
* ඔහු මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
* එදා ඔහු කළේ වෙන කවුරුත් නොකරන දේවල්.
* මම හැදූ යන්ත්‍ර පිටරටින් නොගෙන්වූ නිසා ගොවි ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා.
රන්ජිත් රාජපක්ෂ වූ කලී අප රටේ සිටින ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකි. නව නිපැයුම් ඔස්සේ මෙරට කෘෂිකාර්මික හා වෛද්‍ය ක්ෂේත්රයට ඔහු සැකැසූ යන්ත්‍ර සූත්‍ර අදටත් ගොවි ජනතාව මෙන්ම රෝගීන් අතර ප්‍රචලිතය. ලෝක ප්‍රකට ඉංජිනේරුවකු හා නව නිපැයුම්කරුවකු මෙන්ම අත්ට්‍ර්‍රැක්ටරයේ නිර්මාතෘ රේ විජේවර්ධන මහතා ඇසුරේ සිය වෘත්තීය දිවිය එළිය කරගත් හෙතෙම ගොවි ජනතාව වෙනුවෙන් නිපදවූ ගොයම් කපන හා ගොයම් පාගන යන්ත්‍ර අදද ජනප්‍රිය ය. තවමත් අත්හදා බැලීම් කරමින් ගොවීන් හා රෝගීන් වෙනුවෙන් නව උපකරණ නිර්මාණය කරන්නට ඔහු අදත් වෙහෙසෙන්නේය. ඔහු අප රටේ හැමදෙනාටම ආදර්ශයකි.
ඔබේ කුඩා අවධිය ගැන මුලින්ම දැන ගන්නට කැමැතියි?
මම උපන්නෙ කළුතර. පුංචි කාලෙ මම හරිම දක්ෂයි කාර්මික වැඩවලට. මගේ ලොකු තාත්තයි, තාත්තයි දෙන්නම මට ගෙනත් දෙනවා මිකැනික් සෙට්. ඒ මෙකැනික් සෙට් එකින් තමයි මම මුලින්ම කාර්මික වැඩ පටන් ගත්තේ. ඒ වෙනකොට මට අවුරුදු හතක් අටක් ඇති. පුංචි කාලෙ මම පාසල් හත අටකටම ගියා. උසස් අධ්‍යාපනයෙන් පසුව කාර්මික විද්‍යාලයෙනුත් කටුබැද්ද විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා. එයින් පසුව මම විටෝල් බොව්ස්ට් ආයතනයට සම්බන්ධ වෙනවා.
ඒ කවුරුන් ලෙසද?
පුහුණුවන ක්ෂේත්‍ර නිලධාරීවරයෙක් ලෙසයි. මේ විදිහට ඉන්න අතරතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 'ඩිසයිනින්ග් ඇන්ඩ් ටෙස්ටින්ග් යුනිට්' කියලා අංශයක් ඇති කරනවා. මටත් එයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙනවා. ඒ මම සේවය කළ විටෝල් බොව්ස්ට් සමගමේ කළමණාකාරවරයා එයට සම්බන්ධ වී මටත් එයට එක් වෙන්නැයි ආරාධනා කළ නිසා. මම පුහුණු නිලධාරීවරයෙක් ලෙස එයට බැඳිලා උසස්වීම් ලබලා එහිම උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා.
මේ අතරතුර ඔබට රේ විජේවර්ධන හඳුනාගන්නට ලැබෙනවා?
