
මෙවර මැතිවරණ ප්‍රතිඵල ගැන මොනවද හිතන්නෙ?
ඇත්තටම මේ මැතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම ඉතාම මැනවින් පැහැදිලි වෙන කාරණය තමයි 2015 දී ජනතාවට වැරදුණ තැන හදා ගන්න ජනතාව අධිෂ්ඨානශීලීව කටයුතු කරල තිබෙනවා කියන කාරණය. 2015 වැරදුණ තැන හදන්න 2018 දී පළාත් පාලන මැතිවරණයේදීත් 2019 ජනාධිපතිවරණයේදීත් ජනතාව පොෙහාට්ටුව දිනවලා තියෙනවා. නමුත් ජනතාව අවබෝධයෙන් ඉදලා තිබෙනවා, ඒ වැරැද්ද හරියටම හදා ගන්න පුළුවන් මහ මැතිවරණයෙන් කියලා. ඒකයි මුළු රටම එක පොදියට පොහොට්ටුවට ඡන්දය දීලා තුනෙන් දෙකේ බලයක් හදා ගන්න සහය දීලා තියෙන්නෙ.
තුනෙන් දෙකේ බලය අනර්ථකාරියි කියල හිතෙන්නෙ නැද්ද?
අපේ රටේ දේශපාලන ඉතිහාසය කියවන කොට හොඳට පෙනෙනවා බලය අයුතු ලෙස භාවිතා කරල තියෙන්නෙ කවුද කියල. මේ රටට ආදරය කරන සමාජවාදී කඳවුර නියෝජනය කරන රාජපක්ෂවරු කවදාවත් තමන්ට ලැබුණ බලයක් රටට හෝ ජනතාවට හානි කර ලෙස පාවිච්චි කරල නෑ. එහෙම බලයක් ලැබුණ හැම අවස්ථාවක්ම යොදාගෙන තිබෙන්නෙ රටට ජනතාවට හානි කර දේවල් ඉවත් කරන්න පමණයි. තිස් වසරක යුද්ධය නිමා කිරීම ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයයි. මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරයාට පෙරත් විධායක ජනාධිපතිවරු හිටියානේ. නමුත් ඒ අයට යුද්ධය ඉවර කරන්න බැරි වුණානේ. එදා යුද්ධය ඉවර කරල රටට නිදහස ලබා දුන් මේ රාජපක්ෂවරු බලය යොදා ගෙන රටට ජනතාවට වින කරන්නෙ නෑ කියල ජනතාව දන්න නිසා තමයි මෙවරත් බලය දීල තියෙන්නෙ.
අලුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය පිළිබඳව ඔබ මොනවද හිතන්නේ?
රටේ සම්පත් විනාශ කරල අපි රට බාර ගන්න කොට භාණ්ඩාගාරය හිස්. ඒකටම කොවිඩ් 19 වසංගතය ඇවිල්ලා ආර්ථිකය තවත් පහළට කඩා වැටුණා. එහෙම පසු බිමක අමාත්‍ය මණ්ඩලය පත් කරන කොට මීට වඩා වික්‍රමයක් කරන්න බෑ. මම හිතන්නේ මෙතෙක් බිහි වූ ආණ්ඩුවල හොඳම කැබිනට් මණ්ඩලය මේක කියලයි. දේශීය චින්තනය ගොඩනැඟිය හැකි ආකාරයට ඒ ඒ විෂයයන් ඉතාම නිවැරැදිව විද්‍යානුකූල පදනමකින් බෙදා දී තිබෙනවා. මේ අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු මඟින් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්රකාශනයේ අඩංගු කරුණු කඩිනමින් ක්‍රියාත්මක කරල ජනතාවට සහන දෙන්න තමයි ජනාධිපති ගේ අපේක්ෂාව වී තිබෙන්නේ.
* මේ රජය බලයට පත් කර ගන්න දරදිය ඇදපු සමහර අයට ඇමති තනතුරු නොලැබීම පිළිබඳවත් විවිධාකාරයෙන් කතාන්දර පැතිරෙමින් යනවා නේද?
