අහස-පොළොව වගේ වෙනස් අපේ රටේ එළවළු මිල | සිළුමිණ

අහස-පොළොව වගේ වෙනස් අපේ රටේ එළවළු මිල

* වැලිමඩ ගෝවා රුපියල් 5යි පිටකොටුවේ රුපියල් 60යි  
* ඌව පරණගම කැරට් රු. 12යි පිටකොටුවේ රුපියල් 100යි
* දඹුල්ලේ වම්බටු රු. 5යි පිටකොටුවේ රු. 60යි

සිංහල අලුත් අවුරුද්ද උදාවෙන මේ වකවානුවේ අපේ බත රස කර ගන්නට එළවළු නැතිවම බැරිය. නමුත් අද කොළඹ මහනුවර කුරුණෑගල කළුතර වැනි ප්‍රදේශවල සිල්ලර වෙළෙඳ පොළේ එළවළු මිල ඉහළ යමින් පවතී. එසේ වුවත් එළවළු නිපදවන වැලිමඩ ඌව පරණගම බණ්ඩාරවෙල නුවරඑළිය කැප්පෙටිපොළ ආදි ප්‍රදේශවල ගොවි ජනතාවට එළවළුවලට ලැබෙන්නේ ඉතා අඩු මුදලකි.

ඊට අමතරව එළවළු විකිණීමට දඹුල්ලට කැප්පෙටිපොළට නුවරඑළියට එන ගොවින්ට තම නිෂ්පාදන වියදමටත් සරිලන්නට මිලක් තම එළවළුවලට ලැබෙන්නේ නැත.

පසුගිය සතියේ වැලිමඩ කැප්පෙටිපොළ ඌව පරණගම ප්‍රදේශයේ ගොවි ජනතාවට ගෝවා කිලෝවකට ලැබුණේ රුපියල් 5කි. කැරට් කිලෝවකට රුපියල් 12 – 15ක් ලැබිණි. නමුත් ගෝවා කිලෝවක් පිටකොටුවේ තොග මිල රුපියල් 25/35 අතර විය. සිල්ලර මිල රු. 60 කි.

පසුගිය සතියේ කැරට් කිලෝවක කොළඹ මැනිං මාර්කට්හි තොග මිල රුපියල් 70/80 අතර විය. සිල්ලර මිල කිලෝවක් 100ක් පමණ විය.

පසුගිය සතියේ වැලිමඩ ඌව පරණගම ගොවින්ට බෝංචි කිලෝවක් ලැබුණේ රුපියල් 80/90කි. නමුත් පිටකොටුවේ තොග මිල රුපියල් 130/140ට නැඟ තිබිණි. සිල්ලර මිල බෝංචි කිලෝවක් 150ක් විය.

මෙවැනි එළවළු මිල උච්චාවචනය වීම නිසා ගොවියාටත් සෙතක් නැත. පාරිභෝගිකයාටත් සෙතක් නැත. අතරමැදියාට ආර්ථික මධ්‍යස්ථාන කඩ හිමියන්ට යම් වාසියක් ඇත.

මේ අනුව ගොවින්ට සාධාරණ මිලක් ලබාදීමටත් පාරිභෝගිකයාට අඩු මිලට එළවළු ලබාදීමටත් වහාම ක්‍රියාත්මක කළ යුතු කාර්යක්ෂම වැඩපිළිවෙළක් අද අත්‍යවශ්‍ය වී තිබේ.

අප රටේ එළවළු අවශ්‍යතාවෙන් සීයට 70ක්ම සපුරාලනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මඟිනි. දඹුල්ල ආර්ථිකය පෝෂණය වන්නේ ද දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල විසිරී සිටින ගොවි මහත්වරුන්ගේ දහඩිය මහන්සියෙනි. කලකට අහස උසට නඟින එළවළු මිල කලකට විශාල වශයෙන් පහත වැටෙනු ඇත. එම ඉහළ යෑම පහළ යෑම පැය 24ක් තුළ මුළු රටටම දැනෙන අතර එහෙත් මෙවර දඹුල්ල වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් අඩුවූ එළවළු තොග මිල රටේ අනෙකුත් ප්‍රදේශවලට නොදැනීම බරපතළ ප්‍රශ්නයක් විය.

