![චීන සහ ඇමරිකානු රාජ්‍ය නායකයෝ](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/09/01111.jpg?itok=p6JGN0iC)
මේ ලෝක දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතින වකවානුවකි. විශේෂයෙන්ම වසංගතය බොහෝ දේ අලුතෙන් ආරම්භ කිරීමටත්, බොහෝ දේ ගැන අලුතෙන් සිතීමටත් ලෝකයට අවස්ථාව ලබා දුන් බව පැහැදිලිය. ලෝක දේශපාලනයේද මේ වන විට යම් යම් සන්ධිස්ථානමය වෙනස්කම් සිදුවෙමින් පවතින බව පෙනේන්නේ මෙවන් වූ පශ්චාත් වසංගත අත්දැකීම්ද පාදක කර ගනිමිනි.
වංසගතයට පෙර පැවති දේශපාලනමය බලය ආරක්ෂා කර ගැනීමට ඇමරිකාව බලවත් වෑයමක් දරන බව පෙනේ. එමෙන්ම තම ආර්ථික ස්ථාවරත්වයද පවත්වා ගැනීම ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රබලතම අභියෝගය බව පැහැදිලිය. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් කුකුල් කේන්ති කාරයකු නොවන ජෝ බයිඩ්න් මේ තත්ත්වය ඉතා සුගමව ඉදිරියට ගෙන යෑමට වෙර දරන බව පෙනේ. මේ සඳහා ඔහු යොදා ගන්නා උපක්‍රම ද කිහිපයකි. වසර විස්සකට පසු ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීම ඒ අතරින් ප්‍රධාන වේ. දැන් බයිඩ්න් පාලනය උත්සාහ දරමින් සිටින්නේ තමන්ගේ ප්‍රතිවාදීන් වෙත සාමයේ සහ මිත්‍රත්වයේ දෑත දිගු කිරීමටය.
පසුගියදා රුසියානු නායක පුටින් සමග සාකච්ඡා පැවැත්වූ බයිඩ්න් මීට පෙර පුටින්ට කළ දෝෂාරෝපණ සියල්ල ක්ෂණයකින් අමතක කර දැමුවේය. රුසියාවට බරපතළ විපාක විඳින්නට සිදුවනු ඇති බවට කළ තර්ජනද අමතක කර දැමුවේය. දැන් ඇමරිකාව පීල්ල මාරු කර ඇති බැවින්ම නවල්නිද බොහෝ දෙනාට අමතක වී ඇති සෙයකි. කෙසේ වුවද ඇමරිකාවේ සුහදත්වයේ දෑත රුසියාවද පිළිගත්තේ සුහද සිතිනි. දෙරටේ නායකයන්ගේ සාකච්ඡා සම්බන්ධව දෙරටින්ම පළ වූයේ ධනාත්මක අදහස්ය.
දැන් තවත් පියවරක් තබමින් බයිඩ්න් පාලනය තවත් මිතුරන් ඇති කර ගැනීමේ උත්සාහයක නිරත වන බව දක්නට ලැබේ. ඒ උතුරු කොරියාව සම්බන්ධයෙනි. එපමණක් නොවේ. උතුරු කොරියාව සමඟ මිත්‍ර වීමේ උත්සාහයේදී චීනයේ සහයද ලබා ගනිමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු උපයා ගැනීමේ උත්සාහයක ඇමරිකාව නිරත වෙමින් සිටින බව පෙනේ.
උතුරු කොරියාව සමඟ මිත්‍ර වීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලැයිස්තුවේද විය. ඔහු ඒ සඳහා අති විශාල උත්සාහයක් දරමින් ප්‍රචාරයක්ද ලබා දුන්නේය. මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට පෙර උතුරු කොරියානු නායකයාට හොඳහැටි බැණ වැදී කුපිත කරවීමටද ට්‍රම්ප් අමතක කළේ නැත. පසුව උතුරු කොරියානු නායකයා සමඟ මිත්‍ර වීමේ වැඩපිළිවෙළට විශාල ලෙස කාලය මිඩංගු කළ ඔහු සාකච්ඡා සඳහා සහභාගී විමට රටින් රටටද සංචාරය කළේය. එහෙත් උතුරු කොරියානු නායක කිම්ජොන්ග් අන් පසුපස සිටින චීනය සමඟ මිත්‍රවීමක් කෙරෙහි සිතිවිලි මාත්‍රයක් හෝ ට්‍රම්ප් පහළ කර සිටියේ නැත. ඒ වෙනුවට ඔහු උත්සාහ දැරුවේ චීනය සමඟ හැප්පෙන්නටය. හුවාවෙයි සිදුවීම සමග මේ සඳහා උදාහරණ රාශියක් දැක්විය හැකිය.
