
* කේන්දර බලලා හම්බවෙන සොච්චමෙන් සීනි තේ කොළ ගන්නවා
* සාමනේර හිමියන් පිරිවෙනට යවන්න දවසට රුපියල් 500ක් යනවා
* අඳින්නේ එක සිවුරයි. වෙලාවකට දානෙත් නැහැ
“බුද්ධ පුත්‍රයන් හැටියට අපි මීට වඩා විශාල දේවල් කරලා තියෙනවා. අතීතයේ සිටි සමහර භික්ෂුන් වහන්සේ පරදේශකාරයන් එළවලා මේ රට රැකගන්න කටයුතු කළා. ඒ වගේ මේ වෙහෙර විහාරස්ථානයත් අනාගත පරපුර වෙනුවෙන් මනාවට ඉදි කරන්න මම කටයුතු කරනවා යැයි“ ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ඇටවීරිගොල්ලෑවේ නන්දරතන හිමියෝ පැවසූහ.
සිය වකුගඩුවක් පරිත්‍යාග කර ඇති උන්වහන්සේ මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසු නොවූවත් සිතේ ඇති ආත්ම ශක්තිය සිය අවිය බවට පත් කරගනිමින් දැවැන්ත පුණ්‍යකර්මයකට අතගසා තිබේ.
පෙදරේරුවන්ට හෝ කුලීකරුවන්ට මුදල් ගෙවීමට තමා සතුව මුදල් නැති බැවින් ඒ වෙනුවට උන්වහන්සේ විසින්ම විහාරස්ථානයේ ඉදිකිරීම් කරගෙන යයි.
සිය වකුගඩුවක් තවත් අයෙකුට ජීවත්වීම සඳහා ලබා දී තම විහාරස්ථානය ඉදි කරගැනීමේ දැවැන්ත උත්සාහයක නිරත වන ඒ හිමියෝ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත පරණ ගමේ වැඩ වාසය කරති.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වයාඋල්පත පහළගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියන් දැඩි දුෂ්කරතා මැද දිළිඳු ජනතාවක් වෙසෙන ගම්මානයක අවාස ගෙය, දහම් පාසල සකසාගැනීම සඳහා එසේ වෙහෙස දරති.
උන්වහන්සේ සඳහන් කර සිටින්නේ තම විහාරස්ථානයට අඩුම තරමේ වැසිකිළි-කැසිකිළි පහසුකම හෝ නැති බවත් අවශ්‍යතා සපුරාගැනීමට පන්සල ආසන්නයේ නිවසකට යන බවත්ය.
ජල පහසුකම් මෙන්ම ඉදි කරගත් ගොඩනැගිලිවල අඩුපාඩු රැසක් පැවතීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද විහාරාධිපති හිමියෝ පවසති.
තම ගම්මානයේ දිළිඳු ජනතාවක් වෙසෙන නිසා දිනපතා දානය ද නොලැබෙන බව උන්වහන්සේ පවසති. කෙසේ හෝ කුඩා ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට දැඩි වෙහෙසක් දරන බවත් බුදුරජාණන් වහන්සේට ගිලන්පස දිවා දානය පුජා කිරීම සහ සාමණේර හිමි නමට අහල පහල නිවෙස්වලින් දානය ටිකක් ඉල්ලා දෙන බව ද උන්වහන්සේ දැඩි දුක් මුසුව පැවසූහ.
විශාල දායකත්වයක් නැතත් දහම් පාසල් ගොඩනැගිල්ල ආවාස ගෙයි පවතින අඩුපාඩු වැසිකිළි පහසුකම ජල පහසුකම සහ කුඩා සාමණේර හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවලට කාගෙන් හෝ උපකාරයක් ලැබෙන්නේ නම් එය මහඟු පිනක් බව උන්වහන්සේ පවසති.