විශේෂයෙන් දඹුල්ල ආර්ථිකයේ වම්බටු කිලෝවක තොග මිල රුපියල් පහකටවත් අලෙවි නොවන තත්ත්වයක් පැවැතිණි. එහෙත් රටේ අනෙකුත් ප්‍රදේශවල වම්බටු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 60කටත් එහා මිලකටය. වම්බටුවලට හපන් වූයේ ඉතා විශාල වියදමක් දරා අස්වනු නෙළාගත් ගෝවා, එළබටු ආදි එළවළුවලටය.

එනම් මේවා කීයකටවත් අලෙවි නොවන තත්ත්වයක් ඇතිවී දින ගණනාවක් වෙළෙඳපොළේ රඳවාගෙන තබා අවසානයේ දිගම්පත රජයේ රක්ෂිතයේ සිටින වන අලින්ගේ ආහාර බවට පත්විණි. එළවළු අලෙවි නොවී එසේ වන අලින් බුදින විට රටේ තවත් ප්‍රදේශයක විශාල මුදලක් ගෙවා එම එළවළු ජනතාවට ආහාරයට ගන්නට සිදුවීම ද පුදුමයකි. මේවාට විසඳුම් වහා දිය යුතුය. නැත්නම් එළවළු වගාව එපා වෙනු ඇත.

එළවළුවලට මෙසේ සිදුවීමට හේතු සාධක කුමක්දැයි යන්න අප වෙළෙඳපොළට ගොස් සියලු තරාතිරම් නියෝජනය කරන බහුතරයකින් විමසීමක් කළෙමු. එහිදී එකිනෙකා ඉතා පරස්පර උත්තර දෙන්නට වූහ.

එම පිළිතුර සත්‍ය වශයෙන්ම රටක් හැටියට අපට ඉතාම වැදගත් යැයි අපට පසක් විණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ වී. ජී. දයාරත්න ගොවි මහතා ගොවින් අත්විඳි දුක වේදනාව ක්‍රියාවලිය මෙන්ම ඔහුගේ යෝජනාව ද මෙසේ ඉදිරිපත් කළේය.

“අපි එළවළු වගා කරනකොට කවුරුත් උපදෙස් දෙන්න එන්නෙ නැහැ වෙළෙඳපොළ හැසිරවීම ගැන. අපිට වගාවට අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන් කෘෂිකර්මෙන්. ඒත් ගොවින් වුණු අපිට කිසිම කෙනෙක් ඇවිල්ල උපදෙස් දෙන්නෙ නැහැ මේ කන්නයේ වවන්න ඕනේ මොනවද කොපමණද කියලා. අපි වගා කරන්නේ අපට හිතුණ දේ අන්තිමට මේවා වෙළෙඳපොළට ගියාම තමයි දන්නේ කොච්චර වවලාද කියලා අන්තිමට වෙන්නෙ අපි නිෂ්පාදනය කරපු දේට කොහෙන්වත් නැතිව ඉන්න මිනිහෙක් තමයි ලන්සුව තියන්නේ. අන්තිමට එළවළුවලට කීයට වික්කත් කඩේට කොමිස් එක දීලා සල්ලි අරගෙන යනවා. ”

එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයකු වූ ආර්. ඩී. සෝමරත්න මහතා කීවේ වෙනස්ම කතාවකි.

“එළවළු මිල ගොඩක්ම ඉහළ යන්න හේතුව තමයි මේ පසු අස්වනු හානිය. බලන්න කිසිම නීතියක් නෑ. හදවතක් නෑ. අපේ මිනිස්සුන්ට එළවළු ගොඩේ වාඩි වෙන්නෙ, නිදාගන්නෙ. ඒක ප්‍රවාහනය කරනකොට කිසිම පරෙස්සමක් ඒකට ගෞරවයක් නෑ. උස්සලා බිමට අතහරිනවා. තැළිලා පොඩිවෙලා යනවා. කිසිම හිරිකිතයක් නැතිව මේ එළවළු උඩ වාඩිවෙලා කතා කර කර ඉන්නවා. ගොවියා කොපමණ හොඳට ගෙනාවත් වැඩක් නෑ.”

“ඉතින් මිල වැඩි වන එක අහන්න දෙයක් නොවෙයි. නිසි වගා ක්‍රමවේදයක් හොඳ ප්‍රවාහන ක්‍රමවේදයක් මේ රටේ එළවළු සඳහා සූදානම් කරනතුරු කවදාවත් මේ වැඩේ දිගටම වේවි.”

එළවළු සිල්ලර අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ ධනංජය කුමාර මහතා කීවේ වෙනස් කතාවකි. අපි දැන් අවුරුදු ගානක් එළවළු විකුණනවා. ඒත් හැමදාම එක තැන ඉන්නෙ. ගෙයක් දොරක් හදාගෙන ඒවට ණය මුදල් ගෙවාගෙන ඉන්නවා. ඒ නිසා මේ එළවළු ගොවියෝ තමයි අපිව ජීවත් කරවන්නෙ. අපිත් කැමැතියි එක්තරා මිල පරාසයක් යටතේ අලෙවි කරන්න මිලදී ගන්න. අද එහෙම දෙයක් වෙන්නෙ නැහැ. දඹුල්ලේ අද තියෙන මිල නෙවෙයි හෙට, හෙට තියෙන මිල නෙවෙයි අනිද්දට මේක සංකීර්ණ ප්‍රශ්නයක්.”

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබෙනුයේ යාපනය අර්ධද්වීපයෙනි. බොහෝ අය කියා සිටියේ යාපනයේ එළවළු රටේම එළවළුවල මිල බැස්සු බවයි. එහෙත් එය ද සත්‍යයක්දැයි සොයා බැලීමේදී යාපනයේ සිටි දඹුල්ලට පැමිණි වැසියකු කීවේ මෙවර යාපනයේ කියා වැඩියෙන් කිසිදු වගාවක් සිදුකැර නැති බවත් තම නිෂ්පාදන යාපනය, මන්නාරම, වවුනියාව ආදි ප්‍රදේශවල ද අලෙවි නොවන තත්ත්වයට පත්ව ඇති නිසා දඹුල්ල වෙළෙඳපොළට ලැබෙමින් පවතින බවයි.

දඹුල්ලේ එළවළු මිල විශාල වශයෙන් පහත වැටි අලෙවි නොවන තත්ත්වයට පත්ව අවසානයේ මේ දිනවල ගොවි නිෂ්පාදන වන අලින්ට ආහාර බවට පත්වෙද්දි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණයේ වගකීම ඉටුවී තිබේදැයි අප එහි කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් විමසීමක් කළෙමු.

“මේ කතාව ඇත්ත. අපි දන්නවා ගොවිපළේ ඉඳලා පාරිභෝගිකයා අතට එළවළු පත්වෙද්දි නිෂ්පාදනයෙන් සීයට 35ක් 40ක් අතර ප්‍රමාණයක් හානියට ලක් වෙනවා. මේක නැති කරන්න තමයි අපි ගොඩක් මහන්සි වුණේ. අපි මාධ්‍යයෙනුත් ඉල්ලා සිටින්න කැමැතියි මේ පසු අස්වනු හානිය අවම කිරීමට දායකත්වය දෙන්න කියලා. මොකද මේක එක පාර්ශ්වයකට විතරක් කරන්න බැහැ සියලු දෙනාගේ එකඟතාවය අවශ්‍යයි. අද ඉතා අඩු මුදලට දඹුල්ලේ අලෙවි වන උඩරට හා පහතරට එළවළු වෙනත් ප්‍රදේශවල ඉන්න ජනතාවට ඒ අඩු මුදලට අලෙවි කරන විශේෂ වැඩසටහනක් තවමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක කරන්න හැකිනම් ලොකු දෙයක්. අපි ඒකට උදවු දෙන්න කැමැතියි. හැබැයි අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ එළවළු ගෝනි උඩ වාඩිවෙන එක සම්පූර්ණයෙන් නවතා දමන්න ක්‍රියා කරනවා.” ඒ වගේම එහෙම කරන අයට අපි දඬුවම් දෙන්න තමයි හදන්නෙ” ඔහු පැවැසීය.

මේ සියලු කරුණු අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා පළාත් කෘෂිකර්ම බලධාරින්ටත් අපේ කෘෂි විද්‍යාඥයන්ට විශාල රාජකාරියක් අද පැවැරී තිබේ. ඒ මොන පර්යේෂණ හරි කර මොන දැනුම්වත් වීමක් හරි කර අපේ රට ඇතුළත එළවළු මිල මෙලෙස උච්චාවචනය වීම වැළැක්වීමයි ඒ සමඟම ගොවියාට එළවළුවලට සාධාරණ මිලක් දිය යුතුමය. පාරිභෝගිකයාටත් සහන මිලට එළවළු ලබා දීමට වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය වේ.

