
රටම කම්පා කළ මේ කතාව වසර දෙකක් පරණය. වරැද්ද මෙන්ම ඛේදවාචකය ආදර්ශයක් කරගනිමින් රටේ තරුණ ජීවිතවලට මෙන්ම සමස්ත ජනතාවටම පාඩමක් කියාදෙන්නට අපේ කතාවේ කතා නායකයා පියවර ගෙන තිබේ. ඔහු හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක රොෂාන් සංජීවයි.
දිනය දෙදහස් දහසය වසරේ මැයි 26 දාය. රොෂාන්ගේ බිරිය සහ විවාහක දියණිය ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබුවේ සිය දියණියගේ සැමියා විසිනි.
මෙහිදී දිවි බේරුණේ පුංචි මුනුපුරාගේ පමණි. රොෂාන්ගේ දියණිය විසි දෙහැවිරිදිය. ඇය ඉෂාරා මල්ෂානි ය. පාසල් වියේදිම නොගැළපෙන ප්‍රේමයක පැටලුණ ඉෂානිගේ ජීවිතයට කණ කොකා හඬන්නේ ඉන් පසුවය. ඒ පෙම් සබඳතාවේ කූට ප්‍රාප්තිය වන්නේ ඉෂානිගේ හිතුවක්කාර විවාහය සිදු වීමත් සමඟය.
කෙතරම් ජනයාගේ දුක් සෝසුසුම් නිවාලීමට නීතිය හා සාමය ආරක්ෂා කරමින් කැප වී සිටියත් පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීවට නොමඟ ගිය තමාගේම දියණිය නිසා විඳින්නට වූයේ මානසික පීඩාවකි. දියණියගේ හිතුවක්කාරකම නිසා ඔහුට සිය බිරියත් දියණියත් අහිමි විය. මියගිය දියණියගේ දරුවා සහ අනෙක් දියණිය රැක ගැනිමේ බාරධූර කාර්යය ද ඔහුට පැවරිණි. සිය රාජකාරියට අමතරව දැන් ඔහුට දරුවන්ගේ වගකීමද පැවැරි තිබේ.
සියල්ල අහිමි වූයේ දියණියගේ හිතුවක්කාරකම නිසාය. දැන් ඔහු ඒ ගැන තැවෙන්නේ නැත. ඔහුට අනෙක් දියණියගේ හා පුංචි මුනුපුරාගේ අනාගතය සමෘද්ධිමත් කිරීමේ වගකීම පැවැරි ඇත.
එමෙන්ම ඔහු කියන්නේ ඔහුට දැන් රටේම දියණිවරුන් දරුවන් ගැන වගකීමක් ඇතැයි කියාය. දුක පසෙක තබා ඔහු දැන් ජීවිතයට මුහුණ දෙයි. එපමණක් නොව තමා අත්විඳි ඛේදවාචකය රටේ දරුවන්ට මවුපියන්ට පාඩමක් ලෙසින් කියා දෙන්නට ඔහු කටයුතු කරමින් සිටී.
ඒ අනුව ඔහු විසින් නොමඟ යන දූදරුවන් යහමඟට ගැනීම සහ දූදරු මවුපිය සහසම්බන්ධය වැඩිදියුණු කිරීමේ අටියෙන් අපූරු වැඩසටහනකට මුල පිරුවේ තම අත්දැකීමද ජනයා සමඟ බෙදාහදා ගනිමිනි. එම වැඩසටහන මේ දිනවල හොරොව්පොතාන පොලිස් වසම තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඊට සහභාගි වන බොහෝ ජනයාගේ ප්‍රසාදයකට ලක් වෙමිනි. ඒ පිළිබඳ පොලිස් ස්ථානාධිපති රොෂාන් පවසන්නේ මෙවැනි කතාවක්.
“සාමාන්‍යයෙන් කෙනෙක් මුහුණ දුන් අභාග්‍යසම්පන්න සහ සමාජය බැහැර කරන අත්දැකීමක් තවත් කෙනෙකු සමඟ බෙදාහදාගන්න කැමැති නැහැ. ඒත් මට අවශ්‍ය වුණා මං මුහුණ දුන් ඛේදවාචකයේ අත්දැකීම ඇසුරෙන් නොමඟ යන තවත් එක් දරුවෙකු හෝ ඉන් ගලවාගැනීමට. මම මගේ දරුවන්ට බිරියට පුදුමාකාර ලෙසින් ආදරය කළා. නමුත් මට මගේ දියණිය නොමඟට ගිය එක වළක්වා ගන්න බැරි වුණා.
අදටත් මම ඒ අය ගැන සිතින් විඳවනවා. තාත්තා කෙනෙක් හැටියට මට මෙය දරාගැනීමට අසීරුයි. මම හිතනවා මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියලා. ඒ නිසයි කොතරම් වේදනාකාරි වුණත් මම මේ අත්දැකිම් ඔස්සේ වැඩිහිටියන් හා පාසල් දරුවන්ට පණිවුඩයක් දෙන්නට උත්සාහ දරන්නේ.
ඒ වගේම දූදරු මවුපිය සහසම්බන්ධය ජීවිත කාලෙටම පවත්වාගෙන යන්නෙ කෙසේද කියාත් මම මින් සමාජයට පණිවිඩයක් දෙනවා. මවුපියන් කිසිම විටෙක දරුවන් ගැන සොයාබැලීම අතරමඟදි නතර නොකළ යුතුයි. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව දරුවන් ගැන සොයාබැලීම අඩු කරන්න හොඳ නැහැ.
එතැනින් පසුව තමයි මේ ඛේදවාචකය ආරම්භ වන්නෙ. විශේෂයෙන්ම උතුරුමැද පළාතේ බාල වයස්කාර විවාහ විශාල ලෙස සිදු වෙනවා. අවසානයේ එවැනි විවාහ බොහොමයක් කෙළවර වන්නෙ පොලිසියෙන් උසාවියෙන්. එහෙමත් නැත්නම් මේ මම මුහුණ දුන්නා සේ ඛේදවාචකවලින්. එවැනි ඛේදවාචකයන් මේ හතුරෙකුටවත් සිදුවන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ.
දරුවගේ බිරියගේ මරණයත් සමඟ මගේ ජීවිත නතර වුණා කියලා මට දැනුණා. මම සිතා ගත්තා නතර වුණු ජීවිතය නැවත පටන්ගෙන මෙවැනි දෙයක් හෝ සිදු කරමින් සමාජයට පාඩමක් කියා දෙන්න ඕන කියලා.”
ඔහු තම ඛේදනීය ජීවිත අත්දැකීම ගීත දහයක් ඇසුරෙන් පැය දෙකක පමණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහනට හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයද සම්බන්ධ වෙයි. මේ සම්බන්ධව අදහස් දක්වන හොරොව්පොතාන ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂිකා විශාරා ද සිල්වා මහත්මිය.
“මේ වැඩසටහන ආරම්භ කොට මාස පහක් විතර වෙනවා. මුලදි අප කවුරුත් මේ කටයුත්තට කැමැත්තක් දැක්වූයේ නැහැ. මහත්තයාගේ හිත නැවත නැවතත් පෑරෙනවට අපේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් ඕඅයිසී මහත්තයා සෑම විටම කීවේ, 'මං ලබපු අත්දැකීම තව කෙනෙකුට වෙනවට මම කැමැති නැහැ. ඒ නිසා එක දරුවෙක් හරි යහමඟට ගැනීමට මෙයින් හැකියාවක් ලැබෙනවා නම් ඒක තමයි මං කරගන්නා ලොකුම පින' කියලා.
ඊට පස්සෙ ඕඅයිසී මහත්තයගේම අදහසක් අනුව දරුවකු ඉපදුණු දවසේ සිට වැඩිහිටියකු වන තෙක්ම ජීවිතයේ මුහුණ දෙන තීරණාත්මක සංසිද්ධිවලට අදාළ ඉතාම හරබර ගීත අටක් ඇසුරෙන් වටිනා කියන ඔවදන් රැසක් මේ වැඩසටහනින් අප ලබා දෙනවා.
ඒ වගේම එතුමා මුහුණ දුන් එම ශෝචනීය අත්දැකීම සහ ඔහු තම දරුවන් දෙදෙනා සහ බිරිය සමඟ ගෙවූ සුන්දර පවුල් දිවිය සහ පසුව එම ඛේදවාචකයේ සියලු තතු ඇතුළත් කොට ගීත දෙකක් ඇසුරෙන් වීඩියෝ දෙකක්ද ඉදිරිපත් කරනවා. එම දසුන් පෙළ නරඹන වැඩසටහනට සහභාගි වී වන සෑම දෙනෙක්ම පාහේ ගෙදර යන්නෙ හඬාගෙන.”
සුදු ඇත් පැටවෙක්, පුංචි පුතා, ටියුෂන් පන්තිය, සිනහ මල්, කන්ද මුදුනට, ඔබ පෙම් කරනා, චන්ද්‍ර මණ්ඩලේ, පෙම් ලොවදි දුටු ඔහුමද, සඳ රාණි තනිවී සහ මේ පාළු රාත්‍රි යාමයේ යන හරබර ගීත දහයක් ඇසුරෙන් විඩියෝ දසුන් පෙළක් මඟින් විශාරා මහත්මිය සහ රොෂාන් මහත්මා ඉදිරිපත් කරන නොමඟ යන සමාජයේ එක් දරුවකු හෝ යහමඟට ගැනීමට වැර දරමින් පාසල් දරුවන්ට සහ වැඩිහිටියන්ට වෙන් වෙන්ව පවත්වන එම වැඩසටහන මේ වන විට හොරොව්පොතාන පොලිස් වසමට අයත් ග්‍රාම සේවා වසම් 38න් 21කම සිදු කොට අවසානය.
ඊට අමතරව පන්සල්, පල්ලි, කෝවිල් සහ පාසල් මුල් කොට සිදු කළ වැඩසටහන් සමඟින් වැඩසටහන් 40කට වඩා සිදු කර තිබේ. සෑම ඉරු දිනකම ප්‍රදේශයේ කුමන හෝ තැනෙක සිදු කරන එම වැඩසටහනට මේ වන විට අවට පොලිස් වසම්වලින් පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවලින් ආරාධනා ලැබී ඇතැයි ඔවුහු පවසති.
පසුගිය දිනෙක හොරොව්පොතාන තිරප්පන්කඩවල විහාරස්ථානයේ පැවැති ආරම්භක වැඩසටහනට එක්වූ ගැමියෙක් අප හා මෙසේ පැවැසුවේය.
“ඇත්තටම අපේ ගම්වල ඉන්න දරුවන් බොහෝ දෙනා නොමඟ යන්නෙ නොදැනුවත්කම නිසා. ඒක නිසා මෙවැනි වැඩසටහනකින් දරුවන්ට පමණක් නොවේ අපි වගේ වැඩිහිටියන්ටත් බොහෝ නොපෙනෙන පැති පෙන්වා දෙනවා.
ඒ ඕඅයිසී මහත්තයා ඔහු මුහුණ දුන් ඛේදවාචකය අපේ ගම්වල ජනතාව සමඟ බෙදාහදා ගැනීමට ඉදිරිපත් වීමත් මහඟු කාර්යයක්. සමාජයට මවුපියන්ට දරුවන්ට ලොකු පණිවුඩයක් දෙනවා.”
බිරියත් දියණියත් පවුකාරයකු අතින් ඝාතනය වීම දුකකි. ඔහු ඒ දුක දරා ගන්නට නොගත් උත්සාහයක් නැත. දැන් ඔහුගේ සිත සන්සුන්ය. ඒ තමා ලැබූ දුකින් මිනිසුන්ට ජීවිතය කියා දෙන බැවිනි.