පත්තර මහගෙදරින් රට ම හෙල්ලූ මහා යුග පුරුෂයා | සිළුමිණ

පත්තර මහගෙදරින් රට ම හෙල්ලූ මහා යුග පුරුෂයා

 

පෙබරවාරි 23 වැනිදාට යෙදෙන ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 131 වැනි ජන්ම සමරුව වෙනුවෙනි.

සුදු අධිරාජ්‍ය සමයේ රටේ නිදහස හා අපේකම මෙන් ම ජාතික වාත්සල්‍යය සුරැකීමට දේශමාමකයන් තම සේවාව ඉටු කරද්දි සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් මඟින් මෙරට නිදහස දිනා ගැනීමට පුළුල් කාර්යභාරයක් ඉටු කළ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා අප රටට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විශිෂ්ට සේවයක් කළ ජාති හිතෛෂියෙකි.

1928 - 1929 වකවානුවේ ඉදි කළ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වූ එතුමා මෙරට වාණිජ පුවත්පත් කර්මාන්තයේත් වාණිජ ඡායාරූප කර්මාන්තයේත් ද නිර්මාතෘවරයාණන් බව කීම අතිශයෝක්තියක් නොවේ.

එතුමාගේ ව්‍යාපාරික ඥානය අනුව 1914 දී ‘දිනමිණ’ පුවත්පත මිලට ගෙන අපේ රටේ පුවත්පත් මුද්‍රණය වාණිජ පුවත්පත් කර්මාන්තයක්, වාණිජ පුවත්පත් කලාවක් බවට දියුණු කළේ නැත්නම් අද මෙරට මෙතරම් දියුණු වාණිජ පුවත්පත් කර්මාන්තයක් පවතින්නේ නැත.

අද තොරතුරු විකිණීමේ කර්මාන්තය, අන්තර්ජාල, මුහුණුපොත ලොව ඉහළම ආදායම උපදවන කාර්මාන්තයක් වුවත් මීට වසර 103ක් තරම් පෙර තොරතුරු විකිණීමේ සංකල්පයක් බිහිව නොතිබූ සමයක එතුමා පුවත්පත් කර්මාන්තය අදායම් ඉපදවීමට හැකි අලුත් ක්ෂේත්‍රයක් ලෙස බිය නැතිව හඳුනා ගනිමින් මෙරට වාණිජ පුවත්පත් කර්මාන්තයේ නියමුවා ලෙස ලේක්හවුස් ආයතනය පිහිටුවා පුවත්පත් ගණනාවක් මඟින් දේශමාමක අදහස් රටපුරා ගෙන ගියේය.

අද අපේ රටේ තිබෙන තොරතුරු අලෙවි කරන ආයතන තොරතුරු අලෙවිය ඇරැඹුයේ මීට වසර 5 - 6 කට පමණ පෙරය. නමුත් තොරතුරු අලෙවියෙන් ලාභයක් සමාජ ශෝධනයක් ද සමාජ විප්ලවයක්ද ඇති කළ හැකි බව ලේක්හවුස් නිර්මාතෘ විජයවර්ධන ශ්‍රීමතාණන්ට පසක් වුණේ මීට වසර 103කට පෙරය.

එදා පුවත්පත් කර්මාන්තයට තොරතුරු අලෙවියට අපේ රටේ පූර්වාදර්ශ තිබුණේ නැත. එවැනි වකවානුවක මෙරට ප්‍රථම වාණිජ පුවත්පත් කර්මාන්තය ලේක්හවුස් ආයතනය ඔස්සේ ආරම්භ කළේ හුදෙක් වාණිජ පරමාර්ථ උදෙසා ලාභ ලබා ගැනීමට වඩා රටේ ජනතාව දැනුමෙන් සාරධර්ම මඟින්, රසවින්දනයකින් හා රටට ආවේණික සංස්කෘතිකාංගවලින් පෝෂණය කර රටට නිදහස ලබා ගැනීමේ පුළුල් පරමාර්ථය ද ඇතිව බව විද්වතුන්ගේ අදහසයි. ඒ අනුව එතුමා 1914 දී මෙරට ප්‍රථම පුවත්පත් කර්මාන්තය සමඟ දිනමිණ පුවත්පත මිලදී ගත්තේය. රටට නිදහස ලබා ගැනීමට උර දෙන ජාතික පුනරුද ව්‍යාපාරයද ආරම්භ කළේය.

1886 පෙබරවාරි 23 වැනිදා උපන් මෙතුමාගේ පියාණන් වූයේ දොන් පිලිප් විජයවර්ධන මහතාය. මව හෙලේනා විජයවර්ධන මහත්මියයි. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබ මවු රටට පැමිණියේ අධිනීතිඥවරයකු ලෙසයි.

එතුමා මෙරටට පැමිණෙන විට තනිකරම මෙරට තිබුණේ ඉංග්‍රීසි පුවත්පත් අධිරාජ්‍යයකි. එහෙත් රටේ බහුතරය ශ්‍රී ලාංකික සිංහල ජනතාව විය. ඔවුන්ට කියවීමට සිංහල බෞද්ධයා, සරසවි සඳරැස වැනි පුවත්පත් තිබුණද ඒවා බෙදා හැරියේ රටේ ප්‍රධාන නගර කීපයකට පමණි. ඒ අනුව ඉංග්‍රීසි නොදත් සිංහල ජනතාවට කියවීමට සාරගර්භ ජනප්‍රිය දැනුම වඩවන රටට ම බෙදාහරින සිංහල පුවත්පතක් අපේ රටේ නොවීය.

ඒ අඩුපාඩුව මඟ අරවමින් 1909 දි ආරම්භ කර තිබූ ‘දිනමිණ’ දිනපතා සිංහල පුවත්පත 1914 දි මිල දී ගෙන එය පවත්වාගෙන යෑමට ඩී.ආර්. විජයවර්ධන මහතා කටයුතු කළේය.

පසුව මෙතුමා 1918 දි ‘සීලනීස්’ ඉංග්‍රීසි පුවත්පත මිලට ගෙන ‘ඩේලි නිවුස්’ වශයෙන් නම වෙනස් කර මෙරට ජනප්‍රියම ඉංග්‍රීසි පුවත්පත ලෙස ජනතාව අතරට රැගෙන ගියේය. ඊට පසු 1923 දී යුරෝපීයන් සතුව තිබූ ‘ඔබ්සර්වර්’ පුවත්පතද මිලට ගැනීමට එතුමාට අවස්ථාව ලැබුණේ මෙරට වාණිජ පුවත්පත් කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ විශාලතම සමාගම ඇරඹීමට සූදානම් වෙමිනි.

පසුව විවිධ තැන්වල ස්ථානගතව තිබූ දිනමිණ ඩේලිනිවුස් දැන්වීම් අංශ හා කාර්යාල කටයුතු එකට එක් කිරීම තම ව්‍යාපාරයට ඉතා ලාභදායි බව විජයවර්ධන ශ්‍රීමතාණන්ට පෙනී ගියේය. ඒ අනුව කොළඹ කොටුවේ බේරේ වැව අසල තිබූ කදිම සුන්දර භූමි භාගයක ලේක්හවුස් මන්දිරය ඉදි කරන්නේ 1928 - 1929 වකවානුවේය. 1929 දි මෙරට ප්‍රථම මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය 'ලේක්හවුස්' නමින් එකම වහලක් යටතේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.

විජයවර්ධන පරම්පරාවට තිබූ ඉඩකඩම් අනුව වෙනත් ලාභ අධික ව්‍යාපාරයක් මඟින් මුදල් ඉපයීමට අවස්ථාව තිබුණු නමුත් එතුමා මෙරට ප්‍රථම වරට මහා පරිමාණ පුවත්පත් කර්මාන්තයට මුදල් යෙදවූයේ දේශ හිතෛෂි අරමුණු රැසක් ඉටු කර ගැනීමට බව පැහැදිලි වේ.

රටට නිදහස ලබා ගැනීම, දේශීය කලා ශිල්ප ඔප නැංවීම, මෙරට උගත් බුද්ධිමත් සිංහල භාෂාව පිළිබඳව දැනුමක් හැඟීමක් ඇති නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීම දේශානුරාගය ඔප නැංවීම ඒ අරමුණු අතර වේ.

විශේෂයෙන් ගමේ නගරයේ සිංහල ජනතාවට සත්‍ය තොරතුරු ඉක්මනින් ලබාදීම ආදිය ගැබ් වූ ආර්ථික ව්‍යාපාරික ඥානයක් එතුමා තුළ තිබූ බවද පෙන්වා දිය හැකිය.

‍‍ලේක්හවුස් ආයතනය ආරම්භ කළ පසු එතුමා 1930 මාර්තු 30 වැනිදා මෙරට තවමත් ජනප්‍රිය සතිපතා ඉරිදා සිංහල පුවත්පත ලෙස සිළුමිණ ආරම්භ කළේය. එදා සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස බාල, තරුණ, මහලු ප්‍රබුද්ධ විද්වත්හු සියලු ජනතාවට දැනුම අවබෝධය අධ්‍යාපනය වින්දනය ලබා දුන් ‘සිළුමිණ’ පුවත්පත අදත් එලෙසම මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ රන් ඔටුන්න ලෙස විරාජමානව වැජඹීම අප සැමගේ සතුටට කරුණකි. ඊට පසු 1932 දි ‘තිනකරන්’ පුවත්පතද ඊට පසු තවත් සතිපතා පුවත්පත් ගණනාවක් ද ආරම්භ කිරීමට එතුමා කටයුතු කළේ මෙරට පුවත්පත් වැඩිම ගණනක් මුද්‍රණය කරන පුවත්පත් ආයතනය බවට ‍ලේක්හවුස් ආයතනය පත් කරමිනි.

ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා ‍ලේක්හවුස් මන්දිරය ඉදි කිරීමෙන් පුවත්පත් මුද්‍රණය කිරීම පමණක් නොව කොළඹ කොටුවට කලාගාරයක් බඳු දේශීය සම්ප්‍රදායට අනුගතව ඉදිකළ මන්දිරයක් ද ලක් ජනතාවට පිරිනැමීය. ලේක්හවුස් ආයතනයේ එදත් අදත් ඇති, සඳකඩ පහණ සහ නෙලුම්මල් මෝස්තර, නාරිලතා මෝස්තර, කොරවක්ගල් මඟින් පෙන්නුම් කරන්නේ ලේක්හවුස් ආයතනය අපේ කලා ශිල්පවලට ද ප්‍රමුඛත්වයක් දී ඇති බවයි.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස් සටන හා ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ද කළ මෙහෙය ද ඉතා ඉහළය.

මෙතුමා සතුව තිබූ දියතලාවේ ආකේඩියා මන්දිරය නිදහස දිනා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට යොදා ගැනිණි. සෝල්බරි සාමිවරයා ඇතුළු පිරිස ලංකාවට නිදහස ලබා දීමට කරුණු සොයා ආ ගමනේදී සාකච්ඡා පවත්වනු ලැබුවේ මෙහිදීය.

ග්‍රාමීය ප්‍රදේශවල පාඨශාලා පිහිටුවා ශ්‍රී ලාංකික දරුවන් දැනුමින් අධ්‍යාපනයෙන් පොහොසත් කිරීමට හා දිළිඳු ජනතාවට පිහිට වීමට මෙතුමා කැප වී ක්‍රියා කළේය.

මෙරට සරසවි අඩු වකවානුවේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැඟීම ද සිදු කරනු ලැබුවේ විජයවර්ධන මහතා විසින්මය. ඊට පසුව එතුමා පේරාදෙණිය සරසවියේ සංඝාරාමයක් ද ඉදි කළේය.

ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා මෙරට පුවත්පත් කර්මාන්තයේ තවත් පියවරක් ලෙස තම ආයතනය මුද්‍රණය කරන පුවත්පත් අලුයම හිරු නැගෙන විටම පාඨක ජනතාවගේ නි‍ෙවසටම ගෙන යෑමට පියවර ගත්තේය. ඒ අනුව ලේක්හවුස් ආයතනය බස් රථ ලොරි රථ හා මෝටර් රථ මඟින් සවස 6 සිට අලුයම 4 දක්වා රටේ හැම අස්සක් මුල්ලක් නෑරම තම පුවත්පත් සැපයීමට පියවර ගත්තේය. පසුව ඒ පුවත්පත් ඒජන්සිකරුවන් මඟින් අදාළ පාඨක ජනතාව වෙතට යැවීමට පියවර ගත්තේ තම පුවත්පත් අලෙවියද වැඩි කර ගනිමිනි.

ඒ අනුව ලේක්හවුස් ආයතනයේ වාහන 15ක් - 20ක් මඟින් මුළු රටටම පුවත්පත් බෙදා හරිනු ලැබූ මේ සුවිශේෂ ප්‍රවාහන ක්‍රමයට කිසිම පරමාදර්ශයක් තිබුණේ නැත. එහෙත් ඊට පසු මෙරට පිහිටුවූ අන් සියලු පුවත්පත් ආයතනවලට මේ පුවත්පත් ප්‍රවාහන ක්‍රමවේදය පරමාදර්ශයක් විය.

‍ෙම් අනුව ඩී.ආර්. විජයවර්ධන සූරින්ගේ ව්‍යාපාරික ඥානය හා සංවිධානාත්මක හැකියාව නොතිබුණා නම් අද තරම් අපේ රටේ වාණිජ පුවත්පත් ආයතන මෙරට ඇතුළත බිහි වන්නේ නැත. අද තරම් දක්ෂ සිංහල ඉංග්‍රිසි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පන් බිහි වන්නේ ද නැත.

මේ අනුව ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා අපේ රටට කළ සේවය මෙරට පුවත්පත් කලාවේ පුවත්පත් කර්මාන්තයේ පමණක් නොව නිදහස් අරගලයේ ද කාර්යක්ෂම නායකත්ව මෙහෙයවීමක් විය.

එතුමා ආරම්භ කළ පුවත්පත් හා ලේක්හවුස් ආයතනය නොතිබුණා නම් හා එතුමාගේ වැඩපිළිවෙළ රටට නොලැබුණා නම් අපේ රටට මෙතරම් ඉක්මනින් නිදහස ලැබෙන්නේ ද නැත. මෙතරම් ඉක්මනට පුවත්පත් කර්මාන්තයේ වත්මන් දියුණුව හා නව තාක්ෂණය ලැබෙන්නේ ද නැත. එතුමා කළ ඒ මෙහෙයට ලේක්හවුස් සේවකයන් වන අපිත් සදා ණය ගැති වෙමු.

 

Comments