ඔව්. මේ අතරවාරයේ රේ විජේවර්ධන පිටරට සිට ලංකාවට පැමිණෙනවා. ඒ 1981 වසරේදී. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දියත් කෙරුණු ව්‍යාපෘතියක් සඳහා. ඒ ව්‍යාපෘතියට මාවත් තෝරාගෙන තිබුණා. මම උදේ වැඩට එන විට මගේ සේවකයන් “අන්න සර් හම්බ වෙන්න සුද්දෙක් ඇවිත් ඉන්නවා” කියලා මට කිව්වා. මම කවුද කියලා බලනවිට ඒ රේ විජේවර්ධන. මම රේ විජේවර්ධනයන් ගැන නමින් අහලා තිබුණට හැබැහින් දැකලා තිබුණෙ නැහැ. ඔහු මාව හඳුනාගනිමින් මට කිව්වා “I came to see you”කියලා. මම පුදුමයෙන් ඇහුවා “me” කියලා. ඉන්පසු මට ඔහු ආ කාරණය පැහැදිලි කළා. ඔහු පැමිණ තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ IITA ව්‍යාපෘතිය කරන්නයි. “ඔබේ දෙපාර්තමේන්තුවෙන් මට ඔබේ නම දැන ගන්නට ලැබුණ. කැමැතිද මාත් එක්ක වැඩ කරන්න” කියා ඇහුවා. මම හරි උත්තරයක් දුන්නේ නැහැ. පස්සෙ මගේ පඩිය විමසා මාසෙකට රුපියල් 2500ක් මම දෙන්නම් කැමැති ද මාත් එක්ක වැඩ කරන්න කියලා ඇහුවා. ඒ වන විට මම කරමින් හිටියේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්. එනිසා මම කිව්ව මගේ නෝනගෙන් අහලා කියන්නම් කියලා. එයට රේ මහත්තයා කිව්වා බොහොම හොඳයි කියලා.
ඔබේ බිරිය මොකද කිව්වේ?
ඒ වන විට ඇය උපාධිය ලබාගෙන මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරමින් හිටියේ. ඇය කිව්වා ඔයාගේ හැකියාවන් ගොඩක් තියෙනවනේ පෙන්ෂන් බලන්න එපා යන්න කියලා. එදා ඇයත් මමත් ගත් තීරණය මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කළා.
රේ විජේවර්ධනයන් සමඟ වැඩ කිරීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඒත් බොහොම අමාරුවෙන් හරි ඔහුත් එක්ක වැඩ කළා. මම ඔහුගේ වැඩවලට එකතු වෙන කොට මම කවදාවත් ප්ලේන් හදන්න දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔබට මතක ඇති පහුගිය කාලෙක ආන්දෝලනයක් ඇති කළ ‘ලිහිණියා ප්ලේන්’ එක. ඒක රේ සමඟ හැදුවේ අපි. ඒ අතර අපි රේ විජේවර්ධන සමඟ කෘෂිකර්ම යන්ත්‍ර නිපදවීමත් කළා. ලිහිණියා හැඳුවේ රේ මහත්තයාගේ ධර්මපාල මාවතේ ගෙදරයි. පොඩි හාමුදුරුවෝ ඇවිත් පිරිත් එහෙම කියලා තමයි පළමු වරට මෙය ගුවන්ගත කළේ. වෙනත් කවුරුත් කරන්නැති දේ තමයි රේ විජේවර්ධන එදා කළේ. ඉන්පසු අපි ඔහු සමඟ තණකොළ පෙත්තා, සමනලයා, හංසයා කියලා සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කළා. ඒවායින් ලිහිණියා ප්ලේන් එකේ දෙදෙනෙකුට ගමන් කරන්න පුළුවන්. එහි තටු දෙක අකුලන්න පුළුවන්. මෙය ගුවන් ගත කරන්න තටු දෙක අකුළලා ට්‍රේලර් එකේ දාලා ඇදගෙන එනවා රත්මලානට. පසුව රටේ පැවති කොටි කලබල නිසා මෙය ගුවන් ගත කරන දුර ප්‍රමාණය අඩු කළා. මෙය නිර්මාණය කළේ 1988දියි.
රේ විජේවර්ධනගේ දැනුමින් ලංකාව ප්‍රයෝජන ගත්තද?
එතුමාගෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කියල කියන්නත් බැහැ. නොගත්තයි කියල කියන්නත් බැහැ. පළවෙනි ටූල් ටෙක් එක ලෑන්ඩ් මාස්ටර් කියලා හදලා තියෙන්නේ රේ විජේවර්ධන. ඒ වගේම ඇල්බීසියා මඟින් විදුලිය නිපදවීමත් ඔහු ලංකාවට හදුන්වා දුන්නා. එය ඔහුගේ නිවෙසේ ඔහු සිදු කළා. මම හරිම සන්තෝෂ වෙනවා මට ඔහුත් එක්ක හුඟ කලක් වැඩ කරන්න ලැබීම ගැන. ඔහුගේ අන්තිම මරණ මංචකයෙ දී වුණත් මම ඔහු ළඟින් හිටියා. මට කතා කරන්නේ ‘පුතා’ කියලා. අන්තිම කාලෙදි මාව ඉඹිනවා ‘උඹ මාව බලන්න ආවා නේද’ කියලා.
ඔබ ජිනසේන ආයතනයේ කළ නිර්මාණ මොනවාද?
ඉංජිනේරුවකු ලෙස ජිනසේන ආයතනයට මාව යොමු කළේත් ඔහුයි. දෙපාර්තමේන්තුවේ හිටිය නම් අපි කරන දේවල් ටික විතරයි. ඒවා වෙළෙඳපොළට දාන්න බැරි වෙනවා. මම කරපු හැම නිර්මාණයක්ම වගේ අදටත් වෙළෙඳ පොළේ තිබෙනවා. 1989 දී පමණ එහි කර්මාන්තශාලා ඉංජිනේරුවරයා හැටියට මම කටයුතු කරනවා. එතැනින් තමයි යන්ත්‍ර සූත්‍ර නිර්මාණයට මාව ඔපමට්ටම් වෙලා ආවේ. මම යන විට එහි ඇග්රිමෙක් කියන කෘෂි කර්මාන්තයට අදාළ ගොයම් කපන හා ගොයම් පාගන යන්ත්‍ර දෙකයි හදලා තිබුණේ. මම එතැනට සම්බන්ධ වී තව විශාල වැඩ කොටසක් සිදු කළා. විවිධ යන්ත්‍ර හදන්නට පටන් ගත්තා. ඒ විදිහට මල්ටි චොපර්, කොම්පෝස්ට් පොහොර හදන මැෂින්, රබර් මැෂින්, තේ මැෂින්, ග්රාස්කටර්, ගම්මිරිස් මැෂින් මම නිර්මාණය කළා. ඒ අතර ටූල් ට්‍රැක්ටර් එකයි, ප්‍රොසෙස් ටී කටර් යන්ත්රයයි මට සම්මාන හිමිකර දුන්නා. ඒවාට ජනාධිපති සම්මාන හිමි වුණා. මම හැදූ යන්ත්‍ර ගොවි ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. මොකද ඒ දේවල් පිටරටින් ගෙන්වන්නේ නැති නිසා. මේ හැමදේටම ජිනසේන ආයතනයේ සභාපති රොහාන් ජිනසේන මහතා උදව් කළා.
ඔබ තමයි පළමු වතාවට කෘෂිකර්මාන්තය වෙනුවෙන් වාහනයක් නිපදවන්නේ?
ඔව්. එය මට අමරණීය මතකයක්. ඇග්රිමෙක් ෆාම් ට්‍රැක්ටර් කියලා ත්රීවිලර් ලොකු ප්‍රමාණයේ වාහනයක් ලංකාවේ පළවෙනි වතාවට හැදුවේ මම. එය ආර්එම්වී එකේ ලියාපදිංචි කළා. මම එයින් මොඩ්ල් තුනක් හැදුවා. ඒ කාලෙ එකක මිල වුණේ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක්. ඒක විශේෂයෙන්ම හැදුවේ ගොවිපළවල බඩු ගෙනියන්න. අපි එයින් පහළොවක් පමණ විකිණුවා. මෙය දැකලා රේ විජේවර්ධන මට ලියමනක් එවා තිබුණා. ‘පුතා රංජිත් උඹ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ දේ කරන්නේ නැහැ. මට බොහොම සන්තෝෂයි උඔ ගැන’ කියලා මම හැදූ යන්ත්‍ර ගොවි ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. මොකද ඒ දේවල් පිටරටින් ගෙන්වන්නේ නැති නිසා. මේ අතර වෙන කෙනෙක් එක් ලක්ෂ විසිපන්දහසකට පිටරටින් ඒ වගේ වාහන ගෙන්වන්න පටන් ගත්තා. අපි කල්පනා කළා වියදම් යන නිසා මෙය නවතා දමන්න. මම දේශීය කර්මාන්තයක් විදිහට මෙය නඟා සිටුවන්න උත්සාහ කරත්දී පිටරටින් මෙවැනි දේ ගෙනැවිත් දේශීය කර්මාන්තය බිඳ දැමුවා. එය කනගාටුවක්.
ඔබ වෛද්‍ය ක්ෂේත්රයටත් නව නිපැයුමක් එක්කළා?
මම සේවයෙන් විශ්‍රාම ගත්තාට පසු ලයන්ස් ක්ලබ් එකේ වැඩ කටයුතුවලට දායක වෙලා ඒවා කරගෙන ගියා. එවිට මට පෙනුණා වැලිසර ළය රෝහලේ ලෙඩුනට ලොකු ප්‍රශ්නයක් තිබෙන බව. පෙනහළු ඔපරේෂන් කරපු රෝගීන්ට තමන්ගේ ඛේටය මුදාහරින්න ලොකු බෝතලයක් දෙනවා. එය අරගෙන යන්න ඒ රෝගීන්ට හරිම අපහසුයි. ඒ අය වෙනුවෙන් මම මැෂින් එකක් නිර්මාණය කළා. එය හඳුන්වන්නේ ‘පුෂ් කාර්ට් ෆෝ චෙස්ට් ට්‍රේන් බොට්ල්’ ලෙසයි.මම වැලිසර රෝහලට එවැනි මැෂින් තිස්තුනක් සකසා දුන්නා. මේ මැෂින් එක වඩාත් අවශ්‍ය වන්නේ මහ රෝහල්වලට. මොකද පෙනහළු සම්බන්ධ ඔපරේෂන් මේ රෝහල් ආශ්‍රිතව සිදුවන නිසා. ඉන්පසුව මම කොළඹ මහ රෝහලට හා නුවර මහරෝහලට මෙවැනි මැෂින් දහය බැගින් පරිත්‍යාග කළා. මේ උපකරණය ගැන වෛද්‍යවරු හුඟක් සන්තෝෂ වුණා. ඒ අය මෙය නව සොයාගැනීමක් ලෙස නම් කළා. ඒ වගේම රෝගීන් මේ යන්ත්‍රය භාවිත කරමින් විශාල සැනසීමක්, සතුටක් ලබනවා. ඔවුන් මට පින් දෙනවා. ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා. මම රටට මොන නිර්මාණ කළත් රෝගීන් වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් කරන්නට ලැබීම තමයි මම ලද භාග්‍යය. එයින් අද මම කියා නිම කරන්න බැරි තරම් සතුටක් ලබනවා. අද වන විට මෙයට මට පේටන්ට් බලපත්‍රයත් ලැබී තිබෙනවා. තවත් මෙවැනි උපකරණ රෝහල් වෙනුවෙන් සකසන්නට මම බලාපොරොත්තු වෙනවා.
ඔබ ඉවත ලන ද්‍රව්‍ය වලින් අපූරු නිර්මාණ කර තිබෙනවා?
ඔව්. ගෙදර ඉන්කොට හිතේ සතුටට තමයි මම ඒ නිර්මාණ කළේ. ඉවත ලන ටයර්වලින් ලස්සන මල් පෝච්චි මම නිපදවා තිබෙනවා. ඒවා අලංකාර කරන්න අවශ්‍ය පේන්ට් වර්ගත් මම ම නිපදවා තිබෙනවා. ඒ වගේම බෝතල් හිස් ටින් මේවා උපයෝගීකර ගෙන මුළුතැන්ගෙට අවශ්‍ය විවිධ උපකරණ නිපදවා තිබෙනවා. එය ස්වයං රැකියාවක් ලෙසත් කරන්න පුළුවන් දෙයක්. මම ඒ දැනුම තරුණ ප්‍රජාවට ලබා දෙනවා.
මේ හැමදේම අතරේ ඔබ අපූරු කලාකරුවෙක්?
මට සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඕගන් එක විශේෂයෙන්. ඒ වගේම ගීත ගයන්න, පද රචනා කරන්න වගේම තනු නිර්මාණයත් පුළුවන්. ප්‍රවීණයන්ට මම නිර්මාණය කළ ගීත අදටත් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. ඒත් මගේ නමවත් කිය වෙන්නේ නැහැ.
රටට කළ සේවය ගැන මොකද හිතෙන්නේ?
මට ලොකු සතුටක් දැනෙනවා. මමත් මේ රටට කොහොමවත් ණය නැති පුද්ගලයෙක්. මම කෘෂිකාර්මික ක්ෂේත්රයට විවිධ යන්ත්‍ර සූත්‍ර සැකසුවා. විශ්‍රාම ගියපසුවත් මම රටට සේවය කරනවා.
ජායාරූප- සරත් පීරිස්