිමින් බටහිර රටවල් මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.

ඒ තන්ත්‍රයන් වෙනස් කිරීමේ ක්‍රමය ආරම්භ වුයේ 2010 දෙසැම්බර් 18 වැනිදායි. එය මුළු අරාබි ලෝකය පුරා ම ව්‍යප්ත විය. අවසානය දක්වාම ඉරානය, ඉරාකය, සිරියාව දක්වාම සෑම රටවල ම පාලන තන්ත්‍ර වෙනස් විය. ඇතැම් රටවල ප්‍රතිසංස්කරණවලට ලක්විය. රාජ්‍ය නායකයන් ඉල්ලා අස්වීම ආරම්භ විය. සදාම් හුසේන් ඝාතනය කිරීම, මොහොමඩ් ගඩාබි ඝාතනය කිරීම, සිරියාවේ අසාද් බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම වැනි දේ සිදුවිය. මේ වැනි තන්ත්‍ර හුවමාරු රාශියක් සිදුවීම නිසා යහපත් ජීවන තත්ත්වයන් පැවැති ලිබියාව වැනි රටවල් නැවත ගොඩනැඟිය නොහැකි තැනට කඩා වැටිණි. නායකත්වය ඝාතනයත් සමඟ ප්‍රකෝපකාරී තත්ත්වයන් මතු කරමින් අරාබි වසන්තය හරහා සම්පූර්ණයෙන්ම ලිබියාව විනාශ විය. ඉරාකය ද යම්කිසි දුරකට විනාශ විය.

නැවත වසර සිය ගණනාවකට යථා තත්ත්වයට පත්විය නොහැකි තත්ත්වයකට එම රටවල් පත්විය. ජනතාව අද කුපිත වෙමින් එකිනෙකා ගැටෙන තත්ත්වයක් ඇති වී ඇත. සීසීකඩ විසිරී ඇති පාලනයක් ඇතිවී තිබේ. ඒකීය වශයෙන් පැවැති රාජ්‍යයන්, අද රාජ්‍යයන් නැති තත්ත්වයකට පත්වී ඇත.

මෙය පැහැදිලිවම දෘශ්‍ය ප්‍රතිඵලයකි. මේ අරාබි වසන්තයේ ප්‍රතිඵලයන් බටහිර මුල්‍ය ලිබරල්වාදයේ ජයග්‍රහණයක් ලෙස හඳුනාගත හැකියි.

මේ නිසා අරාබි වසන්තය යනු බටහිර ක්‍රමය එනම් උතුරු අත්ලාන්තික සමාජ ආර්ථික ක්‍රමය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට, ඔවුන්ගේ මුල්‍ය ගෝලීයකරණය ලොව පුරා ව්‍යාප්ත කිරීමට බටහිරට අවශ්‍ය ආකාරයට හැසිරවීමයි. එයට බාධා වන යම්කිසි රටක් හෝ කලාපයක් වේ නම් ඒ කලාපයේ පාලන තන්ත්‍රය වෙනස් කර බටහිරට අවශ්‍ය ආකාරයට ඒ රටවල ජනතාව සකස් කර ගැනීමේ ව්‍යාපාරයකි.

මේ ව්‍යාපාරය අරාබි වසන්තය ලෙස ක්‍රියාත්මක වූ තන්ත්‍ර මාරුවට පාවිච්චි කරන ලද උපාය මාර්ග ඉතා පිළිබඳ අවධානය වැදගත් වෙයි. සාම්ප්‍රදායික වශයෙන් රටවල් අතර යුද්ධ කිරීමට වඩා වෙනස් ක්‍රමවේදයන් මේ පාලන ක්‍රමවේදයන් මඟින් වෙනස් කිරීම එක් මාදිලියකි. මෙහිදි පාවිච්චි කරනුයේ ජන උද්ඝොෂණ, රැලි පැවැත්වීම්, විරෝධතා, ඒකරාශි වීම්, නිරන්තර පෙළපාළි, අසහනකාරී සහ ක්‍රියාකාරකම්, තරුණයන් අතරින් සංවිධානය කරවීම් ඒ සඳහා මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් අන්තර්ජාලීය විවිධ වේදිකාවන් සකස් කිරීම ආදී වශයෙන් වෙයි.

