නළ ළිං ගැන බලන්න කිසිම ආයතනයක් නැහැ | සිළුමිණ

නළ ළිං ගැන බලන්න කිසිම ආයතනයක් නැහැ

 අපේ රට ඇතුළත නළ ළිං ඉදිකිරීමට කිසිම ප්‍රමිතියක් නැති බවත් ඉවක් බවක් නැතිව නළ ළිං ඉදිකිරීම පාලනයට හා නියාමනයට බලයලත් කිසිම රාජ්‍ය ආයතනයක් අපේ රටේ නැති බවත් සිළුමිණ කළ ගවේෂණයකදී හෙළිවිය.

මේ නිසා මේ වන විට නළං ළිං ඉදිකරන පුද්ගලයන්ටත් අවට පුද්ගලයන්ටත් ගැටලු රැසක් පැන නැඟී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ භූගත ජල අංශයේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ පිටරටවල නළ ළිං ඉදිකිරීම හා පවත්වාගෙන යාම නියාමනයට වෙනම බලයලත් ආයතන පවත්වාගෙන යන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි ආයතනයක් නොමැති බවයි. මෙරට ජල සම්පත අවිධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීමට නළං ළිං ඉදිකිරීම පාලනයට හා නියාමනයට වෙනම ආයතනයක් අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ ඉහළ නිලධාරියා පවසයි.

නළ ළිංවලින් සමහර ස්ථානවල වැඩි භූගත ජලය ප්‍රමාණ්‍යක් ලබා ගැනීම නිසා ඒ ඒ ප්‍රදේශවල භූගත ජල මට්ටම අඩු වී ඇති බවද එම ඉහළ නිලධාරියා පවසයි.

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නළ ළිං ඉදිකරන විට නියමිත පරීක්ෂණ කර අවට භූගත ජලයට හානියක් නොවන පරිදි එය ඉදිකරන නමුත් පෞද්ගලික ආයතන රටපුරා කිසිම ප්‍රමිතියක් නැතිව නළ ළිං ඉදිකරන බවත් ඒ පිළිබඳව සොයා බැලීමට කිසිම බලතල ලත් ආයතනයක් නොමැති බවත් ඒ නිලධාරියා සඳහන් කළේය.

මේ අතර මේ පිළිබඳව ජල සම්පත් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එස්. විජේසේකර මහතා පැවසුවේ නළ ළිං පාලනයට, නියාමනයට දැනට නීති නැති බවයි. කෙසේ වුවත් ඊට අදාළ නීති රීති දැනට සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පවරා ඇති බවද විජේසේකර මහතා පැවසීය.

ධාරිතාව වැඩි නළ ළිං ගැසීම නිසා අවට ගෙවතුවල භූගත ජල මට්ටම අඩුවීම පිළිබඳව මාධ්‍ය වාර්තා කර ඇත. ඒ ගැටලු නිසා ඒ ඒ ප්‍රදේශවල ජනතාව අතර ගැටුම් ඇති වී ඇති අතර පසුව ඒවා පොලිසිය මැදිහත්වී සමථයකට පත්කර ඇති බවද වාර්තා වේ. 

Comments