ගම ඇතුළේ තුංමංහංදියට උදා එළිය වැටුණේ ය. ඊට ද කලින් ඇහැරී සිටි එතැන ආප්ප කඩයේ පොල්අතු පියැස්සෙන් උඩට දුම් නැගෙමින් තිබිණ.
පරණ සරම් කඩමාල්ලත්, කුණු තැවරුණු ටී ෂර්ට් එකත් හැඳි කළු තිලකේ ඈනුමක් අරිමින් කඩපිලට ගොඩ වූයේ ය. එහි පැත්තකට බාන ලද පියැස්ස යට ආප්පම්මා සුදු ආප්ප උයමින් සිටියා ය. ඈ පසෙක තිබූ වට්ටියේ රත්තරං පාටට ඔප වැටුණු ආප්ප තට්ටුවක් ගොඩ නැගී තිබිණ.
උන්දෑ ළඟ ම ඇනබාගත් කළු තිලකේ උඩ ම තිබූ උණු උණු ආප්පය ගෙන දෙකට ඉරා බාගයක් සිය මුව තුළට ලා ගත්තේ ය. ටිකකින් ඉතිරි බාගය ද මුවෙහි ලා ගත් ඔහු ඊළඟ ආප්පය ද අතට ගන්නා විට ආප්පම්මා දැවී පිච්චී යන බැල්මක් හෙළුවා ය.
“හැන්දෑවට සල්ලි දෙන්නං ආප්පම්මෙ”
කළු තිලකේ නැගිට්ටේ කඩ බක්කියෙහි තිබූ රතුලූනු ගොඩෙන් ගෙඩියක් ගෙන හපා පිට පොත්ත “පුහ්” හා පිටතට විදින ගමන් මදය මුවෙහි ලාගනිමිනි. අනතුරු ව ඔහු දෙවන ආප්පයේ බාගයක් ද ඉරා මුවෙහි ලාගන්නා ගමන් පාර පැත්තට ආවේ ය.
ඒ වන විටත් පොඩි රංජියා පැමිණ බෝක්කුව උඩ ඉඳ ගෙන සිටියේ ය. ඔහු කළු තිලකේ ගේ අතේ තිබුණු අප්ප බාගයට කෙළ හැළුවේ ය.
“ඔය කෑල්ල මට දීපං!”
“අර ආප්පම්ම ළඟ ඕනතරං තියෙන්නෙ. ගිහිං ඉල්ල ගනිං!” කළු තිලකේ කට පුරවා ගත්වන ම කීවේ ය.
“කොහොම ඉල්ලන්ඩද තිලකෙ අයියෙ? ඊයෙ කාපුවට සල්ලි දුන්නෙත් නෑනෙ. අදවත් වැඩක් එයිද කියල බල බල මං මේ ඉන්නෙ”
කළු තිලකේ ඉන් පසු කිසි කතාවක් නැතුව ආප්ප බාගය සගයාට දී ඔහු ළඟින් ම ඉඳ ගත්තේ ය. ආප්ප බාගය පොඩි රංජියා ගේ උගුරටත් නොදැනී පාතට බැස්සේ ය.
ළමයි පාසල් යමින් සිටියහ. සෙස්සෝ වැඩට පළට යමින් උන්හ. මේ කිසිවෙක් බෝක්කුව මත හිඳ සිටි පාදඩයන් දෙස නොබැලීමට පරිස්සම් වූහ. ඔවුන් ගේ ඇස නොගැටෙන පරිදි පාදඩයන් දෙදෙනා ද හිඳ සිටියේ බිම බලාගෙන ය.
“අපිත් ඉස්කෝලෙන් කට්ටි නොපැන හොඳට ඉගෙන ගත්ත නං අද මේ බෝක්කුව උඩ නොඉඳ ඔය වගේ හැඩට වැදගත් වැඩකට යනව නේද බං?”
“ඕව ගැන හිතන්ඩ දැං පරක්කු වැඩියි බං”
පාපැදියක් ඔවුන් දෙදෙනා ළඟ නතර වූයේ ඔය අතර ය. හිස් ඔසවා බැලූ ඔවුනට දැක ගත හැකි වූයේ නොඉවසිලිමත් ගතියකින් පසු වූ අසල්වැසි ගමක වැඩිහිටියෙකි.
“මිනීවළක් කප්පවගන්ඩ තියෙනව. යංද? ” මිනිසා දෙදෙනා ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ය.
“යං” දෙදෙනා ම කීහ.
“කුලිය කීයක් විතර වෙයිද?”
දෙදෙනා මොහොතක් මුහුණට මුහණ බලා ගත්හ. හිනාවක් නැගුණේ ඉබේ ම ය.
“මිනිහෙක් මැරුණම වළලන්ඩ වළ කපල දීල සල්ලිත් ගන්ඩ පුළුවංද මාමෙ?” රංජියා නැගිට්ටේ ය. “අපිත් මැරෙන උං හින්ද ඕකට සල්ලි ගන්ඩ බෑ. හැබැයි අපේ අතෙත් සතේ නැති හින්ද කැමැත්තෙං ඔය කීයක් හරි දෙනව නං ගන්නං!”
මළ ගෙදර ගිය ඔවුනට කුස පුරා අහර ලැබිණ. මිනියට වැඳ ගෞරව කළ ඔවුහු උදලු ද තාච්චි ද ගෙන ගේ මුල් උළුවස්සෙන්ම මිදුලට බැස්සේ චාරිත්‍රයක් වශයෙනි. මළ ගෙදර සිටි ගම්වැසියන් ඔවුන් දෙදෙනා දෙස බැලුවේ බිය මුසු ගෞරවයකිනි. ඔවුන් වෙනුවෙන් ත්‍රීරෝද රියක් සූදානමින් තිබිණ. ඔවුහු විටක් ද හපමින් එහි නැගුණහ.
කනත්තට ගිය ඔවුහු සුදුසු තැනක් බලා වළ කපන්නට පටන් ගත්හ. මළ ගෙදර ඇත්තෝ ඔවුනට අමතර කෑම බීම ද, බුලත් විට ද, සැර බීම ද සැපයූහ.
වළ බාගෙට කැපෙන විට ඉතිරි ව සිටියේ ඔවුන් දෙදෙනා පමණි. වෙරිමතින් පදම් ව සිටි කළු තිලකේ පස් කපා තාච්චිය පුරවා උඩට ඉස්සුවේ ය. ගොඩ සිටි පොඩි රංජියා නැමී එය ගෙන වළ වටා දැම්මේ ය.
වළේ පසෙකින් පැරණි හිස් කබලක් මතු වූයේ ඔය අතර ය. කළු තිලකේ වැඩ පසෙක දමා එය දෑතට ගත්තේ ය.
“ඔන්න ඕක විසිකරල දාල වැඩේ ඉවරයක් කරමු තිලකෙ අයියෙ”
“රංජියො උඹ දන්නවද මේ කව්ද කියල?”
“මං කොහොමද දන්නෙ?”
“උඹ දන්නෙ නෑ තමයි. උඹ මේ ඊයෙ පෙරේද ඉපදිච්ච එකානෙ. යකෝ මේ ඉන්නෙ බිසෝ ආච්චි! උන්දැගෙ මිනිය ඒ කාලෙ වැළලුවෙ මෙතන. මට දැනුයි ඒක මතක් උණේ! අනේ උන්දැට වෙච්ච දේ!” තිලකේ වෙරිපිට අඬන්නට තියා ගත්තේ ය.
“බිසෝ ආච්චි දැං මැරිල ඉවරයිනෙ. ඔය තියෙන්නෙ වැඩකට නැති ඔළු කට්ටනෙ. ඔන්න ඕක විසිකරල දාල වැඩේ කරමු”
“උඹ මොනවද දන්නෙ? යකෝ ඒ කාලෙ අපි ඉස්කෝලෙං කට්ටි පැනල කැලේ පනිනව. ඒ ගමං බිසෝ ආච්චිගෙ වත්තටත් හොරෙං ගිහිං පැණි නාරං කඩනව. උන්දැ හොඳටම නාකි හින්ද අපිව අඳුරගන්ඩ බෑ. උන්දැ හිතන්නෙ ගහේ ඉන්නෙ රිළව් කියල. මං රිළව් එළවන්ඩ වාගෙ කෑගහගෙන ගහ හොල්ලනව. එතකොට ඉදිච්ච නාරං බිමට වැටෙනව. ඒ එක්කම මං ගහෙං බිමට පැනල ‘‘ඔන්න ආච්චියෙ, අපි රිළව් ටික එළෙව්ව. ඒකට හරියන්ඩ නාරං දෙන්ඩ” කියනව. උන්දැ රැවටිලා අපිට අර නාරං ගොඩෙං බාගයක්ම දෙනව. අනේ අපි උන්දැව රවට්ටපු හැටි! උන්දැ දිවිය ලෝකෙම යන්ඩ ඕනැ බං!”
ඊයේ පෙරේදා කළු තිලකේ මිය ගියේ ය. ජීවිත කාලයක් ම ගමේත් අල්ලපු ගම්වලත් මිනී වළවල් කැපූ ඔහුගේ මිනීවළ කැපීමට මිනිහකු සොයාගත නොහැකි විය. පොඩි රංජි බඳු ඔහුගේ සහචරයෝ ද එක එක වැරදිවලට පොලිස් කූඩුවල හිර වී උන්හ.
“යං අපි වළ කපමු!” මම මිතුරන්ට යෝජනා කළෙමි. ඔවුන් හැමෝම “හා” කී නමුත් මා සමඟ කනත්තට යෑමට හිටියේ මගේ හිතවත් ම මිතුරන් දෙදෙනා පමණි.
කළු තිලකේගේ භූමදානය හත්අට දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු විය.
ජීවත් ව සිටියදී මෙන් ම මිය ගිය පසු ද මහා සමාජයෙන් කොන් වී සිටි ඔහු ගැන මා තුළ ඇත්තේ මහා කනගාටුවකි.
(අන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි)