වකු­ග­ඩුව දන් දී පන්සලක් හදන බුද්ධ පුත්‍රයා | Page 2 | සිළුමිණ

වකු­ග­ඩුව දන් දී පන්සලක් හදන බුද්ධ පුත්‍රයා

* කේන්දර බලලා හම්බ­වෙන සොච්ච­මෙන් සීනි තේ කොළ ගන්නවා
* සාම­නේර හිමි­යන් පිරිවෙනට යවන්න දවසට රුපියල් 500ක් යනවා
* අඳින්නේ එක සිවු­රයි. වෙලාවකට දානෙත් නැහැ

“බුද්ධ පුත්‍ර­යන් හැටි­යට අපි මීට වඩා විශාල දේවල් කරලා තියෙ­නවා. අතී­තයේ සිටි සම­හර භික්ෂුන් වහන්සේ පර­දේ­ශ­කා­ර­යන් එළ­වලා මේ රට රැක­ගන්න කට­යුතු කළා. ඒ වගේ මේ වෙහෙර විහා­ර­ස්ථා­න­යත් අනා­ගත පර­පුර වෙනු­වෙන් මනා­වට ඉදි කරන්න මම කට­යුතු කර­නවා යැයි“ ශ්‍රී බෝධි­රු­ක්කා­රාම පුරාණ විහා­රයේ විහා­රා­ධි­පති ඇට­වී­රි­ගො­ල්ලෑවේ නන්ද­ර­තන හිමියෝ පැව­සූහ.

සිය වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කර ඇති උන්ව­හන්සේ මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්ව­යක පසු නොවූ­වත් සිතේ ඇති ආත්ම ශක්තිය සිය අවිය බවට පත් කර­ග­නි­මින් දැවැන්ත පුණ්‍ය­ක­ර්ම­ය­කට අත­ගසා තිබේ.

පෙද­රේ­රු­වන්ට හෝ කුලී­ක­රු­වන්ට මුදල් ගෙවී­මට තමා සතුව මුදල් නැති බැවින් ඒ වෙනු­වට උන්ව­හන්සේ විසින්ම විහා­ර­ස්ථා­නයේ ඉදි­කි­රීම් කර­ගෙන යයි.

සිය වකු­ග­ඩු­වක් තවත් අයෙ­කුට ජීව­ත්වීම සඳහා ලබා දී තම විහා­ර­ස්ථා­නය ඉදි කර­ගැ­නීමේ දැවැන්ත උත්සා­හ­යක නිරත වන ඒ හිමියෝ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පලු­ග­ස්වැව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ වයා­උ­ල්පත පරණ ගමේ වැඩ වාසය කරති.

පලු­ග­ස්වැව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් වයා­උ­ල්පත පහ­ළ­ගම ශ්‍රී බෝධි­රු­ක්ඛා­රාම පුරාණ විහා­රා­ධි­පති ඇට­වී­ර­ගො­ල්ලෑව නන්ද­ර­තන හිමි­යන් දැඩි දුෂ්ක­රතා මැද දිළිඳු ජන­තා­වක් වෙසෙන ගම්මා­න­යක අවාස ගෙය, දහම් පාසල සක­සා­ගැ­නීම සඳහා එසේ වෙහෙස දරති.

උන්ව­හන්සේ සඳ­හන් කර සිටින්නේ තම විහා­ර­ස්ථා­න­යට අඩුම තරමේ වැසි­කිළි-කැසි­කිළි පහ­සු­කම හෝ නැති බවත් අව­ශ්‍යතා සපු­රා­ගැ­නී­මට පන්සල ආස­න්නයේ නිව­ස­කට යන බවත්ය.

ජල පහ­සු­කම් මෙන්ම ඉදි කර­ගත් ගොඩ­නැ­ගි­ලි­වල අඩු­පාඩු රැසක් පැව­තීම නිසා දැඩි අසී­රු­තා­ව­කට පත්ව සිටින බවද විහාරාධිපති හිමියෝ පව­සති.

තම ගම්මා­නයේ දිළිඳු ජන­තා­වක් වෙසෙන නිසා දින­පතා දානය ද නොලැ­බෙන බව උන්ව­හන්සේ පව­සති. කෙසේ හෝ කුඩා ස්වාමීන් වහ­න්සේගේ අධ්‍යා­පන කට­යුතු සිදු කර­ගැ­නී­මට දැඩි වෙහෙ­සක් දරන බවත් බුදු­ර­ජා­ණන් වහ­න්සේට ගිල­න්පස දිවා දානය පුජා කිරීම සහ සාම­ණේර හිමි නමට අහල පහල නිවෙ­ස්ව­ලින් දානය ටිකක් ඉල්ලා දෙන බව ද උන්ව­හන්සේ දැඩි දුක් මුසුව පැව­සූහ.

විශාල දාය­ක­ත්ව­යක් නැතත් දහම් පාසල් ගොඩ­නැ­ගිල්ල ආවාස ගෙයි පව­තින අඩු­පාඩු වැසි­කිළි පහ­සු­කම ජල පහ­සු­කම සහ කුඩා සාම­ණේර හිමි­යන්ගේ අධ්‍යා­පන කට­යු­තු­ව­ලට කාගෙන් හෝ උප­කා­ර­යක් ලැබෙන්නේ නම් එය මහඟු පිනක් බව උන්ව­හන්සේ පව­සති.

මෙම විහා­ර­ස්ථා­නයේ වැඩ සිටින විහා­රා­ධි­පති ඇට­වී­ර­ගො­ල්ලෑවේ නන්ද­ර­තන හිමි­යන් තමන් වහන්සේ සහ කුඩා සාම­ණේර හිමි­යන් විඳින දුක පිළි­බ­ඳව මෙසේ අද­හස් දැක්වූහ.