මෙම විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමියන් තමන් වහන්සේ සහ කුඩා සාමණේර හිමියන් විඳින දුක පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
"මේ ගම්මානවල මිනිස්සු බොහෝම දුප්පත්. එදිනෙදා කුලී වැඩ කරන අය. ගිලන්පස සීනි ටික ගෙනත් දෙන්නවත් හැකියාවක් නැහැ. මමයි මේ පොඩි හාමුදුරුවෝ තමයි පන්සලේ වැඩ ඉන්නේ, පොඩි හාමුදුරුවොත් දිගම්පතහ හන්දියට කිලෝමීටර් හයක් යන්න ඕන පිරිවෙනට. එතැන ඉඳලා කිලෝමීටර් දහයක් යන්න ඕන හබරණට. දවසකට රුපියල් 500ක මුදලක් යනවා පොඩි හාමුදුරුවන් පිරිවෙන් යවන්න."
“මට අවශ්‍ය මේ සංසාර ගමන කෙටිකර ගැනීමටයි. මම කිසිම දෙයක ඇලී ගැලී නැහැ. එනිසයි මම මගේ අවයවයක් තවත් කෙනෙකුට ජීවත් වීම සඳහා පරිත්‍යාග කළේ. මම එහිදී මුදලක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් අද අපේ පන්සලේ තියෙන දුෂ්කරතා මෙන්ම අපි විදින ආර්ථික අපහසුතා දැකලා ඒ දායකයන් පන්සලට මුදලක් පරිත්‍යාග කෙරුවා. ගමේ ඉන්න අයට පන්සල වැඩිදියුණු කිරීමට ආර්ථික හැකියාවක් නැහැ. මේසන් බාස්ලාට කුලිය දීලා මමයි පොඩි හාමුදුරුවොයි තමයි අත්වැඩ දෙන්නේ. උන්වහන්සේලාත් මේ දිරිද්රතාවය විඳිමින් ජීවිතාවබෝධය ලබනවා.
මෙවැනි ඉදිකිරීමක් කරන්න අපට හේතුවක් තිබුණා.
පන්සලේ පරණ ගොඩනැගිල්ල කඩා වැටුණා. දහම් පාසල පවත්වාගෙන ආපු ගොඩනැගිල්ල අපි තුන්නමගේ අාවාසය වුණා. දහම් පාසල නතරවුණා. ඉන් පස්සේ තමයි අලුත් ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තේ. තවමත් අලුත් ගොඩනැගිල්ලේ වැඩ ඉවර කරගන්න බැරි වුණා.
මම ජ්‍යොතිෂය කරනවා ඒකෙන් හොයාගන්න මුදලින් තමයි දානේ නැති වේලාවට සීනි තේ කොළ ටික හරි ගන්නේ. ඒ වගේම පොඩි හාමුදුරුවන්ට උගන්වන්නේ.
සිවුරු පිරිකරවත් අපිට ලැබෙන්නේ නැහැ. කොහොමත් එක සිවුරයි මට තියෙන්නේ. අඩුම තරමේ අල්මාරියක කබඩ් එක දාලා හදිසියකට ගන්න සබන් කැටයක් සීනි ටිකක් නැහැ.
පොඩි හාමුදුරුවන්ට දානෙ නැති වේලාවට මේ අහල පහල ගෙදරට කතා කරලා මම කියනවා බුද්ධ පූජාවට දානය ටිකකුයි පොඩි හාමුදුරුවන්ට බත් පිඟානට පොඩ්ඩකුයි දෙන්න කියලා. හැබැයි ඒ අය ඒක කරනවා. මට බඩගින්නෙ වුණත් ඉන්න පුළුවන්. ඒත් පොඩි හාමුදුරුවො බඩගින්නේ තියන්න බෑනේ."
උන්වහන්සේගෙන් ලිපිනය වන්නේ විහාරාධිපති ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමි, ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, වයාඋල්පත, පහලගම පලුගස්වැව, දුරකථන අංකය 077 970 36 28. වෙයි .
වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලාට ආදර්ශයක් වන නන්දරතන හිමියන් රැකගනිමින් උන්වහන්සේගේ බලාපොරොත්තුව වී ඇති මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් නිමා කරගැනීමට අදාළ රාජ්‍ය ආයතන හෝ පරිත්‍යාගශීලින්ගේ උදව් උපකාර ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
ඡායාරූප - සීගිරිය විශේෂ