ඇමැති තාත්තටත් ‘පට්ටම’ අහිමි කළ රාගම මෙඩිකො - මෙඩිකො ‘වලිය’ | සිළුමිණ

ඇමැති තාත්තටත් ‘පට්ටම’ අහිමි කළ රාගම මෙඩිකො - මෙඩිකො ‘වලිය’

ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අයුරු.
ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අයුරු.

වෛද්‍ය පීඨ අතර රාගම වෛද්‍ය පීඨය දිවයිනේ ප්‍රමුඛතම වෛද්‍ය පීඨයකි. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව 1991 වසරේදී සිසුන් 120 දෙනෙකුගෙන් ඇරැඹි රාගම වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් දහසකට ආසන්න පිරිසක් අධ්‍යයන කටයුතුවල නියැළෙති.

 

රාගම වෛද්‍ය පීඨය පිළිබඳ ගෙවී ගිය සතියේ කරළියට ආවේ එහි පිරිමි නේවාසිකාගාරයට ඇතුළුව වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙනි. ඉකුත් පෙබරවාරි 02 වැනිදා අලුයම එල්ල වූ එම ප්‍රහාරයෙන් වෛද්‍ය සිසුන් සිවුදෙනකු ඇතුළු පස්දෙනකු තුවාල ලැබූහ. තුවාල ලැබූ සිසුන් සිවුදෙනාගෙන් තිදෙනකු රාගම ශික්ෂණ රෝහලට ද එක් සිසුවකු සහ සෙසු පුද්ගලයා මීගමුව මහ රෝහලටත් ඇතුළුව ප්‍රතිකාර ගත්හ. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ අනුරාධපුර, ගල්කුලමේ පදිංචි ශානක මධුෂාන්, කුලියාපිටියේ නිරෝෂන් නයන තරංග බණ්ඩාර සහ කෑගල්ලේ විදුෂ නෙත්සර මුදලිගේ යන සිසුන් තිදෙනායි.

ඉකුත් පෙබරවාරි 02 වැනිදා අලුයම් කාලයේදී මැර පිරිසක් පිරිමි සිසුන්ගේ නේවාසිකාගාරයට ඇතුළුව සිවුවන වසරේ වෛද්‍ය සිසුන්ට පහර දීමට තැත්කර තිබුණේ විශ්වවිද්‍යාල සිසුන් අතර අභ්‍යන්තර ගැටුමකට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වෙමිනි. එම පහරදීමට බාහිර පුද්ගලයන් පිරිසක් මෝටර් රථ දෙකකින් පැමිණ තිබුණේ බේස්බෝල් පිති, නංචක්කු වැනි දෑ රැගෙනයි.

පැමිණි පිරිස නිරෝෂන් නයන තරංග සිසුවාට පහර දීමත් සමඟ නේවාසිකාගාරයේ සිටි සියලු සිසුන් එම ස්ථානයට එක්රැස්වීමත් සමඟ පිරිස පලා ගොස් තිබුණේය. පිරිස පලා යද්දී පැමිණි එක් මෝටර් රථයක් සිසුන් බාරයට ගැනුණේ එහි රියැදුරු ද සමඟිනි. ඒත් සමඟ ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණි පිරිස පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය වන්නට වූයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ද නමක් ගෑවෙමිනි. ඔහු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයායි. සිසුන් බාරයට පත් KI-2376 දරන එම රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් බවට සඳහන් විණි. එය 2022 වසර සඳහා බලපත්‍ර ද අලුත්කර නොතිබූ බව පෙනිණි. රථයේ රියැදුරා ද සිසුන් බාරයට ගැනිණි.

ඒ සමඟම රථයේ රියැදුරාගේ බවට වූ මුදල් පසුම්බියක්ද සිසුන් අතට පත්විණි. එම මුදල් පසුම්බියේ විදේශීය මුදල් නෝට්ටු ද සමඟ 2018 වසරේදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් නිකුත් කළ හැඳුනුම්පතක් ද විය. එහි රියැදුරු ලෙස සඳහන් වූ එම පුද්ගලයා 32 හැවිරිදි ඩී. කේ. සමරතුංග නමැත්තෙකි. ඔහු 2018 වසරේදී එවකට ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන්නකු බවටද එම හැඳුනුම්පතෙහි සඳහන් විණි. එකී රථය අයත් පොල් සංවර්ධන අධිකාරිය ද අයත් වූයේ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාටයි. සිසුන් බාරයට පත් රියැදුරු සමරතුංග නමැත්තා එදින රාත්‍රියේම රාගම පොලිසියට බාර කිරීමත් සමඟ අත්අඩංගුවට පත්විණි.

