ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් මෙරට කීර්තිමත් පුරවැසියන් 5කට ගෞරවනීය සම්මාන | සිළුමිණ

ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් මෙරට කීර්තිමත් පුරවැසියන් 5කට ගෞරවනීය සම්මාන

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම විද්වතකු මෙන්ම දේශපාලනඥයකු වූ හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා ලෝකයේම ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයකි.

ඉන්දියාවේ 11 වැනි ජනපතිවරයා ලෙස 2002 ජූලි 25 වැනිදා පත් වූ ෂවුල් පකීර් ජෙයිනුල් ආබ්දීන් අබ්දුල් කලාම් විශිෂ්ට ගණයේ දේශකයකු ලෙසද ප්‍රකටව සිටියේය. 2015 ජූලි 27 වැනි දා 84 හැවිරිදි වියේ පසු වූ කලාම් විද්වතා හෘදයාබාධයකින් මරණයට පත් වූයේ ද ඉන්දීය කළමනාකරණ ආයතනික සිසුන් හට 'ලොව පොළොවේ ජීවය' මැයෙන් විද්‍යාත්මක දේශනයක් පවත්වමින් සිටියදීයි.

මේ අද්විතිය ඉන්දීය ජාතිකයා නමින් තිබෙන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායතනය මඟින් පසුගියදා මෙරට පුරවැසියන් කිහිප දෙනෙකුට සම්මාන ප්‍රදානයක් සිදු කෙරිණි.

කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ පැවැති එම චාම් උත්සවයේදී Pride of Asia (ආසියාවේ අභිමානය) නමැති ගෞරවනීය සම්මානයෙන් මෙරටට මහත් සේවයක් කළ දෙදෙනෙක් පිදුම් ලැබූහ. ඒ වත්මන් කථානායක කරු ජයසූරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහත්වරුය.

අබ්දුල් කලාම්ගේ සමීපතම හිතවතකු වන ඉන්දියාවේ තවත් කීර්තිමත් විද්වතකු වන ආචාර්ය විජායි ශා මහතා අතින් පිරිනැමුණු එම සම්මාන ද්විත්වයට අමතරව Pride of Sri Lanka (ශ්‍රී ලංකාවේ අභිමානය) ගෞරව සම්මානයෙන්ද තිදෙනෙක් පිදුම් ලැබූහ. ඒ බන්ධනාගාර ‍කොමසාරිස් (සැපයුම් හා සේවා) චන්දන ඒකනායක, මහාචාර්ය රිස්වි ෂෙරිෆ් සහ වෛද්‍ය සරත් හල්ලොලුව යන මහත්වරු ය.

ඉන්දියාවේ උසස්ම විද්‍යායතනයකින් මෙන්ම ඉන්දීය කීර්තිමත් විද්වතකු අතින් සම්මානයට පාත්‍ර වූ මෙරට කීර්තිමත් පුද්ගලයන් පස්දෙ‍නා පිළිබඳව රටක් ලෙස අප සියලු දෙනාම ‍ඔවුන් වෙත ගෞරවනීය ප්‍රණාමය පුද කළ යුතුයි.

ආසියාවේ අභිමානය සම්මානයෙන් පිදුම් ලැබූ කථානායක කරු ජයසූරිය මහතාට එම සම්මානය පිරිනැමීමට මූලික ලෙසම හේතු පාඨ වී තිබෙන්නෙ යහපාලනය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය කාලයේ එතුමා කළ අනූපමේය සේවයයි.

සම්මාන ප්‍රදාන උත්සවයේදී කථානායකවරයා කීවේ ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් වටිනාම දායාදය බුදුදහම බවද, වර්තමානයේ දෙරට අතර සහයෝගය හා මිත්‍රත්වය මඟින් දෙරටටම බොහෝ ඵලදායක ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවද කී කථානායකවරයා තමා වෙත පිරිනැමුණු සම්මානය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට කළ ගෞරවයක් ලෙස සලකන බවද කීවේය.

කථානායකවරයාට අමතරව 'ආසියාවේ අභිමානය'සම්මානයෙන් පිදුම් ලැබූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතායි.

පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් නොව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සහ අපරාධ මර්දනය වෙනුවෙන් කළ අනභිභවනීය මෙහෙය වෙනුවෙන් 'ආසියාවේ අභිමානය' සම්මානයෙන් පිදුම් ලැබීය.

1979 වසරේ ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව පසුගියදා වසර 40ක සේවා කාලයක් සනිටුහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සේවා කාලය තුළදී නායකත්වය, මානව සම්පත් කළමනාකරණය හා සංවර්ධනය, බුද්ධි අංශ කළමනාකරණය හා බුද්ධි මෙහෙයුම් සිදු කිරීම, ත්‍රස්ත මර්දන රාජකාරි හා ප්‍රභූ ආරක්ෂක රාජකාරි සම්බන්ධ මනා අත්දැකීම් සමුදායක් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ අභිමානය' සම්මානයෙන් පිදුම් ලැබූ තිදෙනාගෙන් කෙනෙකු වන බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව 1985 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දෙවන පෙළ ජේලර්වරයකු ලෙස එක් වන චන්දන පියවරෙන් පියවර දිගු ගමනක් පැමිණ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) නිලයේ කටයුතු කරයි.

බන්ධනාගාර ජීවිතයේ විවිධ අත්දැකිම් ඇති ඔහු නිරතුරවම සිරකරු සුබසාධනය වෙනුවෙන් කැප වී කටයුතු කරමින් මෑතකදි සිරකරුවන්ගේ නිර්මාණ සියයක් ඇතුළත් 'සිපිරිගෙය පාමුල' නමින් කාව්‍ය සංග්‍රහක්ද එළි දැක්වීමට කටයුතු කළේය.

“මම හැම විටම සිතුවේ සිරකරුවා පිළිබඳ ඔවුන්ගේ පුනරුත්ථාපනය කෙසේ විය යුතු ද යන්න ගැන. ඒ නිසයි සිරකරුවන්ට යම් යම් ප්‍රතිලාභ ලබාදෙන්න පුළුවන් වුණේ. එල්ලුම් ගහට නියම වෙලා සිටි අයෙකුට එම්. ඒ උපාධිය සඳහා ඉගෙනුම ලැබීමට අවසානයේ එයින් සමත් වීමට අවස්ථාව ලබාදෙන්නට පුළුවන් වුණා. ඒ වගේම දහම් පාසල් ධර්මාචාර විභාගයෙන් තිදෙනෙක් පාස් වුණා.

දහම්පාසල් අවසන් විභාගයෙන් දහනව දෙනෙකු සමත් වුණා. මේ ආදි වශයෙන් අපට සිරකරුවන් වෙනුවෙන් බොහෝ දේ කරන්නට පුළුවන්කම ලැබුණා.” යැයි ගෞරවනීය සම්මානයෙන් නිහතමානී සතුටක් ලබන අතරේ චන්දන ඒකනායක මහතා අපට පැවැසීය.

ඔහුට අමතරව මෙරට වකුගඩු රෝගීන් වෙනුවෙන් මහත් සේවයක් කරන මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය සරත් හල්ලොලුව මහතා රටේ ජනතාවට කරන සේවය අගයමින් 'ශ්‍රී ලංකාවේ අභිමානය' සම්මානයෙන් පිදුම් ලබා ඇත.

Comments