එහෙත් ට්‍රම්ප්ගේ ක්‍රමවේදයෙන් බැහැර වෙමින් මේ වන විට රුසියාව සමග මෙන්ම චීනය සමඟද ඉවසිල්ලෙන් කටයුතු කිරීමට බයිඩ්න් උත්සාහ දරන බවට සාක්ෂි දක්නට ලැබෙමින් තිබේ. මෙවර බයිඩ්න් උතුරු කොරියානු රංගනය අලුත්ම වටයකින් අරඹමින් පවසා ඇත්තේ උතුරු කොරියාව සමඟ මිත්‍ර වීමට චීනයේ උපකාර අපේක්ෂා කරන බවයි. එවර නම් බයිඩ්න් ඉලක්කයටම ගලක් ගසා ඇති බව පැහැදිලිය.
මේ වන විට මෙකී අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය මත ඇමරිකාව සහ චීනය අතර සාකච්ඡා වට පැවැත්වෙමින් තිබේ. චීන විදේශ අමාත්‍යංශය පසුගියදා පවසා සිටි අන්දමට මේ සාකච්ඡා පැවැත්වෙන්නේ චිනයේ කොරියානු අර්ධද්වීපය සම්බන්ධ විශේෂ නියෝජිත ලූ ක්සියැඔමින්ග් සහ ඇමරිකාවේ උතුරු කොරියාව පිළිබඳ විශේෂ නියෝජිත සන්ග් කිම් අතරය. පසුගියදා මේ සම්බන්ධ දෙරට අතර සය වැනි දුරකථන සම්මුඛ සාකච්ඡාවද සාර්ථකව පැවත්වුණු බව චීන විදේශ අමත්‍යාංශය නිවේදනය කර සිටියේය.
එමෙන්ම මේ සාකච්ඡා පැවැත්වීම පිළිබඳ පුවත උතුරු කොරියානු නිල වෙබ් අඩවියකද දැකගත හැකි විය. දකුණු කොරියාවද කොරියානු අර්ධද්වීපයේ කොටසක් බැවින් මෙලෙස පවත්වන සාකච්ඡාවලදී දකුණු කොරියාව සම්බන්ධවද අවධානය යොමු වීම වැළැක්විය නොහැකි බව දෙපාර්ශ්වයම පවසා තිබේ. චීන නියෝජිත ලූ ක්සියැඔමින්ග් මේ සම්බන්ධව ට්වීටර් පණිවියක් නිකුත් කරමින් ‘මේ සකච්ඡා සඳහා දායක වීමට ලැබීම සතුටක්’ බව පවසා තිබිණි.
උතුරු කොරියාව වාමාංශික පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්නේ චීනයේ ප්‍රබල සහයෝගය මත බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය උදෙසා උතුරු කොරියානු නායකයාද විශේෂ සුභපැතුම් එක කර තිබිණි. අනික් අතට දකුණු කොරියාව ඇමරිකාවට විශාල ලෙස සහයෝගය ලබා දෙන රටකි. උතුරු සහ දකුණු ලෙස බෙදී ඇති කොරියානු අර්ධද්වීපයේ සාමය පැවතීමට නම් අමරිකාව සහ චීනය එක මතයකට පිවිසිය යුතු බව අතිශයින් පැහැදිලිය. එහෙත් ලෝක බලවතා වීමේ තරඟයට ප්‍රවිශ්ට වී සිටින මේ දෙරට නම් කිසිදා එකිනෙකා අතර සහජීවනය පවත්වා ගැනීමට ක්‍රියාකිරීම නම් සිහිනයකි. එසේ වුවද කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරට එක් මතයකට පැමිණෙන්නේ නම් එය අගය කළ යුතු තත්ත්වයකි.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීම එහි පිහිටා ඇති උතුරු හෝ දකුණු කොරියානු රටවල් දෙකට පමණක් කිසිසේත් කළ නොහැකි කාර්යයක් බවයි. එසේ කිරීමට නම් චීනය මෙන්ම ඇමරිකාවද ඇමරිකානු ලැදි ජපානයද එකට එක්විය යුතු බව ඔවුන්ගේ අදහසයි. දැන් එම අවස්ථාව උදා වී පැවතියද තම සැඟවුණු අරමුණු ඉවත දමමින් කොරියානු අර්ධද්වීපයට සාමය උදා කිරීමේ සැබෑ අරමුණින් යුතුව ලෝක බලවතුන්ගේ එකඟතාවක් ඇති වන තෙක් සියල්ල සිහිනයක් බව පමණක් පැවසිය හැකිය.