ඉකුත් පළමු වැනිදා සිසුන් අතර අභ්‍යන්තර ගැටුමක් හටගෙන එය සමථයකට පත්ව තිබිණි. එහෙත් එම ගැටුමත් සමඟ තෙවන වසරේ සිසුවකු වන මීගමුවේ පදිංචිකරුවකු වන යොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන නමැත්තා විසින් පිටස්තර පුද්ගල කණ්ඩායමක් සමඟ පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණ සිවුවන වසරේ සිසුවකු හට පහර දීමට තැත්කර තිබුණේ නේවාසිකාගාරයෙන් පිටතට රැගෙන යාමටද තැත් කරමිනි. එහෙත් එම අවස්ථාවේ නේවාසිකාගාරයේ සිටි සෙසු ශිෂ්‍යයන්ද පැමිණීමත් සමඟ රථයෙන් රැගෙන යාමට තැත් කළ සිසුවා හැර දමා පැමිණි පිරිස පලා යාමට තැත් කෙරිණි.

එම ගැටුම පිළිබඳ වෛද්‍ය ශිෂ්‍ය සමිදු මාධ්‍යයට කීවේ, සාමාන්‍ය යෙන් නේවාසිකාගාරයේ ගේට්ටුව ඉබියතුරු දාලා ලොක් කරන්නෙ නෑ. එදා රාත්‍රියේ එක්වරම 15ක් විතර වාහන දෙකකින් ඇතුළට ආවා. බේස් බෝල් පිති, නංචක්කු වැනි දේවල් ඒ අයගේ අතේ තිබුණේ. ආපු අය අපේ කෙනෙකුට පහර දීමක් සිදුකළා. ඒත් එක්කම අපේ අයත් එම ස්ථානයට එකතු වුණා. ඒත් සමඟ ගැටුම්කාරි තත්ත්වයක් උදාවුණා. අපි පොලිසියට දැනුම් දුන්නා. පොලිසියත් ඒ සමඟම ආවා. හිටපු කට්ටිය පැනලා ගියා. එක්කෙනෙක් අපි අල්ලගෙන පොලිසියට බාර දුන්නා’.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ රාගම පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් දෙකක් විසින් දෙවැනිදා රාත්‍රිය වෙද්දීම එම පහරදීමට අදාළව පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ, තිදෙනෙකු එදින රාත්‍රියේ රාගම පොලිසියට පැමිණ බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ඒ අනුව අත්අඩංගුවට පත්වූයේ ගැටුමට මුල් වූ තුන්වන වසරේ සිසු 23 හැවිරිදි යොහාන් කනිෂ්ක සෙනරත් සමඟ වැලිමඩ පදිංචිකරුවකු වන 47 හැවිරිදි මෙනෙරිවත්ත විපුල ලක්සිරි, වැල්ලවත්තෙ පදිංචි 23 හැවිරිදි මොහොමඩ් මවාන් මොහොමඩ්, කඳානේ අයෙකු වන 22 හැවිරිදි පූර්ණ කොඩිතුවක්කු, ගාල්ල පදිංචිකරුවකු වන 32 හැවිරිදි ලක්ෂාන් සඳකැලුම් සහ බණ්ඩාරගම පදිංචි 23 හැවිරිදි දිනේෂ් සඳකැලුම් යන පිරිසයි.

නේවාසිකාගාරයේ, නේවාසික සිසුවකු ද නොවන කනිෂ්ක විසින් නේවාසිකාගාරයට රැගෙනවිත් තිබූ බාහිර පුද්ගල කණ්ඩායමේ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයටද අයත් කිහිප දෙනෙක් සිටි බවකි. තෙවන වසරේ සිසු කනිෂ්ක රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු සමඟ කොළඹ හතේ ප්‍රකට පාසලක එකම පන්තියේ ඉගෙනුම් ලැබූ ගජමිතුරන් දෙදෙනෙකි. එම මිතුදම අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨ සිසුවකු නොවූවත් එම ප්‍රහාරයට එක්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුත්‍රයා අවින්ද ජෙහාන් ප්‍රනාන්දුද දෙවැනිදා රාත්‍රියේ නීතිඥයකු සමඟ පැමිණ රාගම පොලිසියට බාර වීමත් සමඟ අත්අඩංගුවට පත් විණි. ඔහු එම ප්‍රහාරයට පැමිණි CAM - 8008 දරන බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි රථයක්ද කළුබෝවිල ප්‍රදේශයේ තිබියදී පොලිස් බාරයට ගැනිණි. එම රථය කළුබෝවිල පදිංචි අයකුගේ නමට අයත් වූවක් වන අතර කුලී පදනම මත රථවාහන ලබා දෙන ආයතනයකට ලබා දී තිබූ බවට හෙළි විණි.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට පිටස්තරයන් පිරිසක් ඇතුළුව සිදුකළ පහරදීම පිළිබඳව පොලිසිය සිදුකරන විමර්ශන ගැන එදිනම මහජන ආරක්ෂාව බාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ,

