නීරෝගී පරපුරක් බිහිකරන පරිභෝජන රටාව | සිළුමිණ

නීරෝගී පරපුරක් බිහිකරන පරිභෝජන රටාව

තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය ඉකුත් 31දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත කිරීමෙන් අනතුරුව එය නැරැඹූ අවස්ථාව

තිරසර යුගයකට පිවිසීමේ අවශ්‍යතාව මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව දැනෙයි. ඒ අවශ්‍යතාව අනුව යමින් 2017 ආරම්භ වීමත් සමඟ තිරසර යුගයක් ප්‍රකාශයට පත් විය. වසවිස නැති රටක් අපේක්ෂාව වූ අතර ඒ වෙනුවෙන් නොයෙක් පිළිවෙත් ඉදිරියට ගෙනයෑමට රජය කටයුතු කරයි. 2016 මාර්තු 6-7-8 දිනවල පැවැති වසවිස නැති ජාතික පොළ ඒ සඳහා කල් තියාම ගත් දැවැන්ත පියවරකි. මේ අතරම වසවිස නැති පරිභෝජන රටාවකට ජනතාව හුරු කිරීමේ ක්‍රියාදාමයට රජය යොමු විය.

මෙතෙක් කලක් කෘෂි රසායනික පරිහරණය කරමින් වගා කටයුතු නියැළුණෝ කාබනික පොහොරවලට හුරු වූහ. වෙළෙඳපොළෙන් එළවළු මිල දී ගැනීමේ රටාව වෙනුවට තම ගෙවත්තේම එළවළු වගා කිරීමට බොහෝදෙන යොමු වූහ. පොහොර ව්‍යවසායකයන් ගම් මට්ටමින් බිහි කිරීම උදෙසා රජය මූල්‍යධාර සැපයිණි. එමෙන්ම තිරසර යුගය එළඹෙන බව සහතික කිරීම උදෙසා ලෝක ප්‍රජාව සාදාගත් වැඩපිළිවෙළ තිරසර සංවර්ධන ඉලක්ක ලෙස ජනතාව වෙත හඳුන්වා දෙන ලදී.

දුප්පතුන් නැති ලෝකයක්

මෙහිදී දුප්පත්කම අර්ථ දක්වන්නේ කෙසේ ද යන ගැටලුව ඇති වේ. අමෙරිකානු ඩොලර් 1.5ට අඩු ආදායමක් ඇති පුද්ගලයයෝ දුප්තුන් ලෙස සැල‍කෙති. මේ අනුව මෙරට දුප්පතුන් ඇත.

වසවිස නැති ආහාර

මේ වන විට වසවිස යෙදීමෙන් පොළොව විනාශ වී ඇත. මේ තත්ත්වය නැති කිරීම සහ පොළොව ආරක්ෂා කිරීම වගකීමක් වන අතර, වඩා වැඩි අස්වැන්නක් අඩු වියදමකින් ලබාගැනීමත් මෙහිදී වැදගත් වේ. නවීන විද්‍යාත්මක දැනුම මෙන්ම පාරම්පරික ඥානයද මේ උදෙසා ප්‍රයෝජනයට ගත හැකිය.

නීරෝගි ජනතාවක්

නීරෝගි ජනතාවක් පදනම් කරගෙන වසවිසෙන් තොර ආහාර පරිභෝජනය කිරීම හා පිරිසුදු ජලය පානය කිරීම සඳහා ජනතාව උනන්දු කිරීම මඟින් නීරෝගි ජනතාවක් බිහි කරගත හැකිය.

ඉහත අරමුණුවලට අමතරව දැනුවත් සමාජයක්, ගැහැනු පිරිමි භේදයකින් තොර වීම, පිරිසුදු වතුර, හරිත බලශක්තිය, හරිත රැකියා, තිරසර කර්මාන්ත, ඇති නැති පරතරය නැති සමාජයක්, තිරසර පුරවර, සකසුරුවම් පුරවැසියෙක්, දේශගුණය රැකෙන මඟක්, වසවිස නැති මහ මුහුදක්, ජීවීන්ටත් සාධාරණ ඉඩක්, සාධාරණ සමාජයක්, එක්ව පෙරට, මේ සියල්ල තිරසර සමාජයක් උදෙසා තිබියයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්ණය කළද මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවිණි. එහෙත් වත්මන් රජය ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා කටයුතු කරනු ඇත. මේ යටතේ සුවිශේෂ වනුයේ වසවිස නැති ආහාර පරිභෝජනයට ගැනීමයි. මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන 'තිරසර ලංකා' ප්‍රදර්ශනය පසුගිය 31 සිට 4 වැනිදා දක්වා නිමාවට පත් විය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ රාජ්‍ය අංශය පෞද්ගලික අංශය වශයෙන් බෙදී නොසිට පොදුවේ රටේ උන්නතිය වෙනුවෙන් ජනතාව සඳහා කටයුතු කළ යුතු බවය. මේ සඳහා කිසිදු සීමාමායිමක් සාදා නොගත යුතු බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. වර්තමානයේ බොහෝ රෝගවලට මුල් වී ඇත්තේ වසවිස සහිත ආහාර ගැනීම බව පැවැසූ ජනාධිපතිවරයා ඒ තත්ත්වය අප අවබෝධ කරගෙන ඉන් වැළකීමකට කටයුතු කළ යුතු බවද කීවේය. බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී 'තිරසර ලංකා' ප්‍රදර්ශනය පැවති අතර, ඊට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තම නිපැයුම් හා අදහස් ප්‍රදර්ශන කුටි 1000ක් මඟින් ඉදිරිපත් කර තිබිණි. මෙහිදී බොහෝ ආයතන කෘෂි කර්මාන්තය උදෙසා සුදුසු බීජ සහ පැළ පොහොර මෙන්ම කෘෂි ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටියේය. මේ ප්‍රදර්ශනය සඳහා සාමාන්‍ය ජනතාව මෙන්ම ගෙවතු වගා සඳහා උනන්දු වන පාර්ශ්ව රැසක් සහභාගි වූහ.