"මේ ගම්මානවල මිනිස්සු බොහෝම දුප්පත්. එදි­නෙදා කුලී වැඩ කරන අය. ගිල­න්පස සීනි ටික ගෙනත් දෙන්න­වත් හැකි­යා­වක් නැහැ. මමයි මේ පොඩි හාමු­දු­රුවෝ තමයි පන්සලේ වැඩ ඉන්නේ, පොඩි හාමු­දු­රු­වොත් දිග­ම්ප­තහ හන්දි­යට කිලෝ­මී­ටර් හයක් යන්න ඕන පිරි­වෙ­නට. එතැන ඉඳලා කිලෝ­මී­ටර් දහ­යක් යන්න ඕන හබ­ර­ණට. දව­ස­කට රුපි­යල් 500ක මුද­ලක් යනවා පොඩි හාමු­දු­රු­වන් පිරි­වෙන් යවන්න."

“මට අවශ්‍ය මේ සංසාර ගමන කෙටි­කර ගැනී­ම­ටයි. මම කිසිම දෙයක ඇලී ගැලී නැහැ. එනි­සයි මම මගේ අව­ය­ව­යක් තවත් කෙනෙ­කුට ජීවත් වීම සඳහා පරි­ත්‍යාග කළේ. මම එහිදී මුද­ලක් බලා­පො­රොත්තු වුණේ නැහැ. නමුත් අද අපේ පන්සලේ තියෙන දුෂ්ක­රතා මෙන්ම අපි විදින ආර්ථික අප­හ­සුතා දැකලා ඒ දාය­ක­යන් පන්ස­ලට මුද­ලක් පරි­ත්‍යාග කෙරුවා. ගමේ ඉන්න අයට පන්සල වැඩි­දි­යුණු කිරී­මට ආර්ථික හැකි­යා­වක් නැහැ. මේසන් බාස්ලාට කුලිය දීලා මමයි පොඩි හාමු­දු­රු­වොයි තමයි අත්වැඩ දෙන්නේ. උන්ව­හ­න්සේ­ලාත් මේ දිරි­ද්‍ර­තා­වය විඳි­මින් ජීවි­තා­ව­බෝ­ධය ලබ­නවා.

මෙවැනි ඉදි­කි­රී­මක් කරන්න අපට හේතු­වක් තිබුණා.

පන්සලේ පරණ ගොඩ­නැ­ගිල්ල කඩා වැටුණා. දහම් පාසල පව­ත්වා­ගෙන ආපු ගොඩ­නැ­ගිල්ල අපි තුන්න­මගේ අාවා­සය වුණා. දහම් පාසල නත­ර­වුණා. ඉන් පස්සේ තමයි අලුත් ගොඩ­නැ­ගිල්ල හදන්න පටන් ගත්තේ. තව­මත් අලුත් ගොඩ­නැ­ගිල්ලේ වැඩ ඉවර කර­ගන්න බැරි වුණා.

මම ජ්‍යොති­ෂය කර­නවා ඒකෙන් හොයා­ගන්න මුද­ලින් තමයි දානේ නැති වේලා­වට සීනි තේ කොළ ටික හරි ගන්නේ. ඒ වගේම පොඩි හාමු­දු­රු­වන්ට උග­න්වන්නේ.

සිවුරු පිරි­ක­ර­වත් අපිට ලැබෙන්නේ නැහැ. කොහො­මත් එක සිවු­රයි මට තියෙන්නේ. අඩුම තරමේ අල්මා­රි­යක කබඩ් එක දාලා හදි­සි­ය­කට ගන්න සබන් කැට­යක් සීනි ටිකක් නැහැ.

පොඩි හාමු­දු­රු­වන්ට දානෙ නැති වේලා­වට මේ අහල පහල ගෙද­රට කතා කරලා මම කිය­නවා බුද්ධ පූජා­වට දානය ටික­කුයි පොඩි හාමු­දු­රු­වන්ට බත් පිඟා­නට පොඩ්ඩ­කුයි දෙන්න කියලා. හැබැයි ඒ අය ඒක කර­නවා. මට බඩ­ගින්නෙ වුණත් ඉන්න පුළු­වන්. ඒත් පොඩි හාමු­දු­රුවො බඩ­ගින්නේ තියන්න බෑනේ."

උන්ව­හ­න්සේ­ගෙන් ලිපි­නය වන්නේ විහා­රා­ධි­පති ඇට­වී­ර­ගො­ල්ලෑවේ නන්ද­ර­තන හිමි, ශ්‍රී බෝධි­රු­ක්ඛා­රාම පුරාණ විහා­රය, වයා­උ­ල්පත, පහ­ල­ගම පලු­ග­ස්වැව, දුර­ක­ථන අංකය 077 970 36 28. වෙයි .

වර්ත­මාන සමා­ජය තුළ භික්ෂූන් වහ­න්සේ­ලාට ආද­ර්ශ­යක් වන නන්ද­ර­තන හිමි­යන් රැක­ග­නි­මින් උන්ව­හ­න්සේගේ බලා­පො­රො­ත්තුව වී ඇති මෙම විහා­ර­ස්ථා­නයේ ඉදි­කි­රීම් කට­යුතු හැකි ඉක්ම­නින් නිමා කර­ගැ­නී­මට අදාළ රාජ්‍ය ආය­තන හෝ පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ උදව් උප­කාර ලබා දෙනු ඇතැයි අප බලා­පො­රොත්තු වෙමු.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
ඡායාරූප - සීගි­රිය විශේෂ

Comments