
ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ අමරණීය වූ නාමයක් ජන රසික හදවත් තුළ ස්ථාවර කළ ඒ සංගීතය හා මුසු වූ ගී ස්වරය අද නිහඬ ය. අප රටේ සංගීත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්ය අමරා රණතුංග නම් වූ ඒ සංගීතවේදිනිය සුගායනීය හඬකින් ගායනා කළ ඒ හඬ සදහට ම යළි සජීවී ව නො ඇසුණත් ජන හදවත් තුළ ඒ ගී හඬ සදාකල්හිම රැව් දෙනු ඇත. ඇය මහාචාර්ය අමරා රණතුංග ය.
හතළිහ දශකයේ හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනයට යොමු වන ඇය පාසල් විවිධ ප්‍රසංග ශිල්පිනියක ලෙස තමන් සතු ළමා ලලිත කුසලතා එළි දැක්වුවාය. එකල සංගීත විෂයයට අදාළ රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානියකු ලෙස වරින්වර පාසල් වලට එන සංගීත විශාරද ලයනල් එදිරිසිංහයන් ගේ දයාබර ගුරුහරුකම් හා ප්‍රශාංසා ලද මේ පාසල් කලාකාරිණියක වූ දියණිය සංගීත ශික්ෂණයකට යොමු කිරීමට ඇගේ පියා කල්පනා කරමින් සිටියේ ය. මේ සමයේදී ගුවන් විදුලි සේවයට සම්බන්ධ වී සිටි ආනන්ද සරත් විමලවීර හා යූ. ඒ. එස්. පෙරේරා සිය විද්‍යාලයේදී ම හඳුනා ගැනීම ඔස්සේ නාට්‍යයකට ගී ගැයීමේ අවස්ථාව ලද ඇය සරත් විමලවීරයන් ඉදිරිපත් කළ “ළමා උයන” නම් වැඩසටහන මඟින් නිෂ්පාදනය වූ “කැප්පෙටිපොළ” නාටකයේ චරිතයක් පණ පොවමින් ලයනල් එදිරිසිංහ සංගීතවේදියාණන්ගේ සංගීතයට අනුව ගී ගායනා කිරීමේ වරම ද අමරා කස්තුරු ආරච්චි දියණිය හිමි කරගත්තාය. ඒ කාලය 1948-49 දී “ළමා උයන” වැඩසටහනේ ශිල්පිනියක වූ ඇය ඊට ආසන්න කාලයකදී ම විශාරද බී.එස්.විජේරත්න සංගීතවේදියාගේ ශාස්ත්‍රීය සංගීතයට මවුගුණ ගැයෙන ගීතයක් ගායනා කිරීමට අමරා කස්තුරු ආරච්චි දැරියට අවස්ථාව ලැබීමත් සමඟ ශ්‍රාවක ජනතාව විසින් ප්රබෝධයට පත් වූයේය. ඒ 1950 වර්ෂයේදී වසන්ත කුමාර මහතාගේ සඳ කිඳුරු මුද්‍රා නාට්‍යයෙන් රංගනයට දායක වීමට ද ඇයට අවස්ථාව ලැබුණි. ඒ සමඟම විද්වතුන්ගේ උපදෙස් හා සිය පියාගේ ගුරුහරුකම් අනුව ක්රමානුකූල සංගීත විෂය හැදෑරීම සඳහා පාසල් ශිෂ්‍යාවක ලෙසම 1952 දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව සංගීත විශාරද බී.එස්.විජේරත්න යන්ගේ ගුරු උපදෙස් මත සංගීතය ඉගෙනීමට මේ දියණියට අවස්ථාව උදාවිය.
ළමා වියේ සිට එතෙක් පැමිණි සාර්ථක ගමන් මග නව යෞවනියක සේ පාසල් අධ්‍යාපනය ද සාර්ථකව නිමා කරමින් රජයේ සංගීත විද්‍යාලයේ වසර හයක අධ්‍යයන කාර්යය ද සම්පුර්ණ කළ ඇය සංගීතය පිළිබඳ උපාධිධාරිණියක සේ මීගොඩ මහා විද්‍යාලයේ වැඩ සටහන් ඉදිරිපත් කරන අමරා කස්තුරි ආරච්චි නම් සම්භාව්‍ය සංගීත ශිල්පිනියක වූවා ය.
භාරතයේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත පීඨය බලා 1961 දී ගිය අමරා කස්තුරි ආරච්චි සංගීත ශිල්පිනිය යළි එය අවසන් කර 1964 දී ආපසු පැමිණියා ය. ඉන්පසු ඒ වසරේම පෙබරවාරි මස 01 දා සිට කොළඹ සංගීත විද්‍යාලයේ සංගීත උපදේශක තනතුරක් ලබා ගැනීමට ඇයට වාසනාව ලැබුණි. සමකාලීනයන් ලෙසින් එකල සංගීත විද්‍යාලයේ වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, සරත් දසනායක, සුජාතා අත්තනායක, විජේරත්න රණතුංග නවරත්න අත්තනායක, අමරසිරි පීරිස්, අමිතා වැදිසිංහ, රංජනී පෙරේරා හා සුමිත් අහංගම ආදී ශිල්පිහුද එකල සංගීත විද්‍යාලයේ ශිල්ප හැදෑරුහ. විශාරද අමරා කස්තුරි ආරච්චි සමඟ එදා තනතුර ලැබූ සංගීතඥයන් හා ගායකයන් වූයේ විශාරද ඩබ්.ඩී.අමරදේව, විශාරද සදානන්ද පට්ටිආරච්චි, විශාරද ශාන්ති ගීත දේව යන සංගීතවේදීහු ය. පී.වී.නන්දසිරි එස්.ඩී.එස්. ජයසේකර බී.වික්ටර් පෙරේරා යන සංගීත ශිල්පීහු ද බාහිර කථිකාචාර්යවරු ලෙසට කටයුතු කළහ. එකල සංගීත විශාරද අමරා රණතුංග යටතේ ගුරු උපදෙස් ලබාගත් සංගීතය ප්‍රගුණ කළ එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, මාලිනි බුලත්සිංහල සහ බණ්ඩාර අතාවුද වැනි ශිල්පීන් සිව්වැනි සංගීත පරපුරක් ලෙස මෙකල රසික ලෝකයට සමීපව සිය ගීත ගායනයෙන් ජන හදවත් හා සමීප වී සිටිති.
මෙතෙක් ඉදිරිපත් කළ තොරතුරු ලබාගත්තේ “සිංහල සංගීතයේ දයාරත්න රණතුංග සුවිපුල් සියත්සර” නමින් ප්‍රවීණ ලේඛක අප හිතවත් යාපා බණ්ඩාර සෙනෙවිරත්නයන් 2011 ලියා පළ කළ ග්‍රන්ථය ද ආශ්රයෙන් බව තුති පෙරටුව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
පනහ දශකයෙන් පසුව එතෙක් හේවුඩ් කලායතනය රජයේ සංගීත සහ නැටුම් විද්‍යාලය ලෙසින් බිහිවෙමින් එහි සංගීත අංශයේ ප්‍රථම අධිපතිවරයා වූ විශාරද ලයනල් එදිරිසිංහ සංගීතවේදියාණන් ගත් උත්සාහය නිසා සංගීත සහ නර්තන ක්ෂේත්රය තුළ රටේ රසිකයන්ගේ ඉමහත් ගරුත්වයක් සහ පිළිගැනීමක් ඇති විය. ඒ කාලයේ සංගීත විද්‍යාලයේ ප්රමුඛ ව සිටි විද්‍යාර්ථී දෙදෙනකු වූ දයාරත්න රණතුංග සහ අමරා කස්තුරි ආරච්චි යුවළ ය. 1964 ජනවාරි මස 31 වැනි දා විවාහ දිවියට පත් වුහ. මීට වසර දහයකට පසු එනම් 1974 වර්ෂයේදී රජයේ සංගීත සහ නැටුම් විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබන්ධව සෞන්දර්ය අධ්‍යාපනය සඳහා එ් ආයතනයට උපාධිධාරී ආචාර්යවරුන්ගේ කාලීන අවශ්‍යතාවක් උදා විය.
බැරණැස හින්දු විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 1984 දී යළි මවූ රටට සපැමිණි සංගීතවේදිනිය ප්‍රවීණ ගායිකා අමරා රණතුංග මහත්මිය සෞන්දර්ය මණ්ඩලයේ ආචාර්යවරියක් ලෙස නැවත සේවයට පත් වූවා ය. පසු කාලයේදී සංගීත, නර්තන චිත්‍ර හා මූර්ති විෂයයන් සඳහාම වූ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමේ කටයුතුවලට ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍යවරයා (එවක රාජ්යාරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යව සිටි (සිරිමාවෝ බණ්ඩාරණායක අග්රමාත්යතුමියගේ පාලන සමයේ) මුලිකව කටයුතු කළ අතර මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, නිමල් වෙල්ගම, ලයනල් එදිරිසිංහ හා ජයන්ත අරවින්ද යන සංගීත ක්ෂේත්රයේ විද්වත්හු ශ්‍රී ලංකා සංගීත පදනම සංවිධානය යටතේ මහත් උත්සාහයක් දැරූහ. ඒ සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටු කරන්නට මහාචාර්ය අමරා රණතුංග සහ ආචාර්ය දයාරත්න රණතුංග දෙදෙනා ද ඇප - කැප වී කටයුතු කළහ.
බැරණැස හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත ශික්ෂණය ඉතා ගැඹුරින් හදාරා අමරා රණතුංග සංගීත ආචාර්ය උපාධිය සපුරා සමත් ආචාර්ය අමරා රණතුංග ලෙස 1986 සිට සිය සංගීත ක්ෂේත්රයේ කටයුතු ඇරඹුවා ය. ඇයගේ මේ ශාස්ත්‍රීය ගවේෂණ සංගීත ක්ෂේත්රයේ විශිෂ්ටත්වය නිසාම එහි අංශාධිපති ධූරයට ද පත් වූවාය. ඇය 1995 වර්ෂයේදී මහාචාර්ය ධුරයෙන් පුදනු ලැබුවා ය.
ඩෝල්ටන් අල්විස් ගීත රචකයා ලියූ මහාචාර්ය අමරා රණතුංගයන් විසින් ම උත්තර භාරතීය රාගධාරි සමයට අනුව සන්ධ්‍යා භාගයට උචිත ශාස්ත්‍රීය ගායන ශෛලියකට මුසු වන ස්වර සංගනියක් සමඟ ශෘංගාරය අවදි කරවන ශ්රාවකයා ආනන්දයට පත් කරන ගීයක පද මෙසේය.
චාමර පවන්සලා - නීල වරළ මුහුල එදාලා
ඔබ එන මංතලයේ - බලා හිඳින්නම්.... අප හිතවත් සුනිල් සරත් පෙරේරා කිවිඳු රචනා කළ ආචාර්ය දයාරත්න රණතුංගයන් සංගීතවත් කළ මේ ගීය ද මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ බුදු බැති ගීයකි.
සමාධි බුදු සිසිලේ ගලා එන - අමාදහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ... ආචාර්ය අජන්තා රණසිංහ ලියූ සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ ගීය ද රසික හදවත් සැනසු මහාචාර්ය අමරා රණතුංගයන් ගැයූ තවත් රසවත් ගීයකි.
ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග ගැයු මහ රෑ යාමේ මේ ඇල්හේනේ තනියම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා... ගීය මුල් කාලයේ ම ඒ දෙදෙනා ගැයූ ගීයකි. මීට අමතරව මහාචාර්ය අමරා රණතුංග ගායනවේදිණිය ගැයූ ජනප්‍රිය ගීත රැසකින් කිහිපයක් මෙසේය. රාධ- ක්රීෂ්ණා, ඊයේ රෑ සිහිනෙන් දෙඩ වූ සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන්නී...ආදි ගීත රැසකි. ආචාර්ය දයාරත්න රණතුංග සංගීතවේදියාණන් හා මහාචාර්ය අමරා රණතුංග මැතිනිය එක්ව සිංහල සංගීත ක්ෂේත්රය දායාද කළ ගායන ශීල්පීන් රැසෙකි. මහාචාර්ය අමරා රණතුංග මැතිනිය සංගීතය උගන්වා (විශ්ව විද්‍යාලයෙන්) ඔවුන්ට ගායනය සඳහා වේදිකාව සකසා දුන්නේ එකල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල- දෙමළ සංගීත අංශයේ අධ්යක්ෂ වූ ආචාර්ය දායාරත්න රණතුංගයන් ය. ඒ අනුව මේ සුසංයෝගය අප ජාතියේ පිනට පහළ වූ බව සඳහන් කරමි.