
මෙවර මහා මැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ වෙනස්කම් රැසක් ම සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේ ආසන පැමිණවීමේ සිට එහි ක්‍රියාකාරිත්වයේ අංග කිහිපයකින් ම වෙනදා පාර්ලිමේන්තුවට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් හිමි වීමත් සමඟම මෙරට දේශපාලනය නව මුහුණුවරක් ගෙන ඇති බව විද්වතුන්ගේ අදහස වී තිබේ. මෙවර මහා මැතිවරණ ප්‍රතිඵල අනුව නවක මන්ත්‍රීවරු 83 දෙනෙක් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත්ව සිටිති. තරුණ මන්ත්‍රීවරුන් රැසක් ම නවක මන්ත්‍රීවරුන් අතර සිටිති. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම තමන් තරග කළ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමුවැනියා වශයෙන් තේරී පත්ව තිබීම විශේෂත්වයකි.
මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් චින්තක අමල් මායාදුන්න මහතා තේරී පත්වූ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් චාමර සම්පත්, සුදර්ශන දෙනිපිටිය, චමින්ද ජානක තිස්සකුට්ටිආරච්චි යන මහත්වරු පාර්ලිමේන්තු වරම් හිමි කර ගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ අසංක නවරත්න, සමන්ප්රිය හේරත්, ඩබ්. හේරත්, යූ.කේ. සුමිත් උඩුකුඹුර තේරීපත්ව තිබේ. අජිත් රාජපක්ෂ, උපුල් සංජීව ගලප්පත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැති සබයට පැමිණ ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න, චන්න ජයසුමන, එම්.කේ. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි, අබ්දුල් රහුමාන්, රෝහණ බණ්ඩාර විජේසුන්දර යන මහත්වරු මැති සබයට වරම් හිමි කරගෙන ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් අකිල එල්ලාවල, ගාමිණී වලේබොඩ, මුදිතා ප්‍රිශාන්ති, වරුණ ප්‍රියන්ත ලියනගේ යන මහත්ම මහත්මීන් නවකයෝය. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් සානක රාහුල් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, කෝවින්දන් කරුණාගරන්, එස්. නසීර්, වන්නි දිස්ත්‍රික්කයෙන් කාදර් මස්තාන්, එස්. නොහාරලිංගම්, කුලසිංහම් තිලීපන් යාපනය දිස්ත්‍රික්කයෙන් සී.වී. විග්නේෂ්වරන්, අංගජන් රාමනාදන් යන නවකයන් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගැනීමට සමත් වූහ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රදීප් සමන් කුමාර, මධුර විතානගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් කුමාර, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ, උදය කාන්ත ගුණතිලක, සුජිත් සංජය, චින්තක අමල් මායාදුන්න, අශෝක ප්‍රියන්ත, මහනුවරින් වසන්ත බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරිඳිගොඩ, එම්. වේලුකුමාර්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, නලින් රුවන්ජීව ප්‍රනාන්දු, මිලාන් ජයතිලක සහ දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් තිලක් රාජපක්ෂ, ඩී.සී. වීරසිංහ, මොහොමඩ් මුෂ්රාෆ් යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගෙන ඇත.
මාතලේ දිස්ත්‍රික්කයෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිමල් පියතිස්ස, එම්. රමේෂ්වරන්, මයිල්වාගනම් උදය කුමාර්, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ අනුප පැස්කුවල්, සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල, මාතර දිස්ත්‍රික්කයෙන් නිපුණ රණවක, කරුණා කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ගයාෂාන් නවනන්ද, ධර්මසිංහ විජේසිංහ යන මහත්වරුන් නවක මන්ත්‍රීවරු වෙති.
පොදුජන පෙරමුණ විසින් නම් කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් සඳහා ද නව මුහුණු රැසක්ම එක්කර තිබීම කැපී පෙනෙන තත්ත්වයකි. ඒ අනුව එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සඳහා නවකයන් දාහතර දෙනකුම ප්‍රථම වතාවට පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීමද විශේෂත්වයකි.
සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, මොහොමඩ් අලි ෂබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමාරසිංහ, යදාමිණි ගුණවර්ධන, සුරේන්ද්‍ර රාඝවන්, සීතා අරඹෙපොළ, මොහොමඩ් තාලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන් නවකයන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඒ මහතාගේ පුත්‍රයා වූ ජීවන් තොණ්ඩමන් එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් විය. එහිදී ඔහු මනාප 1,09,155 ලබාගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නාවික හමුදා ප්‍රධානියකු වූ අද්මිරාල් සරත් වීරසේකර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් විය. එහි විශේෂත්වය වනුයේ ඔහු තරග කළ කොළඹ දිස්ත්‍රික්කයේ පරිණත ප්‍රබල දේශපාලන චරිත රැසක්ම ඔහු සමඟ තරග කළ බැවිනි. වසර විස්සකට වැඩි ඉතිහාසයක් පාර්ලිමේන්තුව තුළ ඇති මැති ඇමැතිවරු රැසක් ම මෙහිදී සරත් වීරසේකරට වඩා ලක්ෂ ගණනක් මනාප අඩුවීම කැපී පෙනෙන සිද්ධියකි.
මනාප 3, 28,092 ලබාගත් සරත් වීරසේකර මහතා සිවිල් ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අතර ඒ මහතා මානුෂීය මෙහෙයුම පැවැති සමයේ රණවිරුවකු ලෙස ඉමහත් කාර්යභාරයක් කළ රණවිරුවෙකි. මෙරට රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන මෙන් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම නොයෙක් චෝදනා එල්ල කළ අවස්ථාවේ ජිනීවා නුවරට ගොස් ඊට එරෙහිව කටයුතු කළ සරත් වීරසේකර ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට පත් විය.
ඉකුත් ජනාධිපතිවරණය පැවැති සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා පත් කිරීමේ දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ වූ ආචාර්ය නාලක ගොඩහේවා, ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදිමින් ඒ ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්විය. ඔහු එහිදී මනාප 3,25,479 ලබා ගැනීමට සමත් විය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගත් ඔහු විදේශ රටවල් ගණනාවකදීම විෂයන් රැසක් පිළිබඳව අධ්‍යාපනය ලබා තිබේ.
වියත් මග සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියා කළ ඔහු අවස්ථා ගණනාවකදීම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. මොනරාගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් ඒ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පැමිණි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 1,04,729 ලබා ගත් අතර ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
කලක සිට ක්‍රියාකාරී දේශපාලනයේ නියැළී සිටින ඔහු හිටපු කතානායකවරයකු මෙන් ම ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂගේ පුත්‍රයා ය. ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා වශයෙන් ද ක්‍රියා කළ ඔහු මෙවර රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් ද දිවුරුම් දෙනු ලැබීය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ කපිල නුවන් අතුකෝරල ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මනාප ඡන්ද 30,056 ලබා ගනිමින් ය. ඔහු කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. කොටි ත්‍රස්තවාදී ගැටුම් නිසා මෙම පාසල වසා දැමූ අතර ඔහු පසුව ගම්පහ බණ්ඩාරනායක සහ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලවලින් වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබේ. ඔහුගේ පියා කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මිය ගොස් ඇත. යළි ත්‍රිකුණාමලයට ගිය ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී ජනතාවගේ සුබසිද්ධීන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති පුද්ගලයෙකි.
දකුණු පළාත් සභාවේ මහ ඇමැති ධුරය අවස්ථා කිහිපයකදීම තේරී පත් වූ ෂාන් විජයලාල් මනාප ඡන්ද 67,793 ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් විය. 1993 දී ප්‍රථම වරට දකුණු පළාත් සභාවට තේරී පත්වූ ඔහු 2004 වසරේදී දකුණු පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර ඔහු වෘත්තිය ගුරුවරයකි. පසුව රේගු නිලධාරියෙකු වශයෙන් ද ඔහු සේවය කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තවත් නවකයෙකු ලෙස ඉසුරු දොඩංගොඩ මහතා මනාප 71,246 ලබා තිබේ. දකුණු පළාතේ මහ ඇමැතිවරයකු මෙන් ම පාර්ලිමේන්තුවේ නියෝජනය කළ කීර්තිමත් නාමයක් හිමිව තිබූ හිටපු ඇමැතිවරයකු වූ දිවංගත අමරසිරි දොඩංගොඩ ගේ පුත්‍රයා වන ඉසුරු දොඩංගොඩ මහ මැතිවරණයට ඉදිරිපත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු එංගලන්තයේ ග්රින්විව් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිය ලබා ඇත.
ඉසුරු දොඩංගොඩ මීට පෙර දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් 2014 දී පළාත් සභාව නියෝජනය කර තිබේ. පොදුජන පෙරමුණ ආරම්භ කළ අවස්ථාවේ සිට එහි ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.
