ආර්ථික විප්ලවයට පෙර සංස්කෘතික චින්තන විප්ලවයක් අවශ්‍යයි | සිළුමිණ

ආර්ථික විප්ලවයට පෙර සංස්කෘතික චින්තන විප්ලවයක් අවශ්‍යයි

මේ උදාවන්නේ 74 වැනි නිදහස් සැමරුමයි. නිදහස් දිනය සැමරීම යනු අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමේ හැකියාව වන අතර එය අපේ රටේ සිදු කරනු ලබන්නේ පෙබරවාරි 04 වැනිදා ය. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට මුදා ගැනීමෙන් අනතුරුව ලැබූ නිදහස යථාර්ථයක් බවට පත් වී තිබෙන්නේද? එමෙන්ම අපි සැබෑ නිදහසක් අත් විඳින්නේ ද? යන කරුණ පිළිබඳ මෙහිදී විමසිය යුතුයි.

මේ රටේ ජාතික නිදහස් අරගලය ඇති වූයේ බුද්ධිමය සහ ශාස්ත්‍රීයමය අරගල මත බව ඉතිහාසයේ සඳහන් වෙයි. එවැනි සංවාදයක් වර්තමානයේ ඇති නොවීමට හේතුව එවැනි ශාස්ත්‍රීය සංවාදයෙන් මෑතකාලීන බුද්ධිමතුන් ඉවත් වීමද එසේ නොවන්නේ නම් වර්තමාන නව පරපුරට ශාස්ත්‍රීය දැනුම නොතිබීමද යන්න ප්‍රශ්නකාරී ය.

රටේ බුද්ධිමතුන් විසින්ම සංස්කෘතික සභ්‍යත්වයේ පුනර්ජීවනයක් ඇති කළ යුතුයි. ආර්ථික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතිකමය වශයෙන් ලැබූ නිදහස නවීකරණය විය යුතුද? මෙහිදී ප්‍රථමයෙන් ම ගැඹුරින් සාකච්ඡා කළ යුතු තර්කය වන්නේ අපි සැමරීමට නියමිත මේ නිදහස සැබෑ වශයෙන්ම ලද නිදහසක්ද යන කරුණයි.

මෙරටට නිදහස ලැබුණේ 1948දී ය. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාව වැනි රටවල් නිදහස් කරද්දී ඒ අවස්ථාවේදි මෙවැනි කුඩා රටක් පමණක් තවදුරටත් තබා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය නොවුණි.

ඉන්දියාවේ නිදහස සඳහා අරගලයක් තිබුණි. එහෙත් අපේ සිංහල බොහෝ නායකයෝ බ්‍රිතාන්‍යයන් සමඟ සුහද සාකච්ජාවක යෙදිණි. අරගලවල නිරත වූවෝ වෙත්නම් අල්පය. කෙසේ වෙතත් 1948 ඒ අවස්ථාවේ අපිට නිදහස ලබාදී තිබුණේ ද යන්න ගැටලුවක් මතුවන්නේ කටුනායක ත්‍රිකුණාමලය යුද කඳවුරු ඉංග්‍රිසි ජාතිකයන් සතුව තවදුරටත් තබාගෙන සිටි හෙයිනි.

ඉන් අනතුරුව 1956 ඇස් ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ඒ යුද කඳවුරු නිදහස් කරගත් බව සඳහන් වෙයි. ඉන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960දී බලයට පත්වූ අවස්ථාවේදී රජයට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් දියත් විණි.

හමුදා කුමන්ත්‍රණයක් කරන ලද එම පිරිස සම්පූර්ණ වැරදිකරුවන් බවට පත් කළ මෙරට නඩු විභාගයෙන් පසුව එංගලන්තයේ ප්‍රිවි කවුසිලයට යොමු කිරීම සිදු විණි. එරට ප්‍රිවී කවුසිලයේදි මෙරට වැරදිකරුවන් නිදහස් කරන ලදී. ඒ වනවිටත් අපිට පූර්ණ නිදහසක් තිබූ බවක් දක්නට නොලැබිණි.

ඉන්පසුව 1948 නිදහස හිමි වූ බව පිළිගනිතත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හෝ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ට පූර්ණ නිදහස ලබා ගැනීමට නොහැකි විය. ලැබූ නිදහස අංග සම්පූර්ණ නිදහසක් බවට පත්වූයේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන් පසුවය.

එක්තරා ආකාරයකට බ්‍රිතාන්‍යයන්ගෙන් වෙන්ව පෙකනිවැල කැපූ ස්වාධීන ජාතියක් බවට පත් වූයේ 1972න් පසුව වන අතර එහිදී දේශපාලනික ස්වාධිනත්වයක්ද හිමි විය; එදා දේශපාලනමය වශයෙන් නිදහස ලැබූව ද අප ආර්ථික වශයෙන් ස්වාධීන ජාතියක් බවට පත් නොවුණි. අපි ආර්ථික වශයෙන් වහල් භාවයට පත් වූ ජාතියත් බවට පත්වී ඇති බව හඳුනාගත් බණ්ඩාරනායක මැතිනිය එතුමියගේ 1970 සිට 1977 දක්වා බලයේ සිටි කාලයේ ස්වාධීන ආර්ථිකයක් ගොඩනැඟීමට යම් ප්‍රයත්නයක් දරන ලදී.

එම කාලයේදී මාක්ස්වාදි නායකයන් සමඟ සහයෝගයෙන් ජාතික ආර්ථිකයකට පදනමක් දැමීමක් කරන ලදී. ඒ පදනම දැම්ම ද ඉන් පසු කිසිදු ආණ්ඩුවක් ඒ ක්‍රමවේදය ඉදිරියට ගෙන ගියේ නැත.

එතුමියගේ පාලන සමයේදී සියලු ආර්ථික කේෂත්‍රයන්ට අදාළ නිෂ්පාදනයන් කිරීම ආරම්භ වුවත් ඒවා පසුකාලීනව සාර්ථක නොවුණි.

මාක්ස්වාදි න්‍යාය පත්‍රයට වැඩ කරන පිරිස් දේශිය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා නොදුණි. ජනසතු කිරීම් සිදු කළද ඒ ජනසතු කිරීම් සාර්ථක නොවිණි.

පෝලිම් යුගයක් ඇතිවීම සහ විශාල ආහාර හිඟයක් ඇතිවීම සිදු විය. එය දේශපාලනික වාසියකට පෙරළා ගත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ට රට දේශපාලනිකව අනෙක් පැත්තට හැරවීමට මේ සිදුවීම් හොඳ අවකාශයක් කරගන්නා ලදී.

ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීමට යැයි සඳහන් කරමින් 1977 දී ඔවුන් බලයට පත් වීය. බලයට පැමිණ සම්පූර්ණයෙන්ම මේ රටේ ආර්ථිකය වෙනස් අතකට පෙරළන ලදී. මැතිනියගේ පාලන සමයේ යම්කිසි ජාතික ආර්ථිකයක් කරා තැබූ ගමනක් වූවා නම් එය සම්පූර්ණයෙන් ම වෙනස් කරමින් මේ රටේ විජාතික ආර්ථිකයක් බවට පත්කිරීමට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කටයුතු කරන ලදි; ආර්ථික වහල්භාවය ඇතිවූයේ එතැන් සිටය. නව ලිබරල්වාදී ධනවාදි ආර්ථිකයක් කරා ගෙන යෑමට යැයි පවසමින් විවෘත ආර්ථිකය හඳුන්වා දෙන ලදී. ඉන් පසුව ලෝක ධනවාදී ලිබරල්වාදි බලවතුන්ගේ ආර්ථීකයක හා අපේ රට ගැට ගැසිණි. මින් දේශීය කර්මාන්ත සියල්ල බිඳවැටිණි.

එතැන් සිට බලයට පත් සියලු ආණ්ඩු ජේ ආර් ඇරැඹි විජාතික ආර්ථිකය දිගින් දිගටම පවත්වා ගෙනයාම සිදු කෙරිණි. ඇතැම් ආණ්ඩු සමාජවාදය ගැන කතා කරමින් පුද්ගලිකකරණය කිරීම් පවා සිදු කරන ලදී. වර්තමානයේ පවතින රජය බලයට පත් වීමෙන් පසුව කෘෂිකර්මාන්තයේ වෙනසක් ඇති කරමින් නව මාවතකට යාමට යම් උත්සයහයක නිරත වෙයි.

සැබෑ නිදහසක් ලබා ගැනීමට නම් ජාතික ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ආරම්භ කළ විජාතික ආර්ථිකයෙන් මේ රට ගොඩගැනීමට නම් කාරණා කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙයි; මූලික වශයෙන් අපි ස්වයංපෝෂිත විය යුතුයි; ආහාර සුරක්ෂිතතාව ඇති කළ යුතුයි.

මේ ආර්ථීකමය පුනර්ජිවයක් රටේ ඇති කිරීමෙන් අනතුරුව පිරිහීමට ලක්ව ඇති අනෙක් කරුණ නම් සංස්කෘතික නිදහසයි. රටක් නිදහස් වීමට නම් ආර්ථික විප්ලවයක් පමණක් නොව; සංස්කෘතිකමය විප්ලවයක්ද ඇති කළ යුතුයි; අති බහුතර වර්තමාන පරපුර විදේශික වහල්භාවය කරා යළි පියනඟමින් සිටියි.

නිදහසින් පසු බිහිවූ අතීත සාහිත්‍යකරුවා විසින් මේ වහල්භාවය අතික්‍රමණය කරමින් නිදහස් චින්තනමය අවකාශයක් ලබා ගෙන තිබිණි. එය වර්තමානය වන විට වෙනස් වෙමින් පවති. නව පරපුර ඒ විදෙස් ගැති වහල් මානසිකත්වය යළි වැලඳගෙන ඇත. ඒනිසා අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඒ තුළ වැළලීම නිරායාසයෙන්ම සිදුවී ඇත.

අප ලබාගත් නිදහස අර්ථාන්විත කරගන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකව කතා කළ යුතුයි. විජාතික ධනවාදයේ පහත් චින්තනයන්ගෙන් හිස පුරවාගෙන සිටින නව පරපුර විජාතික පරගැති මානසිකත්වයෙන් සිටින පිරිසක් වෙයි.

නව මාධ්‍යය ද ඒ සඳහා උත්තේජනයන් ලබා දෙයි. ඒ නිසා රටේ ආර්ථිකයට සමඟාමීව සංස්කෘතික විප්ලවය ඇති කළ යුතුයි. මේ නව තරණ පරපුරේ මනෝභාවයන් වෙනස් කළ යුතුයි.

විශ්වවිද්‍යාල අධ්‍ය­ාපනයට පරිගණක, ජාත්‍යන්තර සම්බන්ධතා, තොරතුරු තාක්ෂණය ඇතුළු කළද ඉන් කිසිදු ඵලක් නොවෙයි.

අපේ සංස්කෘතිය සභ්‍යත්වය ගොඩනැඟිය යුතුයි. ඇත්ත වශයෙන්ම අපේ ආගම සහ සභ්‍යත්වය සිංහල බෞද්ධ මානවවාදී, සමාජවාදී සහ මානව හිතවාදී සභ්‍යත්වයකි. එසේ නම් ඒ සභ්‍යත්වය අපි ගොඩනැඟිය යුතුයි. බුද්ධ දර්ශනයකට වඩා මාක්ස්වාදයක් හෝ සමාජවාදයක් තිබේද?

ඉතිහාසයේ අපේ රටේ වැදගත් සභ්‍යත්වයක් විය. පසුගිය දශක කිහිපයක සිට විවෘත ආර්ථීකයත් සමඟ අපේ සභ්‍යත්වය විනාශ විය.

ඒ නිසා අපි ප්‍රථමයෙන් රටේ සංස්කෘතික පුනර්ජිවනයක් ඇති කළ යුතුයි. ආර්ථිකයමය විප්ලවයකට පෙර සංස්කෘතිකමය වෙනසක් අවශ්‍ය වෙයි. ආර්ථික විප්ලවයක් අද වනවිට ආරම්භ කර ඇත. ඒ හා සමඟාමීව සංස්කෘතික විප්ලවයක් ඇති කළ යුතුයි.

ඒ සියල්ලට වඩා ආර්ථික කළමනාකරණය කළ යුතුයි. අද වනවිට එය නිසි කළමනාකරණයකින් තොර වූ නිසා ගැටලු රැසක් මතුවී ඇත. පසුගිය දශක කිහිපයක් පුරා මේ රටේ ජල විදුලිය හැම ගමකට ලබා දෙන ලදී. විදුලිය පිළිබඳව වි. අයි. ලෙනින් වරක් ප්‍රකාශ කළේ රුසියාවේ සමාජවාදය ගොඩනැඟීමට නම් මාක්ස්වාදයයි විදුලියයි අවශ්‍ය බවය.

ඒ නිසා විදුලිය අත්‍යවශ්‍ය කාරණාවකි. විදුලිය රටක ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයකි. විදුලි නිපදවන්නේ කර්මාන්ත ඇති කිරීමටය. අපි ඒ විදුලියෙන් නිසිඵල නෙළාගත යුතුයි. ආර්ථික සංවර්ධනය කිරීමට නම් රටේ විදුලිය සුරක්ෂිත කරගත යුතුයි.

නිදහස යථාර්ථයක් වීමට නම් සමාජ අභ්‍යන්තර නවීකරණයක් අවශ්‍යය. ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා සාහිත්‍යමය නිදහස අවැසිය. මෙරට දේශපාලනික නිදහස අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඇත. එහෙත් විනයක් නැති දේශපාලනයකින් ඵලක් නොවෙයි. ඒ බව අද දේශපාලනික හැසීරීම් දෙස බැලූ විට පෙනෙයි.

මේ රටේ අනගාරික ධර්මපාලයන්ගෙන් පසුව ජන නායකයන් බිහි නොවුණු අතර මෙතෙක් සිට ඇත්තේ දේශපාලකයන් පමණයි.

මේ සියලු කාරණා වෙනස් කිරීමට නම් බුද්ධිමය සහ ශාස්ත්‍රීමය අරගලයක් ඇති විය යුතුයි. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය සභ්‍යත්වය නැවත ගොඩනඟා ගත යුතුයි.

මුලික වශයෙන් අපි වහල් මානසිකත්යෙන් මිදිය යුතුයි. බුද්ධිමත් ස්වාර්ථය නොතකන පරාර්ථය වෙනුවෙන් කැපවුණ නායකත්වයක් අපිට අවැසිය. එවැනි පරාර්ථකාමි නායකත්වයක් බිහිවෙනතුරු මේ රට ගොඩනඟන්න නොහැකිය.

සංස්කෘතිකමය පුනර්ජීවයක් සඳහා සාහිත්‍යකරුවා සහ බුද්ධිමතුන් බුද්ධිමත් ශාස්ත්‍රීමය සංවාදයන් මතවාදයන් ගොඩනැඟිය යුතු වෙයි. පරගැති වහල් භාවයෙන් මිදිය යුතුයි. බුද්ධිමතුන්, සාහිත්‍යකරුවන්, තරුණ පරපුර හා සාමාන්‍ය ජන කොටස් විජාතික වහල් මානසිකත්වයෙන් මිදිය යුතුයි.

ලැබූ නිදහස පූර්ණ නිදහසක් බවට පත්කර ගැනීමට නම් දේශපාලනකික වහල් භාවයෙන් මිදම පමණක් නොව සියලු ක්ෂේත්‍රයන් නිදහස් කරගත යුතුයි.

විශේෂයෙන් සංස්කෘතිකමය වෙනසකින් පසුව ආර්ථික විප්ලවයකට යා යුතු වෙයි. ඒ සඳහා මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් කළ යුතුයි.

බ්‍රිතාන්‍යයන් විසින් විනාශ කරන ලද සංස්කෘතිය, භාෂාව චින්තනමය මතවාද දේශපාලනික සහ කෘෂිකර්මය නැවත ගොඩනැඟිය යුතු වෙයි.

අපි තවමත් වහල් මානසිකත්වයෙන් ‍මිදී නැත. ඒ වහල් භාවය අතික්‍රමණය කරමින් චින්තනමය අවකාශයක් ලබා ගත යුතුය.

ලබාගත් නිදහස අර්ථාන්විත වන්නේ එවැනි විටකදී ය. කෙසේ වුවත් බටහිර ගැති මානසිකත්වයක හිරවී සිටින පරපුරක මානසිකත්වය වෙනස් කිරීම අසීරු කාරියක් වුව අපි අපේ සංස්කෘතිය සභ්‍යත්වය නැවත ගොඩනැඟිය යුතුය. මිනිසුන්ගේ මනස ඒ සඳහා වෙනස් කළ යුතුයි.

Comments