
සේනා දළඹුවා නිසා බඩඉරිඟු වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීමට අදාළ අස්වනු සමීක්ෂණ කටයුතු දැන් සිදුකෙරෙමින් පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.
සේනා දළඹුවා නිසා සිදුවී ඇති අස්වනු හානිය සියයට
20ක් බවට අපේක්ෂා කළ හැකි බවත් පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා උතුරු මැද පළාතේ මේ දිනවල නෙළන අස්වනු සමීක්ෂණ අනුව අස්වනු හානිය ඉතා අඩු බව පෙන්වා දෙයි.
ලබන 5 වැනිදා පවත්වන ජනාධිපති කාර්ය සාධන බළකා රැස්වීමේදී මෙම වන්දි ගෙවීම පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.
රජය මේ ගොවීන්ට වන්දි ගෙවීම පිණිස දැනටමත් රුපියල් ලක්ෂ 2500 ක් අනුමත කර ඇති අතර වගා හානි වූ ගොවීන්ට අක්කරයකට රුපියල් 40,000 දක්වා වන්දි ගෙවීමට තීරණය කර තිබේ.
වන්දි ගෙවීම් පිළිබඳ සමීක්ෂණ ද රට පුරා දැන් ආරම්භ කර ඇත. කෘෂිකර්ම උපදේශක, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර හා ග්‍රාම නිලධාරි යන අයගෙන්, ග්‍රාමීය කෘෂිකර්ම කමිටු මඟින් සිදුවූ හානි තක්සේරු කිරීම දැන් ග්‍රාම නිලධාරි වසම් 14000 පුරාම ඇරඹී ඇතැයි ‘සේනා’ මර්දන බළකායේ ප්‍රධාන නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගාමිණි විජේතුංග මහතා පවසයි.