එවැනි කතාන්දර පැතිරෙන එක වළක්වන්න බෑ. ඔබම කල්පනා කරල බලන්න මේ රජය පත් කර ගන්න දර දිය ඇදපු කණ්ඩායම් තුනක් ඉන්නවා. එක් කණ්ඩායමක් තමයි 2015 ඉඳල යහපාලන ආණ්ඩුවට එරෙහිව මහින්ද සුළඟ ආරම්භ කරලා ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරපු කණ්ඩායම. අනෙක් කණ්ඩායම 2015 ඉඳලා ජනාධිපතිවරයා සමඟ වියත් මඟ හදා ගෙන රටවටා ගොස් ජනතාව දැනුම්වත් කරන ගමන් සැලසුම් හා ක්‍රම සම්පාදන කළ කණ්ඩායම. ඊට අමතරව විවිධ සංවිධාන හදා ගෙන පළාත් පාලන මැතිවරණයේ ඉඳලා මේ මහ මැතිවරණය දක්වා විවිධ කැප කිරීම් කරමින් ජයග්‍රහණය උදෙසා කටයුතු කළ කණ්ඩායම. මේ කණ්ඩායම් තුනේම අය පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ජනවරමක් ලබා ගෙන ඉන්නවා. ඉතින් ඒ හැමෝම එක වගේ වැදගත්. එහෙම වුණත් රටේ ආර්ථිකය, ව්‍යවස්ථාවේ සීමා මේ ආදි කරුණුත් එක්ක හැම දිස්ත්‍රික්කයකටම සාධාරණව තමයි ඇමති මණ්ඩලය පත් කරල තිබෙන්නෙ. අපි වුණත් කල්පනා කරනවා, මේකට වැඩිය හොඳ වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ලැබුණා නම් හොඳයි කියලා. නමුත් මේ වේලාවේ ඒවා ගැන කල්පනා කරල අර්බුද හදා නොගෙන අපි හැමෝම එකතු වෙලා ජනතාව අපිට ලබා ඇති අවස්ථාව ප්‍රයෝජනයට අර ගෙන රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ඕනෑ.
රාජපක්ෂ පවුලට ඇමති තනතුරු බෙදා ගත්තා වැඩියි කියලත් චෝදනා එල්ල වෙනවා නේද?
රාජපක්ෂවරු එදා ජනතාව වෙනුවෙන් හිරබත් කමින් අධිකරණවල පෝලිම් ගස්වලා තියෙන කොට ඒ අසාධාරණය නොදැක්ක අය අද රාජපක්ෂවරු ඇමතිකම් වැඩිපුර ගන්නවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. රාජපක්ෂවරු අමතිකම් ගත්තේ ගෙදර නිදා ගෙන ඉදල ඇවිල්ලා නොවෙයි. අනෙක සාම්ප්‍රදායිකව ආරක්ෂක, මුදල් වැනි විෂයයන් රාජ්‍ය නායකයන් අත තබා ගැනීම අපේ පාර්ලිමේන්තු ඉතිහාසය පුරාවට දක්නට ලැබෙන දෙයක්. බුද්ධ ශාසන අමාත්‍ය ධුරය අගමැතිවරයා දැරිය යුතුයි කියල මහ සංඝරත්නයම ඉල්ලීම් කරල තිබෙනවා. ඒ හැර වෙන මොනවද කියන්න තියෙන්නෙ. රාජපක්ෂ පවුලේ පස් දෙනෙක් ජනතාව ඉහළ මනාප දීල පත් කරල එවල තියෙන්නෙ වගකීම් අර ගෙන කටයුතු කරන්නයි. ඒක ගැන කවුරු හරි චෝදනා කරන්නේ දේශපාලන ඊර්ෂ්‍යාවකින් කියලයි මම හිතන්නේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔබට අලුත් තැනක් නොවෙයි. මෙවරත් ජනමාධ්‍ය අමාත්‍යාංශය ලැබීම ගැන මොනවද හිතන්නේ?