බටහිර විවිධ කණ්ඩායම් දෙන ආධාර මුල්‍යමය සහ බුද්ධිමය ආධාර ලබාදීම වැනි ක්‍රමවේදයන් මඟින් ඇති කරන මේ තත්ත්වය තුළ අදාළ රටේ පාලනයට යම්කිසි පීඩනයක් ඇති කරයි. මෙහිදි රටේ දුර්වල තැන් සොයා ගැනීමක් කරයි. තරුණ අසහනය විරැකියාව වැනි ගැටලු විය හැකියි. මාධ්‍ය මඟින් ඒ දේවල් පිළිබඳව නැවත නැවත උත්කර්ෂණය කිරීමෙන් සමාජයේම යම්කිසි ආකාරයක උණුසුම් ගතියක් ඇති කරමින් යම්කිසි වෙනස් මාධ්‍ය මඟින් දෘෂ්ටිමය පරිසරයක් හෝ මානසික තත්ත්වයක් නිර්මාණය කෙරිණි.

නව මාධ්‍ය සඳහා සියලු ජන කොටස් නිරන්තර ආශක්ත වී ඇත. එය සවිඥානික අරමුණු සහගත දෙයක් වන අතර දසලක්ෂ ගණන් ජනයා ඒකාබද්ධ වීමේදී අවිඥානික අචේතනික ක්‍රියාවලියක් වෙයි. ඒ අනුව රැල්ලක් ලෙස පාලනය කිරීමට නොහැකි තත්ත්වයන් උද්ගත වෙයි. අරාබි වසන්තයෙන් සිදුවූයේ එයයි. ඒ නිසා අවසානයේ රාජ්‍ය පාලකයන් මහ කාණුවල වෙඩි තබා ඝාතනය කර ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක වීමක් දක්වා ගමන් කෙරිණි. මෙය නව උපාය මාර්ගය ඉතාම සූක්ෂ්ම ආකාරයට ක්‍රියාත්මක වෙයි. මෙහිදී වැදගත් මෙහෙවරක් ඉටු කරන්නේ සමාජ මාධ්‍යයි. සමාජ මාධ්‍ය යනු ඉතිහාසයේ වර්ධනයේ තුන් වැනි සුසමාදර්ශය එසේත් නොමැති නම් එහි අවස්ථාව වෙයි. පෙර තිබූ සාම්ප්‍රදායික මාධ්‍ය, නුතන මාධ්‍ය වන සංගතික මාධ්‍යයටත් වඩා මේ සමාජ මාධ්‍ය මඟින් විශේෂ තත්ත්වයන් ගති ලක්ෂණ කිහිපයක් ප්‍රදර්ශනය කරයි. සාම්ප්‍රදායික නූතන මාධ්‍ය මෙන් පශ්චාත් නූතන මාධ්‍ය වන සමාජ මාධ්‍ය හුදු තොරතුරු හුවමාරු කර ගැනීමේ මාදිලියක් පමණක් නොවෙයි. මිනිසුන් සංවිධානය කිරීමේ මෙහෙයවීමේ කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස එනම් සමාජයෝජක සාධකයක් ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙයි.

ලෝකය පුරා විවිධ පුද්ගලයන් විසින් යම්කිසි ආකාරයකට රැස් කිරීම, විසුරුවා හැරීම් කිරීම ඔස්සේ මේ සමාජ මාධ්‍ය අරාබි වසන්තය තුළ හොඳින් පාවිචිචි කිරීමෙන් එය ප්‍රධාන තර්ජනයන් බවටද පත්විය. අදාළ රාජ්‍යයන්වලට ඒ රාජ්‍ය මඟින් ආණ්ඩු ජනතා විරෝධි දැවැන්ත ක්‍රියාකාරකම් සංවිධානය සහ මෙහෙයවීමටද අවකාශ හිමිවිය. මෙයින් මිනිසුන්ගේ මනෝභාවයට විඥානයට, අදහස්වලට බලපෑම් කරමින් රටේ හෝ සමාජයේ වැදගත් වටිනාකම් ජයග්‍රහණයන් උඩුයටිකුරු කිරීමට මේ ප්‍රචාරකයන් බලපානු ලබයි. සමායෝජක සාධකයක් විදිහට සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙයි. යම් යම් තැන්වලට රැස් කිරීම්, විසුරුවා හැරීම් සිදුවෙයි. මේ මාධ්‍ය දැවැන්ත උපකරණයකි. බටහිර ගෝලීය ධනවාදය මුහුණපා ඇති සුවිශාල අර්බුදයක පැවැත්ම පිළිබඳ අර්බුධයෙන් ගොඩ ඒම සඳහා තමන්ට තවදුරටත් අත්පත් කරගත නොහැකිවූ අවකාශ භූමි ප්‍රාදේශ, මානව සම්පත් අත්පත් කර ගැනීමට විශාල බාධාවක් වූයේ අදාළ රටවල්වල පැවති පාලන ක්‍රමයයි. ඒ නිසා එවැනි රටවල පාලන තන්ත්‍රයන් මේ අය විවේචනයට ලක්කරයි. ඒවා අධිපතිවාදී පාලන ක්‍රමයක නිදහසක් නැති, මානව අයිතිවාසිකම් නැති පාලනයන් බව හුවා දක්වන්නට උත්සාහ කෙරිණි. එසේ පත් කිරීමෙන් ඒ රටවල්වල බහුතරයක් දෙනා නොවුණත් දෘෂ්ටිවාදී හා ලිබරල්වාදී මතවාදවලට හා විකාරරූපී අදහස්වලට නතුවන පිරිස් මෙහි ගාමක බලවේගය බවට පත් විය.