“රාගම වෛද්‍ය පීඨයට පිරිසක් ඇතුළු වී වෛද්‍ය සිසුන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මා විසින් පොලිස්පති වෙත උපදෙස් ලබාදුන්නා.“

එසේම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන අතරේ ඊට අදාළ පුද්ගල සාක්ෂි, විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි ඔස්සේද පරීක්ෂණ සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. තවද මෙකී සිදුවීමට සම්බන්ධ අයවලුන් හට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලිස්පති වෙත උපදෙස් දුන් බවට ද අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා ඇතුළු රජය විසින් ලබාදුන් උපදෙස් අනුව එම අධම ප්‍රහාරය පිළිබඳ පොලිසිය නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමක් සිදුකළ බවක් දිස් වූයේ ප්‍රහාරයට සබැඳි සැකකරුවන්ද සැණින් අත්අඩංගුවට ගත් හෙයිනි. එම පිළිකුල් සහගත ප්‍රහාරයේ පොලිස් විමර්ශන පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූවේ,

‘ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ පස්දෙනෙකුට වැඩි පිරිස නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන්. ඒ වගේම එම පිරිස පහරදීම් සිදු කිරීම නිසා තුවාල සිදුකිරීම නමැති වරදත් සිදුකර තිබෙනවා. තවද අයුතු ලෙස එම නේවාසිකාගාරයට ඇතුළු වෙමින්ද වරදක් කර ඇති බවයි. රාජ්‍ය ආයතනයකට අයත් රථයක් සාවද්‍ය ලෙසින් පරිහරණය කිරීමත් රැගෙන යාමත් සිදුකර ඇති බරපතළ වරදක්’ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

රජයට අයත් රථයක් අයථා ලෙස පරිහරණය කරමින් සිසු පිරිසකට පහරදීමට පැමිණි රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් වූවක් බව සැලවීමත් සමඟින් එම අධිකාරියටද චෝදනාවක් එල්ල වූයේ එලෙස රථයක් රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද යන්නයි. ඒ පිළිබඳව කරුණු සඳහන් කරමින් පොලිස් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොල් සංවර්ධන අධිකාරිය සතු එම මෝටර් රථය කිසිදු බලයලත් නිලධාරියකු දැනුවත් කිරීමකින් තොරව අත්තනෝමතික ලෙස රැගෙන යාම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන බවයි.

එසේම රජයේ දේපළ අයථා පරිහරණය කිරීමත් රජය අපකීර්තියට පත්කිරීමත් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි රියැදුරුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි.

මෙම ගැටුමට මුල් වූ තෙවන වසරේ සිසු කනිෂ්කගේ දෙමාපියන්ද වෛද්‍යවරුන‍්ය. ඔහුගේ මව මීගමුව රෝහලේ වෛද්‍යවරියක වන කේ. ඩී. සී. පරණවිතාන මාධ්‍යයට කීවේ,

“එදා මගේ පුතා පාටියකටයි ගියේ. ඒ අවස්ථාවේ එයාට පහරදීමක් වෙලා තියෙනවා. පුතා පළමු වසරේ සිට නවක වධයට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක්. පළමු වසරේදීත් පුතාට පහර දුන්නා. මට කියන්න තියෙන්නෙ මේ සිදුවීම හෝ පාදක කරගෙන විශ්වවිද්‍යාලවලින් නවක වධය තුරන් කිරීමට පියවර ගන්නා ලෙසයි.“

එම වෛද්‍යවරිය මෙකී සිදුවීම නවක වධය මත සිදුවූවක් ලෙස හුවා දැක්වීමට තැත් කළත් සිසුන්ගේ ගැටුමට මුල් වූයේ නවක වධය නොවන බවට තරයේ ප්‍රතික්ෂේප කළේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස්ය. ඔහු සිළුමිණට පැවැසූවේ,

“මෙහෙමයි මේ සිදුවීම මුල සිටම වෛද්‍ය පීඨ සිසුන්ගේ මවුපියන් ලෙස අපි දැනුම්වත් වෙලයි හිටියේ. සාමාන්‍ය යෙන් රාගම වෛද්‍ය පීඨයේ පළමු වසරේ ළමයාට දෙවන වසරේ ළමයි උගන්වනවා. ඒ විදිහට ඉහළ වසරවල අය පහළ වසරවල අයට පාඩම් කටයුතු වගේම හොඳ නරකත් කියා දෙනවා.