එක පැත්තකින් මම සතුටු වෙනවා මේ අමාත්‍යාංශය මට නැවත ලැබීම ගැන. මොකද මේ ක්ෂේත්රයේ හැමෝම වාගේ මම දන්න අඳුනන මගෙ මිත්‍රයෝ. අනෙක මේකේ මට ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. මම හිතන්නේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනමාධ්‍ය හරහා විශාල දෙයක් කරන්න පුළුවන් කියලයි. මාධ්‍ය සදාචාරයට අලුත් පනක් දීල තරුණ තරුණියන්ට මේ ක්ෂේත්රයේ වැඩ කරන්න තියෙන ඉඩකඩ වැඩි කරනවා වගේම ඔවුන්ට මෙය ආකර්ෂණීය තැනක් බවට පත් කරන්න ඕනෑ. ඒ වාගේම මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය හා වෘත්තීය ගරුත්වය ඇති කරන්නත් අපිට බොහෝ දේවල් කරන්න තියෙනවා. මම බලා පොරොත්තු වෙනවා ඒ ඒ ක්ෂේත්රවල තිබෙන ගැටලු වෙනම ඒ ඒ අයත් එක්ක කතා කරල ඒවාට විසඳුම් හොයා ගන්න.
හැමදාම ආණ්ඩුවලට එල්ල වෙන චෝදනාවක් තමයි රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරණෑ බවට පත් කර ගන්නවා කියන එක. ඒ ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
ඇත්තටම අපේ ආණ්ඩු මාධ්‍ය ආයතනවලට බලපෑම් කරල ඒවා රජයේ හොරණෑ කර ගන්න කටයුතු කරනවා කියල මම පිළිගන්නෙ නෑ. ඒ ඒ ආයතන වල ඉන්න අයම තමයි ආණ්ඩුව වර්ණනා කරන්න පටන් ගෙන ස්වාධීන මාධ්‍ය භාවිතාව නැති කර ගෙන තිබෙන්නෙ. මම හිත්නෙ ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ.මාධ්‍ය ආණ්ඩුවේ වුණත්, පෞද්ගලික වුණත් ඔවුන් තමන්ට පැවරී ඇති වගකීම තරගකාරිව ඉටු කරන්න ඕනෑ. මම බලාපොරෝත්තු වෙනවා රාජ්‍ය මාධ්‍ය තමන් ගේ වගකීම හරියට අවබෝධ කර ගෙන ඒ දේ ක්‍රියාත්මක කරයි කියල. එහෙම සමබර සත්‍ය තොරතුරු නැවුම්ව ජනතාව අතරට ගෙන යන්න රජයේ මාධ්‍ය අපොහොසත් වුණොත් ජනතාව ඒ මාධ්‍ය ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණාම ඒ ආයතන පවත්වා ගෙන යන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ තමන් ගේ ගෙල තමන්ම සිර කර ගැනීමක් වගේ වැඩක්. ඒ නිසා රජයේ මාධ්‍ය ආයතනවල සේවය කරන අය තේරුම් ගන්න ඕනෑ තමන් ගේ සේවය ජනතාව වෙනුවෙන් අවංකව හා නිවැරදිව ලබා දෙන්න. සමහර අය තමන් ගන්න වැටුපට සරිලන සේවාවක් ලබා නොදෙන බවටත් පැමිණිලි තිබෙනවා. ඒවැනි අය මෙවැනි ආයතනවල දේශපාලන බලය පෙන්වා ගෙන ජනතා මුදල් නාස්ති කරන්න ඉඩ දෙන්න බෑ. දක්ෂයෝ නිකමුන් වෙලා. මේ තත්ත්වය රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෙනස් කරන්න ඕනෑ. එහෙම වෙනස් වෙන්න බැරි අයට වෙන තැන් හොයා ගෙන යන්න ඉඩ හදලා දෙන්න ඕන. එහෙම දැඩි තීන්දු නැතිව මේ ආයතන හදා ගන්න බෑ.
සමාජ මාධ්‍ය අද ජනප්‍රිය මාධ්‍ය කලාවක් බවට පත්ව තිබෙනවා.හැබැයි මේ හරහා සමාජයට අහිතකර බලපෑම් එල්ලවන බවටත් චෝදනා තිබෙනවා.මේ ගැන ඔබ මොනවද හිතන්නෙ?
මම මුලින් කීවේ ඒක තමයි. මාධ්‍ය සදාචාරයට අලුත් මුහුණුවරක් දෙන්න ඕනෑ. අපි හැමදාම අහිතකරයි කියමින් හිටියට ඒ ආයතන හරි පුද්ගලයන් හරි නිවැරදි වෙන්නෙ නෑනේ. අපි අපේ රට තුළට ගෙනෙන දේ හෝ රටින් පිට කරන ඕනැම දෙයකින් රටේ සභ්‍යත්වය සංස්කෘතික ගුණාංග රැකෙන්න ඕනෑ. එහෙම නොවුණොත් රටටම වෙන්නෙ විපතක්. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සමාජ මාධ්‍ය ජාලයටත් විශාල මෙහෙයක් කරන්න පුළුවන්. ඊට ඔවුන් යොමු කරවා ගන්න හැකි වැඩ පිළිවෙළක් අපි හදන්න ඕනේ. මාධ්‍ය තුළින් සිදුවිය යුතු සමාජ ශෝධනය පැත්තක තිබියදී අපි ගොසිප් වලට මුල් තැන දීල තිබෙනවා නම් ඒකට හේතුව ඔවුන්ට මඟ පෙන්වන්න කෙනෙක් නෑ කියන එකයි. ඒ නිසා අපි ඒ හැමෝටම හොඳ මඟ පෙන්වන්නෝ වෙන්න ඕනේ.
ඔබ කියන්නේ මාධ්‍යයට නියාමනයක් අවශ්‍යයයි කියලද?
මාධ්‍යයට විතරක් නොවෙයි හැම දේකටම නියාමනයක් තියෙන්න ඕනෑ.හැබැයි ඒ නියාමනය ස්වයං නියාමනයක් වුනොත් තමයි හොඳ.රටේ ජනතාවට හරි මඟ පෙන්වන්න ඉන්න මාධ්‍යයට රජයෙන් නියාමන දානවා කියන්නේ ඔවුන් ජනතාවට මඟ පෙන්වන්න සුදුසු අය නොවෙයි කියන එකයි. අපි අපේ රජයක් යටතේ මාධ්‍ය මර්දනය කරන්නේ හෝ මාධ්‍ය මර්දනයට අණ පනත් සම්මත කර ගන්නේ නෑ. මාධ්‍යවේදීයා රටෙි හතරවන පුරවැසියා විදියට සලකනවා කියලනේ කියන්නේ.එහෙම නම් ඔහු දැන ගත යුතුයි තමන් ගේ අභිමානය රැකගෙන මාධ්‍ය වෘත්තීය කරන්න.ඒක රජයේ නියාමනයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක තම තමන් තුළින්ම හැදෙන්න ඕනේ.
මහනුවර ජනතාව මැතිවරණ කීපයකදීම ඔබට විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න සහය ලබා දී තිබෙනවා. දැන් ඔබ ඔවුන් වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
ඇත්තටම මම මුලින්ම මගේ මහනුවර ජනතාවට මගේ කෘතඥතාව පිරිනමන්න ඕන. ඔවුන් හැමදාමත් මට ළෙන්ගතුව සහය ලබා දී තිබෙනවා. ඔවුන් මට මැතිවරණ හයකදීම ලක්ෂයට වැඩියෙන් ඡන්ද ලබා දී තිබෙනවා. ඔබ දන්නවාද පිට පිටම ඒ විදියට ලක්ෂයට වැඩි ඡන්ද ලබා ගත් දේශපාලනඥයෙක් විදියට මගේ නම දේශපාලන ඉතිහාසයේ ලියැවෙිවි. මම විශ්වාස කරනවා සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති අනුව අපේ ජනතාවට දැනෙන යමක් කරන්න පුළුවන් කියල. හැබැයි ඒකට ආණ්ඩුවට යම් කාලයක් අවශ්‍ය වෙනවා. මොකද මුලින් අපේ රටේ ආර්ථිකය හදන වැඩවලට මුල් තැන දෙන්න ඕනේ. ආණ්ඩුවේ දෙවන වසර පමණ වන විට ජනතාවට දැනෙන සංවර්ධනයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා වුණත් මගේ මහනුවර ජනතාවට කරන්න පුළුවන් දේ මම ඉටු කරනවා. ඒක මගේ යුතුකමක් වගකීමක් කියලයි මම හිතන්නේ.
මහනුවර ලෝක උරුම නගරයක්. ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් බිහි කරපු දිස්ත්‍රික්කයක්. නමුත් එහි සංවර්ධනය ඉබි ගමනේ. දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එන මහනුවර කවදාද ලෝකයට ගැළපෙන විදියට දියුණු වෙන්නෙ?