ලෝකයේ මෙවැනි සිද්ධි බොහෝ විට එවැනි බලවේග මඟින් පාලනය වෙයි. වසර 80කට පසුව දෙවැනි ලෝක යුද්දේන් පසුව ලෝකය තුළ ස්ථාපිත වී තිබුණු විශේෂයෙන් ඇමරිකානු හා බටහිර කේන්ද්‍රීය ආර්ථික දේශපාලන සහ සමාජීය මාදිලිය එනම් වැඩපිළිවෙල අර්බුදයක් දක්වා ගමන් කරන ලදී.

ඒ අර්බුදයට දක්වා ගමන් ගත් වැඩපිළිවෙළ නැවත ඒ තත්ත්වයෙන්ම පවත්වා ගැනීමට ඒ අය විශාල උත්සහයක් දරයි.

අනාගත නවීකරණ වැඩපිළිවෙළ මේ වන විට ලෝක මුල්‍ය ගෝලීය ධනවාදය බවට පත්වී ඇත. මේ වනවිට සම්ප්‍රදායික යුද්ධයකට යෑමට අපහසුයි. එසේ වුවහොත් මනුෂ්‍ය වර්ගයාම විනාශ වෙයි. ඒ නිසා අලුත් පන්නයේ විවිධාකාරයේ උපාය මාර්ගවලට යොමු වෙයි. ඒවා ප්‍රාදේශීය වශයෙන් ජාතික වශයෙන් හා ගෝලීය වශයෙන් සම්ප්‍රදායික යුද්ධයකට වඩා දෙමුහුන් යුද්ධයක් ලෙසින් හැඳින්විය හැකිය.

මේ අවස්ථාවේදී සමාජ තන්ත්‍ර, රාජ්‍ය තන්ත්‍ර සහ සමාජ පරිවර්තන කිරීමේදී ඉතාමත්ම උපායශීලි මුලෝපායක් ලෙස පාවිච්චි කරයි. අරාබි වසන්තය හරහා තන්ත්‍ර මාරුව සිදුවන්නේද විශේෂයෙන්ම ඒ ඒ රටවල් වල ඇති යම් ප්‍රශ්න උත්කර්ෂණය කරමින් ඒවා සමාජ මාධ්‍ය මඟින් තවදුරටත් ප්‍රචාරය කිරීමයි. ඒ වටා තරුණ පිරිස් ගොනු කර අදාළ පාලනවලට එරෙහිව යම්කිසි ආකාරයකට පෙළ ගැස්වීමක් සිදු කරයි.

ඒ පෙළගැස්වීම තුළ ඔවුන් එය උපාය මාර්ගිකව සිදු කරයි. ඔවුන් එය සිදු කරනුයේ නවීන සන්නිවේදන හා මාධ්‍ය තාක්ෂණය හා මෙවලම් පාවිච්චි කරමිනි. මේ වැනි තත්ත්වයකින් අත්මිදෙන්නේ කෙසේද යන කරුණ ඉතාමත් වැදගත් වෙයි. මේ සම්බන්ධයෙන් අතීතයේ පාඩම් රැසක් වෙයි.

චීනය, රුසියාව එවැනි ඉරණමකට මුහුණ දෙමින් සිටීයි. ඒ මුහුණ දීමේදී රට අභ්‍යන්තරයේ ඇති අභ්‍යන්තර මිනිස්සුන්ගේ ගැටලු විශේෂයෙන්ම තාරුණ්‍යයේ ගැටලු විරැකියාව වැනි දේ පිළිබඳ වඩාත් සංවේදී විය යුතුයි. ඔවුන් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශේෂ වැඩසටහනක් දියත් කළ යුතුය.

අපේ වැනි රටවල යම් කිසි ආකාරයක ජාතික දෘෂ්ටිවදයක් ජාතික මතවාදයක්, දැක්මක් ස්වදේශිකත්වයට, ජාතිකත්වයට, ලාංකේයත්වය පදනම් වූ අධ්‍යපනික හා ශික්ෂණ ක්‍රියාවලියක් ඇති කිරීම අවශ්‍යයි. නමුත් නවසිය හැත්තෑ ගණන්වල සිටම අපට එය අහිමි වී ඇත. තරුණ නැඟිටීම් ජනතා නැඟිටීම්වලට පෙර ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් ඇරැඹීම අත්‍යවශ්‍යයි. එක පැත්තකින් අධ්‍යාපනිකව ශික්ෂණමය පාර්ශ්වයෙන් හා රටේ ජනතාවගේ දෘෂ්ටිමය මතවාද තුළ මානසිකත්වය සකස් කිරීමට තිරසාරව නිරන්තරව ක්‍රියාත්මක වන සාධනීය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වෙයි. ඔවුන් ශක්තිමත් හා සන්නද්ධ කළ හැක්කේ එවැනි ක්‍රියාමාර්ග තුළිනි.

මෙවැනි තන්තර මාරුවීම් වලට යම්කිසි ආකාරයක ප්‍රතිචාර දැක්විය හැක්කේ එසේ ශක්තිමත් වුවහොත් පමණයි. බටහිරින් මතුවන බලවේග වලට ඔරොත්තු දීමට අවශ්‍ය කරන සමාජ ප්‍රතිශක්තියක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ඒමෙන්ම තාරුණ්‍ය හා ජනතාව තුළ අධ්‍යාත්මික ප්‍රතිශක්තියක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි. නමුත් අද වනවිට පහුගිය වසර 40,50ක කාලය තුළ ක්‍රියාත්මක වූ විවෘත ලිබරල් ආර්ථිකය තුළ එය විනාශ වී ඇත. එම නිසා නැවත එවැනි දේ ප්‍රතිෂ්ඨාපනය හා ශක්තිමත් කිරීම අවශ්‍යයි.

මෙතෙක් කල් ඩොලරය මත යැපුණු සහ විදේශ රටවල්වල සම්පත් මත යැපුණු ආර්ථික මාදිලිය වෙනස් කර රට අභ්‍යන්තරයට ගැළපෙන බහු ආර්ථික මාදිලියකට අපි ගමන් කළ යුතුයි. වර්තමානයේ අපි ගමන් කරන බටහිර ධනේශ්වර ආර්ථික මාදිලි වෙනස් කොට ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයකට අපි යා යුතුයි. එය ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

විශේෂයෙන්ම 21 වන ශතවර්ෂයේ ලෝකය මානව සමාජය සුවිශේෂී සන්දිස්ථානයකට ගමන් කර ඇත. පැරණි ක්‍රමයේ සිට බටහිර ආර්ථික සමාජ අර්බුදය ගෝලීය මුල්‍ය ධනවාදයේ අර්බුදයක් දක්වා ගමන් කර ඇත. ඒ තුළ ඒ අයගේ පැවැත්ම සඳහා අත්පත් කර ගැනීමට අපහසු වූ ප්‍රදේශ ජනතාව හා සම්පත් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි. ඒ වෙනුවෙන් දියත් කළ එක් උපාය මාර්ගයක් අරාබි වසන්තය වෙයි. එනම් එය එක් උපාය මාර්ගයකි. ඒ උපාය මාර්ගය විවිධ ස්වරූපයෙන් දැන් ලෝකය පුරාම හඳුනාගත නොහැකි අයුරින්ද ක්‍රියාත්මක වෙයි. ඇතැම් විට මිතුරකු ලෙසින්ද ක්‍රියාත්මක වෙයි. මෙය රටක් අභ්‍යන්තරයේදී ඉතාමත් විනාශකාරී ක්‍රියාවලියක් වෙයි. ඒ පිළිබඳව අපිට විශාල අවබෝධයක් තිබීම වැදගත් වන කාරණාවකි. අරාබි වසන්තය සඳහා ගොදුරුවීමට ලක්වෙන ස්ථාන කණ්ඩායම් හඳුනා ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම තාරුණ්‍ය වැනි සංවේදී කණ්ඩායම් මෙන්ම ඔවුන්ට බලපාන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වෙයි. අභ්‍යන්තර වශයෙන් ජනතා කේන්ද්‍රීය ආර්ථීක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවහොත් බාහිරින් පැමිණෙන අරාබි වසන්ත වැනි බලවේගවලට රාජ්‍ය තන්ත්‍ර නායකත්වය වෙනස් කිරීමට ක්‍රියාත්මක වන බලවේගවලට ඔරොත්තු දීමේ සමාජ ප්‍රතිශක්තිය අපිට ගොඩනගත හැකිවෙයි.

Comments