බොහෝ වෙලාවට වෛද්‍ය වෘත්තියට ඉගෙන ගන්නා දරුවන් කලහකාරි පිරිස් නොවෙයි. වරක් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ දේශනයකින් පසු ඔය ගැටුමට මුල් වූ දරුවා ‘උඹලා වරෙන් රාගම හන්දියට අපිත් එක්ක ගහගන්න‘ කියපු ළමයෙක්. මේ ළමයාට මුල් කාලේ ඉඳලම නරක පූර්වාදර්ශ තිබුණා. දිගින් දිගටම දේශපාලන හයිය අරගෙන කටයුතු කළා. අපි මවුපියන් වශයෙන් ළමයින්ට කිව්වා ආරවුල් ඇතිකරගන්න එපා. අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත්කොට ප්‍රශ්නයක් තියෙනවානම් විසඳාගන්න කියා. ජ්‍යෙෂ්ඨ සිසුන් අපි කියපු දේ අහලා ඒ දේ කළා.“

ඒ අනුව ඔහු පවසන්නේ සිසුන් අතර වූ එම ගැටුම්කාරි තත්ත්වය රාගම වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයද දැනුම්වත් වී සිටි බවයි. වසන්ත අල්විස් වැඩිදුරටත් සඳහන් කළේ,

“ඔය සිදුවීම වූ දින දහවල් සිවුවන වසරේ ළමයි තුන්වන වසරේ ළමයින්ට හොඳ නරක කියා දීලා තියෙනවා. අපිට ආරංචි විදිහට ඒ අවස්ථාවේ ඔය කියන ළමයා එතැන ඉඳලත් නැහැ. හිටපු ළමයි කිව්වට පස්සෙ තමයි එයාගේ චණ්ඩිකම් රඟ දක්වන්න පිරිසක් සමඟ ඇවිත් තියෙන්නෙ. අපි මවුපියන් ලෙස අහන්න කැමැතියි ගෙදරක වැඩිමල් සහෝදරයෙක් බාල සහෝදරයකුට වැරැද්දක් පහදා දුන්නාම බාල සහෝදරයා ගෙදර අයට පිටතින් මැරයෝ ගෙනල්ලා ගහනවාද... අන්න ඒ වගේ වැඩක් තමයි මේ ළමයා කළේ. මෙය නරක පූර්වාදර්ශයක්. වෛද්‍යවරු වෙන්න සිටින ළමයින් මැරයන් සේ කටයුතු කිරිම කිසිසේත්ම සුදුසු නෑ. මේ අය ළමයෙක් දෙන්නෙක් පැහැරගෙන යාමට තැත් කරලා තියෙන්නෙ. “

තම පුත්‍රයාද ඈඳුණු වෛද්‍ය සිසුන්ගේ ගැටුමේ විමර්ශනවලට අදාළව නිසි පරීක්ෂණයක් සිදුවන තුරු තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා දින නිවේදනය කළේය.

අත්අඩංගුවට පත් සැකකරුවන් වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි. මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන ගැටුමට මුල් වූ සිසුවාද තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතරේම 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර එම සිසුවාගේ ප්‍රකාශ මත රාගම පොලිසිය විසින් රාගම රෝහලේ ප්‍රතිකාර ගත් සිසුන් තිදෙනාද ඉකුත් බ්‍රහස්පතින්දා දින අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000ක මුදල් ඇප සහ රුපියල් 5000ක ශරීප ඇප මත නිදහස් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශිෂ්‍ය නේවාසිකාගාරයට පිටස්තර පුද්ගලයන් පිරිසක් පැමිණ පහර දීමෙන් එකී සිසුවකුගේ ජීවිතයකට කිසියම් හානියක් සිදු වූයේනම් එහි වගකීම කිනම් පාර්ශ්වයක් විසින් බාර ගන්නේ ද? මෙහි තිබෙන බරපතළ බව සෑම සිසුවකුම පාහේ තේරුම් ගැනීම කාලෝචිතය.

එසේම දරුවන්ගේ ඇතැම් ක්‍රියා නිසා විනාශ වන්නේ දේශපාලනඥයන් බවට පසක් වන මෙකී සිදුවීම බොහෝ දේශපාලනඥයන්ටද මහඟු පාඩමකි. තම මවගේ හෝ පියාගේ බලය හුවා දක්වමින් දඟලන දරුවන් පිළිබඳ දෙමවුපියන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු කාලය එලැඹ ඇති සෙයකි. එසේ නොමැති වුවහොත් දරුවන් විසින් විනාශ කරනු ලබන්නේ තමන් විසින් තම ජීවිත කාලයම කැප කරමින් ගොඩනඟා ගත් ප්‍රතිරූපයයි.

 

ඡායාරූප - රාගම සමූහ කේ. එස්. හැන්නදි

Comments