ඔබ කියන කාරණයේ යම් ඇත්තක් තියෙනවා. ඔබත් දන්නවා ගෝඨාභය රාජපක්ෂයන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට කටයුතු කළ කාලයේ මහනුවර නගරය ලෝකයට ගැළපෙන විදියට හදන්න පටන් ගත්තා.යහපාලන ආණ්ඩුව ඒ සංවර්ධන සැලසුම් හමස් පෙට්ටියට දාලා විනාශ කළා. එදා අමාත්‍යාංශ ලේකම් අද මෙරටේ ජනාධිපති ධුරය හොබවන නිසා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉතාම ඉක්මනින් එතුමා ගේ මහනුවර නගර සංවර්ධන සැලසුම් නැවත පටන් ගන්න පුළුවන් කියල. මෙවර මැතිවරණයේ දී අපි අට දෙනෙක් මහනුවරින් පාර්ලිමේන්තුවට පත් කරල එවල තිබෙනවා. ඉන් හය දෙනෙකුටම මේ වන විටත් වගකීම් පවරලා තිබෙනවා.ඒ නිසා අපි සියලු දෙනාම ජනාධිපතිවරයාට සහය ලබා දීල මහනුවර ලෝකයේ සංචාරක අකර්ෂණය ඇති දියුණුම නගරය බවට පත් කරන්න උත්සාහ කරනවා. මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ද කඩිනම් කරන්න කියල ජනාධිපතිතුමා උපදෙස් දීල තියෙනවා. මේ මාර්ගයේ කටයුතු ඉක්මනින් නිමා වුණොත් මහනුවර අපි අපේක්ෂිත සංවර්ධනයෙන් බාගයක්ම ඉටු වෙනවා.
ජාතික හා ආගමික සහයෝගිතාව දෙදරුම් කෑමට ලක්වන්නේ මාධ්‍ය නිසා බවට චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වී තිබෙනවාද?
මම මුලිනුත් සඳහන් කළ ආකාරයට සමාජ ප්රගමනය වෙනුවෙන් මාධ්‍යයට කළ හැකි කාර්ය අසීමිතයි. කොරෝනා වසංගත සමයේ අපේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පාසැල් දරුවන් ගේ අතපසුවන පාඩම් සම්පූර්ණ කර ගන්න ලොකු සහයක් ලබා දුන්නා. ඒ වාගේ ආගමික හා ජාතික සමඟිය උදෙසා අපිට කළ හැකි දේ බොහෝයි. යුද්ධය පැවැති සමයේ මාධ්‍ය ප්‍රකාශකයා විදියට මට පුළුවන් කම ලැබුණා වැරදි තොරතුරු සමාජගත වෙන එක වළකා ගෙන යුද්ධයේ වේදනාව දකුණේ ජනතාවට දැනෙන ප්‍රමාණය අඩු කර ගන්න. එහෙම නොවුණා නම් වැරදි තොරතුරු සමඟ රටම යුද පිටියක් වෙන්න තිබුණා. ඒ වගේම පශ්චාත් යුද සමයේ ජනමාධ්‍ය ආයතන උතුර දකුණ දරුවන් තුළ හොඳ හිත වර්ධනය කරන්න විශාල කාර්ය බාරයක් කළා. විශේෂයෙන් ජතික ආගමික සමඟියේ පාලම ජනමාධ්‍යයයි. ඒක අවබෝධ කර ගෙන මාධ්‍ය හැසිරවීම අපේ වගකීමක්.
ඔබ මාධ්‍යයේ වගකීම ගැන කතා කළත් මාධ්‍ය හසුරුවන්නාට ඒ සදහා හොඳ පුහුණුවක් නොමැතිකම ඔබ දකින්නෙ කොහොමද?
ඔබ කියන කාරණය මම පිළි ගන්නවා. කැමරාවෙන් පෝටෝ ගන්න පුළුවන් වුණාට පෑනෙන් ලියන්න පුළුවන් වුණාට හැම කෙනෙක්ම මාධ්‍යවේදීන් වෙන්නෙ නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නෙ ඒකයි. ජංගම දුරකථන තියාගෙන සමහර සමාජ ජාල මාධ්‍ය ආයතන පවත්වා ගෙන යන අය ගැනත් තොරතුරු වාර්තා වී තිබෙනවා. ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් ගේ සිට මාධ්‍ය ආයතන ප්රධානීන්ටත් මාධ්‍ය වාර්තා කරණය හා මාධ්‍ය භාවිතය හා හැසිරවීම ගැන විධිමත් පුහුණුවක් ලබා දෙන්න ඕනෑ. අපේ ඉදිරි කාලයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරල දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය පුහුණු ආයතන පිහිටුවන්න තිබෙන හැකියාව පිළිබඳව අවධානය යොමු කරනවා.
ජනතාව ගේ රසාස්වාදය මොට කරන එමෙන්ම විකෘති කරන මාධ්‍ය වැඩසටහන් හා ලේඛන පිළිබඳව ජනාධිපතිවරයා ගෙත් අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ වී තිබෙනවා.මේ ගැන ඔබේ ඉදිරි වැඩ පිළිවෙළ කොහොමද?
විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය තුළ විකාශය වන බෙහෝ වැඩ සටහන් ඔබ කිව්ව ගණයට අයත් වෙනවා. අපේ රටේ දක්ෂ කලාකරුවන් අතින් ඉතා හොඳ නිර්මාණ බිහි වෙද්දී අපි විදෙස්වල කලා නිර්මාණ වලට විශාල ඉඩක් ලබා දෙන්නෙ ඇයි කියල හොයල බලලා එතැනටයි විසඳුම දෙන්න ඕනේ. මේ නිසා අපේ කලා නිර්මාණ නැවතිලා. කලාකරුවෝ කලාව අතහැරල වෙන දේවල් කරන්න යොමුවෙලා. දේශීයත්වය ගැන කතා කර කර අපි විදේශ ගැති බවක් පෙන්වනවා. මේ ගැන ඉදිරියේදී මාධ්‍ය අයතන සමඟ සාකච්ඡා කරල ඒ අය ගේ ගැටලුත් හඳුනාගෙන ස්ථාවර විසඳුමක් දෙන්න රජයක් විදියට ක්‍රියා කරනවා.
මෙවර මහ මැතිවරණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතිවිය යුතු වෙනස් කම් පිළිබඳව දේශපාලන වේදිකාවේ බොහෝ දේවල් ප්‍රකාශ වුණා. ඉදිරියේ සිදුවන ව්‍යවස්ථා වෙනස ගැන මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කරන්න ඔබ මැදිහත් වෙනවාද?
ඇත්තටම අපි ජනතාවගෙන් තුනෙන් දෙකේ බලයක් ඉල්ලුවේ රටට නොගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කරන්නයි. ජනතාව අපේ ඉල්ලීම පිළිගෙන තිබෙනවා. ජනතාව අපිට බලය දීලා තියෙන්නෙ ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස් කම් කර ගන්නයි. අපි ඒ කිසිදු වෙනසක් රහසින් කරන්නේ නෑ. එහෙම කරන්න ඕනෑ කමකුත් නෑ. ව්‍යවස්ථාවේ වෙනස්කම් විතරක් නොවෙයි අපේ ආණ්ඩුව කරන හැම දෙයක්ම විනිවිදභාවයෙන් යුතුවයි කරන්නේ. ව්‍යවස්ථාවේ කරන වෙනස්කම් ගැන ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ඒක අපේ වගකීමක්.
පත්කර සිටින අමාත්‍යවරුන් හරහා අපේ රටේ වැටී ඇති ආර්ථිකය ගොඩ නඟන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවාද?
ඇයි ඔබට ඒ ගැන සැකයක් තියෙනවාද?මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ විෂයයන් බෙදා වෙන් කර තිබෙන ආකාරය දිහා ඔබ හොඳින් අවබෝධයෙන් බැලුවොත් පෙනේවී ඒ විෂයයන් බෙදීම කොතරම් විද්යානුකූලද කියල. රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් පවරා දී තිබෙන්නේ ඉලක්ක ගතවයි.මෙහෙම සරලව නිවැරදිව අමාත්‍යාංශ බෙදා වෙන් කර තිබු කාලයක් මීට පෙර තිබුණා කියල ඔබට දැනුමක් තියෙනවාද?ඒ නිසා සැකයක් ඇති කර ගන්න එපා දේශිය ආර්ථිකය ගොඩ නඟන සෞභාග්‍යය දැක්ම ක්‍රියාත්මක කරන්න මේ ඇමති මණ්ඩලයට පළපුරුද්දක් වගේම ඕනෑකමක් තියෙනවා. ඒ වගේම අපි ඒ සදහා කැප වෙනවා.