රේ විජේ­ව­ර්ධ­නගේ දැනු­මෙන් අපේ රට උප­රිම ප්‍රයෝ­ජන ගත්තේ නෑ | Page 2 | සිළුමිණ

රේ විජේ­ව­ර්ධ­නගේ දැනු­මෙන් අපේ රට උප­රිම ප්‍රයෝ­ජන ගත්තේ නෑ

ජ්‍යෙෂ්ඨ ඉංජි­නේ­රු­ රන්ජිත් රාජ­පක්ෂ

* ඔහු මගේ ජීවි­තය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කළා.
* එදා ඔහු කළේ වෙන කවු­රුත් නොක­රන දේවල්.
* මම හැදූ යන්ත්‍ර පිට­ර­ටින් නොගෙන්වූ නිසා ගොවි ජන­තාව අතර බොහොම ජන­ප්‍රිය වුණා.

රන්ජිත් රාජ­පක්ෂ වූ කලී අප රටේ සිටින ජ්‍යෙෂ්ඨ ඉංජි­නේ­රු­ව­රයෙකි. නව නිපැ­යුම් ඔස්සේ මෙරට කෘෂි­කා­ර්මික හා වෛද්‍ය ක්ෂේත්‍ර­යට ඔහු සැකැසූ යන්ත්‍ර සූත්‍ර අද­ටත් ගොවි ජන­තාව මෙන්ම රෝගීන් අතර ප්‍රච­ලි­තය. ලෝක ප්‍රකට ඉංජි­නේ­රු­වකු හා නව නිපැ­යු­ම්ක­රු­වකු මෙන්ම අත්ට්‍ර්‍රැක්ටරයේ නිර්මාතෘ රේ විජේ­ව­ර්ධන මහතා ඇසුරේ සිය වෘත්තීය දිවිය එළිය කර­ගත් හෙතෙම ගොවි ජන­තාව වෙනු­වෙන් නිප­දවූ ගොයම් කපන හා ගොයම් පාගන යන්ත්‍ර අදද ජන­ප්‍රි­ය ය. තව­මත් අත්හදා බැලීම් කරමින් ගොවීන් හා රෝගීන් වෙනු­වෙන් නව උප­ක­රණ නිර්මා­ණය කර­න්නට ඔහු අදත් වෙහෙ­සෙ­න්නේය. ඔහු අප රටේ හැම­දෙ­නා­ටම ආද­ර්ශ­යකි.

ඔබේ කුඩා අව­ධිය ගැන මුලින්ම දැන ගන්නට කැමැ­තියි?

මම උපන්නෙ කළු­තර. පුංචි කාලෙ මම හරිම දක්ෂයි කාර්මික වැඩ­ව­ලට. මගේ ලොකු තාත්තයි, තාත්තයි ‍දෙන්නම මට ගෙනත් දෙනවා මිකැ­නික් සෙට්. ඒ මෙකැ­නික් සෙට් එකින් තමයි මම මුලින්ම කාර්මික වැඩ පටන් ගත්තේ. ඒ වෙන­කොට මට අවු­රුදු හතක් අටක් ඇති. පුංචි කාලෙ මම පාසල් හත අට­ක­ටම ගියා. උසස් අධ්‍යා­ප­න­යෙන් පසුව කාර්මික විද්‍යා­ල­යෙ­නුත් කටු­බැද්ද විශ්ව­වි­ද්‍යා­ලයේ යාන්ත්‍රික ඉංජි­නේරු විද්‍යාව හැදෑ­රුවා. එයින් පසුව මම විටෝල් බොව්ස්ට් ආය­ත­න­යට සම්බන්ධ වෙනවා.

ඒ කවු­රුන් ලෙසද?

පුහු­ණු­වන ක්ෂේත්‍ර නිල­ධා­රී­ව­ර­යෙක් ලෙසයි. මේ විදි­හට ඉන්න අත­ර­තුර කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ 'ඩිස­යි­නින්ග් ඇන්ඩ් ටෙස්ටින්ග් යුනිට්' කියලා අංශ­යක් ඇති කර­නවා. මටත් එයට සම්බන්ධ වෙන්නට අව­ස්ථාව ලැබෙ­නවා. ඒ මම සේවය කළ විටෝල් බොව්ස්ට් සම­ගමේ කළ­ම­ණා­කා­ර­ව­රයා එයට සම්බන්ධ වී මටත් එයට එක් වෙන්නැයි ආරා­ධනා කළ නිසා. මම පුහුණු නිල­ධා­රී­ව­ර­යෙක් ලෙස එයට බැඳිලා උස­ස්වීම් ලබලා එහිම උප­දේ­ශ­ක­ව­ර­යෙක් ලෙස කට­යුතු කළා.

මේ අත­ර­තුර ඔබට රේ විජේ­ව­ර්ධන හඳු­නා­ග­න්නට ලැබෙ­නවා?

ඔව්. මේ අත­ර­වා­රයේ රේ විජේ­ව­ර්ධන පිට­රට සිට ලංකා­වට පැමි­ණෙ­නවා. ඒ 1981 වස­රේදී. ඒ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වෙන් දියත් කෙරුණු ව්‍යාපෘ­ති­යක් සඳහා. ඒ ව්‍යාපෘ­ති­යට මාවත් තෝරා­ගෙන තිබුණා. මම උදේ වැඩට එන විට මගේ සේව­ක­යන් “අන්න සර් හම්බ වෙන්න සුද්දෙක් ඇවිත් ඉන්නවා” කියලා මට කිව්වා. මම කවුද කියලා බල­න­විට ඒ රේ විජේ­ව­ර්ධන. මම රේ විජේ­ව­ර්ධ­න­යන් ගැන නමින් අහලා තිබු­ණට හැබැ­හින් දැකලා තිබුණෙ නැහැ. ඔහු මාව හඳු­නා­ග­නි­මින් මට කිව්වා “I came to see you”කියලා. මම පුදු­ම­යෙන් ඇහුවා “me” කියලා. ඉන්පසු මට ඔහු ආ කාර­ණය පැහැ­දිලි කළා. ඔහු පැමිණ තිබුණේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ IITA ව්‍යාපෘ­තිය කර­න්නයි. “ඔබේ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මට ඔබේ නම දැන ගන්නට ලැබුණ. කැමැ­තිද මාත් එක්ක වැඩ කරන්න” කියා ඇහුවා. මම හරි උත්ත­ර­යක් දුන්නේ නැහැ. පස්සෙ මගේ පඩිය විමසා මාසෙ­කට රුපි­යල් 2500ක් මම දෙන්නම් කැමැති ද මාත් එක්ක වැඩ කරන්න කියලා ඇහුවා. ඒ වන විට මම කර­මින් හිටියේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රැකි­යා­වක්. එනිසා මම කිව්ව මගේ නෝන­ගෙන් අහලා කිය­න්නම් කියලා. එයට රේ මහ­ත්තයා කිව්වා බොහොම හොඳයි කියලා.

ඔබේ බිරිය මොකද කිව්වේ?

ඒ වන විට ඇය උපා­ධිය ලබා­ගෙන මහා­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කර­මින් හිටියේ. ඇය කිව්වා ඔයාගේ හැකි­යා­වන් ගොඩක් තියෙ­න­වනේ පෙන්ෂන් බලන්න එපා යන්න කියලා. එදා ඇයත් මමත් ගත් තීර­ණය මගේ ජීවිතේ සම්පූ­ර්ණ­යෙන් වෙනස් කළා.

රේ විජේ­ව­ර්ධ­න­යන් සමඟ වැඩ කිරීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඒත් බොහොම අමා­රු­වෙන් හරි ඔහුත් එක්ක වැඩ කළා. මම ඔහුගේ වැඩ­ව­ලට එකතු වෙන කොට මම කව­දා­වත් ප්ලේන් හදන්න දැන­ගෙන හිටියේ නැහැ. ඒත් ඔබට මතක ඇති පහු­ගිය කාලෙක ආන්දෝ­ල­න­යක් ඇති කළ ‘ලිහි­ණියා ප්ලේන්’ එක. ඒක රේ සමඟ හැදුවේ අපි. ඒ අතර අපි රේ විජේ­ව­ර්ධන සමඟ කෘෂි­කර්ම යන්ත්‍ර නිප­ද­වී­මත් කළා. ලිහි­ණියා හැඳුවේ රේ මහ­ත්ත­යාගේ ධර්ම­පාල මාවතේ ගෙද­රයි. පොඩි හාමු­දු­රුවෝ ඇවිත් පිරිත් එහෙම කියලා තමයි පළමු වරට මෙය ගුව­න්ගත කළේ. වෙනත් කවු­රුත් කර­න්නැති දේ තමයි රේ විජේ­ව­ර්ධන එදා කළේ. ඉන්පසු අපි ඔහු සමඟ තණ­කොළ පෙත්තා, සම­න­ලයා, හංසයා කියලා සැහැල්ලු ගුවන් යානා නිර්මා­ණය කළා. ඒවා­යින් ලිහි­ණියා ප්ලේන් එකේ දෙදෙ­නෙ­කුට ගමන් කරන්න පුළු­වන්. එහි තටු දෙක අකු­ලන්න පුළු­වන්. මෙය ගුවන් ගත කරන්න තටු දෙක අකු­ළලා ට්‍රේලර් එකේ දාලා ඇද­ගෙන එනවා රත්ම­ලා­නට. පසුව රටේ පැවති කොටි කල­බල නිසා මෙය ගුවන් ගත කරන දුර ප්‍රමා­ණය අඩු කළා. මෙය නිර්මා­ණය කළේ 1988දියි.

රේ විජේ­ව­ර්ධ­නගේ දැනු­මින් ලංකාව ප්‍රයෝ­ජන ගත්තද?

එතු­මා­ගෙන් උප­රිම ප්‍රයෝ­ජන ගත්ත කියල කිය­න්නත් බැහැ. නොග­ත්තයි කියල කිය­න්නත් බැහැ. පළ­වෙනි ටූල් ටෙක් එක ලෑන්ඩ් මාස්ටර් කියලා හදලා තියෙන්නේ රේ විජේ­ව­ර්ධන. ඒ වගේම ඇල්බී­සියා මඟින් විදු­ලිය නිප­ද­වී­මත් ඔහු ලංකා­වට හදුන්වා දුන්නා. එය ඔහුගේ නිවෙසේ ඔහු සිදු කළා. මම හරිම සන්තෝෂ වෙනවා මට ඔහුත් එක්ක හුඟ කලක් වැඩ කරන්න ලැබීම ගැන. ඔහුගේ අන්තිම මරණ මංච­කයෙ දී වුණත් මම ඔහු ළඟින් හිටියා. මට කතා කරන්නේ ‘පුතා’ කියලා. අන්තිම කාලෙදි මාව ඉඹි­නවා ‘උඹ මාව බලන්න ආවා නේද’ කියලා.

ඔබ ජින­සේන ආය­ත­නයේ කළ නිර්මාණ මොන­වාද?

ඉංජි­නේ­රු­වකු ලෙස ජින­සේන ආය­ත­න­යට මාව යොමු කළේත් ඔහුයි. දෙපා­ර්ත­මේ­න්තුවේ හිටිය නම් අපි කරන දේවල් ටික විත­රයි. ඒවා වෙළෙඳ­පො­ළට දාන්න බැරි වෙනවා. මම කරපු හැම නිර්මා­ණ­යක්ම වගේ අද­ටත් වෙළෙඳ පොළේ තිබෙ­නවා. 1989 දී පමණ එහි කර්මා­න්ත­ශාලා ඉංජි­නේ­රු­ව­රයා හැටි­යට මම කට­යුතු කර­නවා. එතැ­නින් තමයි යන්ත්‍ර සූත්‍ර නිර්මා­ණ­යට මාව ඔප­ම­ට්ටම් වෙලා ආවේ. මම යන විට එහි ඇග්‍රි­මෙක් කියන කෘෂි කර්මා­න්ත­යට අදාළ ගොයම් කපන හා ගොයම් පාගන යන්ත්‍ර දෙකයි හදලා තිබුණේ. මම එතැ­නට සම්බන්ධ වී තව විශාල වැඩ කොට­සක් සිදු කළා. විවිධ යන්ත්‍ර හද­න්නට පටන් ගත්තා. ඒ විදි­හට මල්ටි චොපර්, කොම්පෝස්ට් පොහොර හදන මැෂින්, රබර් මැෂින්, තේ මැෂින්, ග්‍රාස්ක­ටර්, ගම්මි­රිස් මැෂින් මම නිර්මා­ණය කළා. ඒ අතර ටූල් ට්‍රැක්ටර් එකයි, ප්‍රොසෙස් ටී කටර් යන්ත්‍ර­යයි මට සම්මාන හිමි­කර දුන්නා. ඒවාට ජනා­ධි­පති සම්මාන හිමි වුණා. මම හැදූ යන්ත්‍ර ගොවි ජන­තාව අතර බොහොම ජන­ප්‍රිය වුණා. මොකද ඒ දේවල් පිට­ර­ටින් ගෙන්වන්නේ නැති නිසා. මේ හැමදේටම ජිනසේන ආයතනයේ සභාපති රොහාන් ජිනසේන මහතා උදව් කළා.

ඔබ තමයි පළමු වතා­වට කෘෂි­ක­ර්මා­න්තය වෙනු­වෙන් වාහ­න­යක් නිපදවන්නේ?‍‍

ඔව්. එය මට අම­ර­ණීය මත­ක­යක්. ඇග්රි­මෙක් ෆාම් ට්‍රැක්ටර් කියලා ත්‍රීවි­ලර් ලොකු ප්‍රමා­ණයේ වාහ­න­යක් ලංකාවේ පළ­වෙනි වතා­වට හැදුවේ මම. එය ආර්එම්වී එකේ ලියා­ප­දිංචි කළා. මම එයින් මොඩ්ල් තුනක් හැදුවා. ඒ කාලෙ එකක මිල වුණේ එක්ලක්ෂ හැත්තෑ පන්ද­හ­සක්. ඒක විශේ­ෂ­යෙන්ම හැදුවේ ගොවි­ප­ළ­වල බඩු ගෙනි­යන්න. අපි එයින් පහ­ළො­වක් පමණ විකි­ණුවා. මෙය දැකලා රේ විජේ­ව­ර්ධන මට ලිය­ම­නක් එවා තිබුණා. ‘පුතා රංජිත් උඹ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ දේ කරන්නේ නැහැ. මට බොහොම සන්තෝ­ෂයි උඔ ගැන’ කියලා මම හැදූ යන්ත්‍ර ගොවි ජන­තාව අතර බොහොම ජන­ප්‍රිය වුණා. මොකද ඒ දේවල් පිට­ර­ටින් ගෙන්වන්නේ නැති නිසා. මේ අතර වෙන කෙනෙක් එක් ලක්ෂ විසි­ප­න්ද­හ­ස­කට පිට­ර­ටින් ඒ වගේ වාහන ගෙන්වන්න පටන් ගත්තා. අපි කල්පනා කළා විය­දම් යන නිසා මෙය නවතා දමන්න. මම දේශීය කර්මා­න්ත­යක් විදි­හට මෙය නඟා සිටු­වන්න උත්සාහ කරත්දී පිට­ර­ටින් මෙවැනි දේ ගෙනැ­විත් දේශීය කර්මා­න්තය බිඳ දැමුවා. එය කන­ගා­ටු­වක්.

ඔබ වෛද්‍ය ක්ෂේත්‍ර­ය­ටත් නව නිපැ­යු­මක් එක්කළා?‍

මම සේව­යෙන් විශ්‍රාම ගත්තාට පසු ලයන්ස් ක්ලබ් එකේ වැඩ කට­යු­තු­ව­ලට දායක වෙලා ඒවා කර­ගෙන ගියා. එවිට මට පෙනුණා වැලි­සර ළය රෝහලේ ලෙඩු­නට ලොකු ප්‍රශ්න­යක් තිබෙන බව. පෙන­හළු ඔප­රේ­ෂන් කරපු රෝගීන්ට තමන්ගේ ඛේටය මුදා­හ­රින්න ලොකු බෝත­ල­යක් දෙනවා. එය අර­ගෙන යන්න ඒ රෝගීන්ට හරිම අප­හ­සුයි. ඒ අය වෙනු­වෙන් මම මැෂින් එකක් නිර්මා­ණය කළා. එය හඳු­න්වන්නේ ‘පුෂ් කාර්ට් ෆෝ චෙස්ට් ට්‍රේන් බොට්ල්’ ලෙසයි.මම වැලි­සර රෝහ­ලට එවැනි මැෂින් තිස්තු­නක් සකසා දුන්නා. මේ මැෂින් එක වඩාත් අවශ්‍ය වන්නේ මහ රෝහ­ල්ව­ලට. මොකද පෙන­හළු සම්බන්ධ ඔප­රේ­ෂන් මේ රෝහල් ආශ්‍රි­තව සිදු­වන නිසා. ඉන්ප­සුව මම කොළඹ මහ රෝහ­ලට හා නුවර මහ­රෝ­හ­ලට මෙවැනි මැෂින් දහය බැගින් පරි­ත්‍යාග කළා. මේ උප­ක­ර­ණය ගැන වෛද්‍ය­වරු හුඟක් සන්තෝෂ වුණා. ඒ අය මෙය නව සොයා­ගැ­නී­මක් ලෙස නම් කළා. ඒ වගේම රෝගීන් මේ යන්ත්‍රය භාවිත කර­මින් විශාල සැන­සී­මක්, සතු­ටක් ලබ­නවා. ඔවුන් මට පින් දෙනවා. ඒ ගැන මට ලොකු සතු­ටක් දැනෙ­නවා. මම රටට මොන නිර්මාණ කළත් රෝගීන් වෙනු­වෙන් මෙවැනි නිර්මා­ණ­යක් කර­න්නට ලැබීම තමයි මම ලද භාග්‍යය. එයින් අද මම කියා නිම කරන්න බැරි තරම් සතු­ටක් ලබ­නවා. අද වන විට මෙයට මට පේටන්ට් බල­ප­ත්‍ර­යත් ලැබී තිබෙ­නවා. තවත් මෙවැනි උප­ක­රණ රෝහල් වෙනු­වෙන් සක­ස­න්නට මම බලා­පො­රොත්තු වෙනවා.

ඔබ ඉවත ලන ද්‍රව්‍ය වලින් අපූරු නිර්මාණ කර තිබෙ­නවා?

ඔව්. ගෙදර ඉන්කොට හිතේ සතු­ටට තමයි මම ඒ නිර්මාණ කළේ. ඉවත ලන ටය­ර්ව­ලින් ලස්සන මල් පෝච්චි මම නිප­දවා තිබෙ­නවා. ඒවා අලං­කාර කරන්න අවශ්‍ය පේන්ට් වර්ගත් මම ම නිප­දවා තිබෙ­නවා. ඒ වගේම බෝතල් හිස් ටින් මේවා උප­යෝ­ගී­කර ගෙන මුළු­තැ­න්ගෙට අවශ්‍ය විවිධ උප­ක­රණ නිප­දවා තිබෙ­නවා. එය ස්වයං රැකි­යා­වක් ලෙසත් කරන්න පුළු­වන් දෙයක්. මම ඒ දැනුම තරුණ ප්‍රජා­වට ලබා දෙනවා.

මේ හැම­දේම අතරේ ඔබ අපූරු කලා­ක­රු­වෙක්?

මට සංගීත භාණ්ඩ වාද­නය කරන්න පුළු­වන්. ඕගන් එක විශේ­ෂ­යෙන්. ඒ වගේම ගීත ගයන්න, පද රචනා කරන්න වගේම තනු නිර්මා­ණ­යත් පුළු­වන්. ප්‍රවී­ණ­යන්ට මම නිර්මා­ණය කළ ගීත අද­ටත් ගුවන් විදු­ලියේ ප්‍රචා­රය වෙනවා. ඒත් මගේ නම­වත් කිය වෙන්නේ නැහැ.

රටට කළ සේවය ගැන මොකද හිතෙන්නේ?

මට ලොකු සතු­ටක් දැනෙ­නවා. මමත් මේ රටට කො‍හොම­වත් ණය නැති පුද්ග­ල­යෙක්. මම කෘෂි­කා­ර්මික ක්ෂේත්‍ර­යට විවිධ යන්ත්‍ර සූත්‍ර සැක­සුවා. විශ්‍රාම ගිය­ප­සු­වත් මම රටට සේවය කර­නවා.

ජායා­රූප- සරත් පීරිස්

Comments