සතොස හා සමහර සුබ සාධක සංගම් එළවළු වවන ප්‍රදේශවලින් කෙළින්ම එළවළු කොළඹට ප්‍රධාන නගරවලට ගෙනැවිත් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් මේ උත්සව සමයේදීවත් ඉක්මනට ක්‍රියාවට නැංවිය යුතුය. මේ ගැටලුව විසඳීමට දිගුකාලීන වැඩපිළිවෙළක් ද අත්‍යවශ්‍ය වේ.

මේ ගැටලුවට විසඳුම් නොලැබුණහොත් ගොවි ජනතාවට එළවළු වගාවත් පාරිභෝගිකයන්ට එළවළු කෑමත් එපාවන දිනය වැඩි ඈතක නොවන බව, කෘෂිකර්ම බලධාරීන්ට හා නිලධාරීන්ට එළවළු වවන ගොවි ජනතාව හා එළවළු අනුභව කරන ජනතාව වෙනුවෙන් මතක් කරනු කැමැත්තෙමු.


දඹුල්ලේ හා කැප්පෙටිපොළ  එළවළු ශීතාගාර ඉදිකර මිල වෙනස් වීම අවම කරනවා

 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර හා ප්‍රතිපත්ති සැලසුම් අංශයේ අංශ ප්‍රධාන දුමින්ද ප්‍රියදර්ශන

අද අපේ රටේ පෙබරවාරි මාර්තුවල එළවළු සැපයුම් වැඩිවෙලා. වෙනදාට වඩා මේ කන්නයේ එළවළු නිපැයුම වැඩියි. මේ සැරේ වැස්සට එළවළු කුණු වුණේ නැහැ. වැස්ස අඩුවුණු නිසා. කුඹුරුවල වැඩිපුර එළවළු වගා කළා. දඹුල්ලේ පසුගිය දවස්වල එළවළු කිලෝ ලක්ෂයක් විතර අලින්ට කන්න දුන්නා.

ඒත් දැන් එළවළු මිල වැඩිවෙමින් පවතිනවා. අප්‍රේල් 5 වැනිදායින් පස්සේ 12 වෙනකම් එළවළු මිල වැඩිවෙනවා. ඒක හැම අවුරුද්දකම වෙන දෙයක්.

අප්‍රේල් 5 සිට 12 දක්වා එළවළු සැපයුමත් ඉල්ලුමත් වැඩිවෙනවා. 12 පස්සේ 20 වෙනකම් එළවළු මිල අඩුවෙනවා. ඉල්ලුමත් අඩුවෙනවා. දඹුල්ලේ එළවළු මාර්කට් එකේ කඩවල් අප්‍රේල් 18 වෙනකම් වහලා ඒ නිසා මේ මාසේ තරම් එළවළු මිල අඩු වැඩි වෙන මාසයක් නැති තරම්.

තත්ත්වය මෙසේ වුණත් කොළඹ පාරිභෝගිකයන්ට එළවළු ගන්න වෙන්නේ ගිනි ගණන් වලට මේ කාලෙට මේක හැමදාම වෙන ප්‍රශ්නයක් තමයි.

මේක වළක්වන්න අපි එළවළු අස්වැන්න වැඩියෙන් ලැබෙන ‍කැප්පෙටිපොළ දඹුල්ල ප්‍රදේශවල ශීතාගාර ඉදිකිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඒවායේ අතිරික්ත එළවළු ගබඩා කර පසුව හිඟ කාලයට වෙළෙඳ පොළට දමනවා.

ඒ සමඟම රජයේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ එළවළු මිල එකම මට්ටමක පවත්වා ගැනීමට අපි කටයුතු කරනවා.

අද පිටකොටුවේ තොග මිල දඹුල්ලේ ගොවියාටත් වැලිමඩ ගොවියාටත් ඕනෑම මොබිටෙල් දුරකථනයක් මඟින් 6666 ගසා දැන ගන්න පුළුවන්. ඒ අනුව තොග මිලේ නම් ලොකු වෙනසක් නැහැ. නමුත් දඹුල්ලේ කැප්පෙටිපොළ වැනි ප්‍රදේශවල විවිධ මාෆියා බිහිවෙලා තිබෙනවා. ඒවා වැළැක්වීමට අපහසුයි. කෙසේ වුවත් විවිධාංගීකරණ ගොවිතැන හා පසු අස්වනු තාක්ෂණය අනුව එළවළු තොග සංරක්ෂණය මඟින් ගොවියාටත් පාරිභෝගිකයාටත් වැඩි ඵලදායකත්වයක් ඇති කරගන්න පුළුවන්.


ගෝවා කැරට් විකුණගන්න බැරිව අක්කර ගණන් ගවයන්ට කන්න දුන්නා

ඌව පරණගම යටිපළාත කෝරළයේ ගොවිකාරක කමිටු සභාපති එන්.ජී. ඩේවිඩ්

ඌවපරණගම විශාලම වාරි ව්‍යාපාරය වන උමාඇළ වාරි ඇළ යටතේ යටිපළාත කෝරලයේ කුඹුරු අක්කර 2005 ක් ගොඩ ඉඩම් අක්කර 1000 කට ආසන්න ප්‍රමාණයක් වගා කළා.

2016 – 17 මහ කන්න කුඹුරු වගාවට ජලය ලබාගත නොහැකි ගැටලුව නිසා ජල උල්පත් කුඹුරු හැර ඉතිරි කුඹුරු වල වී වගා කිරීම අතහැර දැමීමට කන්න රැස්වීමේ දී අපි තීන්දු කළා. ඒ අනුව 75% ක් පමණ කුඹුරු වී ගොවිතැන අත හැර දැමීමට ගොවීන්ට සිදුවුණා.

මේ නිසා ඇතැම් ගොවියෝ කුඹුරුවල කෙටිකාලීන එළවළු වගාව සිදු කළා. සැලසුමකින් තොරව ගොවින් ගෝවා, තත්කාලි, වම්බටු, රාබු වැනි එළවළු වර්ග බහුලව වගා කළා. එසේ ම දෙමුහුන් බීජ ඇට වර්ග නිසා එළවළු නිෂ්පාදිත ප්‍රමාණයත් ඉහළ ගියා. එසේ ම අද දිවයිනේ විවිධ ප්‍රදේශවල සාර්ථකව උඩරට එළවළු වගාවක් කරනවා.

මේ හේතු මත මාර්තු මාසයේ අවසානය දක්වා එළවළු මිල ඉතා පහළ මට්ටමකට ඇද වැටුණා. ගෝවා කිලෝ එකක් රුපියල් 05 කැරට් කිලෝව රුපියල් 10 වැනි මිලක් පැවතීම නිසා ගොවියෝ තම වගාවන් කොටු තුළ ම විනාශ වී යෑමට ඉඩ හැරියා. තක්කාලි කිලෝවක් රුපියල් 05 – 10 අතර ව‍ූහ‍‍.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළෙන්දාට කිලෝ එකට රුපියල් 03 ක කොමිස් මුදලක් ගොවියා ගෙවන්න ඕනී.

කෘෂි රසායනික හා පොහොර කිලෝ 50ක් රුපියල් 2500 – 3000 අතර වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම එළවළු භෝගයක් අවම වගා කිරීමේ වියදම අක්කරයකට රුපියල් 20000 ක් පමණ වෙනවා. එසේ වැය කර වගා කරන එළවළු කැප්පෙටිපොළට ප්‍රවාහන කිරීමට ඌවපරණගම සිට රුපියල් 2500 – 3000 ක් පමණ වෙනවා.

එසේ ම එළවළු එක් රැස් කි‍රීමට එක් ශ්‍රමිකයකුට දිනක වැටුප රුපියල් 1000 ක් වෙනවා. එහෙම ගණන් බලද්දී ගොවියා වියදම අවම කරගන්න වගා විනාශ වී යෑමට ඉඩ හැරීම සාධාරණයි.

මාර්තු මාසය අවසන් භාගය වනවිට එළවළු හිඟයක් මතු වෙලා. එනිසා යම් මිළ ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. අද ගෝවා කිලෝ එකක තොග මිල රුපියල් 15 යි. තක්කාලි කිලෝව රුපියල් 8 යි. කැරට් කිලෝව රුපියල් 25 යි. මේ වගේ තත්ත්වයක් තිබෙනවා. බෝංචි සහ අර්තාපල් මිල පහත වැටුණේ නෑ.

මෙසේ එළවළු මිල පහත වැටුණට පාරිභෝගිකයාට සෙතක් අත් නොවුන බව සිල්ලර වෙළෙඳ පොළේදී දකින්නට තිබුණා‍.

රජය මැදිහත්ව ගොවියා විවිධාංගීකරණ ගොවිතැනට යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවායි සභාපති එන්.ජී. ඩේවිඩ් මහතා පැවසීය. 

සීගිරිය කේ. ආරියදාස
වැලිමඩ ආර්. රාජමන්ත්‍රී 

Comments