මේ අවස්ථාව සඳහා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ ආයතනද සහභාගි වූ අතර වසවිසෙන් තොරව තමන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය පිළිබඳ එහිදී පැහැදිලි කෙරිණි.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ සරත් මහතා කරුණු දක්වමින්: "අපේ ආයතනය කෘෂි කාර්මික නිෂ්පාදනවල තමයි නිරත වන්නේ. මේ තියෙන්නේ කෝමාරිකාවලින් නිෂ්පාදනය කරන පල්පයක්. ගැස්ට්‍රයිටීස්වලට ගොඩක් හොඳයි. අද මිනිස්සු දේශීය ඖෂධ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසා තමයි හුඟක් ලෙඩ රෝගවලින් පීඩා විඳින්නෙ. මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක්. ඊට උනන්දු කරවන නිෂ්පාදන තමයි අප ආයතනයෙක් නිෂ්පාදනය කරන්නෙ. නොයෙක් කොළ පොතු අනුසාරයෙන් කළ නිෂ්පාදන අපේ ආයතනයේ තියෙනවා. අපේ රටේ තියෙන වටිනා ඖෂධ පිළිබඳ මිනිස්සු දැනුවත් වෙනවා නම් වටිනවා."

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාන්තා සෙනෙවිරත්න මහත්මිය කරුණු පැහැදිලි කරමින්: "අපේ රටේ අපනය සඳහා සුදුසු තත්ත්වයේ බෙ‍ා්ග බොහෝ තිබෙනවා. එහෙත් ජනතාව අපනයන කෘෂි බෝගවලට උනන්දු වන ප්‍රමාණය ඉතා අඩුයි. අපේ රටේ පවතින දේශගුණික තත්ත්ව, පස අනුව අපනයන කෘෂි භෝග සඳහා ඉතා සුදුසුයි. අපේ ආයතනය ඒ සඳහා උනන්දු වන්නට උපදෙස් සපයනවා. අවශ්‍ය ඕනෑම කෙනකුට අපනයන කෘෂිකර්මය සඳහා යොමු වන්න පුළුවන්."

භෝගයක් වගා කළ පමණින්ම ඉන් පලක් නොවේ. ඉක්මනින් වගාවට උරාගන්නා පොහොර වර්ගයක අවශ්‍යතාව මේ වන විට දැඩිව පවතී. මේ නිසා 'බයෝෆිල්ම්' නම් ජෛව පොහොර ජනතාවට හඳුන්වා දීමටද පියවර ගෙන ඇත. මේ පොහොර පිළිබඳ මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතාය. පළමුව තේ වගාවට මේ පොහොර හඳුන්වා දුන් අතර පසු අනෙකුත් භෝග සඳහාද ව්‍යාප්ත විය. වර්තමානයේ රනිල භෝග සඳහා මේ පොහොර යොදනු ලැබේ.

මේ අයුරින් විමසා බලන විට සංවර්ධනය යනු ගොඩනැඟිලි, මහාමාර්ග සංවර්ධනය පමණක් නොවේ. කෘෂි සංවර්ධනය ද ආර්ථික සංවර්ධනයට පිටිවහලක් වන බව සනාථ වේ. කෘෂි සංවර්ධනය මඟින් ඇති කරනු ලබන ස්ථාවරත්වය ජන ජීවිතයේ ප්‍රගතිය සඳහා බෙහෙවින් ඉවහල් වේ. තිරසර ලංකා ජාතික මංගල්‍යය ඉලක්ක කරන්නේ ඒ අරමුණයි.

සේයාරූ - සුදත් මලවීර
විමල් කරුණාතිලක

Comments