සම්පත් අතුකෝරල මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී පෙරළිකාර ජයග්‍රහණයක් ලබාගත්තේ ය. ඔහු මනාප 128,332 ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවැනියා වශයෙන් තේරී පත් විය. පිටිගල විද්‍යාදර්ශ විද්‍යාලයෙන් හත්තක මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
1997 වසරේදී නියාගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වී 2006 වසරේදී එම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් වූ නිපුණ රණවක මහතා එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ළාබාලතමයාය. මනාප 131,010 ලබාගත් ඔහු පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් අතර ඉදිරියෙන් ම සිටි තරුණයෙකි. දෙනියාය කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් වැඩි දුර අධ්‍යාපනය හදාරා තිබේ. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විශේෂ උපාධියක් ලබාගෙන ඇති අතර වසර ගණනාවක සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වී ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 77,967 ලබාගත් වීරසුමන වීරසිංහ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් හිමිකර ගත්ත ද ඔහු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් වාමාංශික දේශපාලනය තුළ අත්දැකීම් බහුල කෘතහස්ත දේශපාලනඥයෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට මනාප 141,991 ලබා ගනිමින් තේරී පත්වූ ගුණපාල රත්නසේකර මහතා ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
විවිධ අංශ ඔස්සේ අධ්‍යාපනය ලබා ඇති රත්නසේකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී කළමනාකරණය විශේෂවේදී උපාධියක් ලබා තිබේ. රජයේ විගණකාධිපති පරීක්ෂකවරයෙක් ලෙසත් අපනයන පාලක දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකු ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප 133,980 ක් ලබාගත් මහාචාර්ය චන්න ජයසුමන උතුරුමැද වකුගඩු රෝගය හා ඖෂධ නිෂ්පාදනය සම්බන්ධව පරීක්ෂණ රැසක් සිදු කළ පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ දැනට සිටින ළාබාලතම මහාචාර්යවරයකු වන ඔහු වියත් මග සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මෙරට තුළ අනවසර මෙන් ම නීතියට පිටින් සිදුවූ ඖෂධ වෙළෙඳාමට එරෙහිව විරෝධතාවයන් රැසක් ගෙන ගිය මහාචාර්යවරයාට රාජ්‍ය ඇමැතිකමක් ද හිමි විය.
මෙම දිස්ත්‍රික්කයෙන් ම මනාප 133,550 ලබාගත් ප්‍රවීණ රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මෙරට කලා ක්ෂේත්රයට තම ජීවිත කාලයම කැප කළ තරුණයෙකි. ඔහු මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය වූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් අබිබවා මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය ලබාගැනීමට සමත් වූහ. අනුරපුරයෙන් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වූ රෝහණ බණ්ඩාර මහතාද අලුත් මුහුනකි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 69,055 ලබාගත් ප්‍රේමනාත් සී. දොළවත්ත මැතිවරණයකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඔහු වසර ගණනාවක සිට පොදුජන පෙරමුණට සම්බන්ධ නීතිමය කටයුතුවලදී නීතිඥයකු වශයෙන් සේවය ලබාදී ඇත. ඉකුත් යහපාලන රජය පැවැති සමයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව එම රජය ගෙන ගිය අසාධාරණ තීන්දු තීරණවලට පෙනී සිටි දොළවත්ත මහතා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබීය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 91,958 ලබාගත් ප්‍රදීප් උඳුගොඩ දක්ෂ රණවිරුවකු වන අතර අවසන් වරට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු ලෙස සේවය කර ඇත. යුද හමුදා ක්‍රියාන්විතයන්හිදී තුවාල ලබා ඇති උඳුගොඩ කොටි ත්රස්තවාදීන්ට එරෙහිව පැවැති මෙහෙයුම්වලදී දක්ෂ ලෙස සිය කණ්ඩායම මෙහෙයවූ හමුදා නිලධාරියෙකි. වියත් මගට සම්බන්ධ වී කාලීන දේශපාලනයට පැමිණ ඇත. පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප 22392 ලබා ගත් කිංස් නෙල්සන් සමගි ජන බලවේගය නියෝජනය කරයි.
පොලොන්නරුව, කඳුරුවෙල නගර මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් ද, කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා ඇත. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් ද හදාරා ඇති කිංස් නෙල්සන් පොලොන්නරුවේ හිටපු ඇමැතිවරයකු වූ දිවංගත ජී.පී. නෙල්සන්ගේ පුත්‍රයා වන අතර ඔහු 2004 වසරේදී පළාත් සභා මැතිවරණයට තරග කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 51134 ලබාගත් යූ.කේ. සුමිත් උඩුකුඹුර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ප්‍රථම වතාවටය.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් සේවය කර තිබේ. 2005 වසරේදී ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙසටත් 2011 සහ 2018 වසරවලදී ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත. මහ මැතිවරණයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ අලුත් මුහුණු සියල්ලන්ම උගත් බුද්ධිමත් මෙන් ම වෘත්තීය අත්දැකීම් ඇති පිරිසක් බව සඳහන් කළ යුතුය.