කොළඹ ඉඩම් ජාවා­ර­මෙන් රජ­යට කෝටි 229ක පාඩු­වක් | සිළුමිණ

කොළඹ ඉඩම් ජාවා­ර­මෙන් රජ­යට කෝටි 229ක පාඩු­වක්

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අදාළ ඉඩම සිළුමිණ කැමරා ශිල්පි දුෂ්මන්ත මායාදුන්නේ සේයාරුවකට නැගුවේ මෙසේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අදාළ ඉඩම සිළුමිණ කැමරා ශිල්පි දුෂ්මන්ත මායාදුන්නේ සේයාරුවකට නැගුවේ මෙසේය.

නිවාස සංවර්ධන අධිකාරිය සතුව තිබූ කොළඹ ඩාර්ලි පාරේ රුපියල් කෝටි 310 ක් පමණ වටිනා ඉඩමක් 2016 දී රුපියල් කෝටි 81 කට විකිණීමෙන් සිදුවූ ගනුදෙනුව නිසා නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි 229 ක පාඩුවක් සිදුව තිබේ. එම ඉඩම විකුණා දින පහකට පසුව ඉඩම මිලදී ගත් සමාගම එය කෝටි 65කට වාණිජ බැංකුවකට ද උගස්කර තිබිණි.

මෙම ඉඩම යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධව කටයුතු කළ නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීමද ළඟදීම සිදුවනු ඇත.

කොළඹ ඩාර්ලි පාරේ තිබූ අක්කර 1 යි පර්චස් 26.5 ක මෙම ඉඩම නිවාස ඉදිකර සංවර්ධනය කිරීමට පෞද්ගලික පාර්ශ්වයක් හා නිවාස සංවර්ධන අධිකාරිය සමඟ 2006 අප්‍රේල් 20 වැනි දින ගිවිසුම් ගතවී ඇත. එම ගිවිසුම අනුව එම ඉඩම් වසර 6 ක් තුළ නිවාස ඉදිකර සංවර්ධනය කිරීමෙන් පසු රුපියල් කෝටි 81 ක මුදලක් ගෙවීමට ගිවිසගෙන ඇත. නමුත් 2016 වනතුරු මෙම ඉඩම් කිසිම සංවර්ධනයකට ලක් කර ‍තිබුණේ නැත.

පසුව 2016 මැයි 5 වැනිදා යහපාලන රජය සමයේදී එම ඉඩම 2006 තක්සේරු මිලටම මුල් සමාගමටම රුපියල් කෝටි 81 කට ම විකුණා ඇතැයි මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කාරක සභාවේදී හෙළි විය.

Comments