‍විජේ “800” ඉවත් වෙයි ද? | සිළුමිණ

‍විජේ “800” ඉවත් වෙයි ද?

 

 

මුත්තයියා මුරලිදරන් (උපත 1972 අප්‍රේල් 17) ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නෙකි. හෙතෙම 1992 – 2011 අතර කාලයේදී අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුපිරි දක්ෂතා දැක්වීය. ඒ දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වශයෙනි. එහිදී ඔහු ටෙස්ට් කඩුලු 800 ක් දවාලුවේය. එමෙන්ම එක්දින කඩුලු 534 ක් දවා ගත්තේය. මෙම දස්කම් සුවිශේෂිතයි. ඒ ලෝක වාර්තා වන බැවිනි. මුරලි මීට අමතරව එක්දින 1996 ලෝක කුසලාන ශුරතාව සහ 2007 මෙන්ම 2011 ලෝක කුසලාන අනුශුරතාත් හිමිකර ගත්තේය. ඔහු 1999 විස්ඩන් වසරේ ක්‍රීඩකයාත් වුයේය.

 

මෙසේ වාර්තාගත වූ මුරලිගේ ක්‍රිකට් දිවිය කිසිසේත්ම සුන්දර වූයේ නැත. විශේෂයෙන්ම ඔහු පන්දුව දමා ගසන බවට ඔස්ට්‍රේලියානු විනිසුරුවන් වූ ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බැවිනි. පසුව විවිධ පරීක්ෂණවලට සහභාගි වෙමින් සිය නිර්දෝෂි බව සනාථ කිරීමට මුරලිට සිදු වුයේය. අවසානයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් මුරලිගේ පන්දු යැවීම නිවැරදි බවට තීරණය කළේය.

 

එසේ වුවත් තවමත් ඔහු‍ෙග් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ මත දෙකක් පවතියි. කෙසේ වෙතත් මුරලි ක්‍රීඩා කරන විට මුහුණදීමට සිදු වූ ගැටළුවලට වෙනත් ක්‍රීඩකයකු ලක් වූයේ නම් ඔහුගේ ක්‍රීඩා දිවිය අකාලයේ නිමා වනු නියතයි.

 

නමුත් මුරලි ක්‍රිකට් පිටියේ ගැටළුවලට සාර්ථකව පිළිතුරු දුන්නේය. ඒ සඳහා විශේෂයෙන්ම එවකට නායකයා වූ අර්ජුන රණතුංග ප්‍රමුඛ සෙසු ක්‍රීඩකයන්ගෙන්ද ඔහුට ලැබුණේ අතිවිශාල සහයෝගයකි. එමෙන්ම එවකට ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිකට් ලෝලින්ද මුරලිට විශාල ශක්තියක් වූහ. ක්‍රිකට් ලොව ආදර්ශමත් තරුවක් වූ මුරලිගේ ජීවිත කතාව සිනමාවට නැගීමට ඉන්දීය අධ්‍යක්ෂවරයකු වූ එම්.එස්.ශ්‍රීපාති තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරය. මේ චිත්‍රපටය නම් කර තිබෙන්නේ ‘800’ නමින්ය.

 

‘800’ චිත්‍රපටය ලබන වසරේ අගභාගයේදී ප්‍රදර්ශනයට නියමිතය. එසේ වුවත් දැන් මේ චිත්‍රපටය නිර්මාණය වීම ගැන ගැටළුවක් ඇති වී තිබේ. ඒ ඉන්දියාවේ දමිල හිතවාදී කණ්ඩායම් කිහිපයක් විසින් මෙම චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දීමට තෝරා ගෙන සිටින දකුණු ඉන්දීය නළු නිළියන්ට එයින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙන බවට වාර්තා වී තිබෙන නිසාවෙනි.

 

මෙම චිත්‍රපටයේ මුරලිගේ චරිතය රඟපෑමට තෝරා ගෙන තිබෙන්නේ විජේ සේතුපති නැමැති දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකි. ‘800’ චිත්‍රපටියේ රඟපෑමට නියමිත නළු නිළියන්ට විවිධ බලපෑම් කරන බවට හෙළිවුයේ විජේ විසින් ඔස්ට්‍රේලියාවේ දමිළ ගුවන් විදුලි සේවයක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ ගැන පැවසූ බැවිනි.

 

“චිත්‍රපටයේ තිර රචනයට මම කැමතියි. එමෙන්ම මුරලි වගේ විශිෂ්ටයකුගේ ජීවිත කතාව රැගත් සිනමා පටයකට සම්බන්ධ වීමට ලැබීම මගේ වාසනාවක්. කුමන බලපෑම් එල්ල වුවත් මම නම් මේ චිත්‍රපටයෙන් ඉවත් වෙන්නේ නැහැ. 41 හැවිරිදි විජේ ඉහත සාකච්ඡාවේදී පවසා ඇත.

 

‘800’ චිත්‍රපටයේ රූ ගත කිරීම් ඉන්දියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකදී සිදු කිරීමට නියමිතයි. මෙය දමිළ චිත්‍රපටයකි. එසේ වුවත් තවත් භාෂා කිහිපයකිනුත් එය තිරගත කරනු ඇත. “මෙය මට රඟපාන්නට වූ අභියෝගාත්මක චරිතයක්. මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන අධ්‍යක්ෂ සහ නිෂ්පාදන කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා.” විජේ තවදුරටත් පැවසීය.

 

‍විජේ සේතුපති 1978 වසරේ ජනවාරි මස 16 වැනිදා උපත ලැබුවේය. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ රාජාපාලායම් නුවරදීය. විවාහකයකු වන විජේ දෙදරු පියෙකි. හෙතෙම රඟපෑමට පිවිසීමට පෙර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවර සේවය කළේ ගණකාධිකාරිවරයෙක් වශයෙනි.

 

2003 වසරේදී විජේ සිය මවුරටේ වාසය කිරීමට පැමිණියේය. 2004 වසරේදී හෙතෙම සිය මංගල චිත්‍රපටයේ රඟපෑවේය. කෙසේ වෙතත් තම ප්‍රථම ප්‍රධාන චරිතය ඔහු රඟපාන්නේ 2010 වසරේදීය. ඔහු රඟ පෑ තවත් ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ 2012 වසරේදී තිරගත වූ පීසාය.විජේ ප්‍රධාන වශයෙන්ම රඟපාන්නේ දකුණු ඉන්දීය සිනමාවේය. රංගනයට අමතරව නිෂ්පාදනය, තිර රචනය, ගීත රචනය, පසුබිම් ගායනයටත් ඔහු දක්ෂය.

 

සුපිරි ක්‍රිකට් තරුවල ජීවිත කතා මීට පෙරත් සිනමාවට නැඟී තිබේ. හිටපු දකුණු අප්‍රිකානු නායකයෙක් වූ හැන්සි ක්‍රොන්යේගේ (උපත 1969 සැප්තැම්බර් 25 - විපත 2002 ජුනි 01) කතාව හැන්සි නමින් 2008 වසරේදී තිරගත වූයේය. ඉතා දක්ෂ නායකයකු වූ ක්‍රොන්යේගේ ක්‍රිකට් දිවිය නිමාවට පත් වූයේ මුදලට තරග පාවාදීම්වලට වැරදිකරු වී ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක් වීමෙන්ය. ඔහුට යළිත් නිවැරදි වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ගුවන් යානා අනතුරකින් හෙතෙම මිය යන බැවිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය ජනප්‍රිය එමෙන්ම සුපිරි ක්‍රිකට් තරු ත්‍රිත්වයකගේ චරිත කතා බොලිවුඩ් සිනමාවට එක් වුයේය. ඔවුන් තිදෙනාම නායකයන් වීමත් විශේෂත්වයකි. මොහොමඩ් අසාරුදීන් චරිතය (උපත 1963 පෙබරවාරි 08) අසාර් නමින් චිත්‍රපටයක් බිහි විය. මහේන්ද්‍ර සිං දෝනි චරිතය (උපත 1981 ජුලි 07) එම්.එස්.දෝනි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි චිත්‍රපටයයි. සචින් තෙන්දුල්කාර් (උපත 1973 අප්‍රේල් 24) චරිතය සචින්: අ බිලියන් ඩ්‍රීම්ස් නමින් වාර්තා චිත්‍රපටයක් ලෙස සිනමාවට එක්